නවතම ප්‍රවෘත්ති

ලස්සන ලයිට් දමා බස් එක ආවා කෝ මේ නඩේ ගුරා කස්තුරි මාමා – දිනුලි දම්සඳී

‘දෙරණ ලිට්ල් ස්ටාර්’ කියන්නේ අපේ රටේ ගායන හැකියාව තියෙන පුංචි දරු දැරියන්ට ඒ ගායන හැකියාවන් රටට ලෝකයට පෙන්වන්න අවස්ථාවක් ලබාදීලා තියෙන අපූරු වේදිකාවක් නේ. අද ලංකාවේ ජනප්රිය තරු බවට පත්වෙලා ඉන්න ගායක ගායිකාවන් බොහෝමයක් දෙනාගේ මුල ඒ වේදිකාව බවත් රහසක් නෙවෙයි. ඒ කොහොම හරි මේ කියන්න යන්නෙ දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 09 අදියරේ ඒ වේදිකාවට පැමිණි වයස අවුරුදු තුනක පුංචි තරඟකාරියක් ගැන. ඇය තමයි දිනුලි. එදා එහි හිටපු ළාබාලම තරඟකාරිය වුණෙත් මේ කෙලි පොඩ්ඩලු. හැබැයි දක්ෂයන්ට වයස අදාළ නෑ කියනවනේ. ඉතින් දිනුලිට එවර අටවැනියා දක්වා එන්න අවස්ථාව ලැබිලා. ඊටපස්සේ දිනුලි එහි සීසන් 11 අදියරටත් සහභාහි වෙලා. ඒ සැරේ තව පියවර කීපයක් ඉස්සරහට ඇවිත් 03 වැනියා වෙලා. හැබැයි දැනට අවුරුදු කිහිපයකට කලින් ඒ විදියට තරඟය හැරගියපු දිනුලි, අද මුළු ලංකාවම දන්න ජනප්රිය ගායිකාවක්. බලන්න ඔබත් මේ පහළින් තියෙන ගීතය අහලා තියෙනවද කියලා.

‘නෑදෑයෝ හා මගේ යාළුවෝ ආවා
නෑ නෑ නෑ දැන් ඉතින් විනෝදයේ සීමා
ලස්සන ලයිට් දමා බස් එක ආවා
කෝ මේ නඩේ ගුරා කස්තුරි මාමා
නැන්දත් එයි මාතරින් – අපි යං පාන්දරින්
යං යං යං මාතරින් – ට්රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින් – දුම්බර පාතරටින්
යං යං යං මාතරින් – ට්රිප් එක පාන්දරින්
යං යං යං යං…’

ඔව් ඒ ගීතය ගායනා කරන්නේ අපි කියපු දිනුලි දුව. මේ වෙනකොට ලංකාවේ ජනප්රියම ගීතයත් ඒක. වයස් භේදයක් නැතුව හැමෝම අහන දිනුලි දුවගේ ඒ ගීතය තමයි මේ වෙද්දිත් යූටියුබ් ට්රෙන්ඩින්වල අංක එකට තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි එහි නැරඹුම් වාර ප්රමාණයත් මිලියන තුනකට අධිකයි. ඉතින් ඒ නිසාම මෙවර ‘ධරණී’ කවරය සරසන්න අපි ආරාධනා කළෙත් දිනුලි දම්සඳී පුංචි දුවට.

*දිනුලි දුවගේ ‘ට්රිප් එක පාන්දරින්’ ගීතය හුඟාක් ජනප්රියයි නේද?
“ඔව් ට්රිප් එක පාන්දරින් ගීතය අපි කවුරුවත්ම හිතපු නැති විදියට ජනප්රිය වුණා. අන්තිමේ ඒක ලංකාවේ ජනප්රියම ගීතය වුණා. මට නම් හරිම සතුටුයි. වයස් භේදයක් නැතුව හැමෝම වගේ ඒ ගීතයට කැමතියි. ඒ නිසා ඒක හැමෝම මුමුණන විදියේ ගීතයක් වෙලා. සෑහෙන්න ප්රතිචාර ඒකට ලැබෙමින් තියෙනවා.”
දිනුලි දුව ගයන ‘ට්රිප් එක පාන්දරින්’ ගීතය පද රචනය කරලා තියෙන්නේ ලසිත ජයනෙත්ති ආරච්චිගේ. සංගීතය දිල්ශාන් එල්.සිල්වා. බස් එකක් එහෙම යොදාගෙන ඒ අපූරු රූප රචනය සිදුකළේ චාරුක දුෂ්යන්තලු. ඉතින් ඒ හැමෝම මතක් කරපු දිනුලි දුව අලුත්ම ගීතයට ලැබෙන ප්රතිචාර ගැනත් මේ විදියට අපිත් එක්ක කිව්වා.
“හැමෝම වගේ කියනවා සිංදුව බැලුවා ඒක හරි ලස්සනට කියනවා කියලා. සමහරු මාත් එක්ක ෆොටෝ ගහනවා. මගේ පාසල තමයි ඇඹිලිපිටිය ජනාධිපති විද්යාලය. විදුහල්පතිතුමාගේ ඉඳන් ගුරුවරු, යාළුවො හැමෝම වගේ මට සුබපැතුවා. ඒ වගේම කියන්න ඕන පාසලේ යාළුවෝ ගැනත්. ඒ අය නිතරම වගේ මට සිංදුව කියලා පෙන්නන්න කියනවා. දැන් එයාලටත් සිංදුව කටපාඩම්. ඉතින් හරිම සතුටක් දැනෙන්නේ.”

*දිනුලි දැන් ඉගෙනගන්නේ කීවැනි පන්තියේද?
“මං දැන් ඉන්නේ හයේ පන්තියේ. මගේ වයස තවම අවුරුදු 11යි.”
‘ට්රිප් එක පාන්දරින්’ කියන්නේ දිනුලි දුවගේ පළවැනි ගීතය නෙවෙයිලු. ‘දෙරණ ලිට්ල් ස්ටාර්’ තරඟයෙන් පස්සේ ඇය ගීත කීපයක්ම කරලා. ඒ වුණත් ජනප්රිය වුණේ මේ ගීතය කියලයි දිනුලි දුව ධරණීට කිව්වේ.
“මං ගීත කීපයක් කළා. ඒවා නම් ලොකුවටම ජනප්රිය වුණේ නෑ. හැබැයි කාංචනා අනුරාධි අක්කාගේ ‘මගේ’ කියන සිංදුවට කරපු කවර් එක ගොඩාක් ජනප්රිය වුණා.”
දිනුලි දුව ඇයගේ නැගනියත් එක්ක කරපු වීඩීයෝවක් නිසා තමයි කාංචනා අනුරාධිගේ ගීතයක් දිනුලි දුවට කවර් එකක් විදියට ගායනා කරන්න අපූරු අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒ ගැනත් අපි ඇයගෙන් අහලා බැලුවා.
“මං ඒ සිංදුවට හරිම ආසයි. ඒ හින්දම දවසක් මම නංගි එක්ක ඒ සිංදුවේ කොටසක් ගායනා කරලා ෆේස්බුක් දැම්මා. ඒක ජනප්රිය වුණා. ඒක දැකලා තිබුණා සිංදුව අධ්යක්ෂණය කරපු චමත් සංගීත් අයියා. පස්සේ එයා කතා කරලා කිව්වා අපි කවර් එකක් කරමු කියලා. ඒ කවර් එකත් ගොඩාක් ජනප්රිය වුණා. හොඳ ප්රතිචාරත් ලැබුණා.”

*කාංචනා අනුරාධිත් ඒ ගීතය දැකලා තිබුණද?
“ඔව් ෆේස්බුක් එකේ ශෙයාර් කරලත් තිබුණා.”
දිනුලි දුව පුංචි කාලේ ඉඳන්ම ගීත ගායනා කරන්න දක්ෂයිලු. මුලින්ම දුවගේ ඒ හැකියාව අඳුනගෙන තියෙන්නේ සංගීත ගුරුවරියක් වුණු ඇයගේ අම්මා. අන්න ඊටපස්සේ තමයිලු දිනුලි දුවගේ අම්මා දුව පොඩි වයසෙන් ‘දෙරණ ලිට්ල් ස්ටාර්’ තරඟයට යොමුකරලා තියෙන්නේ.
“මුලින් ලිට්ල් ස්ටාර් සීසන් 09ට සහභාගි වෙලා 08 වුණා. ඊටපස්සේ සීසන් 11 ට සහභාගි වෙලා 03 වුණා. මං හිතන්නේ ලිට්ල් ස්ටාර් තරඟයට සහභාගිවීම තමයි මගේ ගායන දිවියේ හැරවුම් ලක්ෂය වුණේ. එතැනින් මගේ ගැන රටේ ලොකු පිරිසක් දැනගත්තා. පුංචි අපට එවැනි තරඟයක් සංවිධානය කිරීම ගැන ටීවී දෙරණ නාලිකාවට ගොඩාක් ස්තූතියි.”

*පුංචි කාලේ හීන දැක්කේ ගායිකාවක් වෙන්නද?
“මුලදි නම් එහෙම හීනයක් තිබුණේ නෑ. හැබැයි දෙරණ ලිට්ල් ස්ටාර් තරඟයට ආවට පස්සේ මං හිතුවා අනාගතේ මොන ක්ෂේත්රයෙන් ඉදිරියට ගියත් සිංදු කියන එක අත්හරින්නේ නෑ කියලා.”
ඉගෙනගන්න අතරවාරයේ සංගීතයෙනුත් ඉස්සරහට යන්න පුළුවන්ද කියන ප්රශ්නයට දිනුලි දුවගෙන් ලැබුණේ මේ විදියේ උත්තරයක්.
“ඇත්තටම අමාරුයි. ඒත් මගේ අම්මයි තාත්තයි දෙන්නගෙන් සහ පාසලේ ගුරුවරුන්ගෙන් ඒකට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ යාළුවොත් මට ඒකට උදව් කරනවා.”

*දුවගේ තියෙන වෙන දක්ෂතා එහෙම මොනවද?
“මට හොඳට ඉගෙනගන්න පුළුවන්. ඒ වගේමයි සිංදු කියන ගමන් ලස්සනට නටන්නත් පුළුවන්.”
දිනුලි දුව ඉන්නේ ඇඹිලිපිටියෙලු. පවුලේ වෙන ඉන්නේ අම්මා, තාත්තා ඇරුනම අක්කයි, නංගියිලු. ඒ හැමෝම ආදරෙන් මතක් කරපු දුව අනාගතයේ වෛද්යවරියක් වෙන්න ආසාවෙන් ඉන්න බවත් අපි එක්ක කිව්වා. හැබැයි ඉතින් ඒ නිකන්ම වෛද්යවරියකුත් නෙවෙයි සිංදු කියන වෛද්යවරියක්. හුරතල් හිනාවක් එක්ක එහෙම කියපු දිනුලි දුව කතාබහේ අවසානෙට මෙන්න මෙහෙම කතාවකුත් ‘ධරණී’ ගැන කිව්වා.
“කීපසැරයක්ම පත්තරවල මගේ ලිපි ගිහිල්ලා තිබුණත් කවදාවත් මං කවරෙකට පෙනී ඉඳලා තිබුණේ නෑ. ඒත් මට එහෙම ආසාවක් තිබුණා. ඒ අවස්ථාව පුංචි මට මුලින්ම ලබාදුන්නේ ධරණී පත්තරෙන්. ඒ වෙනුවෙන් ධරණී පත්තරේට මේ වෙලාවේ ගොඩාක් ස්තූතියි කියනවා. ඇත්තටම මේක මට හීනයක් වගේ.”

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක

පසුතලය – සෝලිස් හොටෙල්, පිටකෝට්ටේ

#Dharanee #Dharaneedigital #Newspaper