මම ගුරුවරියක් කියලා අදටත් සමහරු දන්නේ නෑ – තිළිණි කෞෂල්‍යා
මේ දිනවල පුංචිතිරයේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි සිරස නාලිකාවේ විකාශනය වෙන ‘රස රහසක්’ කියන ටෙලිනාට්‍යය. ඒ ටෙලිනාට්‍යයේ උදානිගේ චරිතයට රංගනයෙන් දායකවෙන්නේ අපේ රටේ ඉන්න නවක, ජනප්‍රිය නිළියක් වන තිළිණි කෞෂල්‍යා. ඇය මේ දිනවල බොහෝ ගීත රූප රචනාවලත් දකින්න පුළුවන්. බොහෝදෙනෙක් තිළිණි දන්නේ නිළියක් විදියට වුණත් ඇය වෘත්තියෙන් ගුරුවරියක්. ඒත් ඒ කතාව අදටත් ඇගේ ප්‍රේක්ෂකයෝ නම් ඒ හැටි දන්නා බවක් පේන්න නෑ. ඉතින් ඒ නිසාම අපි හිතුවා තිළිණි කෞෂල්‍යා එක්ක කරපු කතාබහ ගැන ඔබට කියන්න…
*මේ දවස්වල තිළිණිව අල්ලගන්න සෑහෙන අමාරුයි නේද?
මේ දවස්වල නම් ටෙලිනාට්‍යය කීපයක රඟපාන නිසා ටිකක් විතර කාර්යබහුලයි.
*ඔබ ඉන්න ඒ ටෙලිනාට්‍යය කිහිපය ගැන කිව්වොත්?
සිරස නාලිකාවේ විකාශනය වෙන ‘රස රහසක්’ ටෙලිනාට්‍යයේ ‘උදානි’ විදියටත් සියත නාලිකාවේ ‘සින්ධු’ ටෙලිනාට්‍යයේ ‘ඉෂිනි’ විදියටත් රඟපානවා. රස රහසක් අධ්‍යක්ෂණය කරන අරුණ ජයවර්ධන වගේම සින්ධු අධ්‍යක්ෂණය කරන ලසිත කාරියවසම් අයියලා මේ වෙලාවේ මතක් කරන්න ඕන.
*‘රස රහසක්’ ටෙලිනාට්‍යයේ ‘උදානි’ ගැන කවුරුත් කතාවෙනවා?
ඔව් උදානි කියන්නේ කටකාර, දඟකාර චරිතයක්. හරිම නිදහසේ මට කරන්න ලැබුණු චරිතයක්. ප්‍රේක්ෂකයෝ වුණත් ඒ චරිතයට හරි කැමතියි. උදානිට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට එහෙම දැනෙනවා.
*තිළිණිගේ පුංචි කාලෙට ගියොත් ඒ කාලේ ඉඳන්ම හීන මැව්වේ රඟපාන්නද?
මුලදි නම් මට එහෙම හීනයක් තිබුණෙ නෑ. පුංචිම කාලේ නර්ස් කෙනෙක් වෙන්න ආස හිතුණා. පාසල් කාලේ මට නීතිඥවරියක් වෙන්න හිතුණා. ඊටපස්සේ ගුරුවරියක් වෙන්න හීන දැක්කා. ඒ වගේ විවිධ හීන කාලෙන් කාලෙට තිබුණා. හැබැයි ගුරුවරියක් වෙන හීනය දැන් සැබෑවෙලා.
*ඒ කියන්නේ ඔබ රඟපාන ගමන්ම ගුරු වෘත්තියෙත් නියැලෙනවද?
ඔව්. මේ වෙද්දි මම ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ ගෞරව උපාධියක් හදාරනවා. ඒ වගේම ගුරුවරියක් විදියට පාසලක සේවය කරනවා.
*එතකොට රංගන ක්ෂේත්‍රයට එන්න ලැබුණේ කොහොමද?
මුලින්ම හඬකැවීම් ශිල්පිනියක් විදියට මං වැඩ කළා. ඊටපස්සේ නිවේදිකාවක් වෙන්න ලැබුණා. එතැනින් පස්සේ තමයි රඟපාන්න අවස්ථාව උදාවුණේ. මං මුලින් රඟපෑවේ ටීවී දෙරණ නාලිකාවේ ගියපු තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කරපු ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ.
*ගුරු වෘත්තිය, නිළි වෘත්තිය කියන දෙක එකට කරන්න පුළුවන්ද?
පුළුවන්. පාසල් ගේට්ටුවෙන් ඇතුළට ගියාම නිළි වෘත්තියවත්, රඟපාන වෙලාවට ගුරු වෘත්තියවත් කරන්නේ නෑ. ඒ දෙක පටලගන්නේ නැතුව කරගෙන යන හැටි මං දන්නවා. අනෙක ගුරු වෘත්තිය කරන ගමන් රංගන ක්ෂේත්‍රයේ ඉන්න නළුවෝ නිළියෝ ඕනෙතරම් අපේ රටේ ඉන්නවා.
*ගොඩාක් නළු නිළියෝ රංගනයේදි සීමාමායිම් දාගෙන ඉන්නවා?
රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් වුණාම සීමාමායිම් තියෙන්න බෑ. ඒත් අපේ රටේ එහෙම නොදා බෑ. මොකද සමහරක් අය නළු නිළියන්ව ඔවුන් කරන චරිතවලින් මනිනවා. ඒක වැරදි දෙයක්. සමහර අය අපි රඟපාන්නේ කැමරාවක් ඉදිරිපිටනේ කියලවත් තේරුම් ගන්නේ නෑ. ඒ හින්දා තමයි ගොඩාක් නළු නිළියෝ සීමාමායිම් දාගෙන ඉන්නේ.
*සාමාන්‍යයෙන් නළු නිළියන්ට විවිධ ගොසිප් හැදෙනවා. ඒවට බයයිද?
රංගන ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ නම් එහෙම බය හිතුණා. ඒත් කාලයත් එක්ක තේරුම් ගත්තා මොකටද බය වෙන්නේ කියලා. මොකද ගොසිප්වල වැඩියෙන්ම තියෙන්නේ බොරු. අපි හරියට ඉන්නවා කියලා අපි දන්නවා නම් සමාජමාධ්‍යවල වීව්ස් ගන්න හදන බොරු ගොසිප් ගැන බයවෙන්න ඕන නෑනේ. ඒ හින්දා බය නෑ.
*තිළිණිට හොඳ නර්තන හැකියාවක් තියෙනවා කියලත් ආරංචියි?
ඔව් පොඩි කාලේ ඉඳන්ම නටන්න හරිම කැමතියි. ඒ නිසා පාසල් කාලේ නර්තනය හදාරලා තියෙනවා.
*ඔබගේ පවුලේ වෙන ඉන්නේ කවුද?
පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියයි.
*ඔබ ගුරුවරියක් නිසා ආදරේ දකින වෙනම කෝණයක් ඇති?
ගොඩාක් අය ආදරේ ගැන ඇහුවම ඒක හරි සුන්දරයි කියලනේ කියන්නේ. ඒක හරි. ඒත් ඒකට මම තවත් පොඩි දෙයක් එකතු කරන්නම්. අපිව තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක් අපේ ජීවිතේට ළංකර ගත්තොත් ඒ ආදරය තව සුන්දර වෙනවා.
*තිළිණිටත් ඒ විදියේ ආදරයක් දැන් මුණගැහිලා තියෙනවද?
(සිනාසෙමින්) ඒක ඉදිරියේදි කියන්නම්.
රුවන් එස්.සෙනවිරත්න