Latest News

කොටින්ගේ වීරත්වය ගැන විශේෂාංග ලිව්වේ මමයි!

මුලතිව් උපන් ශකිලා කුඩා කාලයේ පටන් ක්‍රීඩාව​ට, අධ්‍යාපනයට හා කලාවට දක්ෂ තැනැත්තියක වුවත් පියාට වැළඳෙන බරපතළ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඈ උසස් අධ්‍යාපනය අතරමග නවතා ඊළාම් අධිකරණයේ සේවයට යන්නීය. අනතුරුව යාපනය හෙද විදුහලේ හෙද පාඨමාලාව හදාරන අතරතුර යුද හමුදාව රිවිරැස මෙහෙයුම මගින් යාපනය අත්පත් කරගැනීමත් සමඟ එල්.ටී.ටී.ඊ. පාලනයේ පැවති
පුදුකුඩිරිප්පු හි පදිංචියට එන්නීය. මේ අතර උතුරේ හුදකලා හමුදා කඳවුරක් ලෙස පැවති මුලතිව් කඳවුර සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට නතු වේ. අද එතැන් සිට..

“මුලතිව් කඳවුර එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අත්පත් කරගැනීම ජාත්‍යන්තරයට ලොකු ප්‍රවෘත්තියක් වුණා. මොකද දවස් කීපයේම රජයේ හමුදාවේ 1500ක් විතර මරණයට පත්වුණා. මම හිත්නනෙ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ වියට්නාම්, ඉරාන් වගේ යුද්ධ කීපයකදී විශාල වශයෙන් රජයේ හමුදා මියගියත් එකම කඳවුරකදී මේ තරම් ප්‍රමාණයක් මියගිහින් නැහැ. ඒ නිසා ප්‍රවෘත්තියක් විදියට ලැබුණ වටිනාකම නිසා BBC (බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය), IBC වගේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කීපයක වාර්තාකාරිනියක් විදියට රැකියාව කරන්න අවස්ථාව ලැබුණා.”

යාපනය පරාජයත් සමඟ ඉතාමත් දුර්වල තත්ත්වයක සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයට ගරිල්ලා සංවිධානයක් ලෙස ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ලැබී තිබුණි. එහිදී එල්.ටී.ටී.ඊ.ය කටයුතු කළ ආකරය පිළිබඳව ශකිලාගෙන් විමසීමි.

“මුලතිව් සටනේදී ඉතිහාසයේ පළවැනි වතාවට කාලතුවක්කු දෙකක් අත්පත් කරගත්තා. ඒ වගේම අවි ආයුධ විශාල ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබුණා. ඒ නිසා එල්.ටී.ටී.ඊ. නිල පුවත්පත වුණ ඊළනාදන් කර්තෘතුමාගෙන් වගේම පුලියන්කුරල් (VOT) ගුවන්විදුලි ප්‍රධානියාගෙන් උපදෙස් ලැබුණා මුලතිව් ජයග්‍රහණය ගැන විශේෂ වැඩසටහන් වගේම පත්තරේට විශේෂාංග ලිපි මාලාවක් ලියන්න කියලා. මම එතකොට පෙනී සිටියේ ආනන්දි කියන නමින්.

ඉහළින් ලැබුණ උපදෙස් අනුව කොටි හඬ ගුවන්විදුලියට නාට්‍ය වැඩසටහන් කීපයක්ම කළා. ඒ වගේම මුලතිව් ප්‍රහාරයට නම දාලා තිබුණෙ ඕයාද අලගල් I (නොනවතින රැල්ල 1) කියලා. ඒ නිසා ඕයාද අලගල් I කියලා විශේෂාංග ලිපි මාලාවක්ම ලිව්වා. ඒ ලිපි මාලාව මාස කීපයක්ම පුවත්පතේ පළවුණා. ඒ වගේම ඒ ලිපි මාලාවට පාඨකයන්ගෙන් ලොකු ඉල්ලුමකුත් තිබුණා. එතැනදී මට මුලතිව් ප්‍රහාරය එල්ල කරපු ආකාරය ගැන විස්තර ලැබුණා. මුලතිව් කඳවුර කියන්නේ කිලෝමීටර 4ක් විතර දිග කිලෝමීටරයක් විතර පළලට තිබුණ විශාල
කඳවුරක්. මේ වගේ වටප්‍රමාණයක් ආරක්ෂා කරන්න 5000-10000 වත්  හමුදාවක් ඉන්න ඕන. නමුත් 1500ක විතර පිරිසක් හිටිය නිසා වටේට කම්බි වැට, බිම්බෝම්බ, මර උගුල් වගේ දේවල් අටවලා තමයි කඳවුරේ ආරක්ෂාව සහතික කරගෙන තිබුණේ.

ආරක්ෂක බංකර් තිබිලා තිබුණෙ ගොඩක් ඈතින්. ඒ නිසා Rekey Team (ඔත්තු බලන කණ්ඩායම) බංකර් අතර හිදැස්වලින් හමුදා කඳවුරු භූමියට ඇතුළු වෙලා තිබුණා. රෙකී වැඩේට ගොඩක් අය යන්නෙ නෑ. එක්කෙනා දෙන්නා වගේ තමයි යන්නෙ. කලින් මුලතිව් නගරයේ කඳවුර භුමිය ඇතුළත අතහැරපු ගොඩනැගිලි තැනින් තැන තිබිලා තිබුණා. දවල් කාලයේ පාලු ගොඩනැගිලිවල හැංගිලා ඉන්න රෙකී ටීම් රෑට එළියට බැහැලා ඇවිදලා කඳවුර ගැන විස්තර හොයාගෙන තිබුණා. කඳවුරට ජෙනරේටර්වලින් විදුලිය දුන්න නිසා ගොඩක් ස්ථාන රෑට අඳුරේ තිබිලා තියෙන්නේ. ඔත්තු බලන අයට ඒක පහසුවක් වෙලා තිබුණා. මේ අය කෑම කාලා තියෙන්නේ හමුදා මුළුතැන්ගෙවල් (කුස්සි)
වලින්මයි.

මාස ගාණක් තුළදී කඳවුරේ කාලතුවක්කු තියෙන තැන්, ආයුධ ගබඩාව, සන්නිවේදන මධ්‍යස්ථානය, ප්‍රතිකාර මධ්‍යස්ථාන, අණදෙන නිලධාරී ඉන්න තැන මුර රාජකාරි මාරුවෙන ස්ථාන පමණක් නෙමෙයි කඳවුරේ මුර රාජකාරි කරන සෙබළුන්ගේ නම් පවා හොයාගෙන තිබුණා. මේ කීපදෙනෙක් හමුදාවට අහුවෙලා මැරුනත් වැඩි පිරිසක් තොරතුරු අරගෙන නිරුපද්‍රිතව ආවා.

ඊටපස්සේ මුලතිව් කඳවුරේ ආකෘතියක් හදලා ප්‍රහාරය එල්ල කරන ආකාරය ගැන සැලසුම් සකස් කරලා තිබුණා. ඒ වගේම ප්‍රහාරයට කලින් පෙරහුරු පුහුණුවීම් කරලා තිබුණා. ප්‍රහාරයට 3000-4000ක විතර එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් සම්බන්ධ වෙලා තිබුණා. එක තැනකින් ඇතුළු වෙනවා වගේ රැවටීමක් කරලා යුද හමුදාවේ අවධානය එතැනට යොමු කරලා හිතන්න බැරි තැනකින් එකපාරටම ප්‍රහාර එල්ල කරගෙන කඳවුරු බිමට ඇතුළු වෙලා  තිබුණා. ඒ වෙලාවෙදි කඳවුරේ ආරක්ෂක ජාලය සම්පූර්ණයෙන් බිඳ වැටිලා 200, 100, 20-25, 3-4 දෙනා වගේම සමහර සෙබළු තනියමත් සටන් කරලා තමයි මියගිහින් තිබුණේ. ඒ නිසා හමුදා ප්‍රහාරවලින් එල්.ටී.ටී.ඊ. එකෙත් 500ට වැඩි පිරිසක් මියගිහින් තිබුණා. ඒ නිසා මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ වීරත්වය ගැන විස්තර කරලා විශේෂාංග මට ලියන්න සිදුවුණා.”

*යුද්ධයේ කතා හැරෙන්න වෙනත් ප්‍රවෘත්ති ලියන්න වුණේ නැතිද? ධරණී වෙනුවෙන් මා ඇසීමි. “1996 කාලෙම වුණ විශේෂම දේ තමයි පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ දරුණු කොලරා වසංගතයක් පැතිරිලා ගියා. බෙහෙත් හිඟය නිසා මේ තත්ත්වය තවත් දරුණු වුණා. මේ රෝගය කොහෙන් ආවද දන්නේ නැහැ. සමහරු කිව්වේ ඉන්දියාවෙන් ආවා කියලා. කොහොම වුණත් කොලරා වසංගතය නිසා සැලකිය යුතු මරණ ගාණක් වාර්තා වුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කඳවුරුවලට පැතිරිලා ගියා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයොත් මියගියා. ඒ නිසා
නායකතුමාගෙන් (ප්‍රභාකරන්) අපිට පණිවිඩයක් ලැබුණා කොලරා පැතිරීම පාලනය කරන්න ඊළාම් ප්‍රචාරණ ආයතනවලට වැඩ කරන්න කියලා. ඒ නිසා සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන්වලට වගේම එල්.ටී.ටී.ඊ. කඳවුරුවලට ගියා. කාන්තා කඳවුරුවලට මම තමයි වැඩිපුර ගියේ.”
ලබන සතියට; ශකිලා මුලතිව් පදිංචියට යයි.

සනත් ප්‍රියන්ත