මිනිස් අම්මා නැති සොවින් අලි දියණියගේ ළය පැලිලා
ආදරයට සීමා නැත. ලෝකයේ කොතැන වුව කාට වුව ආදරය දැනෙන්නට මහා
වෙලාවක් ගත නොවේ. අම්මාගේ ආදරය ඒ අතරින් සුවිශේෂය. මවගේ
සෙනෙහසේ අගය වැඩියෙන්ම දැනෙන්නේ එය අහිමි වූවෙකුටය. අයිෂා
එවැන්නියකි. ඇයට අම්මා පමණක් නොව දන්නා කියන කිසිවකුත් නැතිව
තනිවන්නට වූයේ ඉපදී දවස් ගණනකදීයි. කුසගින්න, බිය, තනිකම ආදී සියල්ල
මැද ඈ අසරණව තනි වූවාය. 1974 වසරේ දිනයක උතුරු කෙන්යා ප්‍රදේශයක වූ
අතහැර දමන ළිඳකට ඇදවැටීම ඇගේ ඉරණම වෙනස් කළේය. එහෙත්
වාසනාවකට ඉන් ගොඩට ගත් අයිෂාව ෂෙල්ඩ්රික් අලි නිවහන වෙත යොමු
කෙරිණ. ඩැෆ්නි සහ ඩේවිඩ් ෂෙල්ඩ්රික් යුවල මෙම ස්ථානය ආරම්භ කළේම
අනාථ වූ අසරණ වන අලි ඇතුන් වෙනුවෙනි. පුංචි අයිෂා එතැනට පැමිණි විට
ඔවුන් මුහුණදුන්නේ දැඩි ගැටලුවකටයි. ඒ බව ඩැෆ්නි ෂෙල්ඩ්රික් සිය 'Love, life
and elephants' කෘතියේ ද සඳහන් කර තිබිණ.
“ඈ තමයි මම දැකපු පුංචිම අලි පැටවා. ළදරු සමයේ පවතින මෘදු
පටලයෙන් ඇගේ සම ඒ වනවිටත් ආවරණය වෙලා තිබුණා. හොඬ රෝස
පාටයි. පාදවල නිය ලා කහ පැහැයෙන් යුතු වුණා. ඒවා ඉතාම අලුත්. මගේ
හදවත ගැහෙන්න ගත්තා. ඒ, මේ තරම් පුංචි පැටවකු සමඟ කුමක් කරනවද
කියලා හිතාගන්න බැරිවුණ නිසා. එයාගෙ කන්පෙති මල් පෙත්තක් තරම්
සිනිඳුයි. රෝස පැහැතියි. මේ බබාට වයස සති තුනක්වත් නැති බව මට
තේරුණා. මං ඇගේ හිස හිමිහිට අතගෑවා. ඈ සිටියේ සම්පූර්ණයෙන්ම කිරි බී
වැඩෙන සමයේ. ඒ වගේ කෙනෙක් ජීවත් කරවීම පහසු නැති බවයි මගේ
සැමියාගේ මතය වුණේ. එහෙත් මගේ හෘද සාක්ෂිය ඊට එකඟ වුණේ නෑ.
උත්සාහ කිරීමකින් තොරව ඇයට මැරෙන්නට හැර බලා සිටීම කරන්න බෑ.”
ඒ සමඟ අයිෂා වෙනුවෙන් සටන ඇරඹිණ. ඇයට ගැළපෙන කිරි වර්ගයක් සොයා
ගැනීම පළමුවැන්නයි. ඒ වනවිටත් එම වයසේ සිටින අලි පැටවකු සඳහා සුදුසු
කිරි ආහාර අතිරේකයක් ගැන ෂෙල්ඩ්රික් අලි නිවහනේ කිසිවකුට අවබෝධයක්
නොතිබිණ. අවසානයේ අයිෂාට ගැළපෙන කිරිපිටි වර්ගයක් සොයාගැනීමට ඩැෆ්නි
සමත් වූවාය. ඊට අමතරව ඇය අයිෂා සමඟම ගැවසුණාය. අයිෂා සහ ඩැෆ්නි
අතර ඇති වූයේ මවක සහ දරුවකු අතර පවතින ආකාරයේ බැඳීමකි. කිරි
පෙවීමට අමතරව සෙල්ලම ද දෙදෙනා එකටය. අයිෂාට අවැසි වූයේ ඩැෆ්නි
සමඟම කාලය ගත කිරීමයි. මවගේ වියෝව නොදැනී යන මට්ටමට ඈ ඩැෆ්නිට
ළංවූවාය. ඒ අතරට වෙනත් කිසිවකු පැමිණියේ නැත. අයිෂා වැලි සෙල්ලම් ද,
මඩ සෙල්ලම් ද සියල්ල කළේ තමා රැක බලාගත් තැනැත්තිය සමඟිනි. දකින
දකින කෙනාගේ හිත සතුටු කරවන ආකාරයේ ආදරයක්, බැඳීමක් ඔවුන් අතර
විය. උදෑසන අවදි වූ වේලාවේ සිට නින්දට යන තෙක්ම දෙන්නා එකටමය.
අසීරු සමය ක්‍රමයෙන් ගෙවා දැමූ අයිෂා ජීවිතය පවත්වාගෙන යා හැකි මට්ටමට
ළඟාවෙමින් තිබිණ. අවැසි වූ පෝෂණය ද ආදරය ද ඇයට නොඅඩුව හිමි විය.
මේ අතර ඩැෆ්නිගේ දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතු සූදානම්ව තිබිණ. අලි
දියණිය තාවකාලිකව අත හැර සිය දියණියගේ විවාහ මංගල්‍යය සඳහා සහභාගී
වීමට ඩැෆ්නි පිටත්ව ගියාය. අයිෂාගේ භාරකාර මව ලෙස වෙනත් කෙනෙකු
ආදේශ කෙරිණ. එහෙත් ඊට අයිෂා මනාප නොවූවාය. ඇයට ඩැෆ්නිගේ සමුගැනීම
දරාගත නොහැකි විය. දින කිහිපයකින් ඈ යළි පැමිණෙන බව පුංචි අයිෂා දැන
සිටියේ නැත. ඇයගේ ලෝකයම වූයේ ඩැෆ්නි ය. අයිෂාගේ පවුලේ සිටියේ ඇයත්
ඩැෆ්නිත් පමණි. වෙනත් කිසිවකු සමඟ ජීවත්වන අයුරු ඇයට නොවැටහිණ. ඒ
පීඩනය දරාගත නොහැකිව අයිෂා දැඩි සේ ගිලන් වූවාය. තමාගේ මව වැනි වූ
ඩැෆ්නි යළි එනතෙක් හෝ ජීවත්වීමට ඇයට හැකි වූයේ නැත. යසට වැඩෙමින්
සිටි අයිෂා යන්නම ගියාය. ඒ ඩැෆ්නිගේ සිතේ තදබල වේදනාවක් ඉතිරි කරමිනි.
අයිෂාගේ වියෝවෙන් ඩැෆ්නි පාඩමක් ඉගෙනගත්තාය. ඒ, අලින්ගේ ඇතැම් මනෝ
විද්‍යාත්මක ලක්ෂණ මිනිසුන්ට සමාන බවයි. අනාථ පැටවකු රැක බලාගැනීමේදී
තනි පුද්ගලයකුට වඩා පවුලක් ලෙස කිහිපදෙනෙකු ඊට දායක විය යුතු බව
ඇයට වැටහිණි. ඉතා කෙටි කලකින් ජීවිතය හැර ගියත් අයිෂා සහ ඩැෆ්නි අතර
බැඳීම අලි මිනිස් සොඳුරු බැඳීමේ තරම ගැන අදටත් සාක්ෂි සපයයි.
රෂ්නිකා ලියනගේ