1000ක් ඉල්ලුවේ 2015 දැන් ඒකත් මදි – වතුකම්කරුවෝ
රුපියල් දහසක වැටුපක් තමන් ඉල්ලා සිටියේ 2015 වසරේදී බවත් රටේ පවතින ජීවන වියදම අනුව මේ වන විට එයද කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් වතු කම්කරුවෝ පවසති.
අධික ජීවන වියදම හමුවේ වුවද රු.දහසක දෛනික වැටුපක් ලබාදීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් වතු කම්කරුවන් රජයට සිය ස්තූතිය පුද කරන නමුදු දිනෙන් දින ඉහළ යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය මිල හමුවේ රු.1000ක වැටුප ප්‍රමාණවත් නොවන බව කම්කරුවෝ පෙන්වා දෙති.
රු.1000ක වැටුප සමග තමන් වෙත මෙතෙක් ලබාදුන් සෞඛ්‍ය පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම්ද තවදුරටත් වතු සමාගම් විසින් ලබාදිය යුතු බව වතු කම්කරුවන් පෙන්වා දෙති.
දැනටමත් ඇතැම් තේ වතු සමාගම් විසින් තේ වතුවල වැඩකරන කම්කරුවන්ට මාසිකව නොමිලේ ලබාදෙන නිමි තේ කිලෝව ලබාදීම නතර කර ඇති අතර තමන් දුක් මහන්සි වී තම දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී ඇතත්, එම දරුවන්ටද මෙතෙක් රජයේ රැකියාවක් ලැබී නොමැති බවත් වතු කම්කරුවෝ පෙන්වා දෙයි.
වසර ගණනාවක් තමන් තේ වතුවලත් දුක් වින්ද බැවින් තම දරුවන්ට තේ වත්තේ දුක් විදීමට ඉඩ ලබානොදෙන බව රු. 1000 වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවෙක් සඳහන් කළේය. වතු වෘත්තීය සමිති සමග මේ වන විට අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමෙන් ඉවත් වන බවට සහ එම ගිවිසුම අනුව වතු කම්කරුවන්ට මෙතෙක් ලබාදුන් සනීපාරක්ෂක කටයුතු, යටිතල පහසුකම් සහ සුබසාධන කටයුතු නොදෙන බවට වතු සංගමය ප්‍රකාශ කරන බවද මෙහිදී අනාවරණය විය.
සිතාර ඉරාෂ් – වටවල