‘ටීචර් අපේ අම්මා ගිය මාසේ නැතිවුණා’
“සර්ට මාව අඳුරගන්න පුළුවන්ද?”
“අනේ බෑනේ පුතේ.”
“ඇයි සර් අපිට ඉගැන්නුවේ.”
“අනේ පුතේ මගෙන් ගොඩාක් දරුවෝ ඉගෙනගන තියෙනවනේ.”
“මං අටේ පන්තියේ ඉන්නැද්දි සර් තමයි අපේ පන්තිභාර හිටියේ.”
“මං කොහොමත් අටේ පන්තිභාර හිටපු නිසා එහෙම කිව්වට මතකයක් නෑ.”
“සර්ට මතකද එක සැරයක් සර්ගේ අටේ පන්තියේ ළමයෙක් ඉස්කෝලෙට ලයිට් පත්තුවෙන ඔරලෝසුවක් ගෙනාවා. ඒක ඒ දවස්වල ලොකු දෙයක්. ඒක ඉන්ටවල් එකේදි හොරකම් කරලා තිබුණා. පස්සේ සර් මුළු පන්තියේම ළමයින්ට පෝලිමට ඉන්න කියලා ඇස් දෙක තදින් පියාගන්න කිව්වා. එහෙම කියලා සර්ම පන්තියේ හැම ළමයගේම කලිසම් සාක්කු ටික බැලුවා. එදා සර් ඒ ඔරලෝසුව ගත්තේ මගේ සාක්කුවක තිබිලා. මං තමයි ඒක හොරකම් කළේ. දැන්වත් කියන්න සර්ට මාව මතකද?”
“මට ඒ සිද්ධිය මතකයි. ඒත් ඒක ගත්තේ පුතා කියලා මං දන්නේ අදයි.”
“එහෙම වෙන්නේ කොහොමද සර්. එදා ඒ ඔරලෝසුව මගේ සාක්කුවෙන් ගත්තෙත් සර්නේ.”
“ඔව් ඒ මං තමයි. ඒත් එදා මං ඔයාලගේ සාක්කු බැලුවෙත් මගේ ඇස් පියාගෙන.”
“ඒත් සර් එහෙම ඇස් පියාගෙන හිටියේ මොකද? අනික මං ඒක හොරකම් කළේ කියලා අනෙක් ළමයිට කිව්වෙත් නෑ. මට එදා කිසිම දඬුවමක් දුන්නෙත් නෑ.”
“මම මගේ පන්තියේ ළමයෙක් හොරෙක් විදියට දකින්න ආස වුණේ නෑ. ඒ වගේම පන්තියේ අනෙක් ළමයිගේ ඉස්සරහා ඒ ළමයා හොරෙක් කරන්න මං ආස වුණේත් නෑ. නිකන් හරි මං එහෙම කළා නම් එදා ඉඳන් ඒ ළමයව පන්තියේ කොන්වෙන්න තිබුණා.”
“අනේ සර්, සර් පුදුම මනුස්සයෙක්නේ.”
“නෑ පුතා, එතැන පුදුම වෙන්න දෙයක් නෑ. ඒ තමයි ගුරුවරයා.”
මේ පුංචි කතාව කියලම ලිපිය පටන්ගන්න හිතුවේ විශේෂ හේතුවක් නිසා. ගුරුවරයා තරුවක් නම් ඒ තරුවේ ලොකුම ආසාව තමයි තමන්ගෙන් ඉගෙනගන්න දරුවන් ඉරක් වගේ බැබළෙනවා දකින එක. අන්න ඒ නිසාමයි වැටුපක් හිමිවෙන වෘත්තියක නිරත වෙමින් හිටියත් වෙනත් වෘත්තිකයෙකු නොලබන විදියේ සමාජ ගෞරවයක් හා වන්දනීයත්වයක් නිතැතින්ම ඔවුන්ට හිමිවෙන්නේ. ඉතින් ඔක්තෝබර් මාසෙ 06 වැනිදාට යෙදෙන ‘ලෝක ගුරු දිනය’ නිමිති කරගෙන මෙවර ‘ධරණී’ කවරය සරසන්න අපි ආරාධනා කළෙත් එවැනි ආදරණීය ගුරුවරියකට. ඇය තමයි ලෝචනා ඉසුරින්දි.
“මගේ ගෙවල් රත්නපුර, කලවානේ. ඒක නිසා ර/කලවාන ජාතික පාසලේ තමයි ඉගෙනගත්තේ. ඒ කාලේ නම් සෑහෙන්න දඟ ළමයෙක්. හැබැයි අධ්‍යාපනයට මුල්තැන දුන්නා. මොකද මගේ එකම හීනය වෙලා තිබුණේ ගුරුවරියක් වෙන්න. ඒක තමයි නිතරම ඔලුවේ වැඩ කළේ. උසස් පෙළ කළේ කලා විෂය ධාරාවෙන්. හොඳ ප්‍රතිඵලයක් අරගෙන මහරගම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට ඇතුළත් වුණා. මේ වෙද්දි මං ර/නිවි/පනහැටගල ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක් විදියට සේවය කරනවා.”
ලෝචනා ගුරු වෘත්තියට ඇවිත් මේ වෙනකොටත් අවුරුදු දෙකහමාරක් වෙනවලු. ඒ කාලය තුළ ඇය ගුරුවරියක් විදියට දරු දැරියන්ගේ ඇස් පාදන්නට අපමණ කැපවුණු බවකුයි අපිත් එක්ක කිව්වේ. ඒ බව අපිටත් තේරුම් ගියේ ඇය සේවය කරන පාසල දැකලා. මොකද ඇය මේ වෙනකොටත් සේවය කරන ර/නිවි/පනහැටගල ප්‍රාථමික විද්‍යාලය කියන්නේ ලංකාවේ තියෙන දුෂ්කරම පාසල්වලින් එකක්. කඳුගැටයක් උඩ තියෙන පාසලට කිලෝමීටර් ගාණක් වනලැහැබ දිගේ යන්න වෙන්නේ තනියම නෙවෙයි. කූඩැල්ලොත් එක්කමයි.
“ඒක කොච්චර දුෂ්කර පාසලක් වුණත් මං ඒ පාසලේ සේවය කරන්නේ හරිම ආසාවෙන්. ඒ මොකද මං මේ වෘත්තියට සෑහෙන්න ආදරෙයි. මං හිතන විදියට ගුරු වෘත්තිය කියන්නේ හරි පින්වන්ත රැකියාවක්. ‘අම්මා’ කියන ඒ වචනයට වෘත්තිමය වශයෙන් සමාන කරන්න පුළුවන් ලෝකේ තියෙන එකම රැකියාව තමයි මේ ගුරු වෘත්තිය. හැබැයි සමහරු හිතනවා ගුරුවරයෙක් පාසලේ ඉන්න කාලය සහ ඔවුන්ට ලැබෙන නිවාඩු නිසා මේක හරි ලේසි රැකියාවක් කියලා. එහෙම නෑ. මේක අමාරු වැඩක්. මොකද අපි අතේ තියෙන්නේ අපෙන් ඉගෙනගන්න එන දරුවන්ගේ අනාගතය. ඒ කියන්නේ මේ රටේ අනාගතය. සමහර වෙලාවට දරුවන්ගේ දෙමව්පියන්ට වැඩිය වගකීමක් ගුරුවරු විදියට අපිට තියෙනවා.”
වගකීම් බොහෝමයක් එක්ක කාලේ ගතකළත් ගුරුවරියක් විදියට දරුවොත් එක්ක ගතකරන කාලය හරි සුන්දර අත්දැකීමක් කියලයි ලෝචනා ටීචර් කිව්වේ. ඒ මානසික සුවය වචන කරන්න හෝ ඒක වෙන රැකියාවකින් ලබන්න බැරි බවත් ඇය අපිට කිව්වා.
“වෙනත් රැකියාවල් කරන අය නිතරම බලාගෙන ඉන්නේ සිකුරාදා වෙනකල්. ඒ නිවාඩුවක් ගන්න. ඒත් මං බලාගෙන ඉන්නේ සඳුදා වෙනකල්. ඒ ඉස්කෝලෙට යන්න. ඒ වගේ හරි සමීප බැඳීමක් මමයි ළමයින්ගෙයි අතර මේ වෙද්දි ඇතිවෙලා තියෙනවා. අනික තමයි මං කවදාවත්ම දරුවෙක් පොතපත අස්සේ හිරකරලා තියන්නේ නෑ. ඒක දරුවෙකුට මානසික වදයක්. ඒ නිසා උගන්වන අතරේ එයාලා එක්ක පොඩි පොඩි සෙල්ලම් එහෙමත් කරනවා.”
ගුරු වෘත්තියට ඇවිත් තවමත් ගතවෙලා තියෙන්නේ කෙටි කාලයක් වුණාට ඒ කාලයේ ලෝචනාට අමතක නොවෙන සිදුවීම්වලටත් මුහුණදෙන්න වෙලා තියනවලු. ඒ අතරින් ඇය අදටත් සංවේදී කරන එක සිදුවීමක් අපි එක්ක කිව්වේ මේ විදියට.
“එක සැරයක් පොඩි පිරිමි ළමයෙක් මං ළඟට ඇවිත් මගේ මූණ දිහා බලාගෙන ඉඳලා එකපාරම කිව්වා ‘ටීචර් ඔයා අපේ අම්මා වගේමයි’ කියලා. මං කිව්වා ‘අනේ එහෙමද පුතේ, එහෙනම් ඔයා අද ගෙදර ගියාම මං අම්මව මතක් කළා කියන්න’ කියලා. ඒ වෙලාවේ ඒ දරුවා මට කිව්වා ‘ටීචර් අපේ අම්මා ගිය මාසේ නැතිවුණා’ කියලා. මට ඒ වෙලාවේ ඒක දරාගන්න බැරිවුණා. අදටත් ඒ සිදුවීම මතක්වෙලා මගේ ඇස්වල කඳුළු පිරෙනවා. එහෙම දේවලුත් මේ ගුරු වෘත්තියේ තියෙනවා.”
*ලෝචනා ටීචර් ළමයින්ට සැරයිද?
“අනේ නෑ. ඒ වුණාට බොරුවට සැරවෙන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් සමහර දරුවෝ හදාගන්න බෑ. පොඩ්ඩක් සැර වුණාට කවදාවත් ළමයෙක්ට ගහලා නම් නෑ.”
බොහෝමයක් ගුරුවරු දරුවෙක් යහමගට ගන්න පුළුවන් පහසුම ක්‍රමය වේවැල කියලා හිතාන හිටියට මොකද ලෝචනා ටීචර් නම් කිව්වේ දරුවෙක් යහමගට ගන්න පුළුවන් පහසුම ක්‍රමය ‘ආදරය’ කියලා. ඒ ගැන ඇය මේ විදියට පැහැදිලි කිරීමකුත් කළා.
“දරුවෙක්ට ආදරෙන් දෙයක් කිව්වම ඒ අය කියන ඕනම දෙයක් කරනවා. කොයිතරම් ලොකු වුණත් අපි වුණත් ආසයිනේ අපිට කෙනෙක් ආදරෙන් කතා කරනවා නම්. කවුරුත් එහෙමයි. හැබැයි අවශ්‍ය තැනදි ටිකක් සැර වුණාට ගැටලුවක් නෑ.”
බොහෝමයක් පාසල්වල ළමයි දෙපිරිසක් ඉන්නවා. එක් පිරිසක් වැඩ පුළුවන් ළමයි. අනෙක් පිරිස වැඩ බැරි ළමයි. එතැනින් වැඩ පුළුවන් ළමයි තමයි පන්තියේ ඉදිරිපස ඉන්නේ. කවදත් වැඩ බැරි ළමයිට උරුම වුණේ පන්ති කාමරේ පසුපස පෝලිම්. පාසල්වල අදටත් ඇති මේ බෙදිල්ල ගැන ලෝචනා ටීචර්ගෙන් ඇහුවම ඇය ඒ ගැන හරි අපූරු පැහැදිලි කිරීමක් කළා.
“මොන පාසලේ මොන පන්තියේ එහෙම බෙදිලි තිබුණත් මගේ පාසලේ මගේ පන්තියේ නම් එහෙම බෙදිල්ලක් නෑ. ඒ ගැන මං මෙහෙම කියන්නම්. මං තේරුම්ගත්ත එක දෙයක් තියෙනවා. ඒ ලෝකේ හැම ළමයම මොකක්ම හරි දෙයකට දක්ෂයි. ගණන් හදන්න බැරි ළමයෙක්ට හොඳට සිංදු කියන හැකියාව තියෙන්න පුළුවන්. අකුරු ලියන්න බැරි ළමයෙකුට ලස්සනට චිත්‍ර අඳින හැකියාව පිහිටන්න පුළුවන්. ඒ වගේ හැම ළමයම මොකක්ම හරි දෙයකට දක්ෂයි. ගුරුවරුන්ට තමයි පුළුවන් ඒක හොයාගන්න. මං හිතන්නේ යම් පාසලක වැඩ පුළුවන් ළමයි, වැඩ බැරි ළමයි විදියට එකම පන්තියේ ළමයි දෙකොටසකට බෙදලා තියෙනවා නම් ඒක ගුරුවරයගේ තියෙන දුර්වලකමක්.”
පසුගියදා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. ඉදිරියේදි ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වෙන්න නියමිතයි. විභාග කියන්නේ මේ වෙද්දි දරුවන් අතර ඇති තරඟයක්. ඒ තරඟය ජයගන්න දරුවෝ වගේම පරාජය වෙන දරුවොත් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. මේ විභාගයකින් දරුවෙකුගේ අනාගතේ තීරණය කරන්න පුළුවන්ද? ලෝචනා ටීචර් ඒකට මෙහෙම උත්තරයක් දුන්නා.
“විභාගයක් කියන්නේ අවුරුදු ගණනක් පුරාවට ඉගෙනගන්න දෙයක් පැය දෙක තුනක් ඇතුළත මතක් කරන එක මිනුම් දණ්ඩක්. ඒකෙන් දරුවෙකුගේ අනාගතය තීරණය කරන්න බෑ. විභාග ෆේල් වුණත් ජීවිතේ ගොඩදාගත්ත මිනිස්සු ඕනතරම් ලෝකෙ ඉන්නවා. විභාග ෆේල් අයට දැන් යන්න ඕන තරම් පාරවල් තියෙනවා. මං නම් කියන්නේ විභාගයක් ෆේල් කියලා කිසිම දරුවෙක් ජීවිතය ෆේල් කරගන්න උවමනා නෑ.”
වෘත්තියෙන් ගුරුවරියක් වුණාට මොකද ලෝචනා කියන්නේ නිළියක්. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන ‘ආයාචනා’ ටෙලිනාට්‍යයෙන් ඇයව දකින්න පුළුවන්.
“මං මීට අවුරුදු කීපයකට කලින් අපේ රටේ ප්‍රසිද්ධ ආයතනයක අවුරුදු කුමරි තරඟයකට ඉදිරිපත්වෙලා ජයග්‍රහණය කළා. ඒ වගේම රූපවාහිනී නාලිකාවන් කීපයකම අවුරුදු කුමරිය තරඟ සඳහා ඉදිරිපත් වුණා. මට රංගනයට අවතීර්ණ වෙන්න අවස්ථාව ලැබුණේ එතැනින්. මේ වෙද්දි ගුරු වෘත්තියට අමතරව නිළියක් විදියටත් වැඩකටයුතු කරගෙන යනවා.”
ලෝචනා රඟපෑ ටෙලිනාට්‍ය අතරට දෙවෙනි ඉනිම, බයෝ, ඉරගිනි මද්දහන, සිහින ගෙනන කුමාරි, මිහිකත හුස්ම, එන්කවුන්ටර්, මන්දාරම් කතාව, අකුරට යන වෙලාවේ හා නොනොගතය නිමවිය වගේ ටෙලිනාට්‍යයත් ඇතුළත්. ඒ වගේම ඉදිරියේද රිදී තිරයෙන් දකින්න පුළුවන් කියන සුබ ආරංචියත් ඇය අපිට කිව්වා.
“මං වෘත්තිමය වශයෙන් ගුරුවරියක්. ඒ තමයි අංක එක. ඒ අතරතුරයි රඟපාන වැඩ කරන්නේ. ඊටත් අමතරව නිරූපණ ශිල්පිනියක් විදියටත් වැඩ කරනවා. අපි හැමෝටම ලැබිලා තියෙන්නේ හරි කෙටි ජීවිතයක්. ඉතින් මගේ ආසාව තමයි ඒ අපට ලැබිලා තියෙන කෙටි කාලෙදි මම ආස කරන හැමදේම කරන එක. හැබැයි මොනවා කළත් මම ගුරුවරියක් කියන එක අමතක කරන්නේ නෑ. ඒකට කිසිම හානියක් නොවෙන්නයි අනෙක් දේවල් කරන්නේ. ටෙලිනාට්‍යයක් බාරගත්තත් මට ලැබෙන චරිතය ගැන මං සෑහෙන්න හිතනවා. පාසලේ විදුහල්පති රෝහණ තිලකරත්න සර් ඇතුළු අනෙක් ගුරුවරු හැමෝමත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.”
ලෝචනා එහෙම කිව්වේ පාසල් ගුරුවරියකට රංගනය වගේ වෘත්තියක් ගැළපෙනවද කියලා ඇහුවම. ඒ අතරේ තමයි එතෙක් වෙලාවක් නොකියා හිටපු කතාවකුත් ඇය කිව්වේ.
“මං වැවිලිකාරිනියක් විදියටත් කටයුතු කරනවා. මගේ ඉඩමක වවනවා. කේක් ව්‍යාපාරයකුත් කරගන යනවා. එතැනින් ගියාම පතල් කර්මාන්තයක් පවත්වගෙන යනවා. වැඩ කරන්න පුළුවන් කාලේ මම උපරිම වැඩ කරනවා සහ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒත් ඉතින් මොනවා කෙරුවත් මූලිකත්වය දෙන්නේ ගුරු වෘත්තියට තමයි.”
මුලදි කියපු විදිහට ලෝචනාගේ ගම් පළාත රත්නපුර කලවාන. අම්මා, තාත්තා හැරුනම ඇයට ඉන්නේ අක්කා කෙනෙක්ලු. ඔවුන් හැරුනම 28 හැවිරිදි ලෝචනාගේ ලොකුම ශක්තිය චමල් කනිෂ්ක කියලයි ලෝචනා කිව්වේ. ඔහු වෙන කවුරුත් නෙවෙයි ඇගේ දයාබර සැමියා. ඉතින් ඔවුන් හැමෝම ආදරෙන් මතක් කරපු ලෝචනා කතාබහ අවසන් කරමින් ‘ධරණී’ කියවන කාන්තාවන්ට යමක් කියන්නත් අමතක කළේ නෑ.
“මම අද මේ වගේ තැනක ඉන්නේ සුවපහසු මාවතක ඇවිදගෙන ඇවිත් නෙවෙයි. හැමදේම ලබාගන්න ගොඩාක් දුක් වින්දා, ගොඩාක් කැපකිරීම් කළා. ජීවිතේ නිදි නැති රැයවල්, එපා වුණු වෙලාවල් ඕන තරම් තිබුණා. ඒත් ‘මං ශක්තිමත්’ කියන දේ මං විශ්වාස කළා. අද ඒවයේ ප්‍රතිඵල මං අත්දකිනවා. ඉතින් මම ‘ධරණී’ කියවන හැමෝටම කියන්නෙත් කාගෙන්වත් යැපෙන්නෙක් නොවී ඔබත් මනසින් ශක්තිමත් පුද්ගලයෙක් වෙලා ඔබ විසින් ඔබව ගොඩනඟාගන්න. ඔබ මාව විශ්වාස කරන්න ඕන නෑ. ඒත් ඔබ ඔබවම විශ්වාස කරන්න. ඒ ප්‍රමාණවත්.”
රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – චමත් ඒකනායක
මේකප් – Salon Sohani – කලවාන (කුමාරි විජේරත්න)