නවතම ප්‍රවෘත්ති

එළුමස් කාලා ඇති වුණාම ගමේ කුකුළන්ට එළුවො හුවමාරු කරගත්ත වෙලාවලුත් තියෙනවා

මුලතිව් උපන් සදාෂිවම් ශකිලා පාසල් වියේදී අධ්‍යාපනය, ක්‍රීඩා, කලාව ආදී දක්ෂතාවයන්ගෙන් පිරිපුන් සිසුවියක වූවාය. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා සා.පෙළ විභාගය උසස් ලෙස සමත්වන ඇය උසස් පෙළ හදාරමින් සිටියදී පියාට පිළිකා රෝගය වැළඳීම හේතුවෙන් උසස් අධ්‍යාපනය අත්හැර රැකියාවකට යන්නීය. ඒ අතර යුද්ධයට තාවකාලික නැවතීමක් තබමින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරේ. අද එතැන් සිට…

“ඉන්දු ලංකා ගිවිසුම කියලා ගිවිසුමක් අත්සන් කළා කියලා අපි දැනගත්තේ මාධ්‍යයෙන්. ඒ වෙද්දි දෙමල අය හිතාගෙන හිටියේ ඉන්දියාව කියන්නේ දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයෝ කියලා. ගිවිසුමෙන් පස්සේ ඉන්දියානු හමුදාව ලංකාවට එනවා කිව්වම ඊටත් වඩා සතුටු වුණා. ගොඩක් අය හිතුවේ සිංහල හමුදාව ඉවත්වෙලා ඉන්දියානු හමුදාව ප්‍රදේශයේ ආරක්ෂාව භාරගනී කියලා. ඒ වගේම අපි හිතුවෙ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට දෙමළ කතා කරන තමිල්නාඩුවේ ඉන්න හමුදා සාමාජිකයෝ ඒවි කියලා.”

ඉන්දු ලංකා ගිවිසුමට දකුණ තුළ ප්‍රබල විරෝධයක් පැවති අතර විරෝධය පෑම සඳහා පොදු දේපල ගිනි තබා විනාශ කෙරින. එමෙන්ම ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම සඳහා ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාට නාවික හමුදා පෙරෙට්ටුවේදී සෙබළෙකු විසින් අත තිබූ රයිෆලයෙන් පහර දෙනු ලැබිණ. මේ සියලු කාරණා මත දෙමළ ජනතාව විශ්වාස කරනු ලැබුවේ ඉන්දු ලංකා ගිවිසුම යනු දෙමළ ජනතාවට ඉතාමත් වාසිදායක ගිවිසුමක් ලෙසයි. කෙසේ නමුත් ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මුල්ම ඉන්දියානු භට පිරිස ගුවන් මගින් ශ්‍රී ලංකා භූමියට ඇතුළු වූහ. ඉන්දියානු සාම සාධක හමුදාව (Indian Peace Keeping Force) කෙටියෙන් හඳුන්වනු ලැබුවේ IPKF ලෙසයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට සමාන රාජකාරියකට ඉන්දියානු හමුදාව පැමිණියද සාම සාධක හමුදාවක තිබිය යුතු ගති ලක්ෂණ, විනය තිබුණේ නැත. එනිසා දකුණේ ඇතැම් ජනතාව උපහාසාත්මකව ඉන්දියානු හමුදාව හඳුන්වන ලද්දේ වඳුරු හමුදාව ලෙසයි. කෙසේ නමුත් ඉන්දියානු හමුදා ආගමනයෙන් පසුව ඇතිවූ තත්ත්වය විස්තර කළ ශකිලා;

“මාධ්‍යයෙන් කියපු විදියට ගිවිසුම අත්සන් කරලා ටික දවසක් යද්දි ඉන්දියානු හමුදාව මුලතිව්වලට ආවා. අපි එතකල් දැකලා තිබුණේ යුද හමුදාවේ සාමාන්‍ය භට කණ්ඩායම් ඒ වගේම සාමාන්‍ය වාහන කීපයක්. ඒත් ඉන්දියානු හමුදාව ආවේ එහෙම නෙමෙයි. එයාලා විශාල සංඛ්‍යාවක් ආවා. දහස් ගණනක් වගේ ආවා. යුද ටැංකි, වාහන සිය ගණනක් වගේම හෙලිකොප්ටරුත් තිබුණා. මම හිතන විදියට එයාලට භූමිය ගැන දැනුමක් තිබුණෙ නැහැ. සිතියම් අරගෙන ඇවිත් ඒක බල බලා තමයි කඳවුරු හැදුවේ. අපේ ගෙදරට පිටිපස්සේ මුහුද වෙරළට කිට්ටුව විශාල කඳවුරක් ඉදිකළා. ඉන්දියානු හමුදාව ආපු කාලයේදී දෙමළ ජනතාව එක්ක සුහදව තමයි හිටියේ. ඒ අය එද්දි කෑමට එළුවො එහෙම අරගෙන ආවේ. නැව් පුරවලා ගේන එළුවෝ වාහනවල පටවගෙන කඳවුරුවලට අරගෙන එනවා. ඊටපස්සේ රංචු පිටින් එළුවෝ බැඳගෙන ඉඳලා කෑමට ගන්නවා. එළුමස් කාලා ඇතිවෙලා තියෙන්නෙ කියලා ගමේ අයගෙ කුකුළන්ට එළුවො හුවමාරු කරගත්ත වෙලාවලුත් තියෙනවා. ඒ අයට මිදි, ඇපල් වගේ පලතුරු කෑමට ගොඩක් එනවා. ඉන්දියාවේ ඇපල්, මිදි වගේ දේවල මිල ගොඩක් අඩු නිසා ඉන්දියානු හමුදාවට ලොකු අගයක් නැහැ. පාරේ යන ළමයින්ට ඇපල් මිදි වගේ දේවල් දෙනවා. ඔය විදියට සුහදව තමයි හිටියේ.”

උතුරේ ජනතාවට ඉන්දියානු සාම සාධක හමුදාව සාමාන්‍ය තත්ත්වයක් වුවද ගිවිසුම්ගතව ඔවුන් පැමිණි රාජකාරිය බැරෑරුම් කාරණාවක් විය. ගිවිසුමට අනුව සියලුම දෙමළ සන්නද්ධ කණ්ඩායම් ඔවුන් සතු ආයුද ඉන්දියානු හමුදාව මාර්ගයෙන් රජයට භාර දී නිරායුද විය යුතුය. ඒ වනවිට උතුරේ ක්‍රියාත්මක සෙසු සන්නද්ධ කණ්ඩායම් සිය ආයුද භාරදෙනු ලැබූවද ප්‍රභාකරන් නායක්තවය දැරූ එල්.ටී.ටී.ඊ. ආයුද භාරදීම දිගින් දිගට මග හැරියෝය. එවකට ජනාධිපති J.R. ජයවර්ධන මහතා විසින් එල්.ටී.ටී.ඊ. (කොටි) සතුව තිබෙන අවි ආයුද භාරගෙන නිරායුද කරන ලෙස ගිවිසුමේ කොටස්කරුවෙකු වන ඉන්දියාව වෙත බල කළේය. ගිවිසුමට අනුව ක්‍රියාත්මක වීමේදී ඉන්දියානු හමුදාව සහ එල්.ටී.ටී.ඊ.ය අතර සුළු සුළු ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවූහ. එහි උච්ඡතම අවස්ථාව වූයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු මෙන්ම කොටි සාමාජිකයෙකු වූ තිලීපන් යන අය 1987 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කළ මාරාන්තික උපවාසයයි. ඉන්දියානු හමුදාවට විරුද්ධව නිරාහාරව උපවාසයක් ආරම්භ කළ තිලීපන් උපවාසයෙන් දින 12කට පසුව එනම් 1987 සැප්තැම්බර් 26 දින මරණයට පත්විය. එයින් අනතුරුව ඉන්දියානු හමුදාව සහ කොටි සංවිධානය අතර තිබූ සියලු සබඳකම් නැවතී ගියේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ දෙපාර්ශවය අතර යුද්ධයකට පාර කැපීමයි. එම තත්ත්වය මත මුලතිව් ප්‍රදේශය තුළ සිදුවූ දේ විස්තර කරන ශකිලා;

“අපි මාධයයෙන් දැනගත්තා ඉන්දියානු හමුදාවයි සංවිධානයයි (කොටි) අතර ගැටුම්කාරී තත්ත්වයක් උදාවෙලා කියලා. ඒත් එක්ක මුලතිව්වල තත්ත්වයත් වෙනස් වුණා. නිදහසේ ගමන්බිමන් ගිය ඉන්දියන් හමුදාව බංකර් හදාගෙන බොහොම ආරක්ෂාකාරී විදියට තමයි හිටියේ. හැමතැනම පරීක්ෂා කිරීම පටන්ගත්තා. අපි මුලදී හිතුවට දෙමළ කතා කරන තමිල්නාඩු හමුදා සෙබළු ඒවි කියලා ආවේ එක එක ප්‍රාන්තවල විවිධ භාෂා කතා කරන අය. හින්දි, මලයාලම්, ගුර්තා, කේරළ ව​ගේ ප්‍රාන්තවල අය ආවා. වැඩිපුරම හිටියේ ෂික් ජාතිකයෝ. තලප්පාවක් බැඳගෙන හිටපු නිසා හොඳට අඳුරගන්න පුළුවන්. මේ අයට ලංකා හමුදාව තරම්වත් ඉංග්‍රීසි බැහැ. අපේ හැඳුනුම්පත් බැලුවට තේරුමක් නැහැ. ෆොටෝ එක විතරයි බලන්නේ. අකුරු කියවන්න බැහැ. සමහර වෙලාවලට ලංකාවේ හමුදාවේ එක්කෙනෙක් දෙන්නෙක් ඇවිත් හැඳුනුම්පත් බලන්න උදව් කරනවා. කාන්තාවෝ ගැන ඉන්දියානු හමුදාවට තිබුණෙ එච්චර හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි. ඇත්ත නැත්ත දන්නෙ නැහැ. එත් එහෙ දෙමළ අය කතා වුණේ ඉන්දියානු හමුදාවට වයසක ගෑනු කෙනෙක්වත් පේන්න බැහැ කියලා. ඒ නිසා එහේ කාන්තාවෝ ඉන්දියන් හමුදාවට පුදුම බයක් තිබුණෙ. ලංකාවේ හමුදාව ඉද්දි ගෑනු ළමයි ඕනතරම් තනියම යනවා වගේම තනියම ගෙවල්වල ඉන්නවා. ඒත් ඉන්දියන් හමුදාව ඉද්දි ගෑනු ළමයි තනි කරන්නෙ නැහැ. කොටින්ම පාරේ යනවා නම් පේන්න ඉන්නෙ නැතිව හැංගෙනවා. ඒ වගේම තමයි එයාලා පිරිසිදු නැහැ. අපි අහලා තියෙන විදියට දවස් ගණන් නාන්නේ නැහැ.”

 

*ඉන්දියානු හමුදාවයි කොටි සංවිධානයයි අතර ගැටුම් කොහොමද සිද්ධ වු​ණේ? මා ඇසීමි.

“දෙගොල්ලො අතර ගැටුම් පටන්ගද්දි ඒ වෙනකම් එළිපිට ඉඳපු එල්.ටී.ටී.ඊ. එකේ අය හැංගුනා. අපිට ආරංචි වුණ විදියට එල්.ටී.ටී.ඊ. එකේ ලොකුම කඳවුර තිබුණෙත් මුලතිව් කැලෑවේ. ලංකා හමුදාව අවුරුදු ගාණක් සංවිධානය එක්ක සටන් කරලා තිබුණ නිසා කොටි සංවිධානයේ උපක්‍රම ගැන දැනුමක් තිබුණා. ඒත් බිම් බෝම්බ වගේ ක්ෂණික ප්‍රහාරවලදී ඉන්දියානු හමුදාව නිකම්ම කොටි සාමාජිකයන්ගෙ උගුල්වලට අහුවෙනවා. එහෙම අහුවෙලා ඉන්දියන් සෙබළු මැරුණම සාමාන්‍ය දෙමළ ජනතාවට හිරිහැර කරනවා. සමහරවිට සැකපිට දෙමළ තරුණයෝ අත්අඩංගුවට අරගෙන යනවා. එහෙම අත්අඩංගුවට ගත්ත සමහර තරුණයෝ අතුරුදන් වෙනවා.”

 

*ඔයාට ඉන්දියානු හමුදාව හමුවෙලා නැතිද?

“මම වැඩ කරපු මුද්‍රණාලයට එක එක දෙමළ පත්‍රිකා මුද්‍රණය කරගන්න ඇවිත් තියෙනවා. ඒත් එතැන වැඩ කරපු ගෑනු ළමයි කවුරුවත්වත් ඉස්සරහට යන්නේ නැහැ. පිරිමි අය තමයි කතා කරන්නෙ.”

මේ අතර ශකිලා මාධ්‍ය වෘත්තියට පිවිසෙන ආරම්භක අඩිතාලම වැටෙනුයේද ඉන්දියානු හමුදාව නිසාය. එය කණගාටුදායක සිදුවීමකි.

“ඉන්දියානු හමුදාව ඇවිත් අවුරුදු 2 1/2 විතර යද්දි ඒ කියන්නෙ 1990 අවුරුද්ද වෙද්දි ඒ අය ලංකාවෙන් පිටවෙන්න ගත්තා. එහෙම යන්න කලින් ලංකා​වේ අයගෙන් එයාලගෙ කුලී හමුදාවක් හදන්න කටයුතු කළා. මේ හමුදාවට දෙමළ තරුණයෝ එකතු වුණේ නැහැ. ඒ නිසා බලෙන් තමයි තරුණයෝ අරගෙන පුහුණු කළේ. මේ බලහත්කාර බඳවාගැනීමට මාත් එක්ක වැඩ කරපු තරුණයෙකුත් අහුවුණා.” 

 

*ඒ තරුණයාට මොකද වුණේ? 

ලබන සතියට