බැඳලා අවුරුදු 25ක් වුණාට ඒ අවුරුදු 25ටම මං මගේ මහත්තයාව දැකලා නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වාගේ බිරිඳ නාලනී රණසිංහ
මීට පෙර මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක ආබාධිත ප්‍රජාවගේ නියෝජනයකට
පාර්ලිමේන්තුවේ අසුනක් හිමි වී නැත. එහෙත් මෙවර මහමැතිවරණයේදී එකී ඉතිහාස කතාව වෙනස්
කරමින් පළමු වතාවට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ආබාධිත පුද්ගලයෙකු
පාර්ලිමේන්තුවට යවා ඇත. ඒ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද
සිල්වා ය. ඔහුගේ ආදරණීය බිරිඳ වන නාලනී රණසිංහ ද දෘශ්‍යාබාධිත කාන්තාවකි. පාර්ලිමේන්තුවට ගිය
සිය ඇස් නොපෙනෙන සැමියා ගැන ඇය කියූ කතාවයි මේ…
*ඉතිහාසයේ පළවැනි වතාවට ඔබේ සැමියා ආබාධිත ප්‍රජාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගියා.
මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. මම හිතන්නේ ඔහුව ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තු යවන්න ගත්ත තීරණය
නම් ජාතික ජන බලවේගය ගත්ත කාලෝචිත, බුද්ධිමත් තීරණයක්. අපේ රටේ සමස්ත ආබාධිත ප්‍රජාව
ලක්ෂ 17කට අධිකයි. ඉතිහාසයේ කවදාවත් ඒ පිරිසව නියෝජනය කරලා කවුරුත්ම පාර්ලිමේන්තුවට
පත්වෙලා නෑ. ඒක නිසා මට නම් මේක ඓතිහාසික අවස්ථාවක්.
*ඒත් සමහරු කිව්වා පාර්ලිමේන්තුව වගේ තැනකට එහෙම අය අවශ්‍ය නෑ කියලා?
පාර්ලිමේන්තු යන්න බැරිවුණු අය එහෙම කිව්වට මං එහෙම දෙයක් හිතන්නේ නෑ.
*එහෙනම් ඔබ හිතන්නෙ කොයි විදියටද?
මං හිතන්නේ ආබාධිත ප්‍රජාවට තියෙන පොදු ගැටලු දන්නේ ඔවුන්ව නියෝජනය කරන කෙනෙක්. ඒක
නිසා පාර්ලිමේන්තු අසුනක් සුගත් වගේ කෙනෙක්ට හිමිවීම ඔවුන් ලබපු ජයග්‍රහණයක්.
*ආබාධිත ප්‍රජාවගේ නියෝජනයක් විදියට ඔබේ සැමියට පාර්ලිමේන්තුවට යන්න තිබුණු සුදුසුකම්
මොනවද කියලා කවුරු හරි ප්‍රශ්න කළොත්?
සැමියා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති. ඔහු උපාධිධාරියෙක්. ඒ වගේම
ඡන්දෙට කලින් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරියෙක් විදියට වැඩ කළා.. මෑත
කාලයේ ඔහු ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ගොඩාක් දේවල් කළා. දේශපාලන බලය තිබුණොත් ඔවුන්
වෙනුවෙන් තවත් වැඩ කරන්න පුළුවන් කියලා හිතලයි මේ සැරේ ඔහු ජාතික ජන බලවේගයට සහාය
දුන්නේ.
*පසුගියදා ඔබේ සැමියා පා.ම. විදියට දිවුරුම් දුන්නනේ.. ඔහු දැන් මොකද කියන්නේ?
මේ තනතුරේ ඉන්න ලැබෙන්නේ කොයිතරම් කාලයක්ද, ඒ කාලේ ලක්ෂ 17ක් වෙන ආබාධිත ප්‍රජාව
වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එකයි ඔහු හැමවෙලේම කියන්නේ.
*සැමියා උපතින්ම දෘශ්යාබාධිතයිද?
අනේ නෑ. එයා ඉපදෙනකොට හොඳටම ඇස් පෙනිලා. අවුරුදු 11දි තමයි ක්‍රිකට් ගහද්දි බෝලයක් ඇහේ
වැදිලා එයාගේ ඇස් පෙනීම නැතිවෙලා තියෙන්නේ. එදා බෝලයක් වැදුනා කියලා ගෙදර අයට කියලා නෑ.
පස්සේ තමයි කියලා තියෙන්නේ. ඒත් ඒ වෙද්දි පරක්කු වැඩිලු. අන්තිමේදි ඒක අනෙක් ඇහැටත් බලපාලා.
එයාගේ විතරක් නෙවෙයි මගේ ඇසුත් අවුරුදු තුනේදි හිටපු ගමන්මයි අන්ධ වෙලා තියෙන්නේ. ඒ කාලේ අපේ
අම්මලාට ලොකු දැනීමක් තිබිලා නෑ. ඒ නිසා වෙදකම් කළාට පෙනීම ගන්න බැරිවෙලා.
*දෙන්නම දෘශ්‍යාබාධිත නිසා නිවසේ වැඩපොළ ටික කරගන්නේ කොහොමද?
(සිනාසෙමින්) අපි විවාහවෙලා අවුරුදු 25ක්. ඒ කාලය පුරාවට තනියම තමයි හැමදේම කරගත්තේ. මුල්
කාලේ නම් එයාගෙයි මගෙයි අම්මලා මාරුවෙන් මාරුවට අපි එක්ක හිටියා. හැබැයි අපි හැමදේම කරගන්න
හුරුවුණා. දැන් නම් ඕන දෙයක් තනියම කරගන්න පුළුවන්.
*මන්ත්‍රීවරයා මුණගැහුනේ එහෙම කොහොමද?
(සිනාසෙමින්) මං පේරාදෙණිය කැම්පස් ගියේ. ඔහු කොළඹ කැම්පස් එකේ. ඒ කාලේ අපි උපාධිධාරී
මණ්ඩලවලදි එහෙම ගොඩාක් වෙලාවට හම්බවුණා. ඉතින් මිත්‍රත්වයක් ගොඩනැගිලා තිබුණා. ඒ
මිත්‍රත්වය තමයි විවාහයක් දක්වා දුර ආවේ. විවාහ වුණේ 1999 අවුරුද්දේ.
*අවුරුදු 25ක් වෙන විවාහ ජීවිතේ අමතක නොවෙන මතක එහෙම ඇති?
මේ අවුරුදු 25ටම අපි අපිව දැකලා නෑ.
*ඔබතුමිය ඒ කියපු කතාව පැහැදිලි වුණේ නෑ?
අපි දෙන්නට සම්පූර්ණයෙන්ම පේන්නේ නෑ. ඒ නිසා අපි දෙන්නට දෙන්නා දැකලා නෑ. හැබැයි මං එයාගේ
පෙනුම මේ වගේ ඇති කියලා යටිහිතේ රූපයක් ඇඳගෙන ඉන්නවා. එයත් එහෙම ඇති.
*විවාහවෙලා උයන්න එහෙම පුරුදු වුණේ කොහොමද?
මුලදි නම් උයන්න තියා ගිනිකූරක්වත් ගහගන්න බෑ. ඒත් විවාහවුණු අලුත අපි දෙන්නගේ අම්මලා, පවුලේ
අය වගේම යාළුවෝ ඇවිත් ඒ දේවල් ටික ටික අපට කියලා දුන්නා. හැබැයි අපි මුලින්ම උයපු දවසේ නම්
හොඳ වැඩක් වුණා.
*ඒ හොඳ වැඩේ ගැන අපිට කියන්න බැරිද?
(සිනාසෙමින්) මුල් කාලේ අපේ අම්මලා දෙන්නා මාරුවෙන් මාරුවට අපි එක්ක හිටියට එදා කවුරුත් හිටියේ
නෑ. ඉතින් මං මහත්තයත් එක්ක කුස්සියට ගිහින් උයන්න හිතුවා. බතකුයි හාල්මැස්සෝ හොද්දකුයි
සම්බෝලෙකුයි හැදුවේ. හරි අමාරුවෙන් ඒවා හැදුවා. අන්තිමේදි අර සම්බෝලේ කන්න ගද්දි ලුණු හොඳටම
වැඩියි. හැබැයි දැන් නම් ඕන දෙයක් මට උයන්න පුළුවන්. සමහර දවස්වලට මම ඉඳිආප්ප, ආප්ප, පිට්ටු,
හැලප එහෙමත් හදනවා.
*දෙන්නා රන්ඩු සරුවල් වෙලා නැද්ද?
(සිනාසෙමින්) ඉඳලා හිටලා පොඩි පොඩි හිත් අමනාපකම් ඇතිවෙනවා. ඒත් ටික වෙලාවයි. මහත්තයාට මං
එක්ක තරහා වෙලා ඉන්න බෑ.
*එතකොට දැන් පදිංචිය කොහෙද?
මගේ ගම කඩුගන්නාවේ. විවාහ වුණාට පස්සේ දැන් ඉන්නේ තලගල. දැනට මම අධ්‍යාපන ප්‍රකාශන
දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරිනියක් විදියට සේවය කරනවා.
*ඔබ දැන් මන්ත්‍රී බිරිඳක්. අවසානෙට ඒ හැඟීම ගැනත් දැනගන්න කැමතියි?
ඒ ගැන නම් සතුටුයි. හැබැයි මේ ටිකේම මං ඉවසීම ප්‍රගුණ කරනවා. හේතුව තමා මහත්තයා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණත් හරි හුඟාක් කාර්යබහුල වුණා. අඩුතරමේ දැන් ගෙදරවත් ඉන්න
වෙලාවක් නෑ.
රුවන් එස්.සෙනවිරත්න