නවතම ප්‍රවෘත්ති

දශක දෙකක් පෙරුම් පුරා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මුණගැසුනු ලංකාවේ අනෝජා

“ක්‍රිස්ටියානෝ, මං ඔබව හමුවීමට අවුරුදු විසිඑකක් බලාගෙන හිටියා.”
(Cristiano, I waited 21 years to meet you)

ඒ එෆ් සී චැම්පියන්ස් ලීග් එලයිට් තරඟාවලියේ අල් – ගරාෆා සහ අල් – නසාර්
කණ්ඩායම් අතර නොවැම්බර් 25 වනදා පැවති තරඟයෙන් පසු මාධ්‍යවේදීන්
අතරින් ඒ හඬ නැගිණි. ඒ, කාන්තාවකි. ඇය තනිව නැගූ හඬ ඉතා පැහැදිලිව
ඇසිණ. ආරක්ෂකයින් පිරිවරාගෙන ගමන් කරමින් සිටි සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ
රොනාල්ඩෝ ද හඬ පැමිණි දෙස හැරී බැලීය. ඒ දර්ශනය එතැන සිටි
මාධ්‍යවේදීන්ගේ කැමරාවල ද සටහන් විය. හඬ නැගූ කාන්තාව පිළිබඳ ලොව
පුරා බොහෝදෙනා මේ වනවිට කතා කරති. ඇය අනෝජා බස්නායකයි. ශ්‍රී
ලාංකික කාන්තාවක වන ඈ බොහෝ කාලයක සිට පාපන්දුවට පෙම් බඳින්නීය.
ඇය පිළිබඳ ලෝකයේ අවධානය යොමුවීම එසේ මෙසේ කරුණක් නොවේ. ඈ
පිළිබඳ කතාබහ සිදුවන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නම සමඟිනි. ඇතැම්
අවස්ථාවල ලෝ ප්‍රකට වෙළඳ සන්නාමවලට පවා බලපෑම් කළ හැකි චරිතයක්
වන ඔහු කෙතරම් ප්‍රබලයෙකු ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.
සියලු සමාජ මාධ්‍යවල වැඩිම අනුගාමිකයින් සංඛ්‍යාවකට හිමිකම් කියන
පුද්ගලයා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ය. ඔහු සමඟ අනෝජා බස්නායක නම
කියැවෙද්දී ඇය ශ්‍රී ලාංකික බව ද සඳහන් වේ. එනිසා ඇය සහ රොනාල්ඩෝගේ
හමුවට ප්‍රවෘත්තිමය වටිනාකමක් ද ඇත.

පාසල් සමයේ සිටම ක්‍රීඩාවට බෙහෙවින් ඇලුම් කළ අනෝජා ක්‍රිස්ටියානෝ
රොනාල්ඩෝගේ රසිකයකු වූයේ 2003 වසරේ සිටයි. ඔහුගේ ක්‍රීඩාශීලීත්වය,
කැපවීම, පෞරුෂත්වය ආදී සියල්ල ඇගේ සිත ගත්තේය. ඇගේ ජීවිතයේ
උත්තේජකයා වූයේ ඔහු ය. අනෝජා එක්තරා කාලයක දැඩි සේ රෝගාතුර වූවාය.
ඇයට ජීවිතයේ ඉතා අසීරු කාලයක් උදාවිය. ශරීර සෞඛ්‍යය පමණක් නොව, ඈ
ඇලුම් කළ බොහෝ දේ ඇගෙන් දුරස් වන්නට විය. ජීවිතයේ කටුක බව වැඩි
වැඩියෙන් දැනෙන්නට වූ විට අනෝජා තව තවත් පාපන්දුවට ළං වූවාය.
වෙහෙසකර ජීවිතය ඉදිරියට ගෙන යාමේදී ඇයට මග පෙන්වූ අයගේ ලැයිස්තුවේ
රොනාල්ඩෝ ඉහළින්ම සිටියේය. ඔහු ඇයගේ වීරයකු පමණක් නොව,
උත්තේජකයා, ආදර්ශය බවට පත්විය. රොනාල්ඩෝ දැක ගැනීමේ කැමැත්ත ඇගේ
සිතේ රෝපණය වී දවසින් දවස වැඩෙන්නට විය.
රොනාල්ඩෝ හමුවීමේ සිහිනය සිත්හි තබාගෙන අනෝජා බොහෝ දේ කළාය.
ක්‍රීඩාව පිළිබඳ ලියන කියන අතරේ ඇගේ සිහිනය ද දවස ගානේ අලුත් වෙවී
තිබිණ. මේ වනවිට කටාරයේ පදිංචිව සිටින ඇය ශ්‍රී ලංකාවේ රෝනාල්ඩෝ රසික
සමාජයක් ද ආරම්භ කළාය. සිය අතේ ටැටූ සලකුණක් ද තබාගත්තේ
රොනාල්ඩෝ වෙනුවෙනි. කෙසේ වෙතත් එවැනි ක්‍රීඩකයකු හමුවීම කෙතරම්
දුර්ලභ ද යන්නත් ඇය දැන සිටියාය. එහෙත් සිහින දැකීම නැවතුණේ නැත.
රොනාල්ඩෝ සියැසින් දැකීමේ සිහිනය ඇයට බොහෝ සමීප වූයේ 2022 වසරේය.
ඒ පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය ඈ ජීවත්වන කටාරය
දැරීම නිසාය. වසර ගණනාවක් පුරා සිය වීරයා වූ සුපිරි තරුව දැක ගැනීමට ඈ
නොඉවසිලිවන්ත වූවාය. ක්‍රීඩා මාධ්‍ය කටයුතුවල නිරත වීම නිසා මාධ්‍ය
හැඳුනුම්පත ලැබීම අතිරේක වාසියක් විය. ඇගේ පළමු ඉලක්කය වූයේ 2022
නොවැම්බර් මාසයේ සිට දෙසැම්බර් දක්වා පැවති තරඟාවලියට පෘතුගාල
කණ්ඩායම පැමිණෙන දිනයයි.
“පෘතුගාල කණ්ඩායම වර්ල්ඩ් කප් එකට ඇවිත් නවතින හොටෙල් එකක ඉස්සරහා මම පැය හය හතක්
හිටගෙන හිටියා. මට ඕනෙ වුණේ ඔහුව මගෙ ඇස් දෙකින් දකින්න. මං වගේම තවත් බොහෝ රසිකයින්
එතැනට ඇවිත් හිටියා. හැබැයි මට එදා පොඩි වැරදීමක් වුණා. මං ඇප්ලයි කළේ ෆොටෝග්‍රැෆි නෙමේ,
රයිටින්. ඒ නිසා ගොඩක් ළඟට යන අවස්ථාව මට නැති වුණා. පෘතුගාල කණ්ඩායම එයාපෝර්ට් එකේ
ඉඳලා ආපු බස් එක හොටෙල් එක ගාවට එද්දි අපට ඉවසීමක් නැති වුණා. හැමෝම බලාගෙන හිටියෙ
රොනාල්ඩෝ දකින්න. එදා මං ජීවිතේ පළවැනි වතාවට එයාව දැක්කා. බස් එකේ අන්තිම සීට් එකේ
ඉඳගෙන ආපු රොනාල්ඩෝ හැමෝටම අත වනාගෙන ගියා.”
ලෝක කුසලානයේ පෘතුගාලය සහභාගි වූ පළමු තරඟය පැවතියේ ඝානාවට
එරෙහිවයි. අනෝජා ප්‍රවේශපත් මිලට ගෙන එය නැරඹීමට ගියාය. සිය වීරයා

දඬුවම් පහරකින් ගෝලයක් ලබා ගැනීම නැරඹීමට ඈ වාසනාවන්ත වූවාය.
එහෙත් අනතුරුව ඇයට අසනීපව රෝහල්ගත වීමට සිදුවිය. ශරීර සෞඛ්‍යය උදව්
නොකරද්දී ඇය නොදැන වාසනාව ද ඈ වටා කැරකෙන්නට විය. පෘතුගාල
රසිකයින් සංවිධාන කරන්නිය වූ එලිසෙබත්, අනෝජාගේ අතේ ක්‍රිස්ටියානෝ
රොනාල්ඩෝ වෙනුවෙන් වූ ටැටූ සලකුණ දුටුවාය. එබැවින් පෘතුගාලයේ මාධ්‍ය
නාලිකාවක් අනෝජා සමඟ සම්මුඛ සාකච්ඡාවකට ද සම්බන්ධ විය. සිය රටේ
වීරයාට අසීමිතව ඇලුම් කළ අන්‍ය ජාතික කාන්තාවට පෘතුගාල රසිකයන්ගේ
ඉහළම පිළිගැනීම ලැබිණ. අනෝජා සහ එලිසබෙත් අතර සබඳතාවක් ඇතිවීමට
ද එය බලපෑවේය. අනෝජා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව ද පෘතුගාල රසිකයින්
අතර වේගයෙන් පැතිර ගියේය. පෘතුගාලය සහ උරුගුවේ අතර තරඟය
නැරඹීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක අනෝජා සිටියේ නැත. එනිසා
විවේකීව සිටි ඇයට හදිසි දුරකතන ඇමතුමක් ලැබුණේ එලිසෙබත්ගෙනි. විනාඩි
පහළොවක් ඇතුළත සූදානම් වී පැමිණෙන ලෙස ඇයට දැනුම්දීමක් ලැබිණ. සිය
වීරයා හමුවීමට අවස්ථාවක් ලැබේදෝ යන දෙගිඩියාව නිසා අනෝජාගේ හෘද
ස්පන්දනය වේගවත් විය. රොනාල්ඩෝ රසික සමාජය වෙනුවෙන් සකස් කෙරුණු
ටීෂර්ටයකින් සැරසුණු අනෝජා වහාම එලිසෙබත් හමුවට ගියාය. ඈ සමඟ
විශේෂ අමුත්තෝ දෙදෙනෙක් සිටියහ. ඒ, පෘතුගාල පාර්ලිමේන්තු සභාපති සහ
කටාරයේ පෘතුගාල තානාපතිවරයායි. ඔවුන්ට විශේෂයෙන් අනෝජා හමුවීමට
අවශ්‍යව තිබිණ. පෘතුගාල නාමය ලොව පුරා බබළවන, සිය රටේ වටිනා
සම්පතක් වූ රොනාල්ඩෝට ඇලුම් කරන විදෙස් කාන්තාවට ප්‍රණාමය පළ කිරීමට
ඔවුන්ට අවැසි විය. අනෝජා වෙනුවෙන් එදින තරඟය සඳහා විශේෂ ප්‍රවේශ
පත්‍රයක් ලබාදීමට ද ඔවුහු කටයුතු කළහ.
අර්ධ අවසන් පූර්ව වටය දක්වා පෘතුගාල කණ්ඩායම පැමිණි අයුරු සජීවීව
නැරඹීමට හැකි වූව ද සිය පාපන්දු වීරයා හමුවීමේ වාසනාව අනෝජාට එවර
ලැබුණේ නැත. නැවතත් සිහිනය සිතේ තබා ගනිමින්ම මාස ගණනක් ගත
කිරීමට ඇයට සිදුවිය. සෞදි අරාබියට ගොස් හෝ රොනාල්ඩෝ හමුවීමට අනෝජා
සැලසුම් සාදන අතරේ වාසනාව යළිත් ඇගේ දොරට තට්ටු කළේය. ඒ එෆ් සී
චැම්පියන්ස් ලීග් එලයිට් තරඟාවලියට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ අල් –
නසාර් කණ්ඩායම කටාරයට පැමිණියේය. අනෝජා මෙවර කෙසේ හෝ සිය වීරයා
හමුවෙමියි යන තිර අදිටනින් මාධ්‍ය අවසරපත ද ලබාගත්තාය.
ඉතාම දක්ෂ අයුරින් සිය සිහින තරුව ගෝල දෙකක් ලබාගත් අයුරු සියැසින් දුටු
අනෝජා සතුටින් ඉපිල සිටියාය. ඒ සතුට කෙතරම්ද යත් අදාළ අවස්ථාව
කැමරාවට හසු කරගැනීමට හෝ ඇයට සිහියක් නොවීය. පසුව ක්‍රීඩකයින් ගමන්

ගන්නා පර්යන්තයේ රැඳී සිටිය ද රොනාල්ඩෝ හමුවීම පහසු නොවන බව
වැටහෙද්දී අනෝජාට ඇති වූයේ තදබල වේදනාවකි. එහෙත් ඈ උත්සාහය අත
නොහැරියාය. ආරක්ෂකයින් පිරිවරා යන රොනාල්ඩෝ වෙත ඈ කෑ ගසා
ඇමතුවාය. රොනාල්ඩෝ හැරී බැලුවද හමුවකට ඉඩක් එතැන නොවීය. විදුලි
සෝපානයට නැගී රොනාල්ඩෝ නොපෙනී ගිය විට අනෝජාගේ දෑස් කඳුළින්
පිරුණේ නිතැතිනි. එය ඉකිගැසීමකට පරිවර්තනය වීමට වැඩි වේලාවක් ගියේ
නැත. අසල සිටි මාධ්‍ය සගයින්ගෙන් ඇතැමෙකු ඇය දෙස උපහාසයෙන් බලද්දී
තවත් පිරිසක් ඇය අස්වසන්නට වූයේ නියත වශයෙන්ම ඇයගේ
බලාපොරොත්තුව ඉටුවන බව පවසමිනි.
රොනාල්ඩෝ මාධ්‍ය අමතන ස්ථානයට සියලු මාධ්‍යවේදීන්ට ඇතුළුවීමට ඉඩ
නොලැබිණ. එහෙත් අනෝජා හැමවිටම විශ්වාස කළේ දෙවියන් තමන්ට පිහිට
වන බවයි. කෙසේ හෝ වේවා අවසන් මොහොතේදී මාධ්‍ය හමුව පැවති
ස්ථානයට ඇතුළුවීමට ඇයට ඉඩ සැලසිණ. දෙවන පෙළ අසුනක වාඩි වූ
අනෝජාට රොනාල්ඩෝ ඉතා හොඳින් දර්ශනය විය. එහෙත් ඔහුගේ කතාව
වීඩියෝ කිරීමට තරම් ඇයට සිහියක් නොවීය. විනාඩි කිහිපයකින් මාධ්‍ය ඇමතීම
අවසන් කළ රොනාල්ඩෝ පිටව යාමට නැගී සිටියේය. ඒ සමඟම අනෝජාට
සිහියට නැගුණේ නැවත මෙවැනි අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි. ඈ
නැවතත් රොනාල්ඩෝ අමතා කතා කළාය. වහා නැවතුණු රොනාල්ඩෝ තමා
වෙත පැමිණෙන ලෙස ඇයට පවසද්දී අනෝජාට කිසිවක් සිතාගත නොහැකි විය.
තමා ලුහුබඳිමින් පැමිණියේ මෙම කාන්තාව බව රොනාල්ඩෝට මතකයට එන්නට
ඇත. එනිසා ඇයට අවස්ථාවක් දිය යුතු බව ඔහුට සිතෙන්නට ඇත්තේ
අනෝජාගේ වාසනාවටය.
පිරිස අතරින් තමා වෙත පැමිණි අනෝජා සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට
රොනාල්ඩෝ සැරසුණේය. ඒ සඳහා ඔහු අනෝජාගේ ජංගම දුරකතනය ද තමා
අතට ගත්තේය. එහෙත් ඡායාරූපය ගැනීමට පෙර සිය වීරයාට විශේෂ යමක්
පෙන්වීමට ඇයට අවැසි විය. ඒ ඔහු වෙනුවෙන් තබා ඇති ටැටූ සලකුණයි.
ඉවසීමෙන් එය නැරඹූ රොනාල්ඩෝ සිනාසී ඈ සමඟ සෙල්ෆි ඡායාරූපයක්
ගත්තේය. සතුට දරාගැනීමට නොහැකි වූ අනෝජා හඬන්නට වූවාය. රොනාල්ඩෝ
ඡායාරූපය පරීක්ෂා කළේ අවශ්‍යනම් තවත් එකක් ගැනීමේ අරමුණෙනි. එහෙත්
ඒ වෙද්දීත් ඔහුගේ ආරක්ෂකයින් ඔහුට දැනුම් දුන්නේ ඉවත්ව යා යුතු බවයි.
එහිදී අනෝජා ඔහුගේ අතින් ඇල්ලීමට අවසර ඉල්ලුවාය. නිහතමානීව එය
පිළිගත් සුපිරි ක්‍රීඩකයා දෑතින්ම අනෝජාගේ දෑත් අල්ලාගත්තේය. වසර 21ක් පුරා
බලාපොරොත්තු වූ හීනයක් සැබෑ වූ විට ඇයට දැනෙන සතුට අමුතුවෙන් විස්තර

කළ යුතු නැත. ඇය සිය සිහිනය සැබෑ කරගත්තාය. ජීවිතය හැර යාමට හේතු
එක පිට එක පැමිණෙද්දී ජීවිතය ඉදිරියට ගෙන යාමට ඈ නව හේතුවක් සොයා
ගත්තාය. ඒ ඔස්සේ සිහින දැක්කාය. අහිමිවීම් ගොන්නක් අස්සේත් තමා සතුටින්
තැබීමට හැකි හේතු සොයා යන්නාට සොබාදහමේ ආශිර්වදය ද ලැබෙනුයේ
සිතාගත නොහැකි ලෙසිනි. අනෝජා බස්නායක ඊට උදාහරණයකි.

රෂ්නිකා ලියනගේ