Top Story

2019 ජනාධිපති අපේක්ෂකයා තම සහෝදරයා බව හිටපු ජනපති කියයි

ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ” ද හින්දු ” පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් තම සහෝදරයා නියත වශයෙන්ම 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා බව ප්‍රකාශ කළේය.

2019දී තම පක්ෂය බලයට ඒම සම්බන්ධයෙන් සියයට සියයක විශ්වාසයක් ඇති බවද දෙරටේ ගැටළු විසඳීමට 2008 – 2009 යුද්ධය පැවති වකවානුවේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ බලධාරීන් එක්ව නිර්මාණය කළ ට්‍රොයිකා නැමති යාන්ත්‍රණයට සමාන නව යාන්ත්‍රණයක් ඉදිරිපත් කරන බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

රජීව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ එය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට අදාල සිදුවීමක් බවයි. චීන ව්‍යාපාර ගෙනවිත් ශ්‍රී ලංකාව ණය උගුලක හිර කළේයැයි තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් වත්මන් ආණ්ඩුව එය අවුල් සහගත තත්ත්වයකට පත් කර ඇති බවත් රාජපක්ෂ මහතා පැවසීය.

2019 වසරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමන් නායකත්වය දෙන බවද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමාට ජනාධිපතිවරණයට තරඟ කළ හැකි බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ සදහා අධිකරණයේ කරුණු දැක්වීමට තමන් සූදානම් නමුත් පක්ෂයට හා ජනතාවට අවශ්‍ය පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරාගන්නා බවයි.