නවතම ප්‍රවෘත්ති

හිමිකරුවෙක් නැති මළසිරුරක් නම් මට දෙන්න… පූජා ෂර්මා

ඉන්දියාව කියන්නේ දැඩිව ආගමික සම්ප්‍රදායන්ට මුල්තැන දුන් රටක්. ලෝකේ
පැරණිම ආගම විදියට සැළකෙන හින්දු ආගම එක්ක බැඳුනු ඒ සම්ප්‍රදායන් හින්දා
අදටත් එරට කාන්තාවන්ට බොහෝ සීමාමායිම්වලට මැදිවයි ජීවත්වන්නට
සිදුවෙලා තිබෙන්නේ. ඒ අතරින් ප්‍රසිද්ධ කතාවක් තමයි පවුලක පුද්ගලයෙක්
මියගියොත් ඒ පුද්ගලයාගේ අවසන් කටයුතු කිරීමට කාන්තාවන්ට තහනම් වීම.
එකී අවසන් කටයුතු අනිවාර්යයෙන්ම කළයුත්තේ පිරිමි පුද්ගලයින්ගේ අතින්. ඒත්
පසුගියදා එකී සම්ප්‍රදායට අභියෝග කරලා ඒ කටයුත්ත සිදුකරගෙන යන
කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. පූජා ෂර්මා වන ඒ
කාන්තාවගේ කතාවයි මේ.

පූජාගේ ගෙවල් තිබුණේ ඉන්දියාවේ දිල්ලි අගනුවර. ඒක සාමාන්‍ය පවුලක්. ඒ
පවුලේ හිටියේ තුන්දෙනයි. ඒ ඇය, අයියා සහ තාත්තා. සමාජ සේවිකාවක් විදියට
කටයුතු කරපු පූජාට මීට අවුරුදු 2කට උඩදි, ඒ කියන්නේ 2022 අවුරුද්දේ ඉතා
සංවේදී සිදුවීමකට මුහුණදෙන්න සිද්ධ වුණා. ඒ ඇගේ අයියා හදිසියේම මියයාම.
“මගේ අයියා මියගියේ 2022 මාර්තු 13 වැනිදා. අයියගේ හදිසි මරණය එක්ක තාත්තාට ඒක දරාගන්න
බැරිවුණා. එයා කෝමා තත්ත්වයට පත්වුණා. ඉතින් එදා මම ලොකු ප්‍රශ්නයකට මුහුණදුන්නා මගේ
අයියගේ අවසන් කටයුතු කරන එක ගැන. මොකද ඒ වෙනකොට අපේ පවුලේ වෙන පිරිමියෙක් නෑනේ. අනික

මට ඒක කරන්නත් බෑ. මොකද හින්දු ආගමේ කාන්තාවන්ට ඒ වගේ දේවල් කරන එක කැප නෑ. ඒත් එක්ක මං
එදා අයියට අවසන් ගෞරවය දක්වන්නේ කොහොමද කියලා දස අතේ කල්පනා කළා. ඒත් කිසිදෙයක්
ඔලුවට ආවේ නෑ.”
අවසානේ දහසකුත් නින්දා අපහාස මැද සම්ප්‍රදායට අභියෝග කරන්නයි පූජා
කටයුතු කළේ. ඒ වෙන විකල්පයක් නැති තැන තම සහෝදරයාගේ අවසන්
කටයුතු සියල්ලක්ම පාහේ ඇගේ අතින් සිදුකරමින්.
“ඇත්තටම මට ඒ වෙලාවේ විකල්පයක් තිබුණේ නෑ. ඒ හින්දා එකම විකල්පයට මං ගියා. ඒ මගේ අතින්
අයියගේ මරණ ගෙදර වැඩකටයුතු කරපු එක. ඒ නිසා මට ගොඩාක්දෙනෙක් විවිධාකාර කතා කිව්වා. ඒ
වුණාට මට කරන්න වෙන කිසි දෙයක් තිබුණේ නෑ.”
එදා සහෝදරයාගේ අවසන් කටයුතු කරපු මොහොතේ පූජාට හිතුණලු ඇය
මුහුණදුන් අන්දමේ සිදුවීමක් ඇය වගේ නිවසේ වෙනත් පිරිමියෙක් නැති පවුලක
කෙනෙක්ට මුහුණදෙන්න වුණොත් ඒක කොච්චර ලොකු අසරණකමක් ද කියලා.
“ඉතින් මට හිතුණා මම මුහුණ දුන්නු ඒ අසරණකම, අභියෝගය මං වගේ තව කාන්තාවකට ඇති නොවෙන
විදියට ඒ වෙනුවෙන් මොකක් හරි කරන්න. හැබැයි මං දැනගෙන හිටියා මොන දේ කරන්න ගියත් මට ඇඟිලි
දික්වෙනවා කියලා. ඒ වුණත් මට මොකක්ම හරි කරන්නම ඕන වුණා.”
එහෙම හිතපු පූජා තම සහෝදරයා මියගියදා ඔහුගේ අවසන් කටයුතු කළ
අත්දැකීම උපයෝගී කරගෙන හරි අපූරු වැඩක් පටන් අරගෙන. ඒ එරට දිල්ලියේ
බාරගැනීමට කිසිවෙක් නොමැති මෙන්ම හඳුනානොගත් පුද්ගල මළසිරුරු
කැමැත්තෙන් බාරගෙන ඒවායේ අවසන් කටයුතු සිදුකිරීම.
“මං ඒක කරන්න ගත්තම අසල්වැසියෝ මාත් එක්ක කතා කරන එක නවත්තලා දැම්මා. විවිධ කතා කිව්වා.
ඒත් එදා අයියා මියගිය වෙලාවෙදි මම මුහුණදීපු දේට මං වගේ තවත් කාන්තාවක් මුහුණ දෙනවා දකින්න
මම කැමතිවුණේ නෑ. ඒ නිසා මං පටන්ගත්තු වැඩේ මගින් නතර කළේ නෑ. මොන අභියෝග ආවත් දිගටම
ඒක කරගෙන ගියා.”
පූජා කියන විදියට ගතවුණු අවුරුදු තුන තුළ ඇය මළසිරුරු 5000 කට වඩා
අවසන් කටයුතු සිදුකළාලු. ඒත් අදටත් ඇයට ආගමික සම්ප්‍රදායන්ට අභියෝග කළ
නිසා බොහෝමයක් ප්‍රශ්නවලට සහ අභියෝග රැසකටම මුහුණදෙන්න සිද්ධ
වෙනවලු. ඒ කොහොම වුණත් ඉදිරියටත් බාරගැනීමට කිසිවෙක් නොමැති මෙන්ම
හඳුනානොගත් පුද්ගල මළසිරුරුවලට කැමැත්තෙන්ම වගකියන්න ඉන්දියාවේ මේ
පූජා ලෑස්තියිලු.
“කෙනෙක්ගේ අවසන් කටයුතු සිදුකිරීම ගැහැනු අපට තහනම් කියලා මං කිසිම ආගමික පොතපතක
තියෙනවා දැකලා නෑ. කිසිම ආගමික ශාස්තෘවරයෙක් ඒ වගේ දෙයක් කියයි කියලා මං විශ්වාස කරන්නෙත්

නෑ. ඒ නිසා ආගම් භේදයක් නොහිතා මම මිනිස්සු වෙනුවෙන් කරන මේ සේවය ගැන මගේ හදවතින්ම සතුටු
වෙනවා. ඒ වගේම ඉදිරියේදිත් මම මේක සිදුකරන්නට බලාපොරොත්තු වෙනවා.”
රුවන් එස්.සෙනවිරත්න