වනජීවියෙන් ඇවිල්ලා අල්ලයි මගෙ නැට්ට!
සූක්ෂම සොරුන්ගෙන් සමාජයට ඇත්තේ මහත් හිරිහැරයකි. ජාත්‍යන්තර
පොලිසිය කැඳවූවත් ඇතැම් සොරුන් අල්ලාගැනීමට ඉඩ නොලැබේ. වසර
ගණනක් පුරා සොරකම් කරමින් කට්ටි පනින්නන් එමටය. සතුන් අතර ද
එවැන්නෝ ඇත. සෑම වසරකදීම මාසයක් දෙකක් පුරා අලි සොරකුට මුහුණදීමට
නිකවැරටිය වැසියන්ට සිදු වේ. සමහරුන්ට අනුව ඒ සොරා ඇතෙකි. එහෙත්
වනජීවී නිලධාරීන් පවසන්නේ ඔහුට ඇත්තේ පණු දළ බවයි. වසර 30ක් 35ක්
පමණ වන මේ ගජ ඉලන්දාරියා සොරකමට ඇබ්බැහි වූ ආකාරය දන්නා කිසිවෙකු
නැත.
එතරම් උස නැති අඩි හතක් හතහමාරක් පමණ වන මේ සොරාගේ මුල් ගම
ගල්ගමුවයි. වසරේ අග භාගය වෙද්දී ඔහු ඇතුළු අලි නඩය නිකවැරටියට
එන්නේ ආහාර හේතුවෙනි. ගල්ගමුවේ ආහාර හිඟයට තිත තැබෙන තෙක් මාස
දෙක තුනක් ඔවුන්ගේ තාවකාලික නවාතැන නිකවැරටිය සහ ඒ අවටයි. මුලදී
මේ කණ්ඩායමේ රජු ලෙස පැමිණියේ මේ දිනවල කා අතරත් ප්‍රසිද්ධ කාවන්තිස්ස
ඇතුයි. එහෙත් වනජීවියත් සමඟ ඇති වූ ආරෝවකින් පසු ඔහුගේ නිකවැරටිය
ගමන වසර කිහිපයක සිට ඇණහිට ඇත. අවසාන වරට පැමිණි අවස්ථාවේ ඔහු
වනජීවී රථයකට දැඩි අලාභහානි කර තිබේ. නැවත නිකවැරටියට පැමිණීම හිරේ
විලංගුවේ වැටීමට හේතුවනු ඇතැයි උන්දෑ සිතනවා විය හැක.
එක සිදුවීමක් සම්බන්ධව මහරජු කාවන්තිස්ස බියට පත්ව හිටිය ද සොරකමේ
යාම පුරුද්දක් කරගත් උන්දෑට එහි වගේ වගක් නැත. ගල්ගමුව තේක්ක කැලේ
හරහා ස්වරංගල රක්ෂිතයට පැමිණ ඉඟිනිමිටිය ජලාශය පසුකර තෙලහැර
පවතින අක්කර 100 පමණ පෙදෙසක අලි රංචුව රැඳී සිටිති. වසර කිහිපයකට
ඉහතදී තුන්සියයක පමණ කණ්ඩායමක් නිකවැරටියට පැමිණිය ද දැන් එන්නේ
පනහක හැටක නඩයකි. සෙසු සාමාජිකයින් පාඩුවේ සිටිය ද නමගිය සොරාට
රැයක් දවාලක් නැත. අන් අලි ඇතුන් මිනිසුන්ට බියක් දැක්වුව ද සොර අලියාට
කිසිවකු හෝ කිසිවක් ගැන වගේ වගක් නොවේ. මහදවාලේ නිවෙස් ඉදිරියට
පැමිණෙන උන්දෑ කොස් කඩාගෙන කන්නේ තමන් සිටවූ ගස්වල පල නෙළන
පරිද්දෙනි. නිවැසියන් බලා සිටියදී තම කාරිය කරගන්නා ඔහු උජාරුවෙන් පිටව
යයි.
කොස් කඩාගෙන කෑම ප්‍රදේශවාසීන් ඉවසුව ද ඔවුන්ගේ සීමාව ඉක්මවා යන්නේ
ඊට එහා ගිය සොරකම් හේතුවෙනි. කොස් කෑමෙන් නොනවතින තරුණ අලියා
ඉන්පසු ඉව අල්ලන්නේ ගොවියන් වෙහෙස මහන්සි වී ඉපයූ වී ගෝනිවලටය.
දොරවල්, ජනෙල් කැඩීමේ මනා පළපුරුද්දක් ඇති සොරා ඇසිල්ලකින් වී ගෝනිවල
සන්තකය තමා සතුකර ගනී. අයිතිකරුවන් කෙතරම් උත්සාහ කළ ද ඒවා
බේරාගන්නවා බොරු ය. කරකියා ගත නොහැකිව අසරණ වන ගොවීහු
වනජීවියට මේ නමගිය සොරා ගැන පැමිණිලි කරති. ඒ, ඔවුනට වෙනත්
පිළිසරණක් නොමැති බැවිනි. අලියා තවත් ගෙයක් දෙකක් බිඳීමට පෙර වනජීවි
නිලධාරීහු වහා අදාළ ස්ථානයට පැමිණෙති.
“කෝ දැන් අලියා?”
“මේ දැන් හිටියා මහත්තයෝ, කැබ් එකේ සද්දෙ ඇහුණා විතරයි මේකා කොහේ
ගියාද මන්දා.”
ඒ යාම එසේ මෙසේ සැඟවීමක් නොවේ. අලියා තබා උන්දෑ ගිය දිහාක
ලකුණක්වත් නැත. හෙතෙම ඒ තරම් සූක්ෂම සොරෙකි. මිනිස් සොරෙකු පොලිස්
ජීප් රථයක් එද්දී දුවනවාට වැඩි වේගයෙන් සොර අලියා වනජීවියේ කැබ් රථය
එද්දි අතුරුදන් වන්නේය. එය වරක් දෙවරක්, මසක් දෙකක් පමණක් සිදු වූවක්
නොවේ. වසර කිහිපයක් පුරා මේ සොරා නිවෙස් බිඳියි. ගම්වාසීහු වනජීවියට
කතා කරති. වනජීවී නිලධාරිහු කැබ් රථයේ නැගී එති. නියමිත තැනට එද්දී
අලියා තබා අලි වසුරුවත් නැත. එබැවින් මේ සොරා අල්ලනවා බොරුය.
ඇතැම්විට නිලධාරීන්ට හසු නොවී වැඩිම වාර ගණනක් කට්ටි පනින හොර
අලියා ගල්ගමුවේ සිට නිකවැරටියට එන මේ පණු දළකාරයා විය හැක.
තොරතුරු :- නිකවැරටිය වන සත්ව අඩවි සහකාර කුරගමගේ දොන් ජනක
රෂ්නිකා ලියනගේ