ඒ කාලෙ වන්නියෙ බස් දිව්වේ එළවළු තෙල්වලින්
මුලතිව් උපන් ශකිලා කුඩා කාලයේ පටන් අධ්‍යාපනයට, ක්‍රීඩාවට හා කලාවට දක්ෂ තැනැත්තියකි.
සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වුවද සිය පියාට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයට
රැකියාවකට යන්නට සිදුවෙයි. මේ අතර 1990 ජූනි මාසයේදී දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වන අතර එහි
ප්‍රතිඵලයක් ලෙස පවුල් පිටින් අවතැන් වී ඇය පුදුකුඩිරිප්පුහි පදිංචියට යන්නීය. එහිදී ඊළාම්
අධිකරණයේ රැකියාවක් ඇයට හිමිවේ. අද එතැන් සිට…
“මම කලින් කීවා වගේ ඊළාම් අධිකරණයත් දැන් තියෙන අධිකරණ පද්ධතිය
වගේම ක්‍රියාත්මක වුණා. මහේස්ත්‍රාත් අධිකරණය, මහාධිකරණය වගේම
ශ්‍රේෂ්ඨාධිකරණයත් තිබුණා. නීති අංශයේ ප්‍රධානියා විදියට කටයුතු කළේ
පරරාජසිංහම් කියලා කෙනෙක්. එයා ප්‍රසිද්ධ ‘පරා’ කියන නමෙන්. හැබැයි
එයාට නීතිය ගැන ලොකු දැනුමක් තිබුණෙ නැහැ. නමුත් එල්.ටී.ටී.ඊ.
සංවිධානයෙන් පත්කරලා තිබුණා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්
වගේම ඊළාම් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාලුත් හිටියා. ඊළාම් නීති
විද්‍යාලයක් තිබුණා. ඊළාම් නීති විද්‍යාලයේ මුල්ම බැච් එක (කණ්ඩායම)
සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ. සාමජිකයන්ගෙන් සමන්විත වුණේ. නීතීඥවරු
අතරින්ම තමයි විනිසුරන්ව තෝරාගත්තේ. එයාලට වෙනම පුහුණුවක් දුන්නා.
හැබැයි දෙවැනි කණ්ඩායමේ ඉඳලා සාමාන්‍ය අයටත් නීති විද්‍යාලයට
ඇතුළුවෙන්න අවස්ථාව ලැබුණා. අවම සුදුසුකම වුණේ උසස් පෙළ විෂයන්
3ක් සමත්වීම. අභ්‍යන්තර බඳවාගැනීම්වලදී ඒ කියන්නේ එල්.ටී.ටී.ඊ.
සංවිධානයේම සාමාජිකයන් බඳවාගද්දී සාමාන්‍ය පෙළ විභාගය විතරක් සමත්
වුණ අයත් නීති විද්‍යාලයට බඳවාගත්තා. මට මතකයි සටන්වලට ගිහින්
ආබාධිතයන් වුණ අයත් හිටියා.”
*එතකොට ඊළාම් නීති විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කළේ කවුද?
“ඊළාම් දණ්ඩ නීති සංග්‍රහයක් සකස් කරලා තිබුණා. මේක සකස් කළේ දමිළ
උගත්තු. එතකොට එල්.ටී.ටී.ඊ. එකේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් වගේම
නායකතුමාගේ (ප්‍රභාකරන්) උපදෙස් ලැබිලා තිබුණා. මේ දණ්ඩ නීති සංග්‍රහය
මුලින්ම ඉගැන්වීම් කළේ කොළඹ නීති විද්‍යාලයේ ඉගෙනගෙන නීතීඥවරු
විදියට කටයුතු කරලා පස්සේ කාලයක වන්නියේ (LTTE පාලන ප්‍රදේශ)
පදිංචියට ආපු අය. ඊළාම් නීති විද්‍යාලයේ දක්ෂම අය පස්සේ නීති විද්‍යාලයේ
දේශකයෝ විදියට බඳවාගත්තා.” ශකිලා කීවාය.
අප දන්නා පරිදි නීතීඥ වෘත්තියේදී සේවා ගාස්තු අයකිරීමේ නිශ්චිත සීමාවක් නොමැත. ඇතැම් නීතීඥවරු
රුපියල් 2000-3000 වැනි මුදල් අය කරන අතර ඇතැම් නඩු කටයුතුවලදී අය කරන සේවා ගාස්තුව රුපියල්
මිලියන ගණනකි. එම නිසා ඊළාම් අධිකරණයේ නීතීඥ ගාස්තු පිළිබඳව විමසීමි.
“ලංකාවේ අධිකරණයේදී වගේ ඊළාම් අධිකරණයේදී හිතුණ හිතුණ විදියට
සේවා ගාස්තු අය කරන්න බැහැ. ඒ වගේම නීතීඥවරයාට සේවාදායකයා
එක්ක මුදල් ගනුදෙනු කරන්න බැහැ. ඒ නිසා ඊළාම් අධිකරණයේදී අනිත්
තැන්වලදී කෙරෙනවා වගේ සමහර තැන්වල අතමිට මොලවලා දෙන සල්ලි
කෝට් සාක්කුවේ ඔබාගන්න දර්ශන දකින්න නැහැ. ඊළාම් අධිකරණයේ නීතිය
අනුව තිබුණේ එකම නඩු ගාස්තුවක්. ඒ මුදල රුපියල් 200යි. රුපියල් 200
මුදල අධිකරණ කාර්යාලයට ගෙවලා රිසිට්පතක් ගන්න ඕන. මුදල ගෙවද්දිම
තමන් කතා කරගත්ත නීතීඥයාගේ නමත් කියන්න ඕන. නම රිසිට්පත්‍රයේ
සඳහන් කරනවා. ඊටපස්සේ රිසිට් පත්‍රය අදාළ නීතීඥවරයාට දුන්නම
නීතීඥවරයා නඩුව වෙනුවෙන් පෙනී ඉන්නවා. සේවාදායකයා අධිකරණයට
ගෙවපු රුපියල් 200න් රුපියල් 50ක මුදලක් අධිකරණ ගාස්තුවක් එහෙම
නැතිනම් බද්දක් හැටියට අයකරගෙන ඉතිරි රුපියල් 150 මුදල නීතීඥවරයාට
මාසය අන්තිමට දෙනවා. එහෙම වුණත් එක නීතීඥවරයෙකුට මාසයකට
උපයන්න පුළුවන් උපරිම මුදල රුපියල් 50,000යි. එහෙම ක්‍රමයක් තිබුණේ
කීපදෙනෙක් වැඩියෙන් නඩුවලට පෙනී හිටියම අනිත් අයට ආදායම් මාර්ගයක්
නොමැතිවීම තුළ අසාධාරණයක් වෙන නිසා.”
*එතකොට විනිසුරුවන්ගේ වැටුප?
“අධිකරණයෙන් අය කරන දඩ මුදල් වගේම විවිධ සේවා ගාස්තු නිසා සැලකිය
යුතු ආදායමක් ලැබුණා. ඒ නිසා විනිසුරුවරුන්ට හොඳට ජීවත්වෙන්න පුළුවන්
විදියේ වැටුපක් ගෙව්වා. මට ඒ මුදල මතක නැහැ. ආරක්ෂකයෝ නැහැ. නිල
වාහනය හැටියට යතුරුපැදියක් දීලා තිබුණා. ඒ කාලයේ රජයෙන් උතුරට
(වන්නියට) ඉන්ධන ප්‍රවාහනය තහනම් කරලා තිබුණෙ. පෙට්‍රල් හා ඩීසල්
ජනාධිපතිවරයාගේ ගැසට් එකක් මගින්ම තහනම් කරලා තිබුණෙ. ජනතාවගේ
අවශ්‍යතා සඳහා භූමිතෙල් විතරක් තහනමක් නැතිව බලපත්‍රයකට ලැබුණා. ඒ
නිසා ඉන්ධනවල ලොකු හිඟයක් තිබුණා. පෙට්‍රල් සහ ඩීසල් රජයේ පාලන
මිල වගේ දහ ගුණයකට වඩා වැඩි මිලකට විකිණුවේ. පොල්තෙල් හා එළවළු
තෙල්වල තහනමක් තිබුණෙ නැහැ. මේ තත්ත්වයත් එක්ක විකල්පය විදියට
බස් රථ, ලොරි රථ වගේ ඩීසල් වාහන දිව්වේ එළවළු තෙල්වලින්. පෙට්‍රල්
වාහන භූමිතෙල්වලින් ගියා. පෙට්‍රල් වාහන ස්ටාර්ට් කරන්න විතරක් පෙට්‍රල්
ටිකක් ගන්නවා. කුඩා සිංගර් තෙල් කුප්පියක තියෙන පෙට්‍රල්වලින් ටිකක්
වාහනේ කාබලේටරයට ඇතුළු කරලා ස්ටාර්ට් කරලා භූමිතෙල්වලින් දුවනවා.
විනිසුරුවරුන් අධිකරණට ආවේ භූමිතෙල් යතුරුපැදිවලින්. සමහර දවස්වලට
මේවා ලෙඩ දීලා තල්ලු කරන වෙලාවලුත් තියෙනවා. නීතීඥවරුන් වැඩි
පිරිසක් ආවේ බයිසිකල්වලින්. කීපදෙනෙක් යතුරුපැදිවලින් ආවා. වාහන
කියන දේවල් තිබුණෙම නැති තරම්.”
*එතකොට ශකිලාගේ රාජකාරිය?
“මගේ තනතුර නඩු භාණ්ඩ ගබඩා භාරකරු. මේ ගබඩාවේ එක එක
මාදිලියේ නඩු භාණ්ඩ තිබුණා. ආරවුල්වලදී භාවිතා කරපු පිහි, කැති, පොරෝ
වගේ දේවල් තිබුණා. ඒ වගේම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය (කසිප්පු) පෙරණ
උපකරණ, සාක්ෂිවලට අදාළ ලියවිලි, සොරකම්වලට අදාළ නඩු භාණ්ඩ වගේ
දේවල් තිබුණා. මේ නඩු භාණ්ඩ පිළිවෙලට තියලා ලේඛනගත කරලා අදාළ
නඩු දිනවලදී ඉදිරිපත් කරන එක තමයි මගේ ප්‍රධාන රාජකාරිය.”
වර්තමානයේ ලංකාවේ අධිකරණ පද්ධතියේදී බොහෝවිට වාර්තාවන කරුණක් වන්නේ පැමිණිලි ඉදිරිපත්
කරනු ලබන පොලිසිය බොරු පැමිණිලි ඉදිරිපත් කිරීම, බොරු සාක්ෂි ලබාදීමයි. ඇතැම් අවස්ථාවලදී
විනිසුරුතුමන්ලා පොලිසියට අවවාද කරන අවස්ථා ද වෙති. එම නිසා ඊළාම් පොලිසිය හා ඊළාම්
අධිකරණය අතර කටයුතු සිද්ධ වන ආකාරය පිළිබඳව විමිසීමි. එහිදී පිළිතුරු දුන් ශකිලා.
“එල්.ටී.ටී.ඊ. පොලිසියේ අය කවදාවත් බොරු කීවේ නැහැ. පැමිණිලි ඉදිරිපත්
කරද්දියි සාක්ෂි දෙනකොටයි ඇත්තම තමයි කීවේ. විනිසුරුතුමන්ලත්
පොලිසියේ කතා විශ්වාස කළා. ඒ නිසා නඩු කල්යන්නෙ නැතිව ඉක්මණින්ම
තීන්දුවක් ලැබෙනවා. විනිසුරුවරුන් පොලිසියේ අයව විවේචනය නොකරපු
තරම්.” ශකිලා කීවාය.
ඊළාම් අධිකරණයේ දඬුවම් ලබන සතියට…
සනත් ප්‍රියන්ත