නවතම ප්‍රවෘත්ති

නිළියක් විදියට වැඩ කරනකොට මට දැනෙන්නේ මගේ අම්මගේ හීනය හැබෑ කරනවා වගේ – නෙත්මි රොශෙල්

මීට දශක දෙකකට විතර ඉස්සරින් සංජේ ලීලා බන්සාලී අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක් ලොව පුරා අතිශයින් ජනප්‍රිය වුණා. ඒ තමයි අපි කවුරුත් දන්න ‘දේව්දාස්’ චිත්‍රපටය. එදා වගේ සිනමාශාලාවල තිරගත නොවුණත් දේව්දාස් කියන්නෙ අදටත් මිනිස්සුන්ගෙ හදවත්වල අනවරතව තිරගත වෙන සිනමාපටයක්. ඒ දේව්දාස් අධ්‍යක්ෂණය කරපු සන්ජේ ලීලා බන්සාලීම මීට අවුරුදු දෙකකට කලින් ඊට නොදෙවැනි තවත් චිත්‍රපටයක් ලෝකවාසී ජනතාව අතරට ගෙනැල්ලා යළිත් සිනමා පිපිරුමක් ඇති කරන්න සමත් වුණා. ඒ චිත්‍රපටය තමයි ‘ගංගුබායි කත්යාවඩි’ කියන්නෙ. මේ නම කිව්ව ගමන් සුදුපාට සාරියක් ඇඳගෙන, දෙතොලේ රතු සායම් උලපු, කොණ්ඩය රිසි සේ කඩාහැලූ ජනප්‍රිය ඉන්දියානු නිළි ආලියා බාත්ගේ මුහුණ ඔබ ඉදිරියේ මැවී පෙනෙන බවට සැකයක් නැහැ. සිනමාපටයේ ඇතුළත් වුණ ‘මෙරි ජාන්’ ගීතය සහ එහි ඇතැම් දෙබස් පවා ඉතා ඉක්මනින් සමාජ මාධ්‍යය තුළ අතිශයින් ජනප්‍රිය වුණා. බහුතර ප්‍රේක්ෂකයින්ගේ මතය වුණේ ආලියා බාත්, ගංගුබායිගේ චරිතයට උපරිම සාධාරණයක් කළා කියන එකයි.

ඇත්තටම ආලියා බාත් කියන්නෙ රාසි, ගලි බෝයි, ඩියර් සින්දගී වැනි චිත්‍රපට හරහා පෙර වතාවන්වලත් අතිශයින් ජනප්‍රිය වුණ නිළියක්. ඇය ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍රවුණ, තම චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරන චරිතයක් බවට අද පත්වෙලා හිටියට මේ ගමනට මංමාවත් එළිපෙහෙළි වෙලා තියෙන්නෙ ඇගේ අම්මා නිසා. ආලියාගෙ අම්මා, ඒ කියන්නෙ සෝනි රාස්දාන්ගෙ සිහිනය වෙලා තියෙන්නෙ බොලිවුඩයේ ජනප්‍රිය තරුවක් වෙන එක. චිත්‍රපටයක දෙකක රඟපෑවත් ඇගේ ඒ සිහිනය ඉටු නොවුණු නිසා පස්සේ කාලෙක ඇය සිනමාවෙන් සමුඅරගෙන තිබුණා.

නමුත් තමන්ගේ දියණිය වුණ ආලියාව ඇය සිනමාව දිහාවට තල්ලු කරලා තියෙන්නෙ තමන්ට අතරමඟදී අතහැරුණු හීනය ආලියා සපුරගනී කියන බලාපොරොත්තුවෙන්. ඉතින් ආලියා බාත් අද වෙනකොට ඉන්දියාවේ සම්මානිත රංගන ශිල්පිනියක් බවට පත්වෙලා තියෙන්නේ ඇගේ අම්මගෙ අසම්පූර්ණ සිහිනය නිසාමයි. 

අපි ආලියා බාත් ගැන විශේෂයෙන් සඳහන් කළේ ඇය වගේම තමන්ගෙ අම්මගෙ නිළි සිහිනය තමන්ගෙ කරගෙන හැබෑ කරගත්තු දුවෙකුගේ රුවින් අද ‘ධරණී’ කවරය හැඩවෙන නිසයි. මේ රුව වෙන කාගෙවත් නෙවෙයි, ඔබ කවුරුත් හොඳින් හඳුනන පුංචි තිරයේ ආදරණීය පෙම්වතිය නෙත්මි රොෂෙල් ගේ.

නෙත්මි ගැන කතා කරනකොට අපි හැමෝටම මතක්වෙන්නෙ අහිංසක, සුන්දර පෙම්වතියකගේ චරිතයක්. ඒ චරිතවල තරම්ම අහිංසක කටහඬකුත්, සුන්දර සිනහවකුත්, ඉක්මනින්ම කුළුපග වෙන්න පුළුවන් හැකියාවකුත් ඇයට තියෙනවා කියලා මට දැනුණේ ඇය සමඟ කතා කළ පළවැනි මොහොතෙමයි. 

“අද මම රංගන ශිල්පිනියක් විදියට වැඩකටයුතු කරනකොට මට දැනෙන්නේ මම මගේ අම්මගේ හීනය ඉෂ්ට කරනවා වගේ. ඇත්තටම අම්මාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මගේ වැඩකටයුතුවලට. ඒ වගේම තමයි මගේ පවුලෙ අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මම නිළියක් විදියට වැඩ කරන එක මගේ විතරක් නෙවෙයි මගේ පවුල හැමෝගෙම හීනයක් කියලා මට හිතෙන්නේ එයාලගෙන් ලැබෙන සහයෝගය නිසයි.”

නෙත්මි රොෂෙල් කියන්නෙ මෑතකාලීනව රංගනයට පිවිසුණු රංගන ශිල්පිනියක්. ඇගේ රංගන ජීවිතයට බොහොම දුර අතීතයක් නැති වුණාට ඇය බොහෝසෙයින් වර්තමානයේ ජනප්‍රිය වුණා. 

“මම හිතපු නැති විදියට 2019 අවුරුද්දෙදි මම රූපවාහිනී අවුරුදු කුමාරි කිරුළ ජයග්‍රහණය කළා. ඉන්පස්සෙ තමයි මට රංගනයට ආරාධනා ලැබුණේ. මගේ මුල්ම ටෙලිනාට්‍ය ‘සක්කාරං’. ආධුනික රංගන ශිල්පිනියක් විදියට පළමු ටෙලිනාට්‍යයට මම හොඳ දායකත්වයක් ලබාදුන්නා කියලා හිතනවා. ඔය අතරේ මට දෙරණ නාලිකාවේ ‘දෙවැනි ඉනිම’ ටෙලිනාට්‍යට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. ඒත් එක්ක හිතුවෙවත් නැති විදියට මේ අවුරුදු පහ බොහොම ලස්සනට ගලාගෙන ආවා. ඉතින් අවුරුදු කුමාරි වීමත් එක්ක තමයි මේ හැමදේම වෙනස් වුණේ.”

ගොඩක් වෙලාවට ජනප්‍රිය ව්‍යවහාරයේ නෙත්මි රොෂෙල්ව හඳුන්වන්නේ දෙවැනි ඉනිමෙ සමල්කාගෙ නංගි විදියට. ලංකාවේ පිට පිට ට්‍රෙන්ඩින් වුණ ටෙලිනාට්‍යයක් වෙච්ච දෙවැනි ඉනිමේ නෙත්මිට ලැබුණු චරිතය හරහා වඩා වැඩි ප්‍රේක්ෂක ආදරයක්, ජනප්‍රියතාවයක් ඇයට හිමිවුණා කිව්වොත් හරි. නමුත් නිරන්තරයෙන් අලුත් සහ පරණ මුහුණු ගැටෙන තරඟකාරී ක්ෂේත්‍රයක වඩාත් කැපී පෙනෙන රංගන ශිල්පිනියක් වෙනවා කියන වැඩේ තරමක් අභියෝගාත්මකයි. හැබැයි නෙත්මි කියන විදියට මොන විදියේ අභියෝගයක් ආවත් ඇගේ අත් අත්නොහැරි පිරිස නිසා ඒ සියලු අභියෝග ජයගන්න ඇයට හැකිවෙලා තියෙනවා.   

“පවුලේ අයගෙන් වගේම ක්ෂේත්‍රයේ අයගෙනුත් මගේ වැඩවලට අවශ්‍ය සහයෝගය ඕනෑවටත් වැඩියෙන් ලැබෙනවා. මම අධ්‍යාපනය හැදෑරුවෙ වෙනමම ක්ෂේත්‍රයකින්, ඒ වගේම මම මේ කලා ක්ෂේත්‍රයට ආධුනිකයි. ඒ වුණත් මම මේ තැන ඉන්නේ ඒ හැමෝගෙන්ම ලැබෙන සහයෝගය නිසා. හැමෝම මට හරි ආදරෙයි. ඒ ආදරෙත් එක්ක තමයි මම මේ තරම් දුරක් ඇවිල්ලා තියෙන්නේ.”

ඇය මේ වෙද්දිත් ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වී සිටින බව පේන්න තියනවා. නිකිණිකුසුම්, පාරාදීසේ කියන්නේ ඒ අතරින් ජනප්‍රිය ටෙලිනාට්‍ය දෙකක්. නිකිණි කුසුම් ටෙලිනාට්‍ය නම් පටන් අරගෙන ටික දවසක් වුණාට පාරාදීසේ ටෙලිනාට්‍ය පටන්ගත්තේ මෑතකදී. පාරාදීසේ පාරමීගේ චරිතයෙන් අහිංසක පෙම්වතියකගේ චරිතයට නෙත්මි රොෂෙල් පණපොවනවා දැකගන්න පුළුවන්. ඒත් එක්කම ඇය ප්‍රධාන චරිතය හොබවන ‘කම්බිලි’ සිනමාපටයත් මේ වෙද්දී ශ්‍රී ලංකාව පුරා සියලුම සිනමාහල්වල තිරගත වෙනවා. ඉතින් මේ කතාබහ අතරතුරේදී කම්බිලි චිත්‍රපටය පවුලේ සියලු දෙනාටම නරඹන්න එන්න කියලා ඇය ඔබට ආරාධනා කළ බවත් මතක් කරන්න ඕනෑ.  

තමන්ගේ වටේ සිද්ධවෙන දේවල් ගැන පැමිණිලි කරන්නේ නැතිව ඒ දේවල් බොහොම ලස්සනට භාරගන්න පුළුවන් හැකියාවකුත් නෙත්මිට තියෙනවා. මොකද එක රැයින් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බිහිවෙන්නේ නැහැනේ. ඒ වෙනුවෙන් යම්කිසි කැපකිරීම් ප්‍රමාණයක් කරන්න ඕන. ඒ කැපකිරීම් ගැන නෙත්මි හිනාවෙවී කියද්දී මට මහගම සේකර වතාවක ලියපු කවියක් මතක් වුණා , 

‘මල වට කටු අකුළක් නොව,

කටු අකුළක මල වුව මැන

ජීවිතයේ නිමක් නොමැති 

දුක ඇතුළත 

චමත්කාරයක් වුව මැන’ කියලා. 

නෙත්මිත් එක්ක මේ කතාබහ කරගෙන යද්දී මට හිතුණේ සේකර කිව්වා වගේම කටු අකුළක මලක් වෙන්න උත්සාහ කරන අවුරුදු 25ක් තරම් ළාබාල මේ තරුණිය කොයිතරම් නම් චමත්කාරයක්ද කියලා. 

අම්මා, තාත්තා, නංගි සහ බාප්පාගෙන් සැකසුණු ඇගේ පවුලට විශේෂයෙන් ස්තූතිපූර්වක වෙන්නත් නෙත්මි මේ කතාබහ අතරතුර අමතක කළේ නෑ. ඔවුන් හැරුණාම බලු සුරතලුන් හත්දෙනෙකුගෙන් සහ පූස් සුරතලුන් අටදෙනෙකුගෙන් සැදුම්ලත් පුංචි පවුල ගැනත් ඇය මතක් කළේ බොහොම ආදරෙන්.  ඒත් එකක්ම ක්ෂේත්‍රයේ අයට වගේම අනිත් සියලු දෙනාටත් වටිනාකියන යමක් කියලයි ඇය මේ දීර්ඝ කතාබහ අවසන් කළේ. 

“අපි මොකක් හරි වැඩක් කරන්න යනකොට, එහෙම නැත්නම් තැනකට යනකොට දෙපාරක් හිතන්න ඕන. මම එහෙම හිතන කෙනෙක්. මොකද තමන් කියන මනුස්සයාව ගොඩනැගෙන්නේ තමන් කරන කියන දේවල් අනුව. අපි කරන කියන දේවල් අපිට ගැළපෙනවද, අපි ඒ දේවල් කරන්න හොඳද නැද්ද කියලා දෙතුන් වතාවක් කල්පනා කරලා බලලා තමයි ඕනම දෙයක් කරන්න ඕන. එහෙම අවබෝධයකින් කටයුතු කරනවා නම් ඕනම ක්ෂේත්‍රයක තමන්ගේ පැවැත්ම සකස්කරගන්න පුළුවන්.”

පවනි වාසනා

ඡායාරූප – චමත් ඒකනායක