රූපලවන්‍ය

ඉපදෙනකොටම අතේ සඳුන් ගැටයක් ඇයි පුතේ

අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙන්න කලින් එක ආත්මභවයකදී මහෞෂධ පඬිවරයා විදියට ඉපදුණු බව ඔබ අහලා තියනවනේ. ඉතින් මේ මහෞෂධ කුමාරයා ඉපදුණ වෙලාවේ ආශ්චර්යයන් කිහිපයකුත් සිද්ධ වුණාලු. එකක් තමයි ඔහු මෙලොවට බිහි කරන වෙලාවේ සුමනා දේවියට කිසිම විලිරුදාවක් නොදැනීම. දෙවැන්න තමයි ඉපදෙනකොටම ඔහුගේ වම් අතේ සඳුන් ගැටයක් ගුලි වී තිබීම. ඒ වගේම අනෙක් ආශ්චර්යය තමයි මේ කුමාරයා ඉපදුණ සැණින් කතා කිරීම. ඉතින් හා හා පුරා කියලා කුලුඳුලේ බිහිකරපු දරුවාගේ අතේ තිබුණු මේ සඳුන් ගැටය දැකපු ගමන් සුමනා දේවියට අහන්න සිද්ධ වුණාලු “මොනවද පුතේ ඔය අතේ තියෙන්නේ?” කියලා. ඉපදුණ හැටියේ දරුවෙක් කතා කරන එක හරිම අසාමාන්‍ය දෙයක් වුණත් මේ පුංචි මහෞෂධ කුමාරයා දෙපාරක් නොසිතාම අම්මා අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නලු.

“මේ සඳුන් ගැටේ මහා ඖෂධයක්. රෝගීව ඉන්න කාටහරි කෙනෙකුට මේක ගිහින් දෙන්න. ඉක්මනින් රෝගය සුවවෙයි” එහෙම කියලා මහෞෂධ කුමාරයා තමන්ගේ අතේ තිබුණ සඳුන් ගැටේ සුමනා දේවියට දුන්නලු. සිද්ධ වුණ දේ හිතාගන්න බැරුව මොහොතක් තබ්බීරි වෙලා හිටපු සුමනා දේවිය ඊටපස්සේ මේ ගැන කුමාරයාගේ තාත්තා වෙච්ච සිරිවට්ඨන සිටුවරයාට සැළකලාලු. ඒ සැනින් ඔහු ඒක අරගෙන හිසේ ගාගත්තලු. එසැණින් අවුරුදු 07ක් තිස්සේ සිරිවට්ඨන සිටුවරයා පීඩා විඳපු හිසේරුදාව දූරීභූත වෙලා ගියා කියලයි උම්මග්ග ජාතකයේ සඳහන් වෙන්නේ. ඒ කතාවේ ඇත්ත නැත්ත කොහොම වුණත් කාලයක් යද්දී  ඔසුවක් විදියට විතරක් නෙමෙයි රූපලාවණ්‍ය අමුද්‍රව්‍යයක් විදියටත් සුදු හඳුන් ඉන්දියාවේ ප්‍රසිද්ධ වුණා. 

ඔය විදියට ඉන්දියාවේ විතරක් නෙමෙයි පසුකාලීනව ටිමෝරය, තායිලන්තය, හවායි, ඔස්ට්‍රේලියාව වගේ රටවලත් සඳුන් ව්‍යාප්ත වුණා. ලංකාවෙත් මහනුවර, මහවැලි නිම්න, දෙල්තොට වගේ පැතිවල ඒ කාලේ බහුලවම ව්‍යාප්ත වුණ ගස විදියට සැළකෙන්නේ සුදු හඳුන්. ඉතින් ලංකාවේ උදවියත් ලස්සන වෙන්න සුදු හඳුන් භාවිත කළ බවට ඉතිහාසයේ ඕනෑතරම් සාක්ෂි තිබෙනවා. ඒ නිසාම අදත් ලංකාවේ ඕනෑම ආයුර්වේද ඖෂධහලකින් සුදු හඳුන් මිල දී ගන්න පුළුවන්. ඉතින් මේ මහෞෂධ අමුද්‍රව්‍යය සල්ලි දීලා අරගෙන නිකන් ඉන්නේ නැතුව එයින් ඔබේ සුන්දරත්වය වැඩි කරගැනීම සඳහා කළ හැකි සත්කාර කිහිපයකුයි මේ කියන්න යන්නේ. 

අත් පා වගේම මුහුණේ රැඳි අපද්‍රව්‍ය, තෙල් ආදිය ඉවත් කරලා පිරිසිදු වගේම පැහැපත් සමක් ලබාගැනීමට සුදු හඳුන් මේස හැඳි හතරකට වතුර 500ml ක් එක්කරලා අත් පා සහ මුහුණේ ආලේප කරන්න. ඉන්පසු හොඳින් ස්ක්‍රබ් කර විනාඩි 15කට පසු සෝදා ඉවත් කරන්න.

සුදු හඳුන් කුඩු මේස හැඳි හතරකට දෙහි බිංදු කිහිපයක් එක්කරලා හොඳින් මිශ්‍ර කරලා මුහුණේ වගේම සිරුරෙත් ආලේප කිරීමෙන් ඉහත ප්‍රතිඵලම ළඟා කර ගත හැකියි.

තව ඕනෑ නම් කෝමාරිකා යුෂ තේ හැඳි තුනකට සුදු හඳුන් තේ හැඳි තුනකුත් සීනි තේ හැඳි දෙකකුත් ජලය ස්වල්පයකුත් එක්කරලා මුහුණේ වගේම සිරුරෙත් ආලේප කර විනාඩි 30කට පසු සෝදා හැරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

සුදු හඳුන් කුඩු තේ හැඳි හතරකට රෝස වතුර තේ හැඳි දෙකක් දමා හොඳින් මිශ්‍ර කර මුහුණේ වගේම ගෙල ප්‍රදේශයේ ආලේප කර විනාඩි 20කින් ඉවත් කර ගැනීමෙන් සමේ අනවශ්‍ය තෙල් ඉවත් වී රැලි වැටීම වළක්වා හොඳින් සම රැකගන්න බැරිකමක් නැහැ.

සමේ දීප්තිය වැඩි කර මෘදු සමක් ලබාගැනීමට සුදු හඳුන් කුඩු තේ හැඳි තුනකට නැවුම් කිරි තේ හැඳි දෙකක් එක් කරලා ආලේප කර විනාඩි 20කින් සෝදා හැරියා නම් හරි.

මී පැණි තේ හැඳි තුනකුයි, සුදු හඳුන් කුඩු තේ හැඳි හතරකුයි එක් කරලා මුහුණේ අත් පා වගේම ගෙල ප්‍රදේශවල ආලේප කිරීමෙන් අඳුරු ලප කැළැල්වලින් තොර මෘදු සමක් ලබාගත හැකියි.

සුදු හඳුන් කුඩු තේ හැඳි දෙකකට කස්තුරි තේ හැඳි එකක් වගේම යෝගට් හැඳි තුනකුත් හොඳින් මිශ්‍ර කරලා මුහුණේ ආලේප කර විනාඩි පහළොවකට පස්සේ මඳ උණුසුම් වතුරෙන් සෝදා හැරීමෙන් ලප කැළැල්වලින් තොර දිදුළන සමක් ලබාගන්න පුළුවන්.

ඉදහිට හෝ ශරීරයේ ඇතිවන දැවිල්ල වළක්වා ගැනීමට සුදු හඳුන් කුඩු 250gකට නැවුම් කිරි 500mlක් හොඳින් මිශ්‍ර කරලා ශරීරයේ ආලේප කර විනාඩි 30කින් ඉවත් කරගත්තා නම් හරි.

ඒ වගේම සුදු හඳුන් කුඩු මේස හැඳි 02කට එළඟිතෙල් මේස හැඳි 02කුයි මී පැණි මේස හැඳි 01කුයි යටිපතුල්වල ගාලා මද උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරගත්තොත් යටිපතුල් පැළෙන එක නිට්ටාවටම සුවකර ගන්න පුළුවන්. 

හිස්කබලට වගේම හිසකෙස්වලට සුදු හඳුන් තෙල් ආලේපය කියන්නේ ඉතා හොඳ සත්කාරයක්. එමගින් හිස්කබලේ වියළි ගති පහ වී හිස්සොරි සෑදීමට ඇති අවදානම ද වැළැක්වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ හරහා හිසකෙස්වලට පෝෂණයක් ලැබිලා හිසකෙස් වර්ධනයකුත් සිද්ධවෙනවා.

ඉහත සඳහන් ප්‍රතිලාභවලට අමතරව මානසික සුවතාව පවත්ගැනීමටත් සුදු හඳුන් හේතුවෙන බවයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන්නේ.

නෙත්මි තෂාරා

උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි

(ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී )

ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල