Top Story

“මම දයා මාස්ටර් මුණගැහෙන්න යද්දී ඒ ගුහාවේ ඉඳපු ප්‍රභාකරන්වත් දැක්කා” – උතුරේ කොටි කටට ගිය දකුණේ මාධ්‍යවේදිනියක් කියන කතාව

2005 – 2006 කාලසීමාව යනු  LTTE කොටි සංවිධානය දරුණුවට හිස ඔසවා තිබූ කාලයකි. ඒ වනවිට කිලිනොච්චිය ඇතුළු උතුරේ බොහෝ ප්‍රදේශ ඔවුන්ගේ පාලනය යටතේ තිබූ අතර ඒ වනවිටත් කොටි ත්‍රස්තවාදීන් සිටියේද රට පුරාම තැනින් තැන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරමිනි. එවකට මෙරට විදේශ අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය, හබරණ දිගම්පතනේදී නාවික හමුදා සෙබලුන් ඉලක්ක කර එල්ල කරනු ලැබූ ට්‍රක් බෝම්බ ප්‍රහාරය, ගෝමරන්කඩවල සමූල ඝාතනය, ලුතිනල් ජෙනරාල් සරත් ෆොන්සේකාව ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, ඉන්පසු එවකට මෙරට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන්ගත් රථ පෙළ ඉලක්ක කරගෙන එල්ල කරනු ලැබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, පොතුවිල් සමූල ඝාතනය සහ බොරැල්ල නගරයේ බෝම්බය ඒ අතරින් කීපයක් පමණි. ඒ කාලවකවානුව තුළම බිහිසුණු යුද ගිනිදැල් මැද කොටි බලප්‍රදේශයක් වූ කිලිනොච්චියට ගොස් වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයින් සැඟව සිටි පොළොව යට වූ නිවසට ගිය නිර්භීත මාධ්‍යවේදිනියක් අපට හමුවුණු අතර ඇය මාධ්‍යවේදිනී බෙනාරි නෙළුම් සේනාරත්නයි. එදා ඒ නිර්භීත ගමනින් වසර 18කට පසු ඇය ‘ධරණී’ අප සමඟ සිදුකරනු ලැබූ කතාබහක් ඇසුරින් මෙම ලිපිය සැකසේ.

2005 වනවිට මාධ්‍යවේදිනියක වූ ‘බෙනාරි නෙළුම් සේනාරත්න’ සේවය කළේ එවකට රටේ ජනප්‍රිය පුවත්පතක් වූ ‘සත්දින’ පුවත්පතේය. ඇය පුවත්පතට බැඳුණු දා පටන්ම ඔෆිස් කාමරයේ හිඳිමින් ලියන්නට මාතෘකා සෙව්වේ නැත. මන්ද ඇයට උවමනා වූයේ කවුරුත් නොලියූ දෑ ලියන්නටය. ඒ වෙනුවෙන් විවිධ මාතෘකා සොයාගෙන ඇය රට පුරා ඇවිද්දාය.

එවකට ඉතා දරුණු මට්ටමින් යුද ගිනිදැල් ඇවිලෙමින් තිබිණි. අඩුතරමේ බස් එකක යන්නට තියා පාරකතොටක ඇවිද යන්නට පවා මිනිසුන් අසීමිතව බය වූ යුගයකි ඒ. එකල විසිහතර පැයේම මිනිසුන් තුළ වූයේ මර බියම පමණි. බෙනාරි ඒ කාලයේ සත්දින පුවත්පතට වැඩි වශයෙන්ම ලිව්වේ එකී සිදුවීම් ගැනය. ඒ වෙනුවෙන්ම යුද ගිනිදැල් මැදින් ඇය වාකරේ, වැලිකන්ද මෙන්ම වව්නියාව වැනි ප්‍රදේශ ගණනක බයක් සැකක් නැතිව කරක් ගැසුවාය. එයින්ද නොනැවතී ඒ සොයාගත් දෑ පුවත්පතට ලිව්වාය. ටික කාලයක් යනවිට ඇගේ ලිපි කියවන්නම පුවත්පත මිලදීගත් පාඨක පිරිසක් ද ඇය වටා එකතු විය.

“එහෙම ඉන්නැද්දි මට දවසක් හිතුණා කිලිනොච්චියට යන්න. කිලිනොච්චිය කියන්නේ ඒ වෙනකොටත් කොටින්ගේ බලප්‍රදේශයක්. ප්‍රභාකරන් ඇතුළු අනික් කොටි නායකයොත් කිලිනොච්චියේ ඒ වෙද්දි හිටියේ. මං අපේ පත්තරේට ඒක ගැන කිව්වම එයාලත් කැමති වුණා. ඒත් ඒක ලේසි ගමනක් නොවෙන හින්දා මට කිලිනොච්චි යන්න හේතුවක් හදාගන්න වුණා.”

ඒ වනවිට බෙනාරිගේ වයස අවුරුදු 24කි. එවන් වයසක හිඳිමින් ඒ ගමන හිතුමතේට යා නොහැකිය. එසේ ගියොත් වෙන්නේ කොටින්ගේ අතින් වෙඩි කා නසින්නටය. එසේ සිතූ බෙනාරි කොටි බලප්‍රදේශයට යන්නට ක්‍රමයක් සෙව්වාය. අවසානයේ බෙනාරිට මගක් හමුවූ අතර ඒ එවකට එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකව සිටි දයා මාස්ටර් වෙත ලිපියක් යවා ඊට අවසර ලබාගැනීමයි.

“ඊටපස්සේ මං පත්තරේ මාර්ගෙන් දයා මාස්ටර්ට දෙමළ භාෂාවෙන් ලියුමක් ටයිප් කරලා ෆැක්ස් කළා. මට පුවත්පත් මාධ්‍යවේදිනියක් විදියට ඔහු හම්බෙලා ඔහු එක්ක මාධ්‍ය සාකච්ඡාවක් කරන්න අවසර ඉල්ලලයි ලියුම යැව්වේ. හැබැයි ඔහුගෙන් උත්තරයක් ලැබුණේ නෑ. ඒකට උත්තරයක් ආවේ අවුරුද්දකින් විතර. ඒ 2006 අවුරුද්දේ. ඒ වෙනකොට ඇත්තටම මට උවමනා වුණේ කොටි බලප්‍රදේශයට ගිහින් ඇවිත් ඒ ප්‍රදේශවල වෙන දේවල් දැක්ක විදියටම පාඨකයින්‍ට ලියන්න.”

ඒ ගමනට අවසර හිමිවීමත් සමඟ බෙනාරි කල් ඇරියේ නැත. පවුලේ අයටද නොකියාම ඇය එකී ගමනට කළමනා ලෑස්තිකර ගත්තාය. එහෙත් ඒ ගමන යා යුත්තේ කෙසේද කියා කිසි අවබෝධයක් ඇයට නොතිබුණි. පසුව ඇය හඳුනන හමුදාවේ උසස් නිලධාරීන්ගෙන් ඒ ගමන ගැන විමසීය. අනතුරුව ඔවුන්ගේ උදව් ඇතුව ගමනට උවමනාම කරන ජාතික ආරක්ෂණ  මාධ්‍ය ඒකකයෙන් දුන් අවසර ලිපිය ලබාගත් බෙනාරි බිහිසුණු ගමනට දිනයක් දා ගත්තාය.

“එදා කොළඹින් යුද හමුදා වාහනේකට නැග්ගට පස්සේ කෙළින්ම මාව අරන් ගියේ අනුරාධපුරේ මැදවච්චිය කෑම්ප් එකකට. එතැනින් ආයේ මට කහ පාට බස් එකකට නගින්න කිව්වා. ඒක ගියේ කෑම්ප් එක ඇතුළට. කෑම්ප් එකේදි හමුදා නිලධාරින් මට ගමනට අදාළව උපදෙස් දුන්නා. පස්සේ වෙඩි නොවදින ඇඳුමක් අන්දලා හෙල්මට් එකක් දැම්මා. ඒ ඇඳුම පුදුම බරයි.”

වෙඩි නොවදින ඇඳුම ඇන්දාට පසු හීන්දෑරි තරුණියක වූ බෙනාරි ඇද වැටුණාය. ඒ එහි තිබූ බරටය. තනිවම නැගිටගන්නට නොහැකි වූ ඇය පසුව නැගිට්ටවූයේ අසළ වූ නිලධාරිනියකි. ඒ නමුත් ඇයගේ ගතේ ශක්තිය පරයමින් ගමනට උවමනා කරන හිතේ ශක්තිය දළු ලා වැඩෙමින් තිබුණි.

“ඊටපස්සේ උපදෙස් ගොඩාක් මැද මාව ආයෙත් බස් එකකින් වව්නියාව ප්‍රධාන කෑම්ප් එකට එක්ක ගියා. මහ රෑ තමයි එහෙට ගියේ. මට බස් එකේ මැද හරියේ වාඩිවෙන්න කිව්වේ. කීයටවත්ම ඔලුව එළියට දාන්න එපා කිව්වා. කෑම්ප් එකට ගිහින් මං ටික වෙලාවක් එතැනට වෙලා හිටියා. පස්සේ වෑන් එකකින් හරියටම උදේ 6.30ට මං කිලිනොච්චියට යන්න පිටත්වුණා. මගෙත් එක්ක ඒකේ ගියේ ග්‍රාමාරක්ෂක නිලධාරියෙක් සහ රියැදුරා විතරයි. කෙළින්ම ගියේ කිලිනොච්චියේ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් දෙකකට එහායින් තිබුණු LTTE රෝඩ් බ්ලොක් එක පේන මායිමට. ඊටපස්සේ මං අපේ ලයින් එකෙන් බැහැලා ඔවුන්ගේ බලප්‍රදේශය වෙත ඇවිදගෙන ගියා.”

බෙනාරි ඒ බලප්‍රදේශයට ඇතුළුව සුළු මොහොතකින් LTTE සංවිධානයට අයත් රථයක් පැමිණ ඇයගේ ඉදිරිපිට නතර කළාය. පසුව එහි වූ ක්‍රිෂ්ණා නම් LTTE කාන්තාවක් බෙනාරිව පරීක්ෂා කොට ඇයට රථයට නඟින ලෙසින් අණ කළාය. අනතුරුව රථය කෙළින්ම ගියේ ඒ වනවිටත් LTTE කොටි නායකයින් සැඟව සිටි ඔවුන්ගේ වාසභවන වෙතය.

“ඒ ගිහින් මං පොළොව යට බංකරයක් විදිහට හදලා තිබුනු තැනකට එක්ක ගියා. ඒක තට්ටු තුනක එකක්. පොළොව මට්ටමෙන් රවුම් හැඩ දොරකින් පහළට බහින්න තිබුනේ. බැස්ස හැටියේ එතැන වහනවා. මං හිතන්නේ එතැන එහෙම එකක් තියෙනවා කියලා කිසිකෙනෙක්ට සැක නොහිතෙන විදියටයි ඒක හදලා තිබුණේ. ඒක ඇතුළ හරියට කළුවර ගුහාවක් වගේ. ඒ වුණාට ඇතුළේ ලයිට් තිබුණා. ඒ වෙද්දි ප්‍රභාකරන්ද ඇතුළුව LTTE නායකයින් හැමෝම වගේ හිටියේ එතැන. ඒ කියන්නෙ දයා මාස්ටර්, තමිල් සෙල්වම්, නඩේෂන් වගේ හැමෝම. ඒත් එක්ක බයකුත් නොහිතුණාම නෙවෙයි.”
මේ අතර දයා මාස්ටර් එක්වරම බෙනාරිට මාධ්‍ය සාකච්ඡාව ලබාදුන්නේ නැත. ඒ වෙනුවෙන් දවස් දෙක තුනක්ම එහි ඉන්නට සිදුවූ බවයි බෙනාරි අපට පැවසුවේ. ඒ අතරවාරයේ ඇයට ඉට්ලි, වඩේ වැනි දමිළ කැමබීම ලැබුණත් වැඩි වෙලාවක් ඉන්නට වුණේ කුසගින්නේය. එම නිවස තුළ අමුත්තන් වෙනුවෙන් කාමර වෙන්කර තිබූ අතර බෙනාරි දින කිහිපය ගෙව්වේද එවැනි කාමරයකය. ඇයගේ අවශ්‍යතාවන් වෙනුවෙන් සියලු පහසුකම් එහි තිබුණු නමුත් නිතරම ඇසුනු වෙඩි ශබ්ද ආදිය නිසා හරිහැටි නින්දක් නොතිබුණු බවයි බෙනාරි අපට පැවසුවේ.
“කොහොමහරි දයා මාස්ටර් එක්ක මං කතා කළා. එතැනදි ඔහු කිව්වේ එයාලා ඉල්ලන ඉල්ලීම් ඉටුකරන්න රජය කටයුතු නොකරන තාක් ඔවුන් සටන් කරනවා කියලා.”

ඒ හැම මොහොතකම කොටි කාන්තාවන් කීපදෙනෙක් බෙනාරිගේ පිටුපස ඈ දෙස ඇස ගසාගෙන සිටි බව ඇය සිහිපත් කරන්නීය. 

“ඇත්තටම මට එහෙන් එනකල් ජීවිතේ ගැන විශ්වාසයක් තිබුණේ නෑ. ඒ වුණාට එන්න ලැබුණා. එද්දි මං හුඟාක් හෙම්බත් වෙලා හිටියේ. මොකද හරියට කෑමක් බීමක් නින්දක් නෑනේ. ඉතින් කවදාවත් නොදැනුණු මහන්සියක් දැනුණා. හැබැයි අපේ බලප්‍රදේශයට එද්දි මට මගේ ගැන හරිම ආඩම්බර හිතුණා. මොකද මං මරුකටට ගිහින් ආවා වගේනේ.”

දින කිහිපයකට පසු බෙනාරි යළිත් සේවයට වාර්තා කළාය. එතැන් පටන් ඈ ලිව්වේ කොටි බලප්‍රදේශයට ගිය ගමන තු‍ළ හමුවූ සිදුවීම්ය. ඒ ලිපි පෙළට ඇය ආරම්භයක් ගත්තේ එදා දයා මාස්ටර් සමඟ කළ සාකච්ඡාවෙනි.

“ඒත් එක්ක මං ප්‍රසිද්ධ වුණා. මගේ ගැන හුඟාක් අය කතා කරන්න ගත්තා. මට දේශ අභිමානී, මාධ්‍ය අභිමානී, වණිතා අභිමානී, ශ්‍රී සමාජ සේවා වගේ හුඟාක් ගෞරව නාම සහිත සම්මාන 15කට එහා ලැබුණා. මං හිතන්නේ එවකට ඒ වගේ දෙයක් කරපු පළවැනි කාන්තාව වුණේ මමයි.”

42 හැවිරිදි බෙනාරි මේ වනවිට සිය මාධ්‍ය ජීවිතයට ආයුබෝවන් කියා තිබේ. ඇය මාධ්‍යවේදිනියක ලෙසින් කටයුතු කළ සත්දින පුවත්පත ද දැන් පත්තර ලෑල්ලේ දකින්නට නැත. ඒ නමුත් ඇගේ ලියවිල්ලේ ආරම්භය ගැන නොඇසුවොත් එය මෙතැනදී අඩුවකි.

“මං පාසල් කාලේ ඉඳන්ම ලියන කියන වැඩවලට ආසයි. මගේ ලොකු අම්මා සෝමා ජයකොඩි. ඇයත් පොත් එහෙම ලියපු කෙනෙක්. සමහරවිට ඒ ආභාෂය තමයි මටත් එන්න ඇත්තේ.”

බෙනාරිගේ උපන් ගම වන්නේ ඉංගිරිය ය. මවත් පියාත් හැරුනුවිට ඇයට මල්ලී කෙනෙකු  සහ නංගිලා දෙදෙනෙකු ඇත. එසේ බලද්දී බෙනාරි පවුලේ වැඩිමලීය. එදා මාධ්‍ය වෘත්තියෙන් සමුගත් පසු මේ වනවිට ඇය මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය නිල ඇ‍ඳුම් මෙන්ම අනෙකුත් නිෂ්පාදන සැපයීම සිදුකරයි. නමුත් 19 අවුරුද්දක් පුරාවට සිදුකරගෙන ගිය ඒ ආයතනය පසුගිය වසරේ පටන් යම්කිසි කඩාවැටීමකට ලක්ව ඇති බවකුයි ඇය ‘ධරණී’ට පැවසුවේ.

“මට ව්‍යාපාරයේ සිවිල් පාරිභෝගිකයින් නෑනේ. ඒ නිසා එහෙම දෙයක් වුණාම ඒක ලොකුවටම බලපානවා. මේ වෙලාවේ රජයෙන් සහයෝගයක් දෙනවා නම් ඒක මට කරන ලොකු උදව්වක්.”

මේ වනවිට මාධ්‍ය වෘත්තියෙන් සමුගෙන තිබුණද නිර්භීතව කොටි කටට ගිය බෙනාරි වැනි මාධ්‍යවේදීන් නිතැතින්ම ඇගයිය යුතුය. මන්ද එවන් හපන්කම් කිරීම හිතන තරමටම ලේසි නැත. ඊට ගතේ ශක්තියට වඩා හිතේ ශක්තිය ප්‍රබල විය යුතුය. ඒ කෙසේ හෝ වසර ගණනකට පසු ‘ධරණී’ අප ඇය සොයා පැමිණීම ගැන බෙනාරිට තිබුණේ නොසෑහෙන සතුටකි. අවසානයේදී ඇය තමන්ට ඇති සිහින බලාපොරොත්තුවක් ගැන මෙසේද පැවසුවාය.

“මට ලොකු ආසාවක් තියෙනවා මගේ මාධ්‍ය ජීවිතේ අත්දැකීම් එකතු කරලා පොතක් ලියන්න නැත්නම් චිත්‍රපටයක් කරන්න. ඉස්සරහට ඒ ගැන බලනවා.”

රුවන් එස්.සෙනවිරත්න