නවතම ප්‍රවෘත්ති

දුකක් දැනෙන හැම මොහොතේම ශැඩෝ එක්ක තනිවෙනවා – ඉමා වීරසූරිය

අයිශ්වර්යා රායි කියන්නේ අසල්වැසි ඉන්දියාවෙන් බිහිවුණු අතිදක්ෂ නිළියක්. ඒ වගේම ලෝක රූ රැජිනක්. මුම්බායිවල ආර්ය විද්‍යා මන්දිර් උසස් පාසලේ ඉගෙනගන්න කාලේ ඇගේ එකම හීනය වුණේ කවදාහරි දවසක ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙන එක. හැබැයි පාසල් අධ්‍යාපනය අවසන් කරද්දීම අයිශ්චර්යාගේ තිබුණු පෙනුම නිසා ඇයට නිරූපණ ක්ෂේත්‍රයට එන්න ආරාධනාවක් ලැබුණා. අයිශ්චර්යාගේ හීනය වෙනස් වෙලා තියෙන්නේ අන්න එතැනදි. අවසානයේ 1994 අවුරුද්දේ ඉන්දියාව නියෝජනය කරමින් ලෝක රූ රැජින වුණු ඇය නතර වුණේ ඉන්දියාවේ අංක එකේ චිත්‍රපට නිළියක් බවට පත්වෙලා.

මම අයිශ්වර්යා රායිගෙන් කවරේ කතාව පටන්ගන්න හිතුවේ අපේ කතා නායිකාවටත් ඒ හා සමාන සිදුවීමකට මුහුණදෙන්න වෙච්ච නිසා. ඇය සුරතල් සත්තුන්ට බොහෝ සෙයින් ආදරේ කරන කෙනෙක්. ඒ නිසාම ඇය සිහින දැකලා තියෙන්නේ ඒ සතුන්ට ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරියක් වෙන්න. හැබැයි එක මොහොතක ඒ පශු වෛද්‍ය හීනය පසුකරලා අලුත් හීනයකට පෙම් බඳින්න පටන්ගනිපු නිසා ඇය අද වෙනකොට අපේ රටේ ජනප්‍රිය නිළියක් බවට පත්වෙලා. ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී ඉමා වීරසූරිය. 

ඓතිහාසික ඇසළ පොහොය තේමාකරගනිමින් මුද්‍රණය වෙන මෙවර ‘ධරණී’ කවරය සරසන්නෙත් ඇයමයි. 

“මගේ පළවැනි පාසල වුණේ රඹුක්කන සුජාතා කනිෂ්ඨ විද්‍යාලය. ඒ ඉන්නකොට තමයි මං අනාගතයේ පශු වෛද්‍යවරියක් වෙනවා කියලා හිතාගෙන හිටියේ. ඒත් දිගින් දිගටම මං පාසල් වේදිකාව එක්ක සම්බන්ධ වුණු නිසා රංගනය ගැන මට හැදෑරීමක් කරන්න ඕන වුණා. ඊටපස්සේ උසස්පෙළට නාට්‍ය හා රංග කලාව විෂයක් විදියට තෝරාගත්තා. ඒත් මගේ පාසලේ ඒක තිබුණේ නෑ. පස්සේ ඒ වෙනුවෙන්ම වගේ උසස්පෙළ කරන්න මං පින්නවල ජාතික පාසලට ඇතුළත් වුණා.”

ඒ පාසලේදි තමයි ඉමාට නාට්‍ය හා රංග කලාව උගන්වපු ගුරුවරයෙක් වුණු සරත් චන්ද්‍රවංශ ගුරුතුමා මුණගැහිලා තියෙන්නේ. ඔහුගේ ඉගැන්වීම් යටතේ රංගනය පිළිබඳව හදාරන්න විතරක් නෙවෙයි රංගනයේ යෙදෙන්නත් ඉමාට කැමැත්තක් ඇතිවෙලා. හැබැයි ඉතින් ඒ අදහසට ඉමාගේ තාත්තා එකපයින්ම කැමති වුණත් අම්මා නම් පොඩ්ඩක් බර බරේ දැම්මලු. ඒ නිසාම ඇයගේ ඒ රංගන කටයුතු පාසල් වේදිකාවට සීමාවෙලා.

“ඒ අතරේ තාත්තාගේ ආසාවකට 2015 අවුරුද්දේ මං ස්වර්ණවාහිනී නාලිකාව විසින් කරපු ස්වර්ණ කුමරිය තරඟයට ඉදිරිපත් වුණා. එදා මං තමයි ඒ තරඟය ජයග්‍රහණය කළේ. ඊටපස්සෙත් දිගින් දිගටම වගේ මට රංගනයට ආරාධනා ලැබුණා. ඒත් අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීලා තිබුණු නිසා ඒ ආරාධනා හැම එකක්ම ප්‍රතික්ෂේප කළා. ඇත්තටම මට ඕන වුණේ රඟපාන්න නෙවෙයි රංගනය ගැන ඉගෙනගන්න. ඊටපස්සේ උසස්පෙළ සමත්වෙලා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ගියා. ඒ ගිහින් රංගනය ගැන වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා. මට විශ්වවිද්‍යාලයේදී ප්‍රසන්නජිත් අබේසූරිය, ඉන්දික ෆර්ඩිනැන්ඩෝ, සෞම්‍ය ලියනගේ, පියල් කාරියවසම් වගේ කථිකාචාර්යවරුන්ගෙන් ඒ ගැන වඩාත් හොඳට හදාරන්න ලැබුණා. මං සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් එළියට ආවේ නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධියක් අරගෙන. දැන් ඒ පැත්තෙන්ම පශ්චාත් උපාධියකුත් කරන්න මං ලෑස්තිවෙනවා.”

මෙච්චර රඟපාන්න ආරාධනා ලැබෙන එකේ එක නිර්මාණයක හරි රඟපාලා බලන්න ඉමාට කැමැත්තක් ඇතිවුණේ ඔය අතරේලු. ඊටපස්සේ ඇය තමන්ගේ පළවැනි ටෙලිනාට්‍යය විදියට තෝරගෙන තියෙන්නේ 2018 – 2019 කාලසීමාවේ දෙරණ නාලිකාවේ විකාශනය වුණු තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කරපු ‘රාවණ 2’ කියන ටෙලිනාට්‍යය. ඒ ටෙලිනාට්‍යයේ ‘සෙන්පති ගිතා’ කියන සටන්කාමී චරිතයටයි ඇය රංගනයෙන් දායකවුණේ. රාවණ වගේ  නිර්මාණයක් වෙනුවෙන් එකතුවෙන්න ලැබුණු එක ලොකු සතුටක් කියලයි ඉමා කිව්වේ.

“දෙරණ නාලිකාවේ ගියපු ‘රාවණ 2’ කියන්නේ මගේ රංගන ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් කිව්වොත් හරි. ඒ ටෙලිනාට්‍යයේ මං රඟපෑවේ රාවණට අභියෝග කරන්න යන සේනාවක සෙන්පතිනියක් වන සෙන්පති ගිතාගේ චරිතය. ඒක තරමක නපුරු සටන්කාමී චරිතයක්. ඒ චරිතයෙන් තමයි මුලින්ම මාව ප්‍රේක්ෂකයින් අතරට ගියේ. ඒකෙන් පස්සේ දෙරණ නාලිකාවෙම ‘පොදු’ සීසන් එකේ හිටියා. හසුන් සමීර අධ්‍යක්ෂණය කරපු ‘ඇස්’ ටෙලිනාට්‍යයත් මගේ රංගන ජීවිතේට ආශිර්වාදයක් වූ නිර්මාණයක්.”

දෙරණෙන් ඇරඹි රංගන ගමන තුළ කෙටි කාලයක් තුළ ලංකාවේ බොහෝ පිරිසක් දන්න කියන රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාවක් ලැබුණු බවයි ඉමා ‘ධරණී’ට කිව්වේ. ඒ අතරින් ඇය රඟපෑ චමෝදි දයාවං‍ශගේ නිර්මාණයක් වන ‘මං ඇතුළේ ඝාතකයෙක්’ වේදිකා නාට්‍ය නිසා පසුගිය වසරේ පැවති 43 වැනි යෞවන නාට්‍ය සම්මාන උළෙලේ වසරේ හොදම සහාය නිළිය වෙන්නත් ලැබුණු බව ඉමා කිව්වේ ලොකු ආඩම්බරේකින්.

“මට චරිතයක් ලැබුණම ඒකේ හැඩය බලන්නේ නෑ. මට ඕන ඒක සුදු වුණත් කළු වුණත් ඒකට උපරිම සාධාරණයක් කරන්න. ඒ වෙනුවෙන් ඕනම විදියක අභියෝගයක් මං බාරගන්නවා. ඔන්න එක සැරයක් මට බයික් එකක් පදින්න තිබ්බා. ඒත් ඒ වෙනකොට ජීවිතේට මං බයික් පැදලා තිබුණේ නෑ. ඒත් නිර්මාණය වෙනුවෙන් මං ඒ අභියෝගය සතුටින් බාරගත්තා. දවස් කීපයක් වැටි වැටී බයික් පදින්න පුරුදු වුණා. ඒ වගේමයි රාවණ 2 ටෙලිනාට්‍යය වෙනුවෙනුත් මට සටන් ක්‍රම පුරුදු වෙන්න වුණා. නිළියක් වුණාම එහෙම කැපකිරීම් අපි කරන්න ඕන. එතැන තමයි සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ. ඒ කතාව රංගන ක්ෂේත්‍රයට විතරක්ම නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයකට පොදුයි.”

මේ වෙනකොට වෘත්තිමය රංගන ශිල්පිනියක් වෙන ඉමාව අපිට නිර්මාණ කීපයකින්ම දකින්න පුළුවන්. පුංචි තිරය ගත්තොත් හිරු නාලිකාවේ ‘රජ ගෙදර’ සහ ස්වර්ණවාහිනී නාලිකාවේ ‘අළුපාට දේදුණු’ කියන ටෙලිනාට්‍ය දෙකේ වගේම වේදිකා නාට්‍ය ද්විත්වයක් වෙන අසංක ගුරුසිංහගේ ‘ප්‍රේමයේ නගරය’, චමෝදි දයාවං‍ශගේ ‘මං ඇතුළේ ඝාතකයෙක්’ තුළිනුත් ඉමාව මේ දවස්වල දැකගන්න පුළුවන්. එහෙම වේදිකාවත් පුංචි තිරයත් අල්ලපු ඉමා එස්.අයි.සමරක්කොඩිගේ ‘හලෝ’ චිත්‍රපටයෙන් ළඟදීම රිදීතිරයේ දකින්නත් ලැබෙයි කියලයි අපිට කිව්වේ.

“ගොඩාක් රංගන ශිල්පීන් ශිල්පිනියන් වේදිකාව, පුංචිතිරය, රිදීතිරය කියන තුනේම වැඩ කරන්නේ නෑ. ඒත් මං ඒ තුනේම වැඩ කරගෙන යනවා. ඉතින් ඒ ලබන අත්දැකීම් එක්ක ඉදිරියේදී කුඩා දරුදැරියන් වෙනුවෙන් රංගන පාසලක් ආරම්භ කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.”

රංගන ජීවිතය එහෙම වෙද්දි අපි ඊළඟට හැරුනේ ඉමාගේ පෞද්ගලික ජීවිතේ පැත්තට. දන්න තරමින් ඉමා කියන්නේ ඇගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථකව කරගෙන යන තරුණියක්. ඒ නිසාමයි අධ්‍යාපන කියන දේ ජීවිතේට කොයිතරම් වැදගත්ද කියලා ඉමාගෙන් අහලා බලන්න හිතුණේ.

“මං හිතන්නේ අපි මොන වෘත්තියක් කළත් හැදෑරීමක් එක්ක ගමනක් යන එක හරි ලේසියි. හොඳම උදාහරණය මං. මට දැන් ගොඩාක් නිර්මාණවලට ආරාධනා ලැබුණත් මං තවම රංගනය ගැන ඉගෙනගන්න එක නතර කරලා නෑ. කොච්චර ඉගෙනගත්තත් ඒ කිසිම දෙයක් අපතේ යන්නේ නෑ.”

හැබැයි කොච්චර දුරට හැදෑරීම් කළත් ජීවිතය කියන්නේ අභියෝග එක්ක යන්න ඕනේ ගමනක් කියලයි ඉමා කිව්වේ. ඉමා එහෙම කියපු නිසාම ඇය තරුණියක් විදියට අභියෝගවලට මුහුණදෙන්නේ කොයි විදියටද කියලත් අපි අහලා බැලුවා.

“අභියෝග කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මං ගත්තොත් මගේ වෘත්තිය එක්ක මට සෑහෙන අභියෝග එනවා. අපට හැදෙන ගොසිප් පවා එක පැත්තකින් අභියෝගයක්. හැබැයි මගේ විදිය තමයි ජීවිතේට එන ඕනම විදියේ අභියෝගයක් හිනාවෙලා බාරගන්න එක. අභියෝගවලට බය වුණොත් එතැන අපි පරාදයි. ඒ  නිසා අභියෝග හිනාවෙලා බාරඅරන් ඒවට විසඳුමක් හොයනවා.”

හැබැයි අභියෝග හිනාවෙන් බාරගත්තත් අභියෝගවලට සාර්ථකව මුහුණදෙන්න බැරිවෙන වෙලාවලුත් තියෙනවලු. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ කියලා ඇහුවම ඉමා අපට දීපු උත්තරේ තමයි මේ.

“ඒ වගේ වෙලාවට මං ටිකක් තනියෙන් ඉන්නවා. තනියෙන් ඉඳගෙන කල්පනා කරනවා. එතකොට විසඳුමක් හොයන්න පුළුවන්. හැබැයි විසදුම් නැති වෙලාවලුත් තියෙනවනේ. එතකොට දුකයි. ඒ වගේ වෙලාවලට මං කරන්නේ මගේ ‘ශැඩෝ’ එක්ක තනිවෙන එක. එයත් එක්ක කතා කරන එක. ශැඩෝ කියලා කියන්නේ බලු පැටියෙක්. එයත් එක්ක පොඩ්ඩක් වෙලා හිටියම මට දුක අමතක වෙලා යනවා.”

බොහෝ පුද්ගලයින් සාර්ථකත්වය කියලා විශ්වාස කරන්නේ මුදල් අතින් කිසිම විදියක අඩුපාඩුවක් නොවී ජීවත්වෙන එක වුණත් ඉමාට නම් තියෙන්නේ සාර්ථකත්වයට වෙනමම උත්තරයක්.

“99%ක්ම මිනිස්සු සාර්ථකත්වය කියන දෙය මනින්නේ මිල මුදල්වලින්. ඒත් මං නම් සාර්ථකත්වය කියලා කියන්නේ හැම මොහොතකම සතුටින් හිනාවෙලා ඉන්න පුළුවන් එකට. නිකන් හිතන්න කොයිතරම් මිල මුදල් තිබිලත් හිතේ සතුටක් නැතුව ජීවත්වෙන අය කොතරම් මේ ලෝකේ ඉන්නවද? මුදල් හම්බකරන්නත් ඕනේ. ඒත් ඊටත් වඩා සතුට හම්බකරගන්න ඕනේ. මට අනුව නම් කෙනෙක්ගේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ එතැන. මොකද මොන දේ තිබුණත් වැඩක් නෑනේ සතුට, හිනාව අපේ ගාව නැත්නම්.”

ඉමා ඉන්නේ කෑගල්ලේ රඹුක්කන කියන ගමේ. ගෙදර ඇයට තව ඉන්නේ අම්මයි මල්ලියි විතරලු. තාත්තා අවුරුදු හයකට විතර කලින් මියගිහින්. ඒත් එක්ක හැමදේකටම වගේම වෘත්තීමය වශයෙන් රංගන ශිල්පිනියක් විදියට කලා ක්ෂේත්‍රයේ රැඳෙන්නත් ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා කියලයි ඉමා කිව්වේ. එම සහයෝගයත් එක්ක ඇයගේ ලොකුම ආසාව කවදා හරි අපේ රටේ හොඳම නිළිය වෙන එකලු. ඉතින් ඒ වෙනුවෙන් ඈට සුබපතන ගමන් ‘ධරණී’ කියවන සමස්ත කාන්තාවන් වෙනුවෙන් ශක්තිමත් පණිවිඩයක් දෙන්න කියලත් අවසානෙට අපි ඇගෙන් ඉල්ලීමක් කළා.

“මිනිස්සු විදියට අපේ ජීවිතවලට එන අභියෝග වැඩියි. ඒ අභියෝග එක්ක නිතරම අහිමිවීම්වලට කඩාවැටීම්වලට මුහුණදෙන්න වෙනවා. එහෙමයි කියලා අපි කොයිම වෙලාවකවත් නැවතෙන්න හොඳ නෑ. ඒ හැමදේකටමත් මුහුණදෙන ගමන් අපි නොනැවතී අපේ ගමන යන්න ඕනේ. කොටින්ම 100 පෙනි පෙනී අපි 99දි බිංදුවට ඇදගෙන වැටුණොත් ආයෙත් එකේ ඉඳන් පටන්ගන්න එකයි වැඩේ. ඒ තමයි මේ ලෝකේ සාර්ථක මිනිස්සුන්ගේ සාර්ථකත්වයේ රහස.” 

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක

ඇඳුම් නිර්මාණය – ශලිනි වන්නිනායක

හැඩගැන්වීම – අප්සරා තිලකරත්න (Salon Apsara Hair Beauty Bridal – Nawala & Kotte)

පසුතලය – ඊයම්පූරුව පුරාණ රජමහා විහාරය