රූපලවන්‍ය

‘කොරල’ පරල වෙන සරල ආයුර්වේද සත්කාර

පහතරට ගැමි නාටක සම්ප්‍රදායට අයත් ප්‍රධාන නාට්‍ය වර්ගයක් තමයි ‘කෝලම්’ කියන්නේ. මේ කෝලම් අතරේ සුප්‍රසිද්ධම කෝලමක් තමයි ‘ජසයා ලෙන්චිනා’ කෝලම. මේ කතාවේ හැටියට ලෙන්චිනාට අකමැත්තෙන් වුණත් වයෝවෘද්ධ ජසයත් එක්ක විවාහ වෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඇය ජසයාට කොයිතරම් අකමැතිද කියන එක ලෙන්චිනාගෙ මේ කවිය කියෙව්වම තේරෙනවා.

 

‘වකුටු කුදේ නොන්ඩිය තියා 

එති කෙතට බැඳපු ලෙස එපඹයා

රුවට කොරල හැඩි තලගොයා හට 

මාව සරණ දීලා මව්පියො ගියා’

 

ලෙන්චිනා කියන විදියට වකුටු කුදයත්, නොන්ඩියත්, හමේ තිබුණු කොරලත් නිසා කරකාර බැඳගත්තු ස්වාමිපුරුෂයා ගැන ශෘංගාරාත්මක හැඟීමක් වෙනුවට ඇයට ඇතිවුණේ පිළිකුලක්. අපිට ඔය කතාව කියන්න හිතුණේ අද මාතෘකාව මේ අප්‍රසන්න ‘කොරල’ ගැන නිසා. ගැහැනු පිරිමි භේදයක් නැතිව සමේ කොරල හටගැනීම නිසා පීඩා විඳින අය අදත් නිරතුරුවම අපිට දකින්න ලැබෙනවා. මේ නිසාම ඇතැම් උදවිය මානසිකව පීඩා විඳින අවස්ථාත් ඕනතරම්. ඉතින් එවැනි කාරණා නිසා ජසයා ලෙන්චිනා වගේ කසාද ජීවිතේ ප්‍රශ්න හදාගන්නෙ නැතිව ඒ වෙනුවෙන් කරන්න පුළුවන් පිළියම් ගැන දැනුවත් වෙලා ඉන්න එක වටිනවා.

සමේ කොරල ඇතිවීමේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී ඉක්තියෝසිස් වල්ගාරිස් කියලා හඳුන්වනවා. ඒකට හේතුව තමයි මේ තත්ත්වයේදී මනුෂ්‍යයෙක්ගේ සම මත්ස්‍ය සමක ස්වරූපයක් ගැනීම. සමේ කොරල ඇතිවීම ප්‍රධාන වශයෙන් කකුල් සහ අත් ආශ්‍රිතව තමයි දැකගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙම තත්ත්වය ඉතා අඩු වශයෙන් සම්පූර්ණ ශරීරය පුරාත් මුහුණේත් පැතිරී යන්න පුළුවන්. 

ඉතින් මේ විදියට සමේ කොරල ඇතිවෙන්න බලපාන සාධක ගැන හොයලා බැලුවොත් ඉතා සීතල ප්‍රදේශවල ජීවත්වීම, වැඩි ජලවාෂ්ප ප්‍රමාණයක් ඇති පරිසරවල ජීවත්වීම, දීර්ඝකාලීනව උණුවතුරෙන් ස්නානය කිරීම, වැඩි වේලාවක් අව්වේ සිටීම, ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම, වයස්ගත වීමේදී ශරී‍රයේ කොලැජන් ප්‍රමාණය සහ සමේ සීබම් නිෂ්පාදනය අවම වීම, එක්සීමා/සොරයිසීස් වැනි සමේ හටගන්නා විවිධ රෝග තත්ත්ව, ශරීරයට අවශ්‍ය මේද අම්ල අවම වීම හා වෙනත් පෝෂණ ඌනතා, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රශ්න, ප්‍රමිතියකින් තොර සබන්/සේදුම්කාරක/රූපලාවණ්‍ය ද්‍රව්‍ය, ආලේපන භාවිතය වගේ දේවල් හඳුන්වන්න පුළුවන්.

මේ විදියට සමේ කොරල ඇතිවීම හින්දා යම්කිසි කෙනෙක් අපහසුතාවයට පත්වෙලා ඉන්නවනම් ඒ සඳහා ආයුර්වේදයේ කළ හැකි ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ. 

දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම මෙතැනදී අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම පොල්පලා, රණවරා, බෙලිමල්, නෙල්ලි, රසකිඳ වගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන දේවල් බොන්න පුළුවන්නම් මේ කොරල ඇතිවීම කියන තත්ත්වයට වඩාත් හොඳයි. ඒ වගේම සව්කැඳ, පිපිඤ්ඤා, කොමඩු, දෙහි, දොඩම් ආදියත් තමන්ගේ ආහාරවලට එක් කරගැනීම ගොඩක් වැදගත්. 

ඇඟට අවශ්‍ය කරන මේද කොටස් ලබාගන්න පෝෂ්‍යදායී සහ සෞඛ්‍යවත් ආහාර විදියට කජු සහ රටකජු වැනි ධාන්‍ය වර්ගත් පිරිසුදු එළඟි තෙල්, ඔලිව් ඔයිල් දිනකට තේ හැන්දක පමණ ප්‍රමාණයකිනුත් පුද්ගලයෙකුට ලබාගන්න පුළුවන්. ඒ වගේම මත්ස්‍ය ආහාර ශරීරයට වැඩිපුර එකතු කරගැනීමෙනුත් ශරීරයේ කොරල ගතිය මගහරවාගන්න පුළුවන්. කහ, සූදුරු, කොත්තමල්ලි, උලුහාල් වැනි කුළුබඩු වර්ගත් මෙම තත්ත්වය වළක්වගන්න ගොඩක් උපකාරී වන නිසා ආහාරවේලට මෙම කුළුබඩු වර්ග එකතු කරගැනීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව පවතිනවා . 

මීට අමතරව සමේ කොරල පවතින ප්‍රදේශවල දිනපතා කෝමාරිකා මදය ආලේප කිරීමත්, පිරිසුදු පොල්තෙල් ස්වල්පයක් රත් කර සම මතුපිට ගල්වා කවාකාරව පිරිමැදීමත් කරන්න පුළුවන්. මේ ආලේපන දෙක හරහා සමට වඩා හොඳ තෙතමනයක් ලැබෙනවා. ඒ වගේම පොල්තෙල්වලට සමේ බැක්ටීරියා සමඟ සටන් කිරීමේ හැකියාවකුත් පවතිනවා.

පොල්තෙල් ආලේප කරන ආකාරයටම මදක් රත් කරන ලද තල තෙල් ස්වල්පයකුත් සමේ කොරල සහිත ප්‍රදේශවල ආලේප කිරීමෙන් සමට හොඳ පෝෂණයක් ලැබෙනවා. ඒ වගේම සමේ වියළි බව අඩු කරන්නත් පුළුවන්. 

කහ සමඟ කිරි ස්වල්පයක් මිශ්‍ර කරලා කොරල සහිත ප්‍රදේශවල ආලේප කිරීමත් මෙම තත්ත්වයට වඩා හොඳ ඔසුවක්. 

වැල්මද කිරි සමඟ මිශ්‍ර කරලා සමේ කොරල සහිත ප්‍රදේශවල ආලේප කිරීමත් සමේ කොරල අවම කරන හොඳ සත්කාරයක්.

සමේ කොරල ඇතිවීම කියන තත්ත්වය අවම කරගන්න කළ යුතු දේවල් වගේම නොකළ යුතු දේවල් කිහිපයකුත් තියෙනවා.

ප්‍රමිතියකින් තොර රූපලාවණ්‍ය ද්‍රව්‍ය/විවිධ ආලේපන වර්ග/සබන්/සේදුම්කාරක ආදිය පාවිච්චි කිරීමෙන් වැළකෙන්න ඕන. ස්නානය කිරීමේදී සීතල ජලයෙන් ස්නානය කිරීම සිද්ධ කරන්න ඕන වගේම නිතරම ජලයේ රැඳී සිටීම සිදු නොකළ යුතු දෙයක්.

දහඩිය උරා ගැනීමට නොහැකි ඇඳුම් පැළඳුම් ආදිය පාවිච්චි කිරීමෙනුත් වැළකිලා ඉන්න ඕන. 

යම්කිසි හෙයකින් ඉහතින් සඳහන් කළ හේතු සාධකවලින් පරිබාහිරව ප්‍රවේණිගතව මෙම රෝගය කෙනෙක්ට වැළඳිලා තියෙනවා නම් අත්බෙහෙත් කිරීම පලදායි නැහැ. ඒ වෙනුවට සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් මුණගැහිලා අදාළ ප්‍රතිකාර සහ ඖෂධ වර්ග ලබාගැනීම කළ යුතුයි. 

උපදෙස් 

වෛද්‍ය හර්ශනී එදිරිසිංහ (BAMS,uoc)

AYUVEDA Wellness – Kaduwela

 

පවනි වාසනා