නවතම ප්‍රවෘත්ති

හිත ගිය කෙල්ලෙක් මුණගැහුනු නිසා ‘තනිකඩ සටන’ පාවාදෙන්න වුණා

“මං හිතන්නේ අපි විවාහයට හදිස්සි වෙන්න හොඳ නෑ. ඒක හදිස්සි වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මං දැන් ටිකක් වයසයි තමයි. ඒ වුණත් මං හිතනවා විවාහයට වයස ප්‍රශ්නයක් නෑ කියලා. මං සම්බන්ධතා කීපයකින් පරාදවුණු කෙනෙක්. ඒ නිසා තනිකඩව ඉන්නවා. හැබැයි කවදාහරි දවසක හිතට හරියන කෙනෙක් මුණගැහුනොත් මගේ තනිකඩ ජීවිතේ අවසන් වෙන්න පුළුවන්.”

පසුගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2023 අවුරුද්දේ ඔන්න ඔහොම කිව්වේ ආසියාවේ ජනප්‍රියම තනිකඩයා විදියට සැළකෙන බොලිවුඩ් නළු සල්මන් ඛාන්. ඒ එම වසරේ තිරගත කෙරුණු ‘ටයිගර්’ නම් චිත්‍රපට මාලාවේ නවතම නිර්මාණය වූ ‘ටයිගර් 3’ (Tiger 3) චිත්‍රපටය එළිදක්වපු දවසේ. විවාහය ගැන සල්මන්ගෙන් මාධ්‍යවේදිනියක් අහපු ප්‍රශ්නයකටයි ඔහු ඒ විදියේ උත්තරයක් දුන්නේ.

අසල්වැසි රටේ විතරක් නෙවෙයි අපේ රටෙත් ඔය වගේ සුප්‍රසිද්ධ තනිකඩයෙක් හිටියා. ඒ තමයි ටීවී දෙරණේ නිවේදන ශිල්පියෙක් වෙන හසිත විජේවර්ධන. තනිකඩ පිරිමියෙක් ගැන කතාවක් ඇදුනොත් ගොඩක් දෙනෙකුට රංජන් රාමනායක ඇරුනම මුලින්ම මතක් වුණේ හසිත. හැබැයි එහෙම හිටපු හසිත පහුගිය දවසක මේ තනිකඩ සටන පාවලා දීලා කුමර බඹසර බිඳගත්තා. 

ඔහුගේ අතගත්ත මනාලිය වුණේ ශෙනුලි ලියේනා දේවගේ. ඉතින් මෙවර ‘ධරණී’ කවරය සරසන්න අපි මේ නව යුවළට ආරාධනා කළා.

“දෙන්නටම අපේ සුබ පැතුම්…”

“බොහොම ස්තූතියි, ධරණී පත්තරේට.”

අපි ඒ දෙන්නට සුබ පතලා කතාව පටන් ගන්නකොට හසිත ඒ විදියට කතාව පටන්ගත්තා. 

“ඇත්තටම පසුගිය කාලේ මං විවාහ වෙනවා කියන තැන හිටියේ නෑ. වයස පොඩ්ඩක් පැන්නත් හදිස්සි වෙලා නම් විවාහවෙන්නේ නෑ කියලයි හිතාගෙන හිටියේ. ඒත් හොඳ කෙනෙක් මුණගැහුනොත් ඒ තීරණය වෙනස් වෙන්න පුළුවන් බවත් මම දැනගෙන හිටියා. අන්තිමේ එහෙම කෙනෙක් මුණගැහුනා. ඇය තමයි ලියේනා. ඉතින් ලියේනායි මමයි විවාහවුණා.”

හසිත මුලින්ම ලියේනාව දැක්කේ ෆේස්බුක් එකෙන්ලු. හිත ගිය තැන මාලිගාව කියන්න වගේ හැඩකාර ලියේනා දැකපු ගමන් හසිතගේ හිතේ ඇය ගැන කැමැත්තක් ඇතිවෙලා. හැබැයි එකපාරම ඒ වගක් ඇයට කියන්න ගියේ නැතිලු.

“මං ලියේනාව ෆේස්බුක් එකේ දැක්කේ දැනට හරියටම අවුරුදු එකහමාරකට විතර කලින්. ඊටපස්සේ රික්වෙස්ට් එකක් දැම්මා. එහෙම තමයි සම්බන්ධය පටන්ගත්තේ. මුලින් යාළුවෝ විදියට අපි දැන අඳුනගත්තා. කාලයක් චැට් කරද්දි එයා හොඳ කෙනෙක් කියලා මට තේරුම් ගියා. පස්සේ ඉතින් ප්‍රමාදය පසුතැවීමට හේතුවෙන්න පුළුවන් හින්දා වැඩිය කල් අරින්නේ නැතුව එයාට මගේ අදහස ගැන කිව්වා. ඒ කියන්නේ මම එයාට කැමතියි, එයා මට කැමතිද කියලා ඇහුවා.”

ඒත් ලියේනා හසිතට කැමතිවෙලා නෑ. ඒකට හේතුවෙලා තියෙන්නේ හසිත ජනප්‍රිය පුද්ගලයෙක් වුණු එකලු. මොන දේ බලෙන් ගන්න පුළුවන් වුණත් ආදරේ එහෙම ලබාගන්න බැරි හින්දා පස්සේ හසිත ලියේනා ගැන තිබුණු අදහස අතෑරලා දාලා. හැබැයි ටික දවසක් ගියාට පස්සේ ඇය හසිතට කැමැත්ත දුන්නලු.

“ලියේනා කැමැත්ත දීලා මාස හයකින් වගේ අපි විවාහවුණා. ඒත් එක්ක අර කුරුල්ලෙක් වගේ ගෙවපු තනිකඩ ජීවිතේ ඉවරවුණා. වගකීම් නම් හුඟාක් වැඩිවුණා. ලියේනා ගැන කිව්වොත් එයා හරිම අහිංසක, තැන්පත්, වැඩි කතාවක් නැති, විච්චූරණ නැති කෙනෙක්. එහෙම කෙනෙක් තමයි මගේ හිතෙත් හිටියේ. ඒ කියන්නේ කවදා හරි මං බැන්ඳොත් බඳින කෙනා කොයි වගේ වෙන්න ඕනද කියලා මං හිතාගෙන හිටියා. ඒ හැමදේම ලියේනා ගාව තියෙනවා.”

ආදර සම්බන්ධය පටන් අරගෙන මාස හයක් වගේ ඇතුළත හසිත විවාහ වෙන්න හිතුවේ මොකද කියලත් අපි කතාබහ අතරවාරයේ අහලා බැලුවා.

“ඒ කතාව ගොඩාක් අය ඇහුවා. මේකයි සිද්ධිය. ලියේනාගේ පවුලේ අය විදෙස් රටක පදිංචියට යන්න ඉන්නේ. ඒ නිසා එයාලගේ පවුලේ ඉල්ලීමත් එක්ක තමයි ඉක්මණින්ම විවාහ වුණේ. අනික ඉතින් ගැළපුනු කෙනා මුණගැහිලා හිටපු එකේ බොරුවට කල්යවන්න උවමනා නෑනේ.”

හසිතගෙයි ලියේනාගෙයි වයස් පරතරය ගැනත් පසුගියදා සමාජමාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇතිවෙලා තිබුණා. විදෙස් රටවලට ඒවා අරුමයක් නොවුණත් අපේ රටේ උදවියට ඒ දේවල් අරුමයක් වෙන එක ගැන හසිත කිව්වේ මේ වගේ කතාවක්.

“මං හිතන්නේ විවාහයට වයස් පරතරේ බලන්නේ අපේ රටේ විතරද කොහෙද. වෙන රටවල එහෙම තත්ත්වයක් නෑ. අවුරුදු විසි තිස් ගණන්වලින් පරතරය තියෙන අයත් වෙන රටවල විවාහවෙනවා. මගෙයි ලියේනාගෙයි අවුරුදු 13ක වයස් පරතරයක් තියෙනවා. අපේ අම්මයි තාත්තයි අතරේ වගේම ලියේනාගේ අම්මයි තාත්තගෙයි අතරෙත් ඒ වගේම වයස් පරතරයක් තියෙනවා. හැබැයි එයාලා අද වෙනකල් හොඳින් සතුටින් ජීවත්වෙනවා. ඉතින් ඊටත් වඩා මොකක්ද? කොහොමත් මං ඔය දේවල් ලොකුවට හිතන්නේ නෑ.”

වයස් පරතරය ගැනම විතරක් නෙවෙයි, හසිත ඔහු විවාහවෙන බවට ඉඟියක්වත් නොදී එක්වරම තනිකඩ සටන පාවාදීම ගැනත් සමාජමාධ්‍යවල ලොකු කතාබහක් ඇතිවුණා. ඔහු ගැන විවිධ පෝස්ට් පවා පළවුණා. ඒක නිසාම තනිකඩ සටන පාවාදීම ගැනත් හසිතගෙන් නොඅසා බැරිවුණා.

“ඇත්තටම සටන පාවාදුන්නා නෙවෙයි පාවාදෙන්න වුණා. ඒක මෙහෙමයි. අපිට තනියම ඉන්න එක හරි ලේසියි, පහසුයි වුණත් අපිට තනිකම දැනෙන වෙලාවට ඒ තනිකම බෙදාගන්නත් කෙනෙක් ළඟ ඉන්න ඕනේ. අම්මලා තාත්තලා වුණත් හැමදාම ළඟින් ඉන්නේ නෑනේ. ඒවත් එක්ක හිත ගිය කෙල්ලෙක් මුණගැහුනු හින්දා තනිකඩ සටන පාවාදුන්නා. සටන තාමත් කරගෙන යන අයටත් කියන්නේ හොඳ කෙනෙක් මුණගැහුනොත් මේ මං වගේ සටන පාවාදුන්නට කමක් නෑ.”

ඉතින් ඔය කතාබහ අතරේ අලුත ගෙනා මනමාලිගේ කැමතිම ගතිගුණය වගේම අකමැති ගතිගුණය ගැනත් හසිතගෙන් අහලා බැලුවේ ඔහු මොන වගේ උත්තරයක්ද දෙයිද කියලා බලන්නත් එක්ක.

“ලියේනාගේ කැමතිම ගතිගුණය නම් අඩුවෙන් කතා කරන එක. ඒත් එක්ක පවුල් ජීවිතේ ගෙනියන්න ලේසියි. මං ලියේනාගේ අකමැතිම දේ තමයි තරහා ගියාම ඒ තරහා ගිය හේතුව නොකියන එක.”

කට පුරා හිනාවෙවී එහෙම කියපු හසිතගෙන් බිරිඳ අතින් ඔහුගේ මාධ්‍ය ජීවිතේට ලැබෙන සහයෝගය ගැනත් අපි නිකමට අහලා බැලුවා. ඒ වෙලාවේ හසිත කිව්වේ ලියේනා ඔහුට දක්වන ලොකුම සහයෝගය ඔහුගේ රැකියාවේ ස්වාභාවය තේරුම් අරන් ඉන්න එකලු.

“මං දෙරණත් එක්ක සම්බන්ධ වුණේ 2009 අවුරුද්දේ. මුලින්ම කළේ ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් විදියට වැඩ කරපු එක. ඊටපස්සේ ක්‍රීඩා ප්‍රවෘත්ති වාර්තා කළා. කාලයත් එක්කම පොඩි පොඩි නිවේදන වැඩ කළා. මේ වෙද්දි On Topic, මොකද වුණේ, මනුසත් දෙරණ, ප්‍රවෘත්ති විශේෂාංග වගේ වැඩසටහන් කරගෙන යනවා. ඉදිරියේදි වෙනස්ම වැඩ ටිකක් කරන්නත් සැළසුම් කරගෙන ඉන්නවා.”

හසිත එහෙම කිව්වේ මේ වෙද්දි නිවේදන ශිල්පියෙක් විදියට ඔහු ඇවිත් තියෙන ගමන ගැන ඇහුවම. ඒ වගේම ඒ ආපු ගමනට හයියක් වුණු හැමෝම මතක් කරන්නත් හසිත අමතක කළේ නෑ. ඉතින් ඔහුගේ අලුත් ජීවිතේට සුබ ප්‍රාර්ථනා එකතුකරන ගමන් කතාබහේ ඉතිරිය වෙනුවෙන් අපි හසිතගේ බිරිඳ ශෙනුලි ලියේනාට කතා කළා.

“මුලදි නම් මං ජනප්‍රිය කෙනෙක් එක්ක විවාහ වෙන්න කැමැත්තක් තිබුණේ නෑ. ඒක නිසා මුලින් අකමැති වුණා. ඒත් යාළුවෝ විදියට ආශ්‍රය කරද්දි මට තේරුණා හසිත කියන්නේ හරි හොඳ කෙනෙක් කියලා. සමහර වෙලාවට මං මොන දේ කිව්වත් අහන් ඉන්නවා. හොඳ සවන්දෙන්නෙක්. ඒත් එක්ක මට තේරුණා එයා මට ගොඩාක් ආදරෙයි, ඒ නිසා මාව හොඳට බලාගනියි කියලා. ඊටපස්සේ මං එයාට කැමතිවුණා.”

 

*මුලින් ජනප්‍රිය අයට අකමැතිවු‍ණේ ඇයි?

“ජනප්‍රිය අය හරි කාර්යබහුලයි. ඉතින් පවුල් ජීවිතේ ගෙනියන්න අමාරුවෙයි කියලා හිතුණා. අනික ජනප්‍රිය නිසා නිදහස නැතිවෙයි හිතුණා. ඔන්න ඔය නිසා තමයි ජනප්‍රිය කෙනෙක් එක්ක ඒ වගේ සම්බන්ධයක් පටන්ගන්න මුලින් අකමැති වුණේ.”

ලියේනා මුලදි ජනප්‍රිය කෙනෙක්ව විවාහ කරගන්න අකමැති වුණත් හසිත වගේ රටේ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක් තම සැමියා වුණු එක ගැන ආඩම්බරයක් නැත්තෙම නෑ කියලත් කිව්වා. ලියේනාට හසිතව මුණගැහෙන්න කලින් හසිතව රූපවාහිනියෙන් දැකලා තිබුණද කියලත් අපි ඇයගෙන් අහලා බැලුවා.

“මං නිතරම ටීවි බලපු කෙනෙක් නම් නෙවෙයි. කවදාවත්ම හසිතගේ ප්‍රෝගෑම් එකක් බලලත් නෑ. ඒත් අපේ ගෙදර අය බලනවා. එහෙම වෙලාවට මං එයාව දැකලා තිබුණා.”

හසිතට වැඩිපුරම තියෙන්නේ තරුණියන්ගේ ආකර්ෂණය නිසා ඒ ගැනත් ලියේනාගෙන් අහලා බලන්න හිතුණා. ඒ වෙලාවේ ඇය දුන්නු උත්තරය තමයි මේ.

“හසිත රූපවාහිනී නිවේදකයෙක් නිසා එයා හරි ජනප්‍රියයි. ගොඩාක් අය එයාට ආදරෙයි. ඒකට ගෑනු පිරිමි භේදයක් නෑ. හැබැයි ඔය කියන විදියට හසිතට තරුණියන්ගේ ආකර්ශනය වැඩිපුර තිබුණත් ප්‍රශ්නයක් නෑ. මොකද මට එයාව  විශ්වාසයි.”

 

*ඒ වුණාට විවාහයෙන් පස්සේ හසිතට නීති එහෙම දාලා ඇති?

 

“අයියෝ නෑ. යාළුවෙලා හිටපු කාලෙවත් නීති දැම්මේ නෑ. මට හසිතව ගොඩාක් විශ්වාසයි.”

හසිතගෙන් ලියේනාගේ ගතිගුණ ගැන ඇහුවා වගේම ලියේනාගෙනුත් ඒ කතාවම අහලා බලන්න හිතුණේ ඇය කොහොම උත්තරයක් දෙයිද කියලා බලන්නත් එක්ක.

“හසිත ආදරණීය කෙනෙක්. මම දැක්ක එයාගේ හොඳම ගතිගුණය එයාගේ ඒ ආදරණීය බව තමයි. එයාගේ අකමැතිම දේ තමයි ගෙදර එන්න රෑ වෙන එක. ඒ ඇරෙන්න වෙන කිසිම අඩුපාඩුවක් නෑ.”

ලියේනාගේ ගෙවල් තියෙන්නෙත් වත්තලලු. අම්මයි අක්කලා දෙන්නයි අයියයි තමයි ඇයට ඉන්නේ. මීට මාස හයකට විතර කලින් ඇයගේ තාත්තා මියගිහින්. ඇය ඒ ගැන කිව්වේ තරමක් සංවේදී වෙලා.

“හසිත අයියා එක්ක විවාහවෙලා තාම ටික දවසයි. ඒක අලුත් ජීවිතයක්. පවුලේ හැමෝගේම ආශිර්වාදය මැද අපි හරිම සතුටින් ඉන්නවා. එයාගෙ රැකියා කටයුතුවලටත් සහාය වෙන ගමන් ඔහුත් එක්ක හැමදාමත් සතුටින් ඉන්න එකයි මගේ ලොකුම බලාපොරොත්තුව.”

කතාබහ අවසන් කරමින් ලියේනා එහෙම කිව්වේ හසිත දිහා බලාගෙන. ඒ වෙලාවේ ඔවුන් දෙන්නගේම ඇස්වල ආදරේ උතුරන හැටි අපි දැක්කා. ඉතින් ඒ ආදරේ මතු මතුවටත් පරිස්සම් වෙලා ඔවුන්ට සතුට රජයන පවුල් ජීවිතයක් ගතකරන්න ලැබේවා කියන ප්‍රාර්ථනයත් එක්ක ‘ධරණී’ අපි ‘හසිත – ලියේනා’ නව යුවළට සමුදුන්නා.

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක

පසුතලය – සෝලිස් හොටෙල්, පිටකෝට්ටේ