නවතම ප්‍රවෘත්ති

ආසියානු කුසලානය දිනුවාට පස්සෙත් මං ක්‍රීඩිකාවන්ට කිව්වෙ නිහතමානී වෙන්න කියලයි – චමරි අතපත්තු

“ක්‍රීඩාවෙදි ජය පැරදුම දෙකම පොදුයි. ඒක මැද සිතින් විඳින්න මට පුරුදුයි. මං තරුණ ක්‍රීඩිකාවන්ටත් විශේෂයෙන් කියන්නෙ ජයග්‍රහණයකදී අපි කොහොමද ටීම් එක, සමාජය, පවුල එක්ක ඉන්නෙ, ඒ මානසිකත්වය අමතක කරන්න එපා කියලා. ඒක නෝට් ඩවුන් කරලා තියාගන්න ඕනෙ. මොකද පරාජය වුණු වෙලාවක කොහෙන් හරි දෝෂාරෝපණයක් එල්ල වුණාම තමන්ට උදව්වට ඉන්නෙ අර පොසිටිව් මානසිකත්වය. ඒක තමයි අපිට උදව් වෙන්නෙ අපිව ආපහු හිටපු තැනට ගෙනියන්න. ජයග්‍රහණය සමඟ ගොඩක් අය හිටියට පරාද වෙද්දි, අසාර්ථක වෙද්දි, කඩා වැටෙද්දී පිරිස අඩුයි. එතකොට තමන් දැනගන්න ඕනෙ තමාව ඉහළට ඔසවන්න. සෙරීනා විලියම්ස් කියන ටෙනිස් ක්‍රීඩිකාව කියනවා චැම්පියන් කියන්නෙ තරඟ දිනන කෙනාට නෙමේ. පරාද වුණාම, ජීවිතේ කඩාවැටුණම තමන්ව විශ්වාස කරලා ඉහළට ඔසවන්න, තමාව බලාගන්න හැකි කෙනායි නියම චැම්පියන් කියලා. මං හිතන්නෙත් එහෙම.”

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම පන්දුවාර 20 පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ ස්ථාන තුන බැගින් ඉදිරියට විත් පිළිවෙලින් 06 සහ 20 ස්ථානවල රැඳී සිටිති. පන්දු යවන්නියන්ගේ ලැයිස්තුවේ පළමු දසදෙනා අතර ඉනෝෂි ප්‍රියදර්ශනී රැඳී සිටී. මෙය සුබවාදී ලක්ෂණයක් බව අතපත්තු කියයි. 

“ඉනෝෂිට අමතරව අපේ තරුණ ක්‍රීඩිකාවන් කීපදෙනෙක්ම ඉදිරියට ඇවිත් තියෙනවා. මේක තමයි මම දකින්න ආස වුණු දේ. ඒක සැබෑ වෙමින් තියෙනවා. අපේ ක්‍රීඩිකාවන් ලෝක ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට එනවා කියන්නෙ අපි ලෝකෙ ඉන්න හොඳම කණ්ඩායමක් වෙනවා. ඒ නිසා ජ්‍යේෂ්ඨ, තරුණ හැම ක්‍රීඩිකාවක්ම උපරිම දක්ෂතා දක්වලා ඉදිරියට එන්න ඕනෙ. තමන් ඉදිරියට එන එක වැදගත් වගේම කණ්ඩායමක් විදියට අපි කොහොමද ඉස්සරහට යන්නෙ කියන එක ඊටත් වඩා වැදගත්.”

ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීමට තිබෙන ඊළඟ ප්‍රධානතම තරඟාවලිය පන්දුවාර 20 ලෝක කුසලානයයි. එය ඔක්තෝබර් 03 වනදා බංග්ලාදේශයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකාව තරඟ වදින්නේ A කාණ්ඩයෙනි. 

“අපි හැමෝගෙම බලාපොරොත්තුව තමයි ලෝක කුසලානය හොඳින් ක්‍රීඩා කර ජයගැනීම. ඒක ලේසි දෙයක් නෙමේ. තරඟයෙන් තරඟයට අපි හොඳට ක්‍රීඩා කරන්න ඕනෙ. අපි ආසියා ශූරියන් කියන මානසිකත්වයෙන් මිදිලා අලුතෙන් පටන්ගන්න ඕනෙ. ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය අනුව අද දිනන කණ්ඩායම හෙට පරදින්න පුළුවන්. ඒ නිසා හැම තරඟයක්ම නැවුම් විදියට හිතලා උපරිම දක්ෂතා දක්වලා ඉදිරියට යන එකයි මගෙ බලාපොරොත්තුව. ඒ විදියට කළොත් අපට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි.”

මේ වෙද්දී කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇතිවී තිබේ. තරුණ ගැහැනු දරුවන් ඊට පෙළඹෙන බවක් දක්නට ඇත. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පෙන්වා දෙන්නේ නිසි කැපවීම සහිතව ඊට අවතීර්ණ විය යුතු බවයි.

“නවක ක්‍රීඩිකාවන්ට මට කියන්න තියෙන්නෙ තමන් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂනං, ඒ කැපකිරීමට සුදානම්නං ඔබව බලාගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්නවා. ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සියලු පහසුකම්, මූල්‍ය වටිනාකම මේ වෙනකොට ලැබිලා තියෙනවා. ක්‍රිකට් තමන්ගේ වෘත්තීය කරගන්න හැකි අවස්ථාව දැන් ශ්‍රී ලංකාවෙ තියෙනවා. දක්ෂතාව, ධෛර්යය සහ නොපසුබට උත්සාහය තමා වැදගත්. ආසාවෙන් පටන්ගන්නවා වගේම දිගටම ඒක කරගෙන යන්නත් ඕනෙ. එතකොටයි සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්.”

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ලබා ඇති ජයග්‍රහණ පසුපස විශාල කණ්ඩායමක් ඇත. බොහෝදෙනා කරන්නේ තිරය පිටුපස රාජකාරියකි. එබැවින් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායිකා සහ කාන්තා ක්‍රිකට් වත්මන් උපදේශිකා සහ තේරීම් කමිටු සාමාජිකා රසාංජලී චන්දිමා ද අල්විස් සමඟ ද අපි කතාබහ කළෙමු. 

“මේක බොහෝ කාලයක් පුරා කරපු කැපවීම්වල ප්‍රතිඵලයක්. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගමන් කළේ පහසු මාර්ගයක නොවේ. මං ක්‍රීඩිකාවක් විදියට අත්දැකීම් ලබපු කෙනෙක්. ඒ වගේම මීට පෙරත් කාන්තා ක්‍රිකට් පරිපාලනය සමඟ සම්බන්ධව සිටියා. නම් කියන්න අපහසු තරම් තව බොහෝ පිරිසක් මේ කටයුත්ත පිටුපස ඉන්නවා. මේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුව විදියට මම දකින්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් කාන්තා ක්‍රිකට් සඳහා සුදුසුම පුද්ගලයින් සුදුසුම තැන්වලට පත්කර තිබීම. ඒ වගේම ක්‍රීඩිකාවන්ට අවශ්‍ය උපරිම පහසුකම් ක්‍රිකට් ආයතනය ලබාදෙනවා. ඒ නිසා ක්‍රීඩිකාවන් ආසාවෙන් උනන්දුවෙන් සෙල්ලම් කරනවා. ප්ලේයර් කෙනෙක් ඩිවලොප් වෙන්න කාලයක් යනවා. චමරි ඇතුළුව අටදෙනෙක් විතර ඉන්නවා අවුරුදු 10 – 15 වගේ කාලයක් ක්‍රීඩා කරපු. ඔවුන්ගේ අත්දැකීමුත් ඉතා වැදගත්. අලුතිනුත් හොඳම ක්‍රීඩිකාවන් තෝරාගෙන හොඳ කෝචින් ස්ටාෆ් එකක් යටතේ පුහුණුව ලැබීමත් මේ දියුණුවට බලපානවා. මමත් හැම මැච් එකක්ම බලනවා. අවශ්‍යතාවක් මතු වුණොත් ක්‍රීඩිකාවන් සමඟ කතා කරනවා. කොහොමත් අපි හැමෝම අතරේ සුහද සම්බන්ධයක් තියෙනවා. මේ වෙද්දි කාන්තා ක්‍රිකට්වලට විශේෂ තැනක් දීලා තියෙනවා. අපට අවශ්‍ය හැම පහසුකමක්ම ලැබෙනවා. අපට පුහුණු සංචිත හතරක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ඕනම දෙයක් දෙපාරක් නොහිතා ක්‍රිකට් ආයතනය ලබාදෙනවා. ඒ හැමදේකම එකතුවක් විදියට තමයි මේ ප්‍රගතිය ලැබිලා තියෙන්නෙ.”

රෂ්නිකා ලියනගේ