විදලා විඳවන්න කලින් මේ ගැන දැනගන්න!
කනට අරුංගල් පයට පාදසළං කියන්නෙ බුද්ධකාලය දක්වාම ඈත අතීතෙකට දිවයන ආභරණ පැළඳීමක්නෙ. ඒකට හොඳම උදාහරණයක් තමයි මට්ටකුණ්ඩලී කතා වස්තුව. අදින්නපුබ්බක තමන්ගෙ පුතා, මට්ටකුණ්ඩලීට කන් ආභරණයක් හදල දෙන්න කොයිතරම් මසුරු වුණාද කිව්වොත් රත්තරන් කෑල්ලක් අරන් මට්ටම් වෙනකන් තලලා කිසිම ලකයක් නැති කරාඹු දෙකක් මට්ටකුණ්ඩලීගෙ කනේ පැළඳුවයි කියලනේ අපි අහලා තියෙන්නේ. අද වෙනකොට නම් ඉතිං හිතේ තියෙන මසුරුකම් පැත්තක තියල කනේ විතරක් නෙවේ ඇහේ තොලෙත් ඇතැම් උදවිය කරාඹු පළඳිනවා.
දැන් වෙද්දි මේ කරාඹු පැළඳීම කියන්නෙ යෞවනයේ ජනප්‍රිය ට්‍රෙන්ඩ් එකක්. ට්‍රෙන්ඩ් එකක කොටස්කාරයො වුණාට මොකද ශරීරය සම්බන්ධ කාරණාවක් නිසා වැඩි අවබෝධයක් වගේම වැඩි සැළකිල්ලකින් යුතුව ශරීරයේ කරාඹු පැළඳීම කරන්න ඕන. MSN ජාත්‍යන්තර පුවත් සේවය පසුගිය වසරකදී ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකුගේ තොරතුරු හා දත්ත වාර්තා ගෙන හැර දක්වමින් ශරීරයේ විවිධ ස්ථාන සිදුරු කර කරාඹු පැළඳීම සෞඛ්යාරක්ෂිත නැහැයි කියලා ප්‍රකාශ කරලා තිබුණා. කන්පෙත්ත, නාසය, තොල්, නාභිය, ඇහිබැම, දිව ආදී ශරීරාංගවල කරාඹු පැළඳීම නිසා යම්කිසි ආසාත්මිකතාවක් ඇතිවුවහොත් ඒක ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වගේම ස්නායු පද්ධතියටත් අහිතකර ලෙස බලපානවා.
ගෙදරක බිත්තියක් සරසනවා වගේ හිතුමනාපෙට ශරීරෙ ලස්සන කරන්න කියලා හිතන් කරාඹු දාන්න කලින් සැළකිලිමත් වෙන්න ඕන කියන්නෙත් ඒ හින්දමයි. මොකද ශරීර අවයව සිදුරුකරන්න පාවිච්චි කරන ලෝහ වගේම පළඳින්න පාවිච්චි කරන ලෝහත් සමේ සෛල සමඟ එකතු වෙලා වෙනස්ම රසායන වර්ග නිශ්පාදනය කරලා ශරීරයට සහ සමට හානිකර ආසාත්මිකතා ඇතිකරන්න හැකියාවක් තියෙනවා. ඉතින් කරාඹු පළඳින්න හිතාගෙන ඉන්න හැම කෙනෙක්ම ඒ සම්බන්ධව විශේෂ දැනුමක් සහ පළපුරුද්දක් තියෙන කෙනෙක් හරහා තමන්ගෙ ශරීරයෙ කරාඹු පැළඳීම සිදුකරන එක වැදගත්. තමන්ගෙ යාළු මිත්‍රාදීන් ඉන්නවා නම් ඔවුන්ගේ අත්දැකීම් අහලා දැනගෙන සුදුසු නුසුදුසු ශිල්පියෙක් තෝරගන්න ඔයාට පුළුවන්. මෙතැනදි වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩක් සහිත කෙනෙක් නම් වඩා හොඳයි.
කොහොමින් කොහොමහරි විදගන්න ඕන ශරීර කොටස විදගත්තට පස්සෙත් ඔයා කරන්න ඕන වගේම කරන්න හොඳ නැති දේවලුත් කීපයක්ම තියෙනවා. ඉතිං අලුත කරාඹු පැළඳුව කෙනෙක් නම් මේ දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරන එක වැදගත්.
මුලින්ම දැනුවත්ව ඉන්න ඕන කාරණාවක් තමයි ඔයා කරාඹුව පළඳින ස්ථානය සිදුරු කරායින් පස්සෙ ඇතිවන තුවාලය සුවවෙන්න කොයිතරම් කාලයක් යනවද කියලා. ඔයාගෙ සිරුර විදීම සිදුකරන ශිල්පියාගෙන් මතක ඇතිව ඒ ගැන අහගන්න අමතක කරන්නත් එපා. කන්පෙත්ත සිදුරු කරාම සති හතරක් හයක් අතර කාලයක් ගතවෙනවා ඒ තුවාලය සුවවෙන්න. කනේ කාටිලේජමය කොටස සිදුරු කරාම තුවාලය සුවවෙන්න ගතවෙන කාලය මාස හතරේ සිට අවුරුද්දක් දක්වා විය හැකියි. ඇහිබැමෙහි සිදුරක් සති හතරක් හයක් යනවිට සුව වෙනවා. නාස් පුඩුවක කරාඹුවක් පළඳින්න ඇතිකරන සිදුර සුවවෙන්න සති හයක් අටක් අතර කාලයක් ගතවෙනවා වගේම නාස්පොල්ලේ සිදුරක් සුවවීම සති අටක් දහයක් දක්වා දිගු වෙනවා. ඒ වගේම දිවේ සිදුරු කිරීමක් සති හතරකින් සුව වුණාට තොලෙහි කරන සිදුරු කිරීමක් සුව වෙන්න ගතවෙන කාලය මාස දෙකත් තුනත් අතර වෙනවා. තනපුඩුවේ කරාඹු පළඳින කෙනෙක් නම් ඒ තුවාලය සුවවෙන්න මාස තුනත් හයත් අතර කාලයක් ගතවෙන බව මතක තියාගන්න ඕන. නාභියේ කරන සිදුරු කිරීමක් සුවවෙන්න මාස හතරක සිට අවුරුද්දක් දක්වා කාලයක් ගතවෙනවා. දළ වශයෙන් කරාඹු පළඳින ස්ථානය අනුව සිරුර සිදුරු කිරීමෙන් ඇතිවන තුවාලය සුවවෙන්න ගතවෙන කාලපරාස ඔන්න ඔහොමයි. ඊට වඩා වැඩි කාලසීමාවක් ගතවෙනවා නම් හෝ යම්කිසි ආසාත්මිකතාවක් ඇතිවෙලා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්.
කරාඹුවක් පැළඳුවට පස්සෙ තුවාලය සුව වෙනකන් ගතවෙන කාලෙ ඇතුළත ස්නානය අවසන් කරනකොට මතක ඇතුව ගලායන උණුසුම් ජලයෙන් ශරීරය සහ තුවාලය සෝදාහරින්න ඕන. ඒ වගේම කරාඹුව සහිත ශරීර අංගය පීඩනයට පත් නොවෙන්න තියාගන්න වගබලාගන්න ඕන. රෑට නිදාගන්නකොට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලිවල ඇතිල්ලෙන්නෙ රැඳෙන්නෙ නැතිවෙන්න කරාඹුව සහිත ප්‍රදේශය ආරක්ෂා කරගන්නම ඕන.
කරාඹුව දාලා තුවාලය සුවවෙනකන් පිහිනුම් තටාක, උණුවතුර නාන තටාක, වැව් අමුණු, ගංඟා, ඇළදොළවලින් ස්නානය නොකරන්න වග බලාගන්න ඕන. ඒ වගෙම තුවාලය සුව නොවී තියෙනකන් එ අවට නිතරම ස්පර්ශ කරන්න යාමෙන් වළකින්න ඕන. ස්ප්‍රීතු සහ වෙනත් දියර වර්ගවලින් කරාඹුව සහිත ස්ථානය පිරිසිදු කිරීමෙන් වැළකී හිඳීමත් අත්‍යවශ්‍යයි. ඒ වගෙම තුවාලය සුව වෙනකන් අනෙක් පුද්ගලයන්ගේ ශරීර තරල සමඟ ගැටෙන්න නොදීමටත් වගබලාගන්න ඕන. කරාඹුව සිදුර මත කැරකැවීමෙනුත් වැළකී සිටීම අත්‍යවශ්‍ය වෙනවා.
තුවාලය ඉක්මනින් සුවවෙන්න මුහුදු ලුණු සහිත ජලයෙන් තුවාලය සෝදා හරින්න පුළුවන්. කරාඹුව ආසන්න පෙදෙස ස්පර්ශ කරනකොට දෑත් හොඳින් පිරිසිදු කරගැනීමත් කළ යුතුයි.
මේ කරුණු කාරණා පොදුවේ කරාඹුවක් අලුතින් පළඳින කෙනෙක්ට වලංගු වෙන දේවල්. මේ දේවලින් ඔබ්බට ගිහින් ආසාත්මිකතාවන්, තුවාලය දිගු කලක් සුව නොවී තිබීම් වැනි දේවල් සිදුවුණොත් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් මුණගැහිලා ප්‍රතිකාර ගන්න අමතක කරන්නත් එපා. ගොඩ වෙදකම්, ප්‍රථමාධාර වගේ දේවල් නිසා තුවාලය නරක අතට හැරෙන්න කලින්ම වෛද්‍යවරයෙක් මුණගැහෙන එක තමයි වඩාත්ම සුදුසු.
පවනි වාසනා