කොළඹ හතට රන් මෙන් වටින ‘රන්බත්’
අත්තම්මලාගෙ අත්ගුණය මුහුවුණු කෑම සම්බන්ධව අපි හැමෝටම රස මතක තියෙනවා. මේ ලියමන අකුරු කරන මටත් එහෙමයි.
පුංචි සන්ධියෙ අත්තම්මා හදලා දුන්නු කෑමවල සුවඳ මතක් වෙනකොට අදත් මගේ හිත අවුරුදු ගාණක් ආපස්සට යනවා. මහගෙදර මිදුල පුරා හැංඟිමුත්තං අල්ලන, චග්ගුඩු ගහන අපිට කොස්ඇට අග්ගලා ගුලි පිරුණු පිඟානක්, ලැවරියා වට්ටියක්, නාරං කැවුම් පිඟානක් එක්ක ඉඟුරු කහට කෝප්පයක් ඒ දවස්වල මහගෙදර වැරදුනේ නෑ. ගලේ කොටපු කොච්චි සම්බෝලයක් එක්ක දෙල් කිරට හදලා අගුණකොළ මැල්ලුමකුත්, මෝරු මිරිස් බැදුමකුත් රතු හාල් බතුත් කලවම් වුණාම අපිට ඒක දැනුණේ දිව්‍ය භෝජනයක් වගේ. ගිනි මද්දහන වෙනකොට කෙළි සෙල්ලම් ඔක්කොම පැත්තක තියලා බඩ ගින්දරේ දුවගෙන එන අපි මැද මිදුලෙ එළපු පැදුර උඩට පනින්නෙ අත්තම්මගෙ රසම රස බත් ඩිංගිත්ත බඩට දාගන්න. හැබැයි මගේ ශිෂ්‍යත්ව විභාගෙ අහවර වුණා විතරයි අත්තම්මා සීයා හොයාගෙන නිවන්පුරේ යන්න ගියා. අත්තම්මා නැතුව මහගෙදරකින් පලක් නෑ කියල හිතපු අපි ගමෙන් කොළඹට සේන්දු වුණා.
ඊටපස්සේ ඒ තරම් රසට හැදුණ කෑමවේලක් හොය හොයා මම කොළොම්තොටේ නොයෙක් කඩවල්වලට ගිහින් තියෙනවා. “කොළඹ කොහෙන්ද බන් උඹලා ගමේදි කෑව කෑම?” කියලා යාළුවෝ විහිළු කරද්දි පවා මට ඕන වුණේ පුංචි කාලෙ රස මතක ආයෙ අලුත් කරගන්න පුළුවන් විදියේ අවන්හලක් හොයාගන්න. ඉතින් හිතවතුනි කියන්න සතුටුයි අවසානයේ මම දිනුවා. මහගෙදරදි කෑව රස ගුණ සුවඳ පිරුණු කෑමවලින් පිරුණු අවන්හලක් කොළඹ හතෙන් මම හොයාගත්තා. අවුරුදු එකොළහක් තිස්සේ ඒ අවන්හල එතැන තියෙන බව දැනගන්න මෙතරම් ප්‍රමාද වීමේ දුකට වඩා එහෙම අවන්හලක් කොළඹ හතේ තියන විත්තිය ප්‍රමාද වී හෝ දැනගත්තු එකේ ප්‍රීතිය හැබෑවටම විශාලයි. ඉතින් කොළඹ ඉඳන් කෑම පිඟාන දිහා බලාගෙන ගම මතක් කර කරා හූල්ලන මම වගේ උදවියට දැන් කණගාටු වෙන්න කාරණාවක් නෑ. හිතේ හැටියට ගමේ කෑම ගමේ රසට රසවිඳින්න කොළඹ හතේ ඉදිවුණ ‘රන්බත්’ අවන්හලට ගොඩවැදුණොත් ඔයාටත් පුළුවන්.
කොළඹ මැද ගමේ කෑම තියෙන අවන්හලක් කියන්නෙ මට නම් නිරාමිස සතුටක් ඇතිකරන්නක්. ඉතිං මේ අවන්හල හමුවීමේ සතුටට වගේම ඔබේ දැනුවත් වීම පිණිසත් වටින නිසා අවන්හලේ නිර්මාතෘවරිය ජානකී කත්‍රිආරච්චි මහත්මිය එක්ක පුංචි කතාබහක යෙදුණා. කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ඉදිරිපසම පළමු මහලේ ඉදිකරලා තියෙන රන්බත් අවන්හලට ගොඩවැදිලා ප්‍රණීත කැවිලි පිඟානකින් සප්පායම් වුණාට පස්සෙ ජානකී මහත්මිය මේ රත්තරන් වටින අවන්හලේ කතාව අපිත් එක්ක හුවමාරු කරගත්තා.
“වැරදි කෑම ජාති නිසා අපේ රටේ මිනිස්සු ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ. ඇත්තටම රන්බත් අවන්හල නිර්මාණය වෙන්න ඒකත් ප්‍රධාන හේතුවක්. අලුතින් විවාහ වෙන ගොඩක් අයට දරුපල නෑ. එක්කො ප්‍රමාදයි. නිල්දරු උපත් ප්‍රමාණය වැඩියි. ඒ විතරක්ද ගෑස්ට්‍රයිටිස්, පිළිකා, දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ රෝග එන්න එන්නම වැඩිවෙලා. ඇත්තටම මේකට ලොකුම හේතුව අපි ගන්න ආහාර රටාවල තියෙන වැරදි පුරුදු කියලයි මට හිතෙන්නේ. කොයිතරම් කෑම කඩවල්වලින් පිරුණු කොළඹ නගරයේ වුණත් මෙහෙම සාම්ප්‍රදායික ආහාර වර්ග විකුණන අවන්හලක් නිර්මාණය කළ යුතුයි කියලා මම හිතුවේ ඒ නිසා. ඉතින් රන්බත් අවන්හලේ තියෙන විශේෂත්වය තමයි පාරම්පරික ඖෂධීය ආහාර වර්ග වගේම සියයට සීයක්ම මස් මාංශවලින් තොර වීගන් (Vegan) ආහාර වර්ගවලින් මිනිස්සුන්ගේ හිතට වගේම ගතටත් සහනයක් දෙන්න බලාපොරොත්තු වෙන එක.”
ගැස්‍ට්‍රයිටීස්වලට ගුණ දෙන ‘දියබත්’ රන්බත් අවන්හලේ විශාල ඉල්ලුමක් තියෙන කැඳ වර්ගයක්. මේ දියබත් පිළියෙල කරන්නෙත් ඔවුන්ටම ආවේණික වෙච්ච විශේෂ ක්‍රමයකට. පිසූ බත් රැයක් පුරා දියේ තියලා රස ගුණ එක පදමට කැටි කරලා හදන දියබත් හොයාගෙන ගැස්ට්‍රයිටීස් තියෙන බහුතරයක් දෙනා රන්බත් අවන්හලට ගොඩවෙන බව තමයි ජානකී මහත්මිය අපිත් එක්ක කිව්වේ. සව් කැඳ, සුදුලූනු කැඳ, කොහිල අල කැඳ, කොළ කැඳ, කුරක්කන් කැඳ වගේ කැඳ වර්ග ගණනාවක්ම රන්බත් වෙත ගොඩවෙන පාරිභෝගිකයන්ට ලබාගන්න පුළුවන්. සුදු කිරිබත්, මුංඇට කිරිබත්, රතු කිරිබත් සහ ඉඹුල් කිරිබත් වගේම පුංචි කාලේ කතාවල අහපු ලබු කිරිබතුත් රන්බත් අවන්හලේ පිසිනවා. කුරක්කන් රොටී, කුරක්කන් ඉඳිආප්ප, කුරක්කන් පිට්ටු වගේ කුරක්කන්වලින් හදන කෑම වර්ග ගණනාවකුත් මෙහි තියෙනවා. දවල්ට රන්බතෙන් බත් සප්පායම් වෙන ඕන කෙනෙක්ට අතුරුපසට සිංහල කැවිල්ලක රස බලන්නත් හැකියාව ලැබෙනවා.
ව්‍යාපාරයක් කරනකොට ව්‍යාපාරයේ ලාභය ගැන විතරක් හිතන්නේ නැතුව පාරිභෝගිකයන්ගේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතලා මේ විදියට කටයුතු කරපු එක ජානකී මහත්මිය ලබපු විශාල ජයග්‍රහණයක් විදියට සලකන්න පුළුවන්. මොකද ඉක්මනින් දියුණු වෙන්න දඟලන බොහෝ ව්‍යවසායකයින්ට තමන්ගේ පාරිභෝගිකයාගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න අද බොහෝ වෙලාවට අමතක වෙලා තියෙනවා. එහෙම වාතාවරණයක් මැද ඉඳගෙන වුණත් පාරිභෝගිකයාට හොඳම දේ ලබාදිය යුතුයි කියලා හිතන ව්‍යවසායිකාවක් කියන්නෙම රටට සම්පතක්.
අද වෙද්දි බොහෝදෙනා ආකර්ෂණය කරගන්න රන්බත් අවන්හල සමත් වුණත් මුල් කාලෙදි විවිධ අභියෝග රාශියකට ජානකී මහත්මියටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබ්බා. ඉතින් තමන්ට මූණදෙන්න වුණ අභියෝග ගැන ඇය කිව්වේ මේ විදියේ කතාවක්.
“ව්‍යවසායිකාවක් විදියට යම් දෙයක් ආරම්භ කරද්දී මම හිතනවා අපේ ඔලුවේ තියෙන්න ඕනා ඒ දේ සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියන දේට වඩා මේ මම කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියන එක ගැන අදහසක්. ඉතින් මගේ ඔලුවෙ තිබ්බේ මම මේ කරන්නේ නිවැරදි දෙයක් කියන එක විතරයි. මගේ ව්‍යාපාරය සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියන බය මට දැනුණේ නැහැ. නමුත් මං වටේ හිටපු පිරිසගෙන් මගේ දරුවෝ ඇරෙන්න අනිත් හැමෝම මට කිව්වේ මම එදා ඒ කරන්න හදපු දේ මට සාර්ථක කරගන්න බැරිවේවි කියලා. නමුත් මට පුළුවන් වෙලා තියෙනවා අද වෙද්දී ලංකාවේ තියෙන එකම කාබනික (Organic) සහ නිර්මාංශ (Vegan) අවන්හල නිර්මාණය කරන්න. ඒ වගේම මේ අවන්හලේ අපේ පරිසරය විනාශ කරන පොලිතින් ප්ලාස්ටික් කිසිම දෙයක් නැහැ. කෑම කන්න තියෙන්නේ නෙළුම් කොළේ. වතුර බොන්නේ මැටි ගුරුලේත්තුවෙන් පොල්කට්ටට දාගෙන. කෑම රස කරන්න පාවිච්චි කරන්නෙත් පොල්කිරි, පොල්තෙල් සහ දේශීය කුළුබඩු විතරමයි. මේ වෙනස්කම් නිසාම අද වනවිට පාරිභෝගික විශ්වාසය දිනාගෙන, වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ අවහන්හලක් බවට රන්බත් පත්වෙලා තියෙනවා.”
ඕනෑම දෙයක් කරන්න පටන්ගනිද්දි එකට මූලබීජය වපුරන්න හේතුවුණ සිදුවීමක්, උත්සාහයක් හැම විශාල කතන්දරයක් ඇතුළෙම තියෙනවා. මොකද සාර්ථක වුණ බොහෝ දේවල් පළමු අවස්ථාවෙන්ම සාර්ථක වුණ දේවල් නෙවෙයිනේ. ජානකී මහත්මියටත් මේ සාර්ථක ගමන් මාර්ගය නිර්මාණය කරන්න තමන්ගේ ගෙදර ඇතුළේ සිද්ධවුණ රසබර සිදුවීමක් හේතුපාඨය වෙලා තිබ්බා.
“ඇත්තටම රන්බත් කියලා අවන්හලක සංකල්පයක් මුලින්ම මගේ ඔලුවේ තිබුණෙ නැහැ. මගේ දරුවන්ට පුංචි කාලේ මැල්ලුම් කන්න දෙන්න කොයිතරම් උවමනාවක් තිබ්බත් මැල්ලුම් ලියන වැඩේ ටිකක් කරදරකාරී වැඩක්. ඉතින් මං හිතුවා මට වගේම තවත් අම්මලාට මේ ගැටලුව මේ විදියටම ඇති කියලා. ඒ නිසා ඒකට විසඳුමක් විදියට මම මුලින්ම පලා වර්ග ලියලා පැකට් කරලා විකුණනන්න පටන්ගත්තා. ඒත් ඒ ගැන උපදෙස් පතපු හැම ආයතනයක්ම කිව්වේ ලෝකේ කවුරුත් පලා කපලා පැකට් කරලා නැහැ. ලංකාවේ කවුරුත් ඕක කරන්නෙත් නැහැ, ඒක නිසා ඕක කරන්න එපා කියලා. අද වෙද්දි මට මගේම කියලා ගොවිපොළවල් තිබ්බත් මේ පලා වර්ග විකුණන වැඩේ පටන්ගද්දී මට එහෙම තිබුණෙ නැහැ. ඉතින් ඒ දවස්වල මම කළේ පලා වර්ග ගොවි මහත්වරුන්ගෙන් මිලට අරගෙන ලියලා කඩවල්වලට දාන එක. එතැනදි මම දැක්ක දෙයක් තමයි ගොවීන් පලා වර්ග හොඳින් වැඩෙන්න ගොඩක් රසායන ද්‍රව්‍ය යොදනවා කියන එක. මනුෂ්‍ය ශරීරයට වස විස එකතු කරන එක හොඳ නැති හින්දා තමා ඉන් පස්සෙ මමම පලා වර්ග හිටවලා ඒවා වෙළඳපොළට යොමු කරන්න කටයුතු කළේ. ඒ විදියට තමයි මට බවභෝග හිටවන ගොවිපොළවල් නිර්මාණය කිරීමේ අදහසත් පහළ වුණේ.”
පුංචි පුතාට මැල්ලුම් කවන්න තිබ්බ කරදරය හින්දා මැල්ලුම් ලියලා වෙළඳපොළට නිකුත් කරපු ජානකී මහත්මිය අද වෙද්දි රන්බත් අවන්හලේ ආහාර පිළියෙල කරන්න යොදාගන්න සෑම අමුද්‍රව්‍යයක්ම සෑම කුළු බඩුවක්ම වවාගන්නේ ඇගේම ගොවිපොළවල්වල. ඇයට ළමා කාලයේදී ඇගේ තාත්තත් එක්ක කුඹුරට ගිහිල්ලා, කොටුවට ගිහිල්ලා කරපු වගා කටයුතුවල දැනුම මේ රන්බත් අවන්හලට අදාළ ගොවිපළවල් පිහිටුවීමේදී ඇයට උදව්වක් වෙලා තියෙනවාලු.
මේ විදියේ දීර්ඝ කතන්දරයක් අවසානයේ ජානකී මහත්මිය අපි කොයි කාටත් වැදගත් යමක් මතක් කළා.
“කාන්තාවක් සහ ව්‍යවසායිකාවක් විදියට මම දන්න දෙයින් රටට හොඳ දෙයක් දුන්නා කියන සතුටක්, ආත්මතෘප්තියක් මට තියෙනවා. ඒ වගේම ඉගෙනීම කියන දෙයත් කාන්තාවකට ගොඩක් වටිනවා. මගෙ අවන්හලට විවිධ සම්මාන ලැබුණට පස්සෙ තමයි මේ ව්‍යවසායිකාවක් වීම සහ ව්‍යාපාර ගැන ඉගෙනගන්න ඕන කියන එක ගැන හිතුවෙ. ඒ අනුව මට අවුරුදු 42දි තමයි ජයවර්ධනපුර සරසවියට සම්බන්ධ වෙලා ව්‍යාපාර සම්බන්ධව උපාධිය සහ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කළේ. අද මම බාහිර කථිකාචාර්යවරියක් විදියට සරසවි සිසුන්ට දැනුම දෙනවා විතරක් නෙමෙයි අපේ කාන්තාවන් විශාල පිරිසකට ජීවිතය ගොඩනගාගන්න පාර පෙන්නන්නත් මට පුළුවන් වෙලා තියෙනවා. කාන්තාවෝ විදියට අපිට ඉගෙනගන්න අවකාශ ගොඩක් තියෙනවා. අද වෙද්දි දුරකතනය වුණත් නිවැරදිව පාවිච්චි කරොත් කාන්තාවකට දියුණු වෙන්න බොහොම මංපෙත් විවර වෙනවා. ඒ වගේම කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳම දෙය හැම මොහොතේම දීලා ඒකෙන් ලබන ආත්මතෘප්තිය කවදාවත්ම මුදල්වලින් මනින්න බැහැ කියලත් සාර්ථක ව්‍යවසායිකාවක් විදියට මම හොඳටම විශ්වාස කරනවා.”
පවනි වාසනා