මින් මතුවට ආච්චිට හාල් ගරන්න දෙන්න එපා
‘ආඬින්’ කියන උදවිය ලංකාවට ආවේ ඉන්දියාවේ සොලී රටේ ඉඳලා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. මෙහෙම ලංකාවට ආපු ආඬීන් එක එක රස්සා කරලා ලංකාවේ හිටපු මිනිස්සුන්ව රවට්ටගෙන තමයි මුදල් උපයාගත්තා කියන්නේ. සාස්තර, බලිතොවිල්, යාගහෝම කරන එකයි මෙයාලගේ ජීවිකාව වෙලා තියෙන්නේ. ඉතින් ඔහොම රස්සා කර කර තැනින් තැනට යනකොට අම්බලමක නතර වෙලා රැය පහන් කරන එක ඒ කාලෙ මේ අයගේ පුරුද්දක්ලු. එහෙම දවසක අම්බලමක නැවතුණ ආඬි හත්දෙනෙක් රෑට බොන්න කැඳ හදමු කියලා යෝජනාවකට ඇවිත්. ඉතින් කැඳ හදන්න ලොකු වතුර හැලියක් තියලා ලිප පත්තු කරලා ආඬි හත්දෙනා මේ ලිප වටේ ඉඳගෙන හිටියලු. හෙමින් හෙමින් බුබුළු එනකොට ආඬි හත්දෙනා කතා වුණාලු එක්කෙනා හාල්මිට බැගින් උණුවතුර හැලියට එකතු කරමු කියලා. ඊටපස්සේ පළවැනි ආඬියාගේ ඉඳන් හත්වැනි ආඬියා වෙනකන් පිළිවෙලට ගිහිල්ලා හැලියට හාල් මිට – මිට එකතු කරලා. හැබැයි උණු උණුවේම කැඳ බොන්ඩ ලෑස්ති වෙලා පිඟානට බෙදාගත්තට පස්සෙයි මුන්දැලා දැක්කේ කැඳ වෙනුවට තියෙන්නේ උණුවතුර කියලා. බලාගෙන යද්දී හාල්මිට ගානේ එකතු කරමු කිව්වට එක ආඬියෙක්වත් උණුවතුර එකට හාල් මිටක් එකතු කරලා නෑ. ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ කියලා කතාවටත් අපි කියන්නේ ඕකනේ. උන් උන්ව ඒ විදියට රවට්ටගත්තට මොකද අපි එහෙම කරන්න ඕන නෑ. හාල් මිටක් වතුරට දාලා ලස්සන වෙන්න පුළුවන්කමක් තියෙද්දී ඇයි අපි තවදුරටත් එකිනෙකාව රවට්ටා ගන්නේ? හැබැයි ආඬි කළා වගේ අපි හාල් මිටක් දාන්න යන්නේ ඇල්වතුරට මිසක් උණුවතුරට නෙවෙයි.
හාල් වතුර අපේ ශරීරයට කොයි විදියටද පාවිච්චි කරන්නේ කියන එක දැනගන්න කලින් හාල් වතුර හරියටම හදාගන්න විදිය ගැන දැනගෙන ඉන්න එපැයි. හාල් වතුර හදාගන්නකොට සුදු සහල් භාවිතා කරනවා නම් වඩා හොඳයි. මොකද සුදු සහල් කියන්නේ ස්වභාවික බ්ලීචින් වර්ගයක් වගේම ඉතා හොඳ පිරිසිදුකාරකයක්. ඒ වගේම විටමින් බී, සී සහ ඊ වගේම ඇමයිනෝ අම්ලත් බහුලව පවතින මේ හාල් වතුර හිසකෙස් සහ සම පෝෂණය කරන්න පුළුවන් පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විත වෙනවා.
හාල් වතුර හදාගන්නකොට මුලින්ම සුදු සහල් කෝප්පයක් හෝ එකහමාරක් විතර අරගෙන හාල් ටික වතාවක් දෙවතාවක් සෝදලා පිරිසිදු කරගන්න ඕන. එහෙම කරන්නේ කඩෙන් අරන් එන හාල්වල විවිධ අපද්‍රව්‍ය සහ අහිතකර දේවල් තියෙන්න පුළුවන් නිසා. හෝදගත්තු හාල් පැය කීපයක් වතුර බාජනයකට දාලා හොඳින් පෙඟෙන්න හරින්න ඕන. ඉතා ඉක්මනින් මේ සත්කාර කරන්න අවශ්‍ය කෙනෙක් නම් පැය දෙකක් දෙකහමාරක් හාල් පොඟවලා වතුර ටික ගත්තත් ප්‍රශ්නයක් නැහැ. කලවේලාව ගතවුණාට ප්‍රශ්නයක් නැති කෙනෙක් නම් පැය අටක් විතර හාල් පෙඟෙන්න තිබ්බා කියලත් ගැටලුවක් නෑ. ඉතින් මේ හාල් ටික හොඳින් පෙඟිලා ඉවර වුණාට පස්සේ හාල් සහ හාල් වතුර වෙන වෙනම වෙන් කරගන්න ඕන. මෙතැනින් අපි ප්‍රයෝජනයට ගන්නේ වෙන්කරගත්තු හාල් වතුර ටික.
දැන් බලමු මේ හදාගත්තු හාල් වතුර එකෙන් අපේ ශරීරය මොන විදියටද ලස්සන කරගන්න පුළුවන් කියලා.
කුරුලෑ තියෙන කෙනෙක්ට මේ හාල් වතුර කියලා කියන්නේ කදිම සත්කාරයක්. හාල් වතුරවලට දෙහි යුෂ ස්වල්පයක් එකතු කරලා පුළුන් කෑල්ලක ආධාරයෙන් කුරුලෑ සහිත ප්‍රදේශවල ගල්වලා මිනිත්තු විස්සකින් පමණ මද උණුසුම් ජලයෙන් සෝදාහරින්න පුළුවන්. කුරුලෑවලට අමතරව කුෂ්ට සහ කැසීම් සමෙහි ඇතිවෙලා තියෙනවා නම් ඒ ස්ථානවලටත් හාල් වතුර ගැල්වීම පිළියමක් විදියට හොඳයි.
හාල් වතුරේ තියන විටමින් සහ ඇමයිනෝ අම්ල හිසකෙස් වඩා හොඳින් වර්ධනය කරන්න උදව් වෙනවා. ඉතිං කොණ්ඩෙට හොඳ පෝෂණයක් ලබාදෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් හාල් වතුර කොණ්ඩයේ ගල්වලා පැය දෙකක් විතර ඉඳලා ස්නානය කරන්න පුළුවන්. හිසකෙස් පැලීයාම්, පලුදු වීම් සහ හිසකෙස් වියළීයාම් වගේ තත්ත්ව අවම කරගන්න නින්දට යන්න කලින් හාල් වතුර හිසකෙස්වලට ස්ප්‍රේ කිරීමත් සුදුසුයි. ඒ වගේම හාල් වතුරෙන් හිස සහ හිස්කබල සේදීම වඩා හොඳ පල ප්‍රයෝජන ළඟාකරලා දෙනවා. හිස්හොරි පාලනය කරලා හිස්කබල හොඳින් පෝෂණය කරන්නත් හාල් වතුරවලට පුළුවන්.
හිසකෙස් වැඩි වශයෙන් ගැලවී යන කෙනෙක් නම් මේ හාල් වතුර හිස කෙස්වලට ස්ප්‍රේ කිරීම මගින් හිසකෙස් ගැලවී යාමේ තත්ත්ව අවම කරගන්න පුළුවන්. හාල් වතුරවල තියෙන පිෂ්ඨ අන්තර්ගතයට පුළුවන් උකුණු කරදරේ තුරන් කරන්න. ඒකට කරන්න තියෙන්නේ ස්නානය කරන්න කලින් හිසකෙස්වල සහ හිස්කබලේ හාල් වතුර ගල්වලා පැය කිහිපයක් ඉඳලා හොඳින් ස්නානය කරන එක.
ශරීරයේ අව්වට පිළිස්සුණු තැන්වල හාල් වතුර ගැල්වීමෙන් ඇතිවී තිබෙන අවපැහැයන් අවම කරගන්න පුළුවන්. ඒ වගේම පැහැදිලි දීප්තිමත් මුහුණක් ළඟාකරදෙන්න හාල්වතුරවලට පුළුවන්. ටිෂූ කඩදාසියක් හෝ ෆේස් මාස්ක් එකක් මුහුණේ අතුරලා ඒ මත හාල් වතුර ගල්වා මිනිත්තු විස්සකට පමණ පසුව සෝදාහරින්න පුළුවන්.
මුහුණේ සුමුදු බව වගේම තෙතමනය ආරක්ෂා කරගන්න මේ හාල් වතුර යොදාගෙන කරන්න පුළුවන් පුංචි උපක්‍රමයක් තියෙනවා. හාල් වතුර අධිශීතකරණයේ තියලා අයිස් කැට බවට පත් වුණාට පස්සේ මුහුණේ ගැල්වීම සම සුමුදු කරන්න වගේම තෙතමනය රැකගන්නත් උදව් වෙනවා.
ඉතින් හිසට වගේම සමටත් මේ හාල් වතුරවලින් ගන්න පුළුවන් ප්‍රයෝජන එමටයි. හාල් වතුර හදලා තියාගන්නකොට සැළකිලිමත් වෙන්න ඕන කරුණු කීපයකුත් තියෙනවා. හාල් වතුර හදලා කාමර උෂ්ණත්වයේ ගබඩා කරගන්න පුළුවන් දවස් දෙකක් විතරයි. ඊට වඩා දවස් කීපයක් කල් තියාගන්න ඕන නම් ශීතකරණයක ගබඩා කරන්නම ඕන. එහෙම නැතිනම් හාල් වතුරෙ තියෙන පෝෂණ කොටස් විනාශ වෙනවා. දින හතකට පස්සෙ හාල් වතුර එක පාවිච්චි නොකර ඉන්නවා නම් තමයි වඩා හොඳ. ඒ වෙනුවට අලුත් හාල් වතුර එකක් හදාගෙන පාවිච්චි කරන එක තමයි සුදුසුම. ඉතිං ලස්සන වෙන්න ආස අය ඉන්නවා නම් තවත් කල් ගන්නෙ නැතුව හරියට හදාගත්තු හාල් වතුර ටිකකින් මේ සත්කාර ටික කරලා බලන්න.
පවනි වාසනා