නවතම ප්‍රවෘත්ති

අලි කතාවට පොඩි එකෙක් හොයනවා කියන ආරංචියට මම කොළඹට දුවගෙන ආවා – යොහානි හෙට්ටිආරච්චි

ඉන්දියාවේ ඉන්න නවක සහ ජනප්‍රිය නිළියක් වෙන ‘හර්ෂාලි මල්හෝත්‍රා’ මුලින්ම කලා ක්ෂේත්‍රයට එනකොට ඇගේ වයස අවුරුදු හතරයි. දිගින් දිගටම රූපවාහිනී කතාමාලාවල රඟපෑ හර්ෂාලිගේ ජීවිතේ මුළුමනින්ම වෙනස් වුණේ 2015 අවුරුද්දේ. ඒ ඇයට කබීර් ඛාන් අධ්‍යක්ෂණය කරපු ‘බජිරන්ගි බයිජාන්’ (Bajrangi Bhaijaan) චිත්‍රපටයට ආරාධනා ලැබීම එක්ක. ඒ චිත්‍රපටයේ සල්මන් ඛාන්, කරීනා කපූර් එක්ක ‘මුන්නි’ (Munni) විදියට රඟපෑ පුංචි කෙලිපොඩ්ඩ මතක නම් ඒ තමයි මේ හර්ෂාලි. ඒ වෙනකොට ඇයට වයස අවුරුදු හතයි. ඒ රංගනය වෙනුවෙන් ඇයට හොඳම ළමා නිළිය විදියට ෆිල්ම්ෆෙයාර් ඇතුළුව සම්මාන රැසක්ම හිමිවුණා. අද වෙනකොට හර්ෂාලි කියන්නේ එරටේ ජනප්‍රිය නිළියක්. ඒත් ඇයට තාම වයස අවුරුදු 16යි.

මට ඒ හර්ෂාලිගෙන් මේ කතාව පටන්ගන්න හිතුණේ ඇය තරම්ම පොඩි වයසෙන් පටන්ගෙන ලොකු ගමනක් ආපු අපේ රටේ ඉන්න අතිදක්ෂ රංගන ශිල්පිනියක් ගැන කියන්න අවශ්‍ය නිසා. ඉන්දියාවේ හර්ෂාලි වගේම ඇයත් කලා ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ වයස අවුරුදු තුනේදි. හැබැයි මේ වෙද්දි පුංචිතිරයේ වගේම රිදීතිරයෙත් ප්‍රධාන චරිතවලට ආරාධනා ලැබෙන්න තරම් ඇය වාසනාවන්ත වෙලා. ඇය තමයි යොහානි හෙට්ටිආරච්චි. මෙවර ‘ධරණී’ කවරය ඇයගේ හැඩකාර රුවෙන් හැඩකරන ගමන්ම, සොඳුරු කතාබහක යෙදෙන්න අපි යොහානි හෙට්ටිආරච්චිට ආරාධනා කළා. 

“මට කලා ක්ෂේත්‍රයට එන්න ලැබුණේ වයස අවුරුදු තුනේදි. සිරස නාලිකාවේ පුංචි පැංචි වැඩසටහනේ නිවේදිකාවක් වෙනකොට මට අවුරුදු 5 යි. මං මුලින්ම රඟපෑවේ නාලන් මෙන්ඩිස් මහතා අධ්‍යක්ෂණය කරපු ‘අංගනා’ කියන ටෙලිනාට්‍යයේ. ඒ ටෙලිනාට්‍යයේ රඟපාන්න ලැබෙද්දි මට වයස අවුරුදු 6 යි. එතැනින් ලැබුණු ඒ ප්‍රසිද්ධියත් එක්ක මට දිගටම ටෙලිනාට්‍යවලට වගේම චිත්‍රපටවලටත් ආරාධනා එන්න ගත්තා.”

යොහානිට පුංචි කාලෙදි තිබුණේ ගුවන් සේවිකාවක් වෙන හීනයක්ලු. ඒ වුණත් පුංචි කාලේ ඉඳන්ම රඟපාන්න ලැබුණු වරම නිසා ඒ හීනය යට කරගෙන අලුත් හීනයක් ඉහළට මතුවෙලා. ඒ කවදා හරි දවසක ලංකාවේ ජනප්‍රිය නිළියක් වෙන්න.

“මං පොඩි කාලේ දැක්කා ශලිනි තාරකා අක්කා, තාරුකා වන්නිආරච්චි අක්කා එහෙම රඟපානවා. මං ඒ කාලේ එයාලා රඟපාන දිහා හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වෙද්දි මමත් රඟපාන නිසා මං හිතාගත්තා කවදා හරි මමත් ශලිනි අක්කලා, තාරුකා අක්කලා වගේ රටේ ජනප්‍රිය නිළියක් වෙනවා කියලා.”

ඒ බලාපොරොත්තුව සැබෑවක් වෙලා අන්තිමේදි යොහානි නැවතුනේ ලංකාවේ ජනප්‍රිය නිළියක් වෙලා. 2017 වසරේ තිබුණු සුමති සම්මාන උළෙලේ වසරෙ හොඳම ළමා නිළිය සම්මානය ලැබුණෙත් ඇයට. දැන් යොහානිට වයස 20 ලු. ඉතින් අවුරුදු 20 ක් තරම් ලාබාල වයසකදි මේ තරම් ජනප්‍රිය වෙන්න ලැබීම ආඩම්බරයට කරුණක් කියලයි යොහානි ‘ධරණී’ට කිව්වේ.

“ගෑනු ළමයෙක්ට ඉන්න ටිකක් අමාරු ක්ෂේත්‍රයක කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව සහ කාටවත් වචනයක් කියන්න බැරිවෙන්න මං මගේම දක්ෂතාවයෙන් ඉදිරියට ඇවිත් තියෙනවා. මේ වෙද්දි මට නිළියක් විදියට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩාක් අය මට කියනවා මං වයසටත් වඩා ලොකු දුරක් ඇවිදින් කියලා. ඉතින් මේ තරම් ලාබාල වයසෙදි ජනප්‍රිය වෙන්න ලැබීම සහ මේ තරම් ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිවීම වාසනාවක් කියලයි මට හිතෙන්නේ.”

යොහානිව මේ දවස්වල දකින්න ලැබෙන්නේ ස්වාධීන රූපවාහිනියේ ‘පාරාදීසේ’ ටෙලිනාට්‍යයෙන් සහ හිරු නාලිකාවේ ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයෙන්. ඒ නිර්මාණවලටත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන බවයි යොහානි අපිත් එක්ක කිව්වේ. ඒ අතරේ රංගන ජීවිතේ අමතක නැති සිදුවීමක් ගැනත් යොහානි මේ විදියට මතක් කළා.

“මං සුනිල් ආරියරත්න සර් අධ්‍යක්ෂණය කරපු ‘කුස පබා’ චිත්‍රපටය බලද්දි මට හිතුණා අනේ කුසපබා චිත්‍රපටය හදපු අධ්‍යක්ෂතුමාගේ චිත්‍රපටයක මටත් රඟපාන්න තිබුණා නම් කියලා. එහෙම හිතාගෙන ටික දවසක් ඉන්නකොට ආරංචියක් ලැබුණා සුනිල් ආරියරත්න සර්ගේ ‘අලි කතාව’ කියලා අලුත් චිත්‍රපටයක ප්‍රධාන චරිතය වෙනුවෙන් ළමා නිළියක් හොයනවා කියලා. ඒත් මට ඒ ආරංචිය ලැබෙද්දි හිටියේ චිත්‍රපටයක රූගතකිරීම් කරන ගමන්. ළඟපාතකත් නෙවෙයි අනුරාධපුරේ. ඒත් සුනිල් සර්ගේ චිත්‍රපටයක රඟපාන්න තිබුණු ආසාවටම දුර නොබලා මං කොළඹ ආවා. එදා මාව දැකපු ගමන්ම සර් මාව ඒ චිත්‍රපටයට තෝරගත්තා. මට එදා ඒක හිතාගන්නත් බැරිවුණා. මේ අදටත් ඒ දවස මට අමතක වෙන්නේ නෑ.”

දවසින් දවස මේ කලා ක්ෂේත්‍රයට අලුතින් මුහුණු එකතු වෙනවනේ. ඒත් එක්ක නිළියක් විදියට යොහානිට කලා ක්ෂේත්‍රයේ පැවැත්මක් හදාගන්න එක අමාරු නැද්ද? ඒ ඇයට ඊළඟට මගෙන් ලැබුණු ප්‍රශ්නය.

“පැවැත්ම හදාගන්න කියලා මං එහෙම විශේෂ දෙයක් කරන්නේ නෑ. ලැබෙන නිර්මාණවලට කැපවෙන සහ නිහතමානී වෙන තරමට ප්‍රේක්ෂකයෝ අපිව අත්අරින්නේ නෑ. අපේ කැපවීමයි, ප්‍රේක්ෂකයෝ අපිට දක්වන ආදරෙයි උඩ තමයි ඒ පැවැත්ම රැඳිලා තියෙන්නේ.” 

යොහානි කියන්නේ පාසල් කාලේ ඉඳන්ම ශක්තිමත්ව අභියෝගවලට මුහුණදීපු තරුණියක්ලු. ජීවිතේට යම් අභියෝගයක් ආවම ඒ අභියෝගවලට මුහුණදෙන්නේ කොහොමද ඇහුවමයි ඇය මේ කතාව කිව්වේ.

“සාමාන්‍යයෙන් මං මොන අභියෝගයක් ආවත් සතුටින් බාරගන්න කෙනෙක්. ඒ වගේම කියන්න ඕන මං මොන විදියේ අභියෝගයක් ආවත් කලබල වෙන්නේ නෑ. එහෙම කලබල වුණොත් ඒකේ පාඩුව අපිටමයි. ඒක නිසා මං කරන්නේ කාලය අරන් හෙමිහිට ඒවට මුහුණදෙන එක.”

ජීවිතේට ප්‍රශ්නයක් ආවම ප්‍රශ්නේ එක්කම ජීවත් නොවී ඒ ප්‍රශ්නෙන් හරි ඉක්මණට මිදෙන්නේ කොහොමද කියන එකත් යොහානි මේ වෙද්දි පුරුදු පුහුණු කරලලු තියෙන්නේ.

“ඉස්සර නම් ප්‍රශ්නයක් ඇතිවුණාම මම අඬනවා, කේන්ති ගන්නවා. ඒත් දැන් ටිකක් ලොකුයිනේ. ඒක නිසා දැන් කරන්නේ තනියම කල්පනා කරලා ඒකට හරි විසඳුමක් හොයාගන්න එක. ඒ නිසා දැන් ප්‍රශ්නවලට බය නෑ.”

 

*යොහානි ආදරේ ගැන එහෙම මොකද හිතන්නේ?

“ආදරේ හරිම සුන්දර දෙයක්. හරි කෙනෙක්ව අපි අපේ ජීවිතේට ළංකර ගත්තොත් ආදරේ හරි සුන්දරයි කියලා මං විශ්වාස කරනවා. මමත් ආස එහෙම ආදරේකට.”

යොහානි ඉන්නේ කොළඹ. තාමත් වයස අවුරුදු 20 ක් වෙන ඇය මෙතරම් ලාබාල වයසකදි ඇවිත් තියෙන දුරත් එක්ක බැලුවම අනාගතයේදි ඇය කලා ක්ෂේත්‍රයේ ලොකු දුරක් යයි කියන එක පැහැදිලියි. ඉතින් ඒ වෙනුවෙන් ඇයට සුබපතන ගමන් මෙවර ‘ධරණී’ කියවන සමස්ත කාන්තාවන් වෙනුවෙන් යමක් කියන්න කියන ඉල්ලීමත් යොහානිගෙන් අපි අවසානෙට කළා.

“අපි හැමෝටම විවිධ හීන තියෙනවනේ. මං පුංචි කාලේ ඉඳන්ම රටේ ජනප්‍රිය නිළියක් වෙන්න හීන දැකපු නිසා තමයි අද මං මෙතැන ඉන්නේ. ඒක කලා ක්ෂේත්‍රයට විතරක්ම නෙවෙයි, මේ හැම ක්ෂේත්‍රයටම පොදුයි. ඒ නිසා මම කියන්නේ හීන තියාගෙන මුළුගැන්විලා ඉන්න එපා. ඒවා හැබෑ කරගන්න මහන්සි වෙන්න. එතකොට ජීවිතේ ලස්සන විතරක් නෙවෙයි සතුටත් උපරිම විදියට දැනෙනවා.”

 

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක

පසුතලය – සෝලිස් හොටෙල්, පිටකෝට්ටේ