නවතම ප්‍රවෘත්ති

“බොහෝදුරට ලබන අවුරුද්දේ විතර සීදේවි හැලයට අයිති වේවි “

පසුගිය දවස්වල අපේ රටේ කාටත් මිමිණෙන ගීතයක් තිබුණා. ඒක තමයි ගමේ ලස්සනම ලේලි ගැන සඳහන් වුණු ‘බඳිමු සුදා’ ගීතය. ඒ ගීතය ගායනා කළේ පියත් රාජපක්ෂ. ගීතයේ රූප රචනාවේ ලස්සනම ලේලිය විදියට රංගනයෙන් දායක වුණේ පියත්ගේ පෙම්වතිය වෙන සඳනි ප්‍රනාන්දු. ගීතය කොයිතරම් නම් ජනප්‍රිය වුණාද කිව්වොත් මේ වෙනකොට එහි යූටියුබ් නැරඹුම්වාර ගණන මිලියන 12ත් පසුකරලා. ඒ ජනප්‍රියත්වය එක්ක පියත් දැනට මාසෙකට උඩදි තව අලුත් ගීතයක් එළිදැක්වුවා. ඒ අපි ඒ දවස්වල කාටූන් එකක දැකලා තිබුණු හැලයගෙයි සීදේවිගෙයි කිඹුල් ආදර කතාව අළලා නිර්මාණය වුණු ‘සීදේවි’ ගීතය. මේ වෙද්දි මිලියන 7කට ආසන්න යූටියුබ් නැරඹුම් වාර ප්‍රමාණයක් තියෙන ඒ ගීතය දැනට මාසයක් පුරා යූටියුබ් ට්‍රෙන්ඩින්හි පළමු තැන තිබීමත් විශේෂත්වයක්. ඒ විතරක් නෙවෙයි ඒ ගීතයට ටික්ටොක් වීඩියෝස් පවා දහස් ගණනක් නිර්මාණය වෙමින් තියෙනවා. ඉතින් සීදේවි ගීතයට ලැබිලා තියෙන ඒ අසීමිත ජනතා ආකර්ෂණය නිසා අපි හිතුවා හැලයගෙයි සීදේවිගෙයි නැත්නම් පියත් රාජපක්ෂගෙයි සඳනි ප්‍රනාන්දුගෙයි හැඩකාර රුවෙන් මෙවර ‘ධරණී’ කවරය හැඩකරන්න. ඒ විතරක් නෙවෙයි ඔවුන් දෙදෙනා එක්ක සොඳුරු කතාබහක යෙදෙන්න.

“මං පාසල් ගියේ තලවතුගොඩ විදුර කොලේජ් එකට. ඒ කාලේ අධ්‍යාපනය, සංගීතය, ක්‍රීඩාව කියන තුනම ඇඟේ තිබුණා. හැබැයි උසස්පෙළ පන්තිවලට එනකොට අනාගතය ගැන හිතලා ඒ අතරින් එකක් තෝරගන්න වුණා. ඉතින් මට හිතාගන්න බැරිවුණා. ඔය අතරේ පාසලේ කොන්සර්ට් එකක් තිබුණා. එදා මමත් සිංදු කිව්වා. එදා ස්ටේජ් එක උඩට නැග්ගම මට අමුතු හැඟීමක් ආවා. ඇයි ඉතින් හැමෝම බලාගන හිටියේ මගේ දිහානේ. මට ඉතින් මාර සතුටුයි. එදා මං හිතාගත්තා මම සංගීතය පැත්තෙන්ම ඉස්සරහට යනවා කියලා.”

ඒ විදියට මුලින්ම අපේ කතාබහට මුලපිරුවේ පියත් රාජපක්ෂ. කාලයත් එක්ක පියත් රැකියාව කරපු ආයතනයේ තිබුණු ගායන තරඟයකටත් සහභාගි වෙලා. ඒ සැරේ ඒක ජයග්‍රහණය කරලා තියෙන්නෙත් ඔහු. ඒ ජයග්‍රහණය එක්ක පියත්ට හිතුණලු රියැලිටි තරඟයකටත් ඉදිරිපත්වෙලා බලන්න.

“ඒ වෙනකොට මට මගේ ගායනය ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙලා තිබුණා. ඒ නිසා මං ඒ සිරස සුපර් ස්ටාර් සීසන් හත තරඟාවලියට ඉදිරිපත් වුණා. ඒ සැරේ ඒ තරඟය දිනුවේ මං. ඉතින් ජනප්‍රිය ගායන ශිල්පියෙක් වෙන්න හීන දැකපු මාව ඒ ජයග්‍රහණයත් එක්ක රටක් දන්න කියන සුපිරි තරුවක් වුණා. ඒ 2016 අවුරුද්දෙදි.”

හැබැයි ඒ රියැලිටි තරඟය පියත් ජයග්‍රහණය කළත් ‘පියත් රාජපක්ෂ’ කියන නම නොහිතපු විදියට සංගීත ක්ෂේත්‍රය තුළ යට ගියා. විටින් විට ගීත එළිදැක්වුවත් ඒවත් හිතපු තරමටම මිනිසුන් වැළඳගත්තේ නෑ. අච්චර ලොකු රියැලිටි තරඟයකින් ජයග්‍රහණය කරලා සුපිරි ගායන තරුවක් වූ පියත්ට එහෙම දෙයක් වුණේ ඇයි? ඒ ගැනත් පියත්ගෙන් අපි අහලා බැලුවා.

“ඔය රියැලිටි තරඟයකින් දිනන ඕනම කෙනෙක්ට ඊළඟ පියවර හිතාගන්න ලේසි නෑ. පියවරෙන් පියවර ජනප්‍රිය ගායකයෙක් වෙන එකයි, එක රැයෙන් ජනප්‍රිය ගායකයෙක් වෙන එකයි කියලා කියන්නේ දෙකක්. ඉතින් මට සිදුවුණෙත් ඒක. දිනුවට පස්සේ මටත් හිතාගන්න බැරිවුණා. මං හිරවුණා. ඊළඟට කරන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න අමාරු වුණා. ඒක නිසා මට නිහඬවෙන්න වුණා.”

‘කොරේ පිටට මරේ’ කියලා අපේ රටට කොවිඩ් වසංගතය ආවෙත් ඔය කාලෙදි. ඒත් එක්ක අපේ රටේ සංගීත ක්ෂේත්‍රයත් හතරගාතේ දාලා වැටුණා කිව්වොත් හරි. ඒ වෙලාවේ පියත් හිටියේ ලොකු දෙගිඩියාවක කියලයි අපිට කිව්වේ.

“කොවිඩ් කාලෙදි මං දිගටම සංගීතය කරනවද නැද්ද කියලා හිතුවා. මොකද හැමදේම එපාවෙලා තිබුණේ. ඒත් ‘යළි හමුවන්නේ කෙදිනද අපි’ කියලා මං ගීතයක් කළා. ඒකෙන් මට මගේ ගැන පොඩි විශ්වාසයක් ඇතිවුණා. ඉතින් මං හිතාගත්තා, නෑ මං මියුසික් නවතන්නේ නෑ දිගටම කරනවා කියලා. එතැනින් පස්සෙයි මං ‘දවසක් ඒවි’ ගීතය කළේ. ඒ ගීතය මිනිස්සු ආදරෙන් වැළඳගත්තා. ඒ ගීතය මගේ සංගීත ජීවිතේ එක හැරවුම් ලක්ෂයක් කිව්වොත් හරි.”

ඒ ගීතය පියත්ගේ සංගීත ජීවිතේ එක හැරවුම් ලක්ෂයක් නම් පියත්ගේ සංගීත ජීවිතේ ලොකුම හැරවුම බවට පත්වුණේ ‘ගමේ ලස්සනම ලේලි’ ගැන කියපු ‘බඳිමු සුදා’ ගීතය. ඒ ගීතය යූටියුබ් අවකාශයේ වේගයෙන්ම නැරඹුම් වාර ප්‍රමාණයක් ආ ගීතය බවටත් පත්වෙලයි නැවතුනේ. ඒ අතරේ මීට ටික දොහකට කලින් පියත් කරපු ‘සීදේවි’ ගීතයත් ඒ පාරේම ගියේ පියත් ලංකාවේ ජනප්‍රියම ගායකයා බවට පත්කරමින්.

“බඳිමු සුදා, සීදේවි කියන ඒ ගීත දෙකම ලංකාවේ අතිශය ජනප්‍රිය වුණා. වයස් භේදයක් නැතුව හැමෝම ඒ ගීතවලට ආදරේ කළා. තාමත් එහෙමයි. දැන් මගේ ඊළඟ ගීතය ගැන මට බයක් නෑ. ඔවුන් ඒක එනකල් ඇඟිලි ගනිනවා කියලා මං දන්නවා.”

‘සීදේවි’ රූප රචනාවට හැලයයි සීදේවියි නමින් කිඹුල් ජෝඩුවක් එකතු කරගත්ත එක ගැනත් අපි පියත්ගෙන් අහලා බැලුවේ ඒකත් ගීතය ජනප්‍රිය වෙන්න ඍජුවම බලපාපු බවක් පෙනුණු හින්දමයි.

“මං එහෙම වෙනස් දේවල් කරන්න හරි ආසයි. ගීතය ලියද්දි වුණත් මට හැලයා කියන වචනේ දාන එක ප්‍රශ්නයක් වෙයිද හිතුණා. මොකද හැලයා කියන්නේ ඉතින් කිඹුලටනේ. සමහරු කෙළින්ම කිව්වා ඒක ගැ‍ළපෙන්නේ නෑ කියලත්. අන්තිමේදි ඕන දෙයක් වෙන්න කියලා ගීතය එළිදැක්වුවා. වැඩේ කියන්නේ ‘සීදේවි’ ගීතය ජනප්‍රිය වෙන්න වැඩිපුරම බලපෑවෙත් ඒ වචනෙයි. දැන් මට සමහරු කියන්නෙත් හැලයා කියලා.”

 

*පියත්ගේ ගීතවල රූපරචනාවලට ඔබේ පෙම්වතිය සඳනිවම ගන්නේ මොකද?

“මං අන්තිමට කරපු ගීත දෙකටම මට ඕන වුණේ සඳනිව. එයාව ගත්තේ මගේ පෙම්වතිය හින්දම නෙවෙයි.”

පියත්ට මුලින්ම සඳනි මුණගැහිලා තියෙන්නේ ‘ප්‍රියාවි’ ගීතයේ රූප රචනාව කරද්දි. ඒ 2017දි. පියත්ගෙයි සඳනිගෙයි පෙම් කතාව පටන්ගත්තෙත් එතැනදි ඇතිවුණු යාළුමිත්‍රකමක් දුරදිග ගිහිල්ලා කියලයි පියත් ‘ධරණී’ට කිව්වේ.

“සඳනිගේ තිබුණු ඒ ලස්සනට තමයි මට මුලින්ම හිත ගියේ. යාළුවෝ විදියට අපි කාලයක් ආශ්‍රය කළා. අන්න එතකොට මට තේරුනා සඳනි තමයි මට ගැළපෙන ගෑනු ළමයා කියලා. ඉතින් මං කැමතියි කිව්වා. දැන් අපේ සම්බන්ධයට අවුරුදු 8ක් වෙනවා.”

මේ වෙද්දි පියත් ප්‍රසංග වේදිකාවේ කාර්යබහුලම ගායකයෙක්. ඒ විතරක් නෙවෙයි ඔහුට ‘We Plus’ නමින් සංගීත කණ්ඩායමකුත් තියෙනවා. ඉතින් ඒ හැම සංගීත වැඩකටම සඳනිගෙන් ලැබෙන සහයෝගය ගැනත් පියත්ගෙන් නිකමට අහලා බැලුවා.

“මගේ හොඳම රසිකාවිය සඳනි. එයා මට දක්වන ආදරේ තමයි එයාගෙන් ලැබෙන ලොකුම සහයෝගය. ඒ නිසයි මං අතින් දවසක් ඒවි, බඳිමු සුදා, සීදේවි වගේ ගීත ලියවුණේ. ඒවා ස‍ඳනි මතක් කරගෙන මං ලියපුවා.”

 

*ගමේ ලස්සනම ලේලි ගැන කියපු බඳිමු සුදා ගීතයේ ‘බැන්දට පසු ඔබ මට බනිනු එපා’ කියලා පද පේළියක් තියෙනවනේ. ඒ කියන්නේ සඳනි සැරයිද?

“පොඩ්ඩක් සැරයි. මට බණින වෙලාවල් තියෙනවා. සඳනිගේ නරක පුරුද්දකට කියලා තියෙන්නේ ඒ බණින එක තමයි.”

පියත්ට තරුණියන්ගේ ආකර්ෂණය ලැබෙන එක රහසක් නෙවෙයිනේ. ඉතින් ඒ එක්ක සඳනි නීති එහෙම දාලා නැද්ද කියලා අපි පියත්ගෙන් ඇහුවා. හයියෙන් හිනාවෙලා ඒකට පියත් දුන්නු උත්තරය තමයි මේ.

“ඒක අපි දෙන්නටම පොදුයිනේ. මොකද සඳනිටත් රංගන ශිල්පිනියක් විදියට තරුණයින් අතරේ ලොකු ආකර්ෂණයක් තියෙනවා. ඒ නිසා මං එයාටවත් එයා මටවත් නීති දාන්නේ නෑ. මමයි එයයි දෙන්නම හොඳටම දන්නවා ප්‍රේක්ෂක ආදරේ කියන්නේ මොකක්ද කියන එක.”

පියත්ගේ ගෙවල් කැලණියේ. අම්මා, තාත්තා ඇරුනම පියත්ට වෙන ඉන්නේ අක්කලාම දෙන්නෙක්. ඉතින් අවසානෙට පියත් සඳනි විවාහය ගැනත් අපි පියත්ගෙන් අහලා බැලුවේ ඒ ගැනත් කණෙන් කොණින් ආරංචියක් ලැබුණු නිසාමයි.

“මේ වෙනකොට මමයි සඳනියි දෙන්නා ගොඩාක් කාර්යබහුලයි. හැබැයි ඉතින් විවාහය ගැනත් හිතන්න එපැයි. හුඟාක් වෙලාවට ලබන අවුරුද්දේ වගේ සීදේවි හැලයට අයිති වෙයි.”

පියත් එහෙම කියලා කතාබහට සමුදෙනකොට අපේ කතාබහේ ඉතිරිය වෙනුවෙන් අපි ආරාධනා කළේ ඔහුගේ පෙම්වතිය සඳනි ප්‍රනාන්දුට. ඇයත් අපේ කතාබහට මුලපිරුවේ පාසල් කාලෙන්.

“මං උසස්පෙළ කළේ කොමස්වලින්. ඒත් එක්ක මගේ ආසාව වුණේ ඒ අංශයෙන් රැකියාවක් කරලා ඉස්සරහට යන්න. මං අද නිළියක් වුණාට පාසලේදි කවුරුත්ම හිතුවේ නෑ මං මෙහෙම තැනකට එයි කියලා. අඩුතරමේ මං හිතුවෙත් නෑ. මං පාසල් කාලේ හරිම නිශ්ශබ්ද චරිතයක්.”

එහෙම හිටපු සඳනිගේ ජීවිතේ මුළුමනින්ම වෙනස්වෙලා තියෙන්නේ 2016 අවුරුද්දේ. සඳනි තමයි ඒ අවුරුද්දේ ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය වුණේ. 2017 දි ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය දෙවැනි ස්ථානය දිනාගත්තෙත් සඳනිලු. ඒ එක්ක ලැබුණු ප්‍රසිද්ධිය නිසාලු ඇයට රංගනයට ආරාධනා පැමිණියේ.

“මගේ පළවැනි ටෙලිනාට්‍යය ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ අධ්‍යක්ෂණයක් වුණු ‘හාරකෝටිය.’ එහි රෂ්මිගේ චරිතය මං කළේ. එතකොට මට වයස අවුරුදු 17ක් 18ක් වගේ. ඒකෙන් පස්සේ ගොඩාක් නිර්මාණවලට කතා කළා. ඒත් නිතරම ප්‍රේක්ෂකයාට පේන්න ඉන්න මං කැමති වුණේ නෑ. ඒක නිසාම තෝරාබේරාගෙනයි නිර්මාණවල රඟපෑවේ. වැඩේ කියන්නේ ඒ හැම එකම වගේ ප්‍රේක්ෂකයා හුඟාක් ආදරෙන් වැළඳගත්තා. ඒක නිසා නිළියක් විදියට ක්ෂේත්‍රයේ පැවැත්මක් හදාගන්න මට ලේසිවුණා.”

මේ දවස්වල සඳනිව අපට දකින්න ලැබෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වෙන ‘සල්ලි පොකුරු’ කියන ටෙලිනාට්‍යයේ නෙහාරගේ චරිතයෙන්. ඒ නර්තන ගුරුවරියක් විදියට. ඒ නිසා ඇය නර්තනය හදාරලා තියෙනවද කියලා අපි අහලා බැලුවා.

“මං එහෙම ලොකුවට නර්තනය හදාරපු කෙනෙක් නෙවෙයි. ඉවෙන්ට්වලදි වගේ නම් නටලා තියෙනවා. මං පාසල් කාලේ කළේ චිත්‍ර. ජිම්නාස්ටික් කරපු කාලෙකුත් තිබුණා. හැබැයි මේ දවස්වල නෙහාරාගේ චරිතය වෙනුවෙන් නර්තනය හදාරනවා.”

කතාබහ අතරවාරයෙදිම නිළියක් විදියට සඳනිට ලැබුණු අමතක නොවන ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ගැනත් ඇය මේ විදියට මතක් කළා.

“දවසක් අපේ ගෙදරට ලියුමක් ඇවිදින් තිබුණා. මං හිතන විදියට ඒක එවලා තිබුණේ කොල්ලෙක්. හරි ලස්සන ආදරේ හිතෙන ලියුමක් ඒක. චිත්‍රයක් එහෙමත් ඇඳලා තිබුණා. මට එයා ගොඩාක් ආදරේ කරන කෙනෙක් කියලයි ලියලා තිබුණේ.”

රංගන ජීවිතේ අමතක කරන්න බැරි දවසක් ගැන ඇහුවම සඳනි කටපුරා හිනාවෙලා කිව්වේ ඇය රඟපෑ පළවැනි මියුසික් වීඩියෝව කියලා. ටෙලිනාට්‍යය ගණනාවක හිටපු සඳනි විනාඩි තුනක හතරක මියුසික් වීඩියෝවක් ගැන කියපු හින්දාම අපිට ඒක ගැනත් හාරඅවුස්සලා බලන්න හිතුණා.

“ඒක පියත්ගේ ‘ප්‍රියාවි’ මියුසික් වීඩියෝ එක. ඒ වීඩියෝ එකේ රඟපාන්න ගිහින් තමයි පියත්ව මුණගැහුනේ. මට මතක විදියට ඒ 2017 දි. පියත් හින්දයි මට ඒක අමතක නැත්තේ.”

පියත් වගේ ගායන ශිල්පියෙක්ව සඳනිගේ ජීවිතේ සහකරුවා විදියට තෝරගත්තේ ඇයි ඇහුවම සඳනි දුන්නේ මෙහෙම උත්තරයක්.

“අංක එක ගතිගුණ. ඒ වගේමයි පියත් හරි ආදරණීය කෙනෙක්. ඒ වගේම එයා එයාගේ හීන වෙනුවෙන් හරි අසීමිතව කැපවෙන කෙනෙක්. අනෙක තමයි මාත් සංගීතයට හරි ආසයි. ඒ දේවල් එක්ක පියත් මට ගැළපෙනවා කියලා හිතුණා. ඉතින් එයා කැමතිද අහද්දි මට අකමැති වෙන්න හේතුවක් තිබුණේ නෑ.”

ගායන ශිල්පියෙක් විදියට පියත්ට ලැබෙන තරුණියන්ගේ ආකර්ෂණය ගැනත් සඳනිගෙන් අහලා බැලුවේ ඇයට ඒක දැනෙන්නේ කොයි විදියටද කියලා දැනගන්න.

“හරි සතුටුයි. මං හිතන්නේ තරුණියන්ම විතරක් නෙවෙයි වයස් භේදයක් නැතුව හැමෝම පියත්ට ආදරෙයි. හැබැයි ගෑනු ළමයිගේ කැමැත්ත වැඩියි කියලා මටත් පේනවා. කමක් නෑ ඉතින්, කවුරු කැමති වුණත් එයා මගේ කියලා මං දන්නවනේ.”

‘සීදේවි’ ගීතයෙන් පස්සේ පියත්ට වගේම සඳනිටත් ලොකු ආකර්ෂණයක් තියෙනවා. සඳනිට දැන් හැමෝම කියන්නෙත් ‘සීදේවි’ කියලලු.

“කලින් ගමේ ලස්සනම ලේලි කිව්වා. ඒ වුණාට සීදේවි ගීතයෙන් පස්සේ දැන් මං සීදේවි වෙලා. පියත්ටයි මටයි ගොඩාක් අය කියන්නේ හැලයයි සීදේවියි කියලා.”

 

*එතකොට දැන් හැලයගෙයි සීදේවිගෙයි වෙඩින් එක එහෙම ළඟද?

“හැලයයි සීදේවියි දෙන්නම මේ ටිකේ වැඩවලට හිරවෙලා. ඒ නිසා ඒකට නම් තව ටික කාලයක් යාවි. ලබන අවුරුද්දේ වගේ ඒ ගැන සුබ ආරංචියක් දැනගන්න ලැබෙයි.”

සඳනි ඒ කතාව කිව්වේ හිනාවෙන ගමන්. සඳනි ඉන්නේ මාරවිල. අම්මයි තාත්තයි ඇරුනම ඇයට ඉන්නේ අයියයි අක්කයිලු. ඉස්සරහට අහස උසට ලොකු බලාපොරොත්තු නැති වුණත් ඉන්න ටික කාලේ ප්‍රේක්ෂක ආදරේ මැදින් සතුටින් ඉන්න එකලු සඳනිගේ ආසාව. ඉතින් ඒ වෙනුවෙන් වගේම හැලයටයි සීදේවිටයි ඉක්මනින්ම එක වහලක් යටටත් එන්න ලැබෙන්න සුබපතන ගමන් ‘ධරණී’ අපි පියත්ටත් සඳනිටත් සමුදුන්නා.

රුවන් එස්.සෙනෙවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක