නවතම ප්‍රවෘත්ති

පිටපත දැක්කම හිතුණා දෙවියනේ කොහොමද පිඹුරෙක් කරේ දාගන්නේ කියලා – චුලක්ෂි රණතුංග

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ තාත්තා වන ප්‍රකාශ් පදුකෝන්, ඉන්දියාවේ හිටපු දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්. ඒ නිසා දීපිකාටත් පුංචි කාලේ ඉඳලා තාත්තා වගේ බැඩ්මින්ටන් ගහන්න ඕන වුණාලු. ඇය බැංගලෝර්හි සොෆියා උසස් පාසලේ අධ්‍යාපනය හදාරන කාලෙත් වැඩි කාලයක්, ශ්‍රමයක් යොදවලා තියෙන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන්. ඒ නිසා ඒ කාලේ දීපිකා ජාතික මට්ටමේ බැඩ්මින්ටන් තරඟ නියෝජනය කරලා බොහෝ ජයග්‍රහණයත් ලබාගත්තලු. හැබැයි පාසල් අධ්‍යාපන හමාරවෙනවත් එක්කම දීපිකාගේ මේ ගමන්මග වෙනස් වෙන්නේ ඇය නිරූපණ ක්ෂේත්‍රයට යොමුවීමත් එක්ක. ඒ විදියට නිරූපිකාවක් වශයෙන් පටන්ගත්තු දීපිකාගේ ගමන අවසානේ නතර වුණේ ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් තාරකාවක් බවට පත්වෙලා. ඒත් අදටත් පුංචි හරි විවේකයක් ලැබුණු ගමන් දීපිකා ඉස්සර වගේම බැඩ්මින්ටන් ගහනවා කියලයි පසුගිය දවසක ඉන්දීය මාධ්‍ය ස‍ඳහන් කරලා තිබුණේ.

මට දීපිකා පදුකෝන්ව මතක්වුණේ ඇයගේ කතාවට සමානම කතාවක් තියෙන අපේ රටේ නිළියක් නිසා. ඒ තමයි චුලක්ෂි රණතුංග. චුලක්ෂිත් පුංචි සන්ධියේ ඉඳන්ම හීන දැක්කේ පැසිපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නලු. හැබැයි චුලක්ෂිටත් දීපිකාට වගේම බොහොම සුන්දර රූපකායක් හිමි නිසා ඇයත් පස්සේ කාලෙක නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත්. ඒ නිසාම 2014 වසරේ ‘මිස් ශ්‍රී ලංකා’ (Miss Sri Lanka) තරඟය ජයග්‍රහණය කරලා ඒ වසරේම එංගලන්තයේ තිබුණු ‘ලෝක රූ රැජින’ (Miss World) තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නත් ඇයට පුළුවන් වුණා. පැසිපන්දු ක්‍රීඩාව තුළින් ඉදිරියට යන්න හීන දැකපු චුලක්ෂි අන්තිමේ ජනප්‍රිය නිළියක් වුණේ එහෙම. ඒ චුලක්ෂිගේ සොඳුරු රුවින් තමයි අද අපේ ‘ධරණී’ කවරයත් හැඩවෙන්නේ.

“මං පාසල් ගියේ කුරුණෑගල මලියදේව බාලිකාවට. ඒ කාලේ පැසිපන්දු ගහන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ. පන්ති කාමරේ ඉන්නවට වඩා වැඩිපුර හිටියේ ග්‍රවුන්ඩ් එකේ. පැසිපන්දු ක්‍රීඩාවට කොච්චර ආසද කිව්වොත් මම එදා හීන දැක්කේ පැසිපන්දු ක්‍රීඩිකාවක් වෙන්න. හැබැයි දෛවය විසින් මගේ ගමන වෙනස් කරලා මාව නිළියක් කළා.”

එදා ‘මිස් ශ්‍රී ලංකා’ (Miss Sri Lanka) තරඟය ජයග්‍රහණය කරලා ‘ලෝක රූ රැජින’ (Miss World) තරඟය නියෝජනය කරද්දි චුලක්ෂි කියන්නේ දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ දක්ෂ නිරූපණ ශිල්පිනිය දක්ෂ නිළියක් කළේ චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේ කියලයි චුලක්ෂි කියන්නේ.

“දවසක් ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ අලුත් සිනමා නිර්මාණය වෙනුවෙන් නළු නිළියන් තෝරගන්න ඔඩිෂන් එකක් තිබුණා. මිස් ශ්‍රී ලංකා සහ නිරූපණ ක්ෂේත්‍රයේ අයටත් ඒකට විවෘත ආරාධනාවක් කරලා තිබුණ නිසා මාත් ගියා. ඉතින් එදා ඒ ඔඩිෂන් එකෙන් මමත් තේරුනා. ඒ චිත්‍රපටය තමයි 2017 වසරේ තිරගතවුණු ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය. ඒ චිත්‍රපටයේ හේමාල් රණසිංහ එක්ක ප්‍රධාන චරිතය රඟපාන්න ලැබුණෙත් මට.”

‘දේදුනු ආකාසේ’ චිත්‍රපටිය තිරගත වුණාට පස්සේ චුලක්ෂිට සිනමා ක්ෂේත්‍රය තුළ ලොකු ඉඩක් නිර්මාණය වුණා. ඒ අනුව ඇය රඟපෑ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘විජයබා කොල්ලය’, උදයකාන්ත වර්ණකුලසූරිය අධ්‍යක්ෂණය කළ ‘ගිනිමල් පොකුරු’ යන සිනමා නිර්මාණත් ප්‍රේක්ෂකයින් බොහොම ආදරෙන් වැළඳගත්තා. හැබැයි චුලක්ෂිට මෙතෙක් රඟපෑ ඒ හැම නිර්මාණයකටම වඩා මේ දිනවල දින 50 පසුකරමින් අතිසාර්ථකව දිවයින පුරා සිනමාශාලාවල තිරගතවන ‘මන්දාරා’ චිත්‍රපටය විශේෂයිලු. 

“ඇත්තටම ප්‍රියන්ත කොළඹගේ මහතා අධ්‍යක්ෂණය කරපු, මහේන් පෙරේරා මහතා නිෂ්පාදනය කරපු මේ මන්දාරා චිත්‍රපටය මට විශේෂයි. මම එහි රඟපාන්නේ මන්දාරා කියන චරිතය. මන්දාරා කියන්නේ පැසිපන්දු ගුරුවරියක්. මං අර කලින් කියපු විදියට මමත් පොඩි කාලේ ඉඳන්ම හීන දැක්කේ පැසිපන්දු ක්‍රීඩිකාවක් වෙන්න හින්දා මට ඒ චරිතය සමීපව දැනුණා. ඒ වගේමයි චිත්‍රපටයක හරි මගේ පුංචි කාලේ හීනය සැබෑකරගන්න ලැබුණා කියන සතුටත් මන්දාරා තුළින් මට දැනුණා. ඒ නිසා මන්දාරා මට විශේෂයි.”

‘මන්දාරා’ චිත්‍රපටයේ ඇයත් එක්ක බිමල් ජයකොඩි, චාන්දනි සෙනවිරත්න, මාධනි මල්වත්ත, මේඝ සූරියාරච්චි, සේමිණි ඉද්දමල්ගොඩ, දිනක්ෂි ප්‍රියසාද්, ලක්ෂ්මන් මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ෆර්ණි රෝෂනී, නයනා හෙට්ටිආරච්චි ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් ගණනාවක්ම රංගනයෙන් දායකවෙනවා. ඉතින් තාමත් ‘මන්දාරා’ බැලුවේ නැත්නම් පවුලේ හැමෝම එක්ක ළඟම සිනමාශාලාවට ඇවිත් ‘මන්දාරා’ බලන්න කියන ආරාධනයත් චුලක්ෂි ඔබට කළා.

“මං රංගන ක්ෂේත්‍රයට පිවිසිලා තවම ගතවුණේ පොඩි කාලයක් වුණත්, මම රඟපෑවේ සීමිත නිර්මාණ ගණනක වුණත් කෙටි කාලයකින් සිනමාවේ විශාල ජයග්‍රහණයක් ලබාගත්තා කියලා මට හිතෙනවා. ඒ 35 වැනි සරසවි සම්මාන උළෙලේදී සම්මානලාභී නිළියක් වෙන්න ලැබීම නිසා. සම්මානය ලැබුණේ ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ මං රඟපාපු හමිදුල්ලා කියන චරිතය වෙනුවෙන්. හොඳම චිත්‍රපට සහාය නිළිය කියන විශේෂ සම්මානයයි මට ලැබුණේ.”

‘විජයබා කොල්ලය’ චිත්‍රපටිය ගැන ඇය සඳහන් කරපු නිසාම ඒ චිත්‍රපටියේ ඇය පිඹුරෙක්ව කරේ දාගෙන කරපු රංගනය ගැන නොඅසා ඉන්න එක අඩුපාඩුවක් කියලා අපිට හිතුණා.  ඒ සිදුවීම ඇයගේ රංගන ජීවිතේ අමතක නොවන සිදුවීමක් කියලයි චුලක්ෂි කිව්වේ.  

“ඇත්තටම ඒ වෙනකොට මම සර්පයෙක්ව අතින් අල්ලලා තිබුණේ නෑ. ඒත් පිටපතේ තිබුණා පිඹුරෙක්ව කරේ දාගන්න තිබුණු දර්ශනයක්. මං කල්පනා කළා දෙවියනේ ඒක කරන්නේ කොහොමද කියලා. අනික මට සර්පයෝ අප්‍රසන්නයි. හැබැයි ඉතින් නිළිය කියන වෘත්තියට සාධාරණයක් කරනවා නම් ඒක කරන්නම ඕන. ඒ නිසා එදා කිසිම පුහුණුවක් නැතුව පිඹුරව කරේ දාගත්තා. බයකුත් නොතිබුණා නෙවෙයි. ඒත් කොහොම හරි මං ඒක කළා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ.”

ඒ අතරේ ඇය රංගනයට ස්වයං වාරණ පනවගෙන නැද්ද කියලත් අපිට අහලා බලන්න හිතුණේ අවසන් වරට රඟපෑ ‘ගිනිමල් පොකුරු’ චිත්‍රපටය තුළ චුලක්ෂි ටිකක් ආන්දෝලනාත්මක චරිත නිරූපණයක යෙදුනු හැටි මතක් වෙලා.

“පිටපත හොඳයි නම් මගේ රංගනයට මං ස්වයං වාරණ පනවගන්නේ නෑ. මං හිතනවා නිළියක් වුණාම ඕන චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා.”

 

*චුලක්ෂි කියන්නේ දැන් පෙම්වතියක්ද?

“ආදරේ කියන්නේ නිවැරදි තෝරාගැනීම් එක්ක කරන්න ඕන දෙයක්. ඒක නිසාම ඒක හිතුමනාපෙ කරන්න බෑ. දැනට නම් මං පෙම්වතියක් නෙවෙයි. හොඳ කෙනෙක් ලැබුණොත් අපි ඒ මාතෘකාව ගැන ඉදිරියේ කතා කරමු.”

චුලක්ෂිගේ ගම් පළාත නිට්ටඹුව, අත්තනගල්ල. පවුලේ ඉන්නේ අම්මයි අයියයිලු. ඇයගේ ලොකුම බලාපොරොත්තුව නිරූපණය තුළින් සහ රංගනයෙන් පුළුවන් තරම් දුරක් යන එක කියලයි ඇය අපිට කිව්වේ. එහෙම කියපු චුලක්ෂි කතාබහ අවසන් කරමින් ‘ධරණී’ කියවන කාන්තාවන්ට වටිනා කියන පණිවිඩයකුත් දුන්නා.

“අපේ රටේ කාන්තාවෝ හරිම ශක්තිමත් පිරිසක්. ඕනෑම දේකට ඔට්ටුයි. හැබැයි අවාසනාව කියන්නේ ගොඩාක් අය ඒක තේරුම් අරගෙන නෑ. ඒ නිසා කායිකව සහ මානසිකව තවත් කෙනෙක් මත්තේ යැපෙන්න පුරුදුවෙලා ඉන්නවා. ඒ නිසා මම ‘ධරණී’ කියවන සියලු දෙනාගෙන් ආදරෙන් ඉල්ලනවා තවත් කෙනෙකු මත යැපෙන්න කලින් තමන්ගේ ශක්තිය තේරුම්ගන්න, ඒ අනුව ජීවිතේ සැලසුම් කරගන්න කියලා.”

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක

හැඩගැන්වීම – ඉනෝකා වන්නිආරච්චි, බ්‍රයිඩල් සැලෝන්