මූණ නම් සුපිරි ලඳේ ඒත් ඉරි – ඉරි කිමද බඳේ
‘සරසවි මණ්ඩපය’ කියන්නේ 90 දශකයේ මැද භාගයේ ලංකාවේ අතිශය ජනප්‍රිය වුණ ගුවන්විදුලි ළමා වැඩසටහනක්. ඒ වෙද්දී ගුවන්විදුලියේ දක්ෂ නිවේදකයෙක් වගේම ගී පද රචකයෙක් වුණ කරුණාරත්න අබේසේකර මහත්තයා මෙහෙයවපු ඒ වැඩසටහන ඒ තරම් ජනප්‍රිය වෙන්න විශේෂ හේතුවකුත් තිබුණා. ඒ තමයි මේ වැඩසටහනේ ගායනා කරපු බොහෝමයක් ගීත කරුණාරත්න මහත්තයා ඒ මොහොතෙම රචනා කරලා ගුවන්විදුලි ළමා ගායක ගායිකාවන් ලවා ඒ මොහොතෙම ගායනා කිරීම.
ඉතින් ඔන්න ඔය වගේ දවසක් කරුණාරත්න මහත්තයා ගීතයක් ලියන්න හරිබරි ගැහිලා මොකක් ගැනද ලියන්නේ කියලා කල්පනා කරද්දී ගුවන්විදුලි සංස්ථාවේ අඹ ගහක හිටපු ලේනෙක්ව මතකෙට ආවලු. ඊටපස්සේ එතුමා ලේනගේ පිටේ ඉරි තුන මතක් කරගෙන හැරෙන තැපෑලෙන් ගීතයක් ලිව්වලු.
‘ලේනගේ පිට මැද ඉරි තුන ඇන්දේ
කවුද අනේ අම්මේ
ලස්සන කිරි සුදු හංස පැටව් ටික
ඇයි වතුරට දැම්මේ’
ඒ ලියපු දිනේම හවස ඒ කාලේ ගුවන්විදුලියේ ජනප්‍රිය ළමා ගායිකාවක් වුණ මල්ලිකා කහවිටගේ හඬින් මේ ගීතය ගුවනට මුසුවුණා. එදායින් එදා ගුවන්විදුලියේ ළමාපිටියේ ඒ ගීතයට පුදුම ජනප්‍රියත්වයක් ලැබුණා කියලා තමයි ආරංචි. ලේනාගේ පිටේ ඉරි ගැන ගීත ලිව්වම මිනිස්සු ආදරෙන් වැළඳගත්තට මොකද අපේ ශරීරයේ ඇඳෙන ඉරි (Strech marks) ගැන කතා කළොත් නම් ඉතිරි වෙන්නේ බොහෝවිට පිළිකුලක්. ඒකනිසා අපි හිතුවා ඉංග්‍රීසි භාෂාවෙන් ස්ට්‍රෙච් මාර්ක්ස් විදියටත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කිත්තිස විදියටත් හඳුන්වන ඒ ඉරි ඇඳිල්ල ගැන ලිපියකින් ඔබව දැනුවත් කරන්න ඕන කියලා.
සමේ සාමාන්‍ය පැහැයට වඩා වෙනස් පැහැයකින් ඉරි තැලීමක් විදියට දැකගත හැකි ස්ට්‍රෙච් මාර්ක් විදියට සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සමෙහි ඇතිවන පැල්ලම් විශේෂයක්. ඒවා සමෙහි හටගැනීම සෞඛ්‍ය ගැටලුවක් නොවුණත් අවලස්සන වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. මෙවැනි ඉරිතැලීම් ශරීරයේ ඕනෑම ස්ථානයක හටගැනීමේ හැකියාවක් පැවතුණත් විශේෂයෙන්ම මේදය අධිකව තැන්පත් වූ ප්‍රදේශවල ඒ කියන්නෙ උදර ප්‍රදේශය, පියයුරුවල, උරහිස, අතේ ඉහළ ප්‍රදේශවල, අත්යට, තට්ටම් ප්‍රදේශවල, උකුල විතරක් නෙවෙයි කළවා වගේ ප්‍රදේශවලත් දැකගත හැකියි. කෙටි කාලයක් ඇතුළත පැනනැගිය හැකි මෙවැනි තත්ත්වලට අධිකව මහත් වීම, ක්ෂණිකව කෙට්ටුවීම, හෝර්මෝනමය වෙනස්කම්, දීර්ඝකාලීන ඖෂධ භාවිතය පමණක් නොව ගර්භිණීභාවයද හේතු වෙන්න පුළුවන්.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව නම් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව කප දෝෂයේ හා පිත දෝෂයේ සිදුවන කෝපතාවයයි. ඒ අනුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මූලිකව අවධානය යොමු කරන්නේ එම කප හා පිත දෝෂය ඉවත් කිරීම තුලින් මෙවැනි පැල්ලම් ඉවත් කිරීමටයි. ඒ විතරක් නෙමෙයි ශරීරයේ රක්ත ශෝධනය වගේම කොලජන් නිපදවීම උත්තේජනය කිරීමෙනුත් මෙවැනි තත්ත්ව වළක්වා ගන්න පුළුවන්. ඊට අමතරව පහත සත්කාරත් අත්හදා බලන්න නම් බැරිකමක් නැහැ.
ස්ට්‍රෙච් මාර්ක් ඇතිවීමේ තත්ත්වයන් වළක්වා ගැනීමට තෙතමනය, පෝෂණය වගේම දීප්තියක් සහිත සමක් අවශ්‍ය වෙනවා. එවැනි සමක් ලබාගැනීමට කළ හැකි ප්‍රතිකාරයක් තමයි කෝමාරිකා මදය ගෙන එයට විටමින් E කරලක් එක්කරලා ස්ටේච් මාර්ක් සහිත ස්ථානවල ආලේප කිරීම.
තව ඕනෑනම් තලතෙල්වලට, ඔලිව් තෙලුයි, ආමන්ඩ් තෙලුයි මිශ්‍ර කරලා හිසෙහි ආලේප කර සම්බාහනය කිරීමත් ස්ට්‍රෙච් මාර්ක්වලට හොඳ විසඳුමක්.
සීනි කෝප්ප 1/2කට පිරිසුදු පොල්තෙල් කෝප්ප 1/2යි, කුරුඳු කුඩු තේ හැඳි දෙකයි එක්කරලා ස්ට්‍රෙච් මාර්ක් සහිත තැන්වල වක්‍රාකාරව ආලේප කරලා විනාඩි 10ක් තියලා සෝදා හැරීමත් කරන්න පුළුවන්.
කහකුඩු තේ හැඳි 02කට පිරිසිදු පොල්තෙල් තේ හැඳි 04ක් හොඳින් මිශ්‍ර කරලා ඊටපස්සේ ආලේප කරලා පැය 1/2කින් සෝදා හැරීම දිනපතා එක්වතාවක් හෝ සිදුකිරීම ප්‍රමාණවත්.
ස්ට්‍රෙච් මාර්ක්වලට සතියකට එක වතාවක් බිත්තර සුදුමද 02ක් අරන් මද උණුසුම් ජලය ද එක්කරගෙන තලපයක් විදියට සකසාගන්න පුළුවන්. ඊටපස්සේ එය අදාළ ප්‍රදේශවල ආලේප කරලා පැයක් විතර තියලා සෝදා හැරලා ඔලිව් ඔයිල් ටිකක් ආලේප කරගන්න.
ඒ විතරක් නෙවෙයි අර්තාපල් පෙති සත්කාරය කිරීමත් ස්ට්‍රෙච් මාර්ක්වලට හොඳ විසදුමක්. ඒකට මුලින්ම කපාගත් අර්තාපල් පෙති අරන් පැල්ලම් තියෙන තැන්වල රවුමට අතුල්ලා ගත්තා නම් හරි. ඊටපස්සේ පැයක් විතර ඉඳලා මද උණුසුම් වතුරෙන් සෝදාගන්න ඕනෑ.
කෝපි කුඩු තේ හැඳි 02කට කෝමාරිකා මද කැබලි දෙකකුයි, ලැවැන්ඩර් තෙල් තේ හැඳි 02යි හොඳට මිශ්‍ර කරලා තලපයක් විදියට හදාගෙන කැළැල් තියෙන තැන්වල ආලේප කිරීමෙනුත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
තව ඕනෑ නම් ආර්තාපල් යුෂ තේ හැඳි 04කට රෝස වතුර තේ හැඳි 02ක් මිශ්‍ර කරලා කැළැල්වල ආලේප කරගන්නත් පුළුවන්. ඊටපස්සේ විනාඩි 10ක් විතර වේළෙන්න තියලා සෝදලා ඉවත් කරගන්න වගබලාගන්න ඕනෑ.
උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
(ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී )
ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල
නෙත්මි තෂාරා