ඉස්සර මම ඉස්කෝලෙ යාළුවන්ට පේන්න පන්තියේ කොට බිත්ති උඩින් පනිනවා – සචිත්‍රා හර්ෂනී ජයකාන්ත
‘උදුම්බරා’ ගේ ගමන හරි කඩිසරය. ඈ කිසිම මොහොතක හෙමින් ගමන් ගිය දැරියක් නොවේ. අඩියේ දෙකේ ගමන වුව ඈ ගියේ කඩියෙකු මෙනි. උදෑසනට නිවසේ සිට පාසලටත්, පාසැලේ සිට යළි නිවසටත් මේ දැරිය පා ගමනින් ගියේ හරියට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මීටර් 100 ඉසව්ව දුවන තරඟකාරියක මෙනි. ඒ නිසාම නොයෙක් අවස්ථාවල ඇයට ගම්මුන්ගේ විසුළුවලට පවා ලක්වෙන්නට සිදුවිය.
දිනක් මේ විදියට කඩි ගමනින් පාසැල් යමින් සිටියදී ඈ අහම්බෙන්ම පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ඇඟේ හැපිනි. ඔහු ආනන්ද ය. ආනන්ද ඒ වනවිට පාසලක ක්‍රීඩා විෂයභාර ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියේය. ඒ නිසාමදෝ ඔහු තමාගේ ඇඟේ හැපී දුවන මේ දැරිය දෙස ඕනෑකමින් බැලුවේය. ඉන්පසු ඈ දිවයන ඉරියව්ව දෙස සුළු මොහොතක් බලාසිට වහාම දැරිය පසුපසින් ගියේය. අනතුරුව ඈ මුණගැසී තමාට ඇයව ධාවන ශූරියක් කරන්නට හැකි බව පැවසුවේය. ඔහුගේ කතාව විශ්වාස කළ උදුම්බරා ද එතැන් පටන් ආනන්ද සර් යටතේ පුහුණුවීම් ඇරඹුවාය. අවසානයේ උදුම්බරා නැවතුණේ ජාත්‍යන්තර තලයේ නම රැන්ඳූ සුපිරි ක්‍රීඩිකාවක් බවට පත්වෙමිනි. බොලිවුඩ් චිත්‍රපටයක් මෙන් දිවෙන මේ කතාව ඇත්තේ 2018 වසරේ තිරගත වුණු සිංහල චිත්‍රපටයක් වන ‘උදුම්බරා’ චිත්‍රපටයේය. කේ.එස්.චම්මත්රාජ් අධ්‍යක්ෂණය කළ ‘උදුම්බරා’ චිත්‍රපටයේ එන මේ කතාවට සමාන කතාවක් පසුගිය දා සැබෑ ලෝකයේදී මට මුණගැසුණි. ඉතින් ඒ කතාව ‘ධරණී’ පාඨක ඔබට නොකියා කොහොමද? මේ, ඒ සැබෑ කතාවේ කතා නායිකාව සචිත්‍රා හර්ෂනී ජයකාන්ත සමඟ සිදුකළ සංවාදයේ සටහනයි.
“මං පොඩි කාලේ ඉඳලාම ටිකක් දඟකාර ගෑනු ළමයෙක්. මට මතකයි ඉස්සර මම පාසලේ යාළුවන්ට පේන්න එක එක දේවල් කරනවා. සමහර වෙලාවට පන්තියේ කොට බිත්ති උඩින් පනිනවා. ඩෙස්, බංකු උඩින් පනිනවා. තව වෙලාවකට මගේ වයසේ ළමයෙකුට පනින්න බැරි තරම් දුරකට පනිනවා. ඊටපස්සේ වතුර වළවල් උඩින් පනිනවා. ඒ කාලේ උස, දුර එහෙම හොඳට පනින්න පුළුවන්. ඒත් ඒ හපන්කම් ඔක්කෝම මං කළේ යාළුවෝ ඉස්සරහ විතරයි. මොකද අපේ දක්ෂතා වැඩිදියුණු කරලා ගන්න අපේ පාසලේ ක්‍රීඩා ගුරුවරයෙක් හිටියේ නෑ. ඒ වුණත් කාලයක් යද්දි මට හොඳ ගුරුවරු කීපදෙනෙක් මුණගැහුනා. ඔවුන් මා තුළ ඉඳපු ක්‍රීඩිකාව එළියට ගන්න මට ගොඩාක් උදව් වුණා. ඒ නිසා තමයි පසුගිය දවසක මට ලංකාවේ කොඩිය ජාත්‍යන්තරයේ ඔසවන්න පුළුවන් වුණේ.”
පසුගිය අගෝස්තු මස 13 වැනිදා ස්වීඩනයේ ‘ලෝක මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලිය’ (World Masters Athletics Championships 2024) ආරම්භ වනවිට ලෝක මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව දිනාගෙන තිබුණේ ලෝකඩ පදක්කම් තුනක් පමණි. එයින් අවසන් වරට පදක්කමක් හිමිකරගෙන තිබුණේ ශ්‍රී ලංකා පොලිසියේ ඩබ්ලිව් සාජන් ප්‍රියංගිකා කුමාරි ය. ඒ 2018 වසරේ පැවති ඉහත කී තරඟාවලියේදී යගුලිය විසිකිරීමේ ඉසව්වෙනි. ඒත් ඒ ඉතිහාසය අලුතින් ලියමින් ලෝක මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියක ඉහළම ජයග්‍රහණය ලබාගැනීමට සචිත්‍රා හර්ෂනීටපසුගිය දා හැකියාව ලැබුණි. ඒ ජාත්‍යන්තර මට්ටමෙන් කිසිඳු පදක්කමක් ලබාගැනීමට අපොහොසත් වී තිබූ දුර පැනීමේ ඉසව්වෙනි. කාන්තා වයස අවුරුදු 40 – 44 කාණ්ඩයෙන් තරඟ වැදුනු ඇය එහිදී රිදී පදක්කමක් හිමිකර ගත්තේ මීටර් 5.24 ඉහළ දක්ෂතාවයක් දක්වමිනි. ඒ රටවල් 28ක තරඟකාරියන් ඉදිරියේය.
“ඇත්තටම මං තරඟයට යනකොට බලාපොරොත්තු වුණේ රන් පදක්කම ගන්නවා කියලා. ඒත් ස්වීඩන්වල දේශගුණයට හුරුවෙන එක හරි අමාරු වුණා. එහෙට ඒ ටිකේම වැස්ස. ඒ නිසා හරි සීතලයි. අපි ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කළාට වැඩක් නෑ ඒක ටික වෙලාවයි. හැබැයි පදක්කම් බලාපොරොත්තුවක් තිබුණු හින්දා රිදී පදක්කම ගන්න පුළුවන් වුණා. රෝහිත ප්‍රනාන්දු, මගේ පුහුණුකරුත් ඒකට මට ලොකු ශක්තියක් වුණා.”
සචිත්‍රා සේවය කරන්නේ ශ්‍රී ලංකා පොලිසියේය. කාන්තා පොලිස් කොස්තාපල්වරියක් වන ඇය දැනට අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරයි. ඇය පොලිස් සේවයට බැඳී ඇත්තේ 2008 වසරේය. ඒ අනුව මේ ගෙවෙන්නේ ඇය පොලිසියේ රාජකාරි කරන 16 වැනි වසරයි. එකී 16 වසර තුළ පොලිසිය නියෝජනය කරමින් ඇය බොහෝ ජයග්‍රහණ ලබාගෙන තිබේ. නමුත් සචිත්‍රා කරළියට පැමිණියේ පසුගියදා ලෝක මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලබාගත් රිදී පදක්කමත් සමඟිනි.
“මේ ජයග්‍රහණයත් එක්කම ගොඩාක් අය ඇහුවා මෙච්චර කාලයක් මං මතු නොවුණේ ඇයි කියලා. ඔව් මගේ ගැන ලොකු කතාබහක් තිබුණේ නෑ. හැබැයි මං ජාතික මට්ටමේ ජයග්‍රහණ හුඟාක් අරගෙන තියෙනවා. පසුගියදා ලබාගත් ජයග්‍රහණය තමයි මගේ ක්‍රීඩා ජීවිතේ ලොකුම ජයග්‍රහණය. මීට පෙර මම ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලිවල රන් පදක්කමක් සහ රිදී පදක්කම් තුනක් අරගෙන තියෙනවා. ඒ වගේම 2017 සිට 2020 දක්වා පිට පිටම පොලිස් මලල ක්‍රීඩා තරඟාවලියේ උස සහ දුර ඉසව්වලින් කාන්තා දක්ෂතම ක්‍රීඩිකාව වුණා. ඒක වාර්තාවක්. ඒ වගේ ගොඩාක් ජයග්‍රහණය සහ වාර්තාවන් මේ වෙනකොට මගේ නමට තියෙනවා.”
කුඩා කල සිටම සචිත්‍රා තුළ දක්ෂ ක්‍රීඩිකාවක් සිට ඇත. නමුත් ඒ ක්‍රීඩිකාව මතුකොට ගන්නට තරම් වටපිටාවක් ඇයට තිබී නැත. සචිත්‍රා පැවසුවේ ඇය ගිය මුල්ම පාසල වූ මීගමුව පීල්ලවත්ත කනිෂ්ඨ විද්‍යායේ ක්‍රීඩා ගුරුවරයෙක් හෝ එකල නොසිටි බවයි. ඒ නිසාම එකල ඇයගේ දක්ෂතා සියල්ලම පාසල් ක්‍රීඩා පිටියට පමණක්ම සීමා වී තිබේ.
“ඒ කාලේ ඉඳන් මට හොඳට දුර පනින්න පුළුවන්. නිවාසන්තර ක්‍රීඩා උලෙළවලදි එහෙම ගොඩාක් ජයග්‍රහණ අරගෙන තියෙනවා. ඒ නිසා මගේ අම්මගේ නංගි, ඒ කියන්නේ මගේ පුංචි අම්මා බාප්පත් එක්ක එකතුවෙලා එයාලා දන්න ක්‍රීඩා පුහුණුකරුවෙක් ළඟට මාව එක්කගෙන ගියා. ඔහු ආඩිඅම්බලම ඉස්කෝලේ ක්‍රීඩා ගුරුවරයා වුණු ලලිත් සර්.”
ඉන්පසු ඇගේ මුල්ම ගුරුවරයා වී ඇත්තේ ඔහුය. ඔහුගේ ගුරුහරුකම් මැද දුර පැනීමේ ක්‍රීඩාවෙන් ඉදිරියට යනවිට සචිත්‍රාට අපූරු අවස්ථාවක් හිමිවී තිබේ. ඒ මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්වීමටයි. ඒ අවස්ථාව තමාගේ ක්‍රීඩා දිවියට පැහැදිලි ආශිර්වාදයක් වූ බවයි සචිත්‍රා පැවසුවේ.
“ඒ පාසලේ ක්‍රීඩා ගුරුවරියෝ දෙන්නෙක් හිටියා. ඒ දමයන්ති මිසුයි නයනා මිසුයි. ඒ දෙන්නගෙන්ම මට ගුරුහරුකම් ලැබුණා වුණත් දමයන්ති මිස් තමයි මගේ ක්‍රීඩා ගුරුවරිය වුණේ. ඇයගෙන් පස්සේ මගේ දක්ෂතා ඔපමට්ටම් කෙරුවේ ඔගස්ටින් අප්පුහාමි කියන සර්. මගේ දක්ෂතා පාසලෙන් එහාට අරගෙන ගිහින් ජාතික මට්ටමෙන් ඒවා පෙන්නන්න අවස්ථාවක් ලැබුණේ සර් හින්දා.”
*ක්‍රීඩා ජීවිතේ අමතක නොවෙන දවසක් එහෙම නැද්ද?
“එහෙම දවස් ඕන තරම් තියෙනවා. ඒත් ඉතින් පසුගියදා ලෝක මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේදි ගත්ත රිදී පදක්කම දිනපු එක අමතක කරන්න බෑ. ඒ දිනලා ගමට එනකොට මං වෙනුවෙන් ලොකු පිළිගැනීමක් තිබුණා. රථ පෙරහරකින් මං ගෙදරට එක්ක ගියේ. මගේ නැන්දගේ පුතා තමයි ගමේ අය එක්ක එකතුවෙලා ඒක ලෑස්තිකරලා තිබුණේ. ඒ වෙලාවෙදි මට ඇඬුනා. මොකද මගේ ක්‍රීඩා ජීවිතයේ මට එහෙම පිළිගැනීමක් ඒ ලැබුණමයි.”
වරක් ලොව සුපිරි කෙටි දුර ධාවක, ඔලිම්පික් පදක්කම්ලාභී ජැමෙයිකාවේ උසේන් බෝල්ට් පවසා සිටියේ ඔහුගේ බොහෝ ජයග්‍රහණ තුළ කිසිවෙක් දැක නැති දුෂ්කර කතාවක් ඇති බවය. තමා සහභාහී වෙන ජනප්‍රියම ඉසව්වක් වෙන මීටර් 100 ධාවන ඉසව්ව තත්පර කිහිපයක් තුළ අවසන් කළ ද ඒ තත්පර කිහිපය වෙනුවෙන් තමා වසර ගණනක් කැපවෙන බව ඔහු පවසා සිටියේය. සචිත්‍රාටද බෝල්ට්ගේ ඒ කතාව පොදුය.
“පොලිස් සේවය කියන්නේ රාජකාරි බහුල එකක්. ඒත් ක්‍රීඩාව වෙනුවෙන් මාව නිදහස් කරලා තියෙනවා. ඒක මට ලොකු පහසුවක්. ඒත් අදටත් ආර්ථික අපහසුකම් එන අවස්ථා තියෙනවා. හැබැයි ක්‍රීඩාවට තියෙන ආදරේ නිසා මට මේක කොයිම වෙලාවකවත් නවත්තන්න හිතෙන්නේ නෑ. මගේ කකුල් දෙක හයිය තියෙනකල් මං මේක කරගෙන යනවා.”
මිනුවන්ගොඩ, උන්නාරුව ගමේ පදිංචි සචිත්‍රාට මේ වනවිටත් වයස අවුරුදු 40කි. ඇය හැරුනුකොට පවුලේ සිටින්නේ ඇගේ මව, පියා සහ වැඩිමල් සහෝදරියන් දෙදෙනෙකි. ඔවුන් මෙන්ම තමාට මෙතැනට පැමිණෙන්නට තවත් බොහෝ පිරිසක් අතහිත දුන් බවයි ඇය ‘ධරණී’ට පැවසුවේ.
“මං මේ ක්‍රීඩාවට දක්ෂ වුණත් මට ඒකට පාර පෙන්නුවේ පුංචි අම්මයි බාප්පයි. ඒ දෙන්නා මතක් කරන්න ඕනේ. ඒ වගේම මගේ වත්මන් පුහුණුකරු ඇතුළු හිටපු සියලු පුහුණුකරුවන්, ගුරුවරුන් මතක් කරනවා. ඒත් එක්ක අගමැති ආරක්ෂක කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියංකර ද සිල්වා සර්, අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කසුන් ජයසේකර සර් ඇතුළු නිලධාරීන්, අපේ පොලිස් මලල ක්‍රීඩා සංගමයේ සභාපතිතුමා නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක සර්, එහි ලේකම් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුගත් ගලගමගේ සර් ඇතුළු නිලධාරීන්, අපේ ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි පුෂ්පකුමාර සර් ඇතුළු නිලධාරීන්, අපේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ මගේ පවුලේ අයත් මගේ ගමනට වචනයකින් හරි හයියක් වුණු සියලුදෙනාවත් මං හුඟාක් ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. දැනට ජීවතුන් අතර නැතත් මගේ ලොකු තාත්තයි, චුටි බාප්පයි දෙන්නත් මං මේ වගේ තැනකට එනවා දකින්න ආසාවෙන් හිටියා.”
සචිත්‍රාගේ මීළඟ බලාපොරොත්තුව වී තිබෙන්නේ එළැඹෙන වසරේ (2025 දී) ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියයි. එහිදී කෙසේ හෝ රන් පදක්කමක් ජයග්‍රහණය කිරීම සිය ලොකුම බලාපොරොත්තුව බවයි කතාබහ අවසන් කරමින් සචිත්‍රා පවසා සිටියේ.
“දුර පැනීම කියන ක්‍රීඩාව අපේ රටේ ඔය අනෙක් ක්‍රීඩා තරම් ප්‍රසිද්ධ නෑ. ඒක නිසා අවධානය යොමුවෙන්න ඕන සමහරක් උදවියගේ අවධානය මේ ක්‍රීඩාව කෙරේ යොමුවෙන්නේ හුඟාක් අඩුවෙන්. එහෙම කරන්න එපා. මෙහෙම වයසක ඉඳගෙන මං වුණත් මේ හැම පිම්මක්ම පනින්නේ මගේ රට රනින් බබළවන්න. ඒ නැතුව කවදාකවත්ම මට බැබළෙන්න නෙවෙයි.”
තවත් බොහෝ කාලයක් අපේ රට බබළවන්නට දුර පැනීමේ ක්‍රීඩිකා සචිත්‍රා හර්ෂනීට හැකිවේවා යන්නයි අපේත් ප්‍රාර්ථනය.
රුවන් එස්.සෙනවිරත්න