තොල්පෙති රතු මිරිස්ය පියයුරු ටී බනිස්ය
ඒ කාලේ හේම ශ්‍රී ද අල්විස් මහත්මයා විසින් පදරචනය කරපු ගීතයක් ඉන්ද්‍රානි පෙරේරා, මල්ලිකා පෙරේරා සහ අයිරාංගනී පෙරේරා කියන ත්‍රී සිස්ටර්ස්ලා මෙන්න මේ විදියට ගායනා කළ බව ඔබට මතක ඇති.
‘නෙත් යුග රන්තරු යුවළ තමයි
තොල්පෙති නා දලුවලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි’
හැබැයි ඔය කියන විදියට 90 දශකයේ මුල් භාගෙ විතර නා දලුවලට සමාන කරපු තොල්පෙති පස්සේ කාලෙක ඩී.එඩ්. අමරසේන කියන කවියා විසින් රතු මිරිස්වලට සමාන කළා. ඒ මෙන්න මේ විදියට.
‘තොල් පෙති රතු මිරිස්ය
පියයුරු ටී බනිස්ය
රූපෙන් අන්තිම උසස්ය
ඒ ටයිටස්ගේ මිසිස්ය’
කවියේ කියැවුණු ටයිටස්ගේ මිසිස් වගේ අද කාලේ බොහෝ යුවතියන්ගේ තොල්පෙති රතු මිරිස් වගේ පේන්නේ එහෙමත් නැත්නම් නා දලු වගේ පේන්නේ ඇයි කියන එක ප්‍රසිද්ධ රහසක්. ඒ වෙන එකක් නිසා නෙවෙයි තොල් ආලේපන නිසා බව අපි හැමෝම දන්නවා. හැබැයි ඔය විදියට දීර්ඝ කාලයක් තොල් ආලේපන පාවිච්චි කරන එක තොල් දෙකට එච්චර හිතකර නැති බවත් ඔබ නොදැන ඉන්න විදියක් නෑ. අන්න ඒ නිසා නිතර තොල් ආලේපන ගල්වන හෝ නොගල්වන ඕනෑම කෙනෙකුට සුන්දර සහ නිරෝගී දෙතොල් සඟලක් ස්වාභාවිකවම හිමි කරගැනීම වෙනුවෙන් නිවසේදී කළ හැකි සත්කාර කිහිපයක් තමයි අද අපි මේ කියන්න යන්නේ.
සාමාන්‍යයෙන් නීරෝගී පුද්ගලකුගේ දෙතොලේ පැහැය රෝස, රතු හෝ දුඹුරු වගේ පැහැයක් වෙන්න ඕනෑ. හැබැයි යම් කෙනෙක්ගේ තොල්වල පැහැය එහෙම නොවෙනවා නම් ඒකට ජානමය හේතු වගේම සමේ පාට, විවිධ රෝග, ආහාර රටාව වගේම දුම් පානය වගේ පුරුදුත් විශේෂයෙන්ම බලපාන්න පුළුවන්. ඔය කියපු හේතු අතරින් දුම් පානය හැර සෙසු හේතු වළක්වගන්න බැරි වුණත් තොල්වලට දීප්තියක් වගේම පැහැපත් බවක් එක්කිරීමට ආයුර්වේදය තුළ කළ හැකි සත්කාර බොහොමයක් තිබෙනවා. එයින් කිහිපයක් තමයි මේ.
තොල්වල වියළිබව වගේම මැරුණු සෛලත් ඉවත් කරගන්න ඕනෑ නම් වියළි රෝස පෙති කිහිපයකට මී පැණි මේස හැඳි එකකුයි ආමන්ඩ් තේ හැඳි එකකුයි හොඳින් මිශ්‍ර කරලා ඒ මිශ්‍රණය තොල්වල ගා සියුම්ව පිරිමදින්න.
තව ඕනෑ නම් දෙහි යුෂ මේස හැඳි එකකට මී පැණි මේස හැඳි එකහමාරක් එක්කරලා තලපයක් විදියට සකස් කරගෙන තොල්වල ආලේප කරලා මද රස්නේ වතුරෙන් සෝදා ගන්න.
හොඳට මිශ්‍ර කරගත්ත කෝපි කුඩු මේස හැඳි එකයි පිටි සීනි මේස හැඳි එකයි ආමන්ඩ් තෙල් බිංදු දෙකකුයි තොල්වල ආලේප කරලා පිරිමැදලා විනාඩි 05ක් තියලා ජලයෙන් සෝදා හැරීමෙනුත් දීප්තිමත් දෙතොල් යුගලක් ලබාගන්න පුළුවන්.
කහ කුඩු මේස හැඳි එකකට නැවුම් එළකිරි මේස හැඳි එකහමාරක් හොඳින් මිශ්‍ර කරලා තලපයක් වගේ හදාගෙන විනාඩි දහයක් විස්සක් දිනපතා සතියක් තොල්වල ආලේප කර තැබීමෙනුත් රෝස පාට තොල් යුගළක් ලැබෙනවා කියන්නේ බලාසිටිද්දීමයි.
දෙළුම් ඇට යම් ප්‍රමාණයක් නැවුම් එළකිරි තේ හැඳි එකක් එක්ක හොඳින් මිශ්‍ර කරලා විනාඩි පහළොවක් ආලේප කරලා තියලා සෝදා ගත්තොත් තොල්වල දුඹුරු පැහැය වගේම කළුලපත් දූරිභූත වෙලා යන්නේ හිටු කියද්දීයි.
බීට්රූට් යුෂ සත්කාරය කියන්නෙත් තොල්වලට කරන්න පුළුවන් හොඳ සත්කාරයක්. ඒකට කරන්න ඕනෑ බීට්රූට් යුෂ තේ හැඳි එකකට මී පැණි බිංදු කිහිපයක් එක් කරලා තොල්වල ආලේප කරලා පිරිමැද ගැනීමයි. ඕනෑනම් ඒ වෙනුවට බීට්රූට් කුඩා කැබලි තොල්මත විනාඩි 15ක් විතර තියා සෝදාගැනීමෙනුත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
තව මින්ට් කොළ කිහිපයකට දෙහි යුෂ මේස හැඳි දෙකකුයි මී පැණි බිංදු තුනකුයි හොඳින් එක්කරලා තොල්වල ආලේප කරලා විනාඩි පහක් විතර තියලා සෝදාහරින්නත් පුළුවන්.
මෘදු රෝසපාට දෙතොලකට ආසා කෙනෙක්ට නම් ස්ට්‍රෝබෙරි කෑලි කිහිපයකට මී පැණි තේ හැඳි දෙකයි ඔලිව් තෙල් බින්දු කිහිපයකුයි දමා හොඳින් කවලම් කර විනාඩි පහක් විතර තොල්වල ආලේප කරල තියලා සෝදා ඉවත් කරගන්න පුළුවන් ඕන්. ඒ කියාපු ස්ට්‍රෝබෙරි සත්කාරේ සතියට තුන් හතර වතාවක් කළොත් ඉතාම හොඳ ප්‍රතිඵලයක් බලාගන්න පුළුවන්.
ශීතකරණයේ වුණත් තියලා ලිප්බාම් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි කෝමාරිකා යුෂ කියන්නේ. මේකට කෝමාරිකා යුෂ මේස හැඳි එකකුයි ඔලිව් තෙල් බින්දු කිහිපයකුයි හොඳින් මිශ්‍ර කරලා දවසක් හැර දවසක් සති දෙකක් විතර දෙතොල්වල ආලේප කරගන්න. ඊටපස්සේ එහෙම විනාඩි දහයක් විතර තියලා සෝදා හැරීමෙන් දෙතොල්වල සිනිඳු බව වගේම තෙත්බවත් රැකෙන නිසා ඉක්මනින්ම පැහැපත් දෙතොලක් ලබාගන්න පුළුවන්.
පොල්තෙල් තේ හැඳි තුනක් අරගෙන දිනපතා තොල්වල ආලේප කරලා විතරක් නෙමෙයි පිරිමැදලාත් විනාඩි දහයක් විතර වියළෙන්න තියලා සෝදාහැරීමෙන් තොල් වේළෙන එක ඉබේම නතර කරගන්න බැරිකමක් නෑ.
ඒ විතරක් නෙමෙයි සැෆරන් රේණු කිහිපයකට නැවුම් එළකිරි ටිකක් එක්කරලා පැයක් විතර තියෙන්න ඇරලා දෙතොලේ ආලේප කරගන්නත් පුළුවන්. ඊටපස්සේ කරන්න තියෙන්නේ විනාඩි 20ක් විතර ඉඳලා සෝදා ඉවත් කරගන්න එක විතරයි.
අඳුරු ලප වගේම මැරුණු සෛල ඉවත් කරගන්නත් කරන්න පුළුවන් තව සත්කාරයක් තමයි එළඟි තෙල් තේ හැඳි දෙකකට මී පැණි තේ හැඳි එකක් එක් කරලා තොල්වල ආලේප කරගන්න එක. ඊටපස්සේ විනාඩි දහයකින් සෝදලා ඉවත් කරගත්තා නම් හරි.
තව ඕනෑනම් තල තෙල් මේස හැඳි එකකට මී පැණි තේ හැඳි දෙකකුත් එක් කරලා දෙතොලේ විනාඩි දහයක් විතර ආලේප කරලා සෝදාගන්න පුළුවන්. මේ සත්කාරය සතියකට එකපාරක් වගේ කිරීමෙන් තොල් වේළෙන එක වැළකිලා දීප්තිමත් දෙතොලක් ලබාගන්න පුළුවන්.
නෙත්මි තෂාරා
උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
(ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී )
ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල