කළු කැත මහත එකී කුඩු ගහලා කෙට්ටු වෙලා කියලා මට අපහස කළා – ජොආනා ජෝසප්
පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ එක්තරා ඡායාරූපයක් බොහෝ ප්‍රසිද්ධ වුණා. හරි මැදින් වෙන්කරලා තිබුණු ඒ ඡායාරූපයේ දෙපස හිටියේ තරුණියන් දෙදෙනෙක්. වම්පස හිටියේ පෙනුමෙන් තරබාරු කිසිම හැඩයක් පෙනුමක් නැති තරුණියක්. දකුණුපස හිටියේ රූපයෙන් පොහොසත් හැඩකාර තරුණියක්. ඔබත් සමාජ මාධ්‍යයේ නිතර නිතර සැරිසරන කෙනෙක් නම් ඔබට ඒ ඡායාරූපය කිසිම විටෙක මගඇරෙන්න විදියක් නෑ. ඒත් ඔබ විශ්වාස කරයිද දන්නේ නැහැ එම ඡායාරූප දෙකම එකම තරුණියකගේ එකම වයසේදී ගනු ලැබූ ඡායාරූප දෙකක් කියලා. මේ තරුණිය තමයි මැලේසියාවේ ජොආනා ජෝසප්. කෙටි කාලසීමාවක් තුළ ඇය තමන්ගේ පෙනුම වෙනස්කරගෙන තිබූ අයුරුයි ඡායාරූපයේ සංසන්දනාත්මකව දකින්න තිබුණේ. කවුරුත් ප්‍රශ්නාර්ථයක අතරමන් වූ ඒ ඡායාරූපය පිටුපස කතාව තමයි මේ.
ජොආනා පුංචි සන්ධියේ ඉඳන්ම කෑමට උපන් හපන් දැරියක්. වයස ගැන නොහිතා මේ පුංචි එකී කෑම කන හැටි දැකපු හැමෝම කිව්වේ මෙච්චර කෑමට පෙරේත ළමයෙක් මීට කලින් දැකලා නෑ කියලා. ඒත් ජොආනාගේ අම්මලා නම් තමන්ගේ දැරිය අසාමාන්‍ය විදියට කෑම කන හැටි දැකලා ලොකුවට පුදුමවුණේ නෑ. පොඩි එකී ඒ කන්නේ බඩගිනි හින්දා වෙන්නැති කියලයි ඔවුන් හිතුවේ. අනික ඒ ගෙදර කෑමෙන් බීමෙන් අඩුපාඩුවක් තිබුණෙත් නැති හින්දා ජොආනාට හිතේ හැටියට කන්න බොන්න ඉඩදීලා ඔවුන් පාඩුවේ හිටියා. හැබැයි එහෙම ඉඳපු දෙමව්පියන්ටත් උතුර දකුණ මාරුවුණේ හිටිහැටියෙම පොඩී එකී අසාමාන්‍ය විදියට වෙනස්වුණු හින්දා.
“මගේ පවුලේ අය කියනවා වයස තුන හතරක් වෙනකොට මං එක වේලකට බත් පිඟන් හතර පහක් කනවලු. ඒක හින්දා වයස අවුරුදු හතක් වෙනකොට මගේ බර කිලෝ හැටක් වෙලා. අවුරුදු දහතුනේදි ඒක කිලෝ 103කට ගිහින්.”
ඒ වෙනකොට ජොආනාට යමක්කමක් තේරෙන වයස. ඒ නිසා ඇගේ වයසේ අනෙක් ගෑනු ළමයින්ට වැඩිය ජොආනා බොහෝ වෙනස් කියලා ඇයට තේරුනා. ඒ නිසා ඉඩක් ලැබෙන හැමවෙලාවෙම ඇය කළේ ඔවුන්ගේ පෙනුම එක්ක ඇගේ පෙනුම සංසන්දනය කරපු එක. ඒ හැමවෙලාවෙම ඇයට තේරුනේ එක දෙයයි. ඒ ඔවුන්ට වැඩිය හය හත් ගුණයකින් විතර ජොආනා තරබාරුයි කියලා. ඒ නිසාම පාසල් ගමන විතරක් නෙවෙයි මුළු ජීවිතයම ඇය කරුමයක් කියලයි හිතුවේ.
“වෙන ළමයිට වගේ මට පාසල් ජීවිතේ සුන්දර එකක් වුණේ නෑ. යාළුවෝ මට හැමවෙලාවෙම මහත කෙල්ල කියලා විහිලු කළා. ගොඩාක් හිරිහැර කළා. ඉතින් ජීවිතේ බිංදුවටම වැටුණා. මට ඉගෙනගන්න තියෙන ආසාවත් නැතිවෙලා ගියා. මං ගොඩාක් මහත නිසා හම පවා කළු පාට වෙලයි තිබුණේ. මගේ යාළුවෝ විතරක් නෙවෙයි පාසලේ ගුරුවරු, පවුලේ නෑදෑයෝ පවා අනන්තවත් හිත රිදෙන කතා කිව්වා. ඒ නිසා පවුලේ, ගමේ, පාසලේ හැමතැනම මං කොන්වුණා.”
ලෝකයක් එකතුවෙලා මොකක්ම හරි හේතුවකට ඔබට අපහාස කළොත් ඔබ ඒක කොයි විදියට දරාගනියිද? පුංචි ජොආනට වුණෙත් ඒක. ජොආනගේ ලාබාල වයසත් එක්ක ඇයට ඒක කොයි විදියටවත් දරාගන්න පුළුවන් වුණේ නෑ.
“මං ගොඩාක් වෙලාවට කළේ තනිවෙලා අඬපු එක. කාටත් හොරෙන් මං එහෙම ඇඬුවා. පොඩ්ඩක්හරි මම හිත නිදහස් කරගත්තා නම් ඒ සිංදුවක් අහලා. ඒත් නැත්නම් දිනපොත ලියලා. ඒ වෙනකොට මට පාසල් යන එකත් හොඳටෝම එපාවෙලා තිබුණේ. ඇත්තටම මං පාසල් ගිය දවස්වලට වඩා තිබුණේ නොගිය දවස්.”
අඬන්න කාටත් පුළුවන්. කඳුළුත් හැමෝටම එනවා. ඒත් ලෝකෙ තියෙන හැම ප්‍රශ්නෙටම විසඳුම අඬන එකද? එක මොහොතක වරු ගණන් නොකා නොබී අඬපු ජොආනාට එහෙම හිතුණා.
“මට මතක විදියට ඒ වෙනකොට මට වයස අවුරුදු 15ක් විතර ඇති. මං මට විසඳුමක් හෙව්වා. එහෙම ටිකක් වෙලා කල්පනා කරද්දි මට හිතුණා වෙනස් වෙන්න. මොකද තවත් සමාජෙන් කොන්වෙලා ඉන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ. ඒක මගේ වයසේ ගෑනු ළමයෙක්ට තනියම දරාගන්න හරිම අමාරු දෙයක්.”
උත්සාහ කළොත් මොනවද අපට කරන්න බැරි. තෝමස් අල්වා එඩිසන් බල්බය හොයාගත්තේ නැත්නම් මිනිස්සු තාමත් කළුවරේ. නීල් ආම්ස්ට්‍රෝංලා හඳට ගියේ නැත්නම් හඳ කියන්නේ තාමත් මැජික් එකක්. ජොආනට ආවෙත් අන්න ඒ වගේ සිතුවිලි. ඒ දේවල් එක්ක ඇයත් අන්තිමේ වෙනස් විදියට හිතන්න පටන්ගත්තා.
“මම මුලින්ම ආහාරවල ලැයිස්තුවක් හදාගත්තා. ඊළඟට එතැනින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාරවේල් ඉතුරු කරලා අනෙක් දේවල් කැපුවා. එහෙම කපලා දානකොට මං පුංචි කාලේ ඉඳන් ආසාවෙන් කාපු කෑම පවා මට කපන්න සිද්ධවුණා. ඒ ගැන දුකක් නොහිතුණාම නෙවෙයි. ඒත් ඊට වඩා මට සමාජෙන් ඇවිත් තිබුණු අපහාසවලට මුහුණදෙන එක අමාරු වුණා. කොහොමහරි හදපු ලැයිස්තුවේ වැඩිපුර තිබුණේ පලතුරුයි එළවලුයි.”
හැබැයි කෑමබීම පාලනය කරපු පලියට ජොආනා හිතපු වෙනස ඇයට දකින්න ලැබුණේ නෑ. ඒත් මොකක්දෝ මන්දා සැහැල්ලුවක් ඇයට දැනෙන්න ගත්තා. ඒක නිසයි ඇය කෑමබීම පාලනය කරන අතරේ ව්‍යායාම කරන්නත් පටන්ගත්තේ. අන්න එදා ඉඳන් ජොආනාට ඇය බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය ලැබුණා.
“මං පාන්දරම අවදිවුණා. ඊටපස්සේ පැය දෙක තුනක් විතර එකදිගටම ව්‍යායාම කළා. හවසට ගේ ළඟ තිබුණු පිට්ටනියේ එහෙට මෙහෙට දිව්වා. ටික දවසක් යද්දි මට අමුතු සැහැල්ලුවක් දැනුණා. පස්සේ මං මගේ බර කිරලා බැලුවා. ඒ බලද්දි මටත් පුදුම හිතුණා. මොකද ඒ වෙද්දි මගේ බර බාගෙට බාගයක්ම අඩුවෙලා තිබුණා.”
මාස හයක් වගේ කෙටි කාලයක් ඇතුළත ජොආනා සාර්ථක වුණා. ඇය කොයිතරම් සාර්ථක වුණාද කිව්වොත් මුලින් කිලෝ එකසිය තුනක් වුණු ඇගේ බර කිලෝ පනස් හයකට අඩු වුණා. ඒත් වසන්ත කාලයක් මැද ගහපු වැහි නැති අකුණක් වගේ ඊටපස්සේ ඇයට අලුත්ම ප්‍රශ්නයකට මුහුණදෙන්න සිද්ධවුණා.
“එදා මට මහතයි කියපු අය ඊටපස්සේ දරාගන්න අමාරු චෝදනාවකින් මට දමලා ගහන්න ගත්තා. ඒ මං මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවෙලා කියලා. එයාලා හිතුවේ මං කෙට්ටු වුණේ මොකක් හරි මත්ද්‍රව්‍යයක් ගන්න නිසා කියලා. කළු මහත කෙල්ල ඔය විදියට කෙට්ටු වුණේ කුඩු ගහන්න පටන්ගත්ත හින්ද නේද කියලා සමහරු මගේ මූණටම කියපු වෙලාවල් තිබුණා. ඒ වෙලාවට ජීවිතේම එපා කියලා මට හිතුණා.”
ඒ වෙනකොටත් ජොආනාට තවත් අඬන්න තරම් කඳුළක් ඇස්වල ඉතුරු වෙලා තිබුණේ නෑ. ඒ නිසා ඇය නිතරම දෙවියන්ගෙන් දරාගන්න ශක්තිය දෙන ලෙස ඉල්ලුවා.
“ඇත්තටම දෙවියෝ දරාගන්න ශක්තිය විතරක් නෙවෙයි මට ලස්සන රූපයකුත් දුන්නා. මං කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලද්දි ඒ මමම ද කියලා මට හිතාගන්න බැරිවුණා. සමහරු කිව්වා ජොආනා ඔයා දැන් නිළියක් වගේ ලස්සනයිනේ කියලා.”
ඒ 2016 අවුරුද්ද. ඒ අවුරුද්දේ ඇයට හැකියාව ලැබුණා මැලේසියාවේ රූ රැජිනිය බවට පත්වෙන්න. ඇය එතැනින් නැවතුනෙත් නෑ. එයින් වසර දෙකක් ගියපු තැන ඇය ‘2018 Miss India World Wide’ කිරුළත් තමන් සතු කරගත්තා. ඒත් එක්ක ඇයට නිරූපණයට ආරාධනා ලැබුණා. අවසානේ ඇය නිරූපණ ශිල්පිනියක් වුණා.
“එදා මම මහතයි කළුයි කැතයි කියපු මිනිස්සු ඊටපස්සේ ඇවිත් මාව ඉඹලා මගේ සමරු සටහන් ගත්තා. ඒ එක්ක මට මගේ ගැන ඇතිවුණේ කියාගන්න බැරි තරම් ලොකු ආඩම්බරයක්. මට ඒ සමහරක් වෙලාවට මේ මමද කියලත් හිතුණා.”
ජොආනා ජෝසප් (Joanna Joseph) අද එහෙම කියන්නේ ආඩම්බරෙන්. අද ඇය එරටේ ජනප්‍රිය තාරකාවක්. තාමත් 27 හැවිරිදි ඇය කොතැන ගියත් කියන හරි අපූරු කතාවක් තියෙනවා. මං ලිපිය අවසන් කරන්න හිතුවෙත් ඒ කතාවෙන්.
“සමහර විට ලෝකයක්ම ඔබට වෛර කරන දවසක්, වෙලාවක් එයි. හැබැයි එදාට ඔබ ඔබට ආදරය කරන්න. එතකොට ඔබේ ජීවිතය හරිම ඉක්මණින් වෙනස් වෙයි.”
රුවන් එස්.සෙනවිරත්න