මම සාර්ථක වුණේ අසාර්ථක වෙන්න බය නොවුණු නිසයි – නදීශා චන්ද්‍රසේන
ඕනෑම විඩාපත් මොහොතක කොළඹ මහජන පුස්තකාලයේ සිවිලිම් විදුලි පංකාවේ දඩබඩ සද්දය සහ ඉන් හමන මඳ පවනත්, දුඹුරු පැහැ පොත් රාක්ක මතින් හමන පරණ පොත් පිටු පුසුඹත් මට නව පණක් ලබාදෙයි. එවැනි බොහෝ විඩාබර අවස්ථාවල මා චරිතාපදාන පොත් සහිත රාක්කයෙන් අහඹු ලෙස පොතක් තෝරාගන්නේ ඒ පොත් පිටු අතර සැඟවුණු ජීවිත අන්දරවලින් තවත් පන්නරයක් ජීවිතයට එකතු කරගන්නටයි.
පුස්තකාලයට යාමට නොහැකි වූ පසුගිය සතිඅන්තයේත් එවැනි කතාවක් කියැවීමේ දැඩි ඕනෑකමක් මට දැනුණේ මා තුළ තිබූ මන්දෝත්සාහී ගතිය ස්වෝත්සාහයෙන් දුරු කරගන්නටයි. නමුත් එදින රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයේ අන්තර්ගත වූ එක්තරා පුවතකින් මගේ ඒ ඕනෑකම සපුරාගන්නට හැකිවේ යැයි මා සිතා සිටියේ නැත.
‘ලොව හොඳම ඉංජිනේරු සැලසුමට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ නදීශා චන්ද්‍රසේන දිනාගනී’ යැයි නිවේදිකාව ජවසම්පන්න හඬින් පවසද්දී රූපවාහිනී තිරය මතින් දිස්වුණේ ඔස්ට්‍රේලියාවේ ගුඩ් ඩිසයිනින් සම්මාන උළෙලයි. ඒත් සමඟම එහි වේදිකාව වෙත පියමනිමින් සිටියේ කොට කොණ්ඩයක් සහිත රතු පැහැති සාරියකින් සැරසුණු කතකි.
එතැන් සිට ඇගේ කතාව අස්සක් මුල්ලක් නෑර දැනගන්නට අවැසි වූ නිසා මා ඇගේ නම මුහුණුපොතෙහි සටහන්කර බැලුවෙමි. ඒත් සමඟම මා නෙතට හසුවූ ඈ පිළිබඳව ලියා තිබූ සටහන් වීඩියෝපට එකින් එක ගෙන පිරික්සුවෙමි. දහසකුත් කඩාවැටීම් අසාර්ථකවීම් බොහෝමයකට නොබියව මුහුණ දී ඇය ජීවිතයේ පැමිණි දුර දකිද්දී ඇල්මැරුණු මගේ හිතට ද පිවිසියේ පෙර නොවූ ජවයකි. මාහට මෙන්ම ‘ධරණී’ පාඨක ඔබටත් ඇගේ කතාවෙන් ජවයක් ලැබේයැයි සිතූ නිසාම දුරකතන මාර්ගයෙන් ඇගෙන්ම අසා දැනගත් ඇගේ ඒ කතාව මෙලෙස දිගහරින්නට සිතුවෙමි.
ඇය කී ලෙස ඇගේ උපන්ගම ගාල්ලේ රත්ගම ය. එකී ගමත් සාමාන්‍ය පෙළ දක්වා ඇය අකුරු උගත් ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයත් මුහුද ආසන්නයේම පිහිටි තැන් නිසාම නිල්වන් අහසත් මහමුහුදත් ඇයට නුහුරු නුපුරුදු දෑ නොවීය. ඒ නිසාම සුදු පැහැ පෙණ පිඩු බිහි කරමින් වෙරළ වෙතට පැමිණෙන මුහුදු රළ මදක් දුරක් විත් ආපසු මුහුද දෙසටම පසුබසිනු ඇය අනන්තවත් දැක තිබෙන්නට ඇත. ඉන්පසුව පරාජය උරුම කරගන්නට අකමැත්තෙන් යළිත් පසුබැසි තැනින්ම මුහුදු රළ ඉදිරියටම ඇදෙනවාද ඇය නොදුටුවා විය නොහැක. එකී මුහුදු රළත් නදීශාත් අතර වෙනසක් නැතැයි මට සිතුණේ ඇයට ද උසස් පෙළ විභාගය හමුවේ දෙවතාවක්ම පසුබසින්නට සිදු වූ නිසාය. නමුත් මුහුදු රළ සේම ඉන් පසුනොබැසි ඇය අවසානයේ ඇගේ සරසවි සිහිනය සැබෑ කරගෙන තිබුණේ මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා භූමි අලංකරණ පාඨමාලාවට තේරීපත්වෙමින්ය.
“කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය නියෝජනය කරලා ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙළට මුහුණ දීපු මට පළවැනි පාර විශ්වවිද්‍යාල වරම් හිමිවුණේ නැහැ. ජීවවිද්‍යා අංශයෙන් දෙවැනි වතාවටත් උසස් පෙළට මුහුණ දුන්නත් හිතපු තරම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණේ නැති නිසා මම හිතුවා වෙනත් විෂය ධාරාවකින් හරි ආපහු උසස් පෙළට මුහුණ දෙනවා කියලා. ඒ විදියට තමයි තුන්වැනි පාරට කලා අංශයෙන් උසස් පෙළට මුහුණ දුන්නේ. ඒ ලැබුණ ප්‍රතිඵලවලින් ඒ වෙද්දී මොරටුව විශ්වවිද්‍යාලයේ අලුතින් හඳුන්වලා දීපු පාඨමාලාවක් වුණ නගර හා භූමි අලංකරණ පාඨමාලාට ඇතුළත් වෙන්න මම සුදුසුකම් ලැබුවා. තුන්වැනිපාරට උසස් පෙළ කරන එක අත්හැරලා දැම්මා නම් මට ඒ පාඨමාලාවට යන්න බැරි වෙන්නත් තිබුණා.”
ඇතැම්විට තමාට අවශ්‍ය මොහොතේ අවශ්‍ය දේ නොලැබීම පුදුමාකාර වාසනාවක් යැයි දලයි ලාමා කළ ප්‍රකාශය නදීශාගේ ජීවිතය තුළ ද සැබෑවක් වී තිබුණේ දෙවරක්ම සරසවි වරම් අහිමි වූ පසුවයි.
“ගෙදරට බරක් වෙන්න බැරි නිසා මම විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න ගමන් ඒ කාලේ ජනප්‍රිය පත්තරයක් වුණ ලක්බිම පත්තරේ විදෙස් පුවත් අංශයේ වැඩ කළා. හවස හය වෙනකන් විශ්වවිද්‍යාල දේශනවලට සහභාගීවෙලා ඊටපස්සේ මොරටුවෙන් බස් එකට නැගලා ලක්බිම පත්තර කන්තෝරුවට එද්දී හත විතර වෙනවා. එහෙම ඇවිල්ලා වෙහෙස මහන්සිය බලන්නේ නැතුව රෑ දහය දොළහ වෙනකම් වැඩ කරනවා.”
එවන් විටෙක පැය ගණන් බස්වල ගාටා ලත් තෙහෙට්ටුවත් ඉඳහිට කුසෙන් නැගෙන බඩගිනි කෑගැසුමත් ඇගේ ගමනට ශක්තියක් මිස බාධාවක් වී තිබුණේ නැත.
“උදේවරුවේ දේශනවල ඉඳලා හවස පත්තරේ ප්‍රවෘත්ති එක්ක වැඩ කරද්දි ඇඟට වගේම මනසටත් හරි අමාරුයි. සමහර වෙලාවට විශ්වවිද්‍යාල දේශන පවා මට මග ඇරෙනවා. ඒත් මම කොයිම වෙලාවකවත් විශ්වවිද්‍යාල ගමන වගේම රැකියාව අතහැරියෙ නැහැ. ඊටපස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් වෙලා අවුරුද්දක් ගතවෙනකන්ම මම පත්තර රස්සාව කරගෙන ගියා. ඒ අතරේ ගුවන් හමුදාවට බඳවාගන්න බවට පුවත්පත් දැන්වීමක් පුවත්පතේ පළවෙලා තිබුණා. උපාධියට ගැළපෙන රැකියාවක් රජයෙන් දෙනකන් බලන් ඉන්නවට වඩා මමම රැකියාවක් හොයාගන්න එක හොඳයි කියලා හිතපු නිසා මම ඒකට අයැදුම්පතක් යොමුකළා.”
එතෙක් කරමින් සිටි පුවත්පත් රැකියාවෙන් ඉදිරියට යනවාට වඩා ඇගේ අරමුණ වී තිබුණේ තමා උගත් දෙයින් රටටත් දැයටත් සේවයක් කිරීමය. ඒ අනුව ගුවන් හමුදාවට බැඳුණු ඇය ඉන් උපරිම ප්‍රයෝජන ලබාගෙන තිබුණේ ගුවන් හමුදාව තුළත් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින්ය.
ඒ සඳහා ජල කළමනාකරණය පිළිබඳ උපාධියක් ද හදාරන්නට පටන්ගෙන තිබුණේ විවාහ වී දරුවන් තිදෙනෙකුගේ මවක් වී සිටියදීය. විවාහවීමත් දරුවන් සිටීමත් ඇය ඇගේ ගමනට බාධාවක් කර නොගත්තාය. මේ සියල්ල මනාව කළමනාකරණය කරගනිමින් වෘත්තිය මට්ටමින් ද ඉදිරියට පැමිණි ඇය මැලේසියාවේ සරසවියකින් තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරගන්නට කටයුතු කළාය. ඒ සියලු වැඩ රාජකාරි මධ්‍යයේ ඇය කෙතරම් කාර්යබහුල වුවත් ඇයට අත්හැරගත නොහැකි වූ විනෝදාංශයක් ද තිබුණි. ඒ මුහුණුපොත හරහා සාමාන්‍ය ජනතාව ද එක්කරගනිමින් විවිධ පර්යේෂණ සිදුකිරීම වගේම සැලසුම් නිර්මාණය කිරීමයි.
“ඊටපස්සේ මමයි මගේ මහත්තයයි දරුවොත් අරගෙන ඔස්ට්‍රේලියාවේ පදිංචියට ආවා. ඒ ඇවිල්ලා රැකියාවක් හොය හොය ඉද්දි මට ලැබුණ පළවැනි රැකියාව මට අත්හරින්න සිද්ධ වුණේ මට ඒ වෙද්දී රියැදුරු බලපත්‍රයක් නොතිබුණ නිසයි. ඒත් මම රැකියාවක් හොයන එක නතර කළේ නැහැ. ඊටපස්සේ මට දැනගන්න ලැබුණා අලුතෙන් ආයතනයක් පටන්ගන්න යනවා ඒකෙ ව්‍යාපාර විශ්ලේෂණවරියක් විදියට කෙනෙක් හොයනවා කියලා. අවසානේට ඒක තමයි මගේ රැකියාව බවට පත්වුණේ.”
ඔස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණියා කියා නැත. ඇගේ පර්යේෂණ කටයුතු අත්හදාබැලීම් නතර වූයේ නැත. ඒ අතර ඇගේ විශේෂ අවධානය යොමුවී තිබුණේ වසර දාහතරක් පුරාවට තම කණ්ඩායමත් සමඟින් අත්හදා බලමින් සිටි කාණුවක් පිළිබඳ සැලසුමය. අවසානයේ එය ඔස්ට්‍රේලියානු ගුඩ් ඩිසයින් සම්මාන උළෙලේදී හොඳම ඉංජිනේරු සැලසුමට හිමි සම්මානය දිනාගත්තේය.
“අපි මේ කාණුව ගැන අත්හදාබැලීම් කරන්න පටන් අරන් දැන් අවුරුදු 14ක් විතර වෙනවා. සාමාන්‍යයෙන් අඩු ආදායම්ලාභී රටවල්වල වගේම මධ්‍යමලාභී රටවල්වල මිනිස්සු බහුලව ජීවත්වන නගරවල විශේෂයෙන් දකින්න ලැබෙන්නේ කුඩා ප්‍රමාණයේ කාණු. එතකොට ඒ වගේ කාණුවල කුණු හිරවීම නිසා වතුර බැහැර වෙන්නේ නැතුව පිටාර ගලනවා. අනිත් කාරණාව මේ තත්ත්වය ගැන ලොකු අවධානයක් යොමු කරන්නත් රටවල රජයට හැකිවෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරපු අපි පිටාර ගලන්නේ නැති කාණුවක් හදන්න සැලසුමක් සකස් කළේ. ඒකට අපේ අදහස් විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාවගේ පවා අදහස් එකතු වුණ සාමූහික වැඩක්. සැලසුම හැදුවා වගේම මේ කාණුව හදන්න ඕනෙත් හැම නගරයක උස් පහත් භේදයක් නැතුව හැම කෙනෙක්ම එකතු වෙලයි. ඒකයි අපි මේකට ඔබේ නගරයේ සැලසුම ඔබම සකසාගන්න කියලා තේමාවකුත් යොදලා තියෙන්නේ.”
අසාර්ථකවීම් දහසකුත් එකක් අවසානයේ ඇය ලෝකයේ සාර්ථකම ඉංජිනේරු සැලසුම ලෙස කාණුවක් හඳුන්වා දුන්නත් ජීවිතයේ එක් සමයක බොහෝදෙනෙකුට ඇය අසාර්ථක තැනැත්තියක් වූවාය. ඒ නිසාම කතාබහට සමුදෙන්නට මත්තෙන් ඇය පැවසුවේ මෙපමණකි.
“සාර්ථක වෙන්න ඕන නම් කවදාවත් අසාර්ථක වෙන්න බයවෙන්න එපා. අසාර්ථකවෙලා ලබන අත්දැකීම් තමයි කවද හරි අපිව සාර්ථකත්වයට අරගෙන යන්නේ.”
නෙත්මි තෂාරා