රූපලවන්‍ය

මේක මහ රහසක් රාවණා රජ්ජුරුවන්ගේ කාලේ ඉඳන්ම අරගෙන එන බලයක්

‘අකාල සන්ධ්‍යා’ කියන්නේ 90 දශකයේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා අධ්‍යක්ෂණය කරපු අතිශය
ජනප්‍රිය වුණ ටෙලිනාට්‍යයක්. ජනප්‍රිය නාට්‍යයක් විදියට විතරක් නෙවෙයි ඒ කාලේ හැටියට
විශිෂ්ටතම ටෙලිනාට්‍යයක් විදියට සළකලාත් මේ ටෙලියට සම්මාන පිට සම්මාන ලැබුණා. ඒ විදියට
ඇගයීම් ලැබෙන්න විශේෂම හේතුව වුණේ නාගසිංහ කියලා පුද්ගලයෙක් වර්තමානයේ ඉඳන් අතීතයටත්,
අතීතයේ ඉඳන් අනාගතයටත් යන හැටි පෙන්වන ටෙලියට පාදක වුණ කතාවස්තුව. මේ කතාවේ
නාගසිංහගේ චරිතය රඟපෑවේ ජැක්සන් ඇන්තනී මහත්මයා. නාගසිංහට අතීතයේ ඉඳන් වර්තමානයට
යන්න වගේම අනාගතයට යන්නත් හැකිවෙලා තිබුණේ කුණ්ඩලනී කියලා යෝගයක් වඩපු නිසයි. ඒ
යෝගය නාගසිංහට කියලා දීපූ සුදු වල්ලි ගුරුන්වහන්සේ ටෙලිනාට්‍යයේ එක තැනක නාගසිංහට මෙන්න
මෙහෙම කියනවා.

“මේක තමයි කුණ්ඩලනී යෝගයේ අනිවා කියන ශක්තිය. ඕක ඕනෑම
මිනිහෙක්ට ලබාගන්න පුළුවන් දෙයක් කියලා හිතන්න එපා. ඕක අපේ
පරම්පරාවේ මහ රහසක්. රාවණා රජ්ජුරුවොන්ගේ කාලේ ඉඳන්ම අරගෙන
එන බලයක්.”

සුදු වල්ලි ගුරුන්වහන්සේ කියපු විදියට කුණ්ඩලනී යෝගයේ බලය හැමකෙනෙක්ට ලබාගන්න බෑ. ඒක
අධ්‍යාත්මික පැත්තට බර යෝගයක්. නමුත් ඊට පහළ තියන සමහර යෝගවල බලෙන් අපිට වෙන වෙන
වැඩ කරන්න පුළුවන්. යෝග බලෙන් ලස්සන වෙන එකත් එහෙම වැඩක්.
ඉතින් මෙවර බියුටි පිටුවෙන් අපි ඔබට කියන්න හිතුවේ ආලේපන භාවිත නොකර යෝග නිසා ලස්සන
වෙන්න පුළුවන් විදි කිහිපයක් ගැනයි.

යෝග මගින් ශරීරයේ රුධිරගමනය යහපත් මට්ටමින් පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙනවා විතරක්
නෙවෙයි සමේ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් වගේම පෝෂ්‍ය පදාර්ථත් හොඳින් ලැබෙන්න සලස්වනවා. මේ
නිසා යෝග අභ්‍යාස කිරීමෙන් සෞඛ්‍යමත් නිරෝගී සහ පැහැපත් සමක් ලබාගන්න පුළුවන්. ඒ විතරක්
නෙමෙයි සමේ ස්ථර හොඳින් වර්ධනය කරලා මැරුණු සම වෙනුවට අලුත් සම නැවතත් වර්ධනය
කරගැනීමට යෝග කිරීමෙන් හැකිවෙනවා. ඉතින් ඔය කියපු ප්‍රතිඵල එකක් නෑර ලබාගන්න පුළුවන්
යෝග කිහිපයකුයි පහතින් දැක්වෙන්නේ.

මේ සඳහා සිදුකළ හැකි යෝග අතර පර්වත ආසනය (Downward Facing Dog) විශේෂයි. රූපයේ
දක්වලා තියෙන විදියට මෙම යෝගය අනුගමනය කිරීමෙන් මුහුණේ පේශිවලට හොඳින් රුධිර සැපයුමක්
ඇතිකර සමේ දීප්තිය වැඩි කරගන්න පුළුවන්.
2 වැනි රූපයේ දක්වලා තියෙන සර්වාංග ආසනය (Shoulder Stand) දිනපතා සිදු කළොත් නම් ශරීරය
පුරා සමේ විවිධ ස්ථරවලට රුධිර සැපයුම කාර්යක්ෂම වගේම හොඳින් සිදුකරගන්නත් බැරිකමක් නැහැ.
සෞඛ්‍යමත් හිසකෙස් වර්ධනයට වගේම ගැලවීයාම අවම කරගන්න ඕනෑ නම් මෙහි දක්වලා තිබෙන
ශීර්ෂාසනය (Headstand) යෝගය කියන්නේ හොඳම විසඳුමක්.

ඒ විදියට ශීර්ෂාසනය යෝගය සිදු කිරීමෙන් හිසකෙස් හොඳින් වැඩෙනවා වගේම මත්ස්‍යාසනය යෝගය
වැඩීමෙන් ශරීරයේ හෝර්මෝන ශ්‍රාවය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට හැකිවෙනවා.
ඒ වගේම රූපවල දැක්වෙන උත්ත්‍යාසන වගේම වජ්‍රාසන (Thunder bolt Pose) යෝගය කියන්නෙත්
හිසකෙස් ගැලවී යාම නිට්ටාවටම සුව කරන්න පුළුවන් යෝගයක්.
ඊට අමතරව රූපයේ දැක්වෙන විදියට සර්වාංගාසන යෝගය කිරීමෙන් ශරීරයේ රුධිර ගමනාගමනය
හොඳින් සිදුවෙනවා වගේම සම දීප්තිමත් කිරීමත් සිද්ධ වෙලා ආහාර ජීර්ණයටද උපකාරී වීමක් සිද්ධ
වෙනවා.

සමේ තිබෙන අපද්‍රව්‍ය වගේම අහිතකර දේවල් ඉවත් කරලා දීප්තිමත්, නිරෝගී සමක් ලබාගැනීමට අර්ධ
මත්සේන්ද්‍රිය ආසනය (Half Lord of the Fishes Pose) යොදාගන්න පුළුවන්.
කාර්යබහුල ජීවන රාටවකට හුරුවෙලා සිටින බොහෝදෙනෙකුගේ අවපැහැ ගැන්වෙන්න වගේම වියපත්
වෙන්න බලපාන මූලිකම හේතුවක් විදියට මානසික පීඩනය දක්වන්න පුළුවන්. ඒක නිසා මානසික පීඩනය
දුරු කරගෙන ලස්සන, පැහැදුල් සමක් ලබාගන්න රූපසටහන්වල දැක්වෙන පස්වාසනය (Corpse pose)
වගේම ප්‍රානායාම (Breathing exercises) කියන යෝග යොදාගන්න පුළුවන්.

උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
(ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී )
ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල
නෙත්මි තෂාරා