නවතම ප්‍රවෘත්ති

හැමෝම කිව්වෙ මට කැම්පස් යන්න පුළුවන් කියලා ඒත් ඒක එහෙම වුණේ නෑ

 

යුද සමයේදී උතුරු-නැගෙනහිර ප්‍රදේශ රැසක් පාලනය කරන ලද්දේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසිනි. එම ප්‍රදේශ හැඳින්වුණේ නිල නොවන ඊළාම් රාජ්‍ය ලෙසය. වර්ෂ 1985 සිට 2009 දී එල්.ටී.ටී.ඊ.ය පරාජයට පත්වන තෙක් දශක තුනක පමණ කාලයක් මෙම ඊළාම් රාජ්‍යයේ සිටි එකම ප්‍රවෘත්ති වාර්තාකාරිනිය සදාෂිවම් ශකිලා ය. පුනරුත්ථාපනය වීමෙන් පසු අද සාමාන්‍ය ජීවිතයක් ගතකරන ඇය තම අතීත අත්දැකීම් ‘ධරණී’ සමඟ බෙදාගන්නා කතා මාලාවයි මේ.

යුද හමුදාව වෙතින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ලද පරාජයත් සමඟ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 13,000ක පමණ පිරිසක් හමුදා අත්අඩංගුවට පත්වූහ. එසේත් නැතහොත් යටත් වූහ. මෙම පිරිස අතර ඊළාම් අරගලය ආරම්භයේ සිට දහස් ගණනාවක් සටන්කාමීන් ලෙස කටයුතු කළ  ප්‍රබල එල්.ටී.ටී.ඊ. නායකයන් මෙන්ම විවිධ නිලතල දැරූ පුද්ගලයෝ ද වෙති. ඔවුහු සතුව තිබෙන අත්දැකීම් ද බොහෝය. නමුත් තමන් සතුව තිබෙන අතීත අත්දැකීම් මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නේ අතලොස්සක් වූ පිරිසකි.

“පරණ සිද්ධි දැන් මොකටද?” 

“පරණ දේවල් කිව්වා කියලා අපට ලැබෙන්නෙ මොනවද?”

“අපි දැන් අලුත් ජීවිතයක් ගත කරන්නේ. පරණ දේවල් මතක් කරන්න කැමති නැහැ.”

මාධ්‍යවේදියෙකු හිටපු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරිකයෙකු සමඟ කතා කළ විට ලැබෙන්නේ එවැනි පිළිතුරුය. එවැනි තත්ත්වයක් තුළ සදාෂිවම් ශකිලාගේ ඉදිරිපත්වීම අගය කළ යුතුය.

සදාෂිවම් ශකිලා ලියුම්කරුට මුලින්ම හමුවූයේ පසුගිය වසරේ නොවැම්බර් 26 දින මුලතිව්හි පැවති මහවිරු සැමරුමකදීය. මහවිරු සැමරුම දකුණේ ජනතාවට ආගන්තුක වචනයක් වුවද එය නොදන්නා දෙමළ වැසියෙක් උතුරේ නොමැති තරම්ය. සටන්වලදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සැමරීම සඳහා එවකට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් නම්කළ දිනය සෑම වසරකම නොවැම්බර් 26 දිනයයි. මුල්ම එල්.ටී.ටී.ඊ. සාමාජික මරණය නොවැම්බර් 26 දිනක සිදුවූ බැවින් එල්.ටී.ටී.ඊ.ය විසින් එම දිනය නම් කර ඇත. ශකිලාගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු ද එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ලෙස කටයුතු කළ අතර හමුදා ප්‍රහාරයෙන් මියගොස් ඇති බැවින් මහවිරු සැමරුමට ශකිලා පැමිණ සිටියේ මියගිය සහෝදරයන් සැමරීම සඳහාය. එම දිනයේදී ශකිලා සමඟ වැඩි විස්තරයක් කතාකිරීමට නොහැකි නමුත් පසුගිය දිනෙක මුලතිව් නයාරු මාර්ගයේ ශිලාවත්ත ගම්මානයේ පිහිටි ශකිලාගේ නිවසේදී ‘ධරණී’ වෙනුවෙන් ශකිලා සමඟ කතාබහ කිරීමට අවස්ථාව සැලසුනි.

 

*ශකිලා ඔයාව මාධ්‍යවේදියෙක් විදියට හඳුන්වන්නද? එහෙම නැත්නම් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් විදියට හඳුන්වන්නද?

“මාධ්‍යවේදියෙක් විදියට හඳුන්වන්න.”  ශකිලාගේ පිළිතුර විය.

 

*මාධ්‍යවේදිනියක් නම් එල්.ටී.ටී.ඊ. ලේබල් එකෙන් අවුරුදු ගාණක් බන්ධනාගාරගත කරලා පුනරුත්ථාපනය කරන්න දැම්මේ?

සාධාරණ ප්‍රශ්නයක් ඇගෙන් ඇසීමි.

“ඒක මම පැහැදිලි කරන්නම් මෙහෙම. යුද්ධය ඉවර වුණේ 2009දී. මේ වෙද්දි යුද්ධය ඉවර වෙලා අවුරුදු 15ට වැඩියි. ඒ නිසා දැන් ඉන්න තරුණ පරම්පරාව ලංකාවේ බිහිසුණු යුද්ධයක් තිබුණා කියලා දන්නෙත් නැහැ. යුද්ධය කාලයේ ලංකාවේ විශේෂයෙන් උතුරු කොටසේ වෙනම පාලනයක් තිබුණා. මේක නමට තිබුණු පාලනයක් නෙමෙයි. ඊළාම් රාජ්‍ය රටක් විදියටම ක්‍රියාත්මක වුණා. ඊළාම් රාජ්‍යයට වෙනම මායිමක් තිබුණා. යුද, ගුවන්, නාවික ත්‍රිවිධ හමුදාවක් හිටියා. පොලිසි, අධිකරණ, රේගුව, ආදායම් බදු, සෞඛ්‍ය, බැංකු, දෙපාර්තමේන්තු, රෝහල්, වෛද්‍ය විද්‍යාල, වන සංරක්ෂණ, සංස්කෘතික අමාත්‍යංශයක් වගේ රටක තිබෙන සෑම පරිපාලන ආයතනයක්ම තිබුණා. අඩුවකට තිබුණේ මුදල් නෝට්ටු අච්චු ගහපු නැති එක විතරයි. කොහොම නමුත් මේ හැම ආයතනයකම වැටුපට වැඩ කරන සේවකයින් පිරිසක් හිටියා. එයාලට වැටුප් ගෙව්වේ ඊළාම් රාජ්‍යයෙන්. දැන් ලංකාවේ රජයට අයිති මාධ්‍ය ආයතන තියෙනවා වගේ ඊළාම් රජයෙත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන තිබුණා. මම ඒ මාධ්‍ය ආයතනවල වැටුපට වැඩ කරපු මාධ්‍යවේදිනියක්.”

 

*ඊළාම් රාජ්‍යයේ හිටපු එකම කාන්තා මාධ්‍යවේදියා කියලා ඔබ කියන්නේ කොහොමද?

“මෙහෙමයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළේ මාධ්‍ය වෘත්තිය කරපු කාන්තාවෝ ගොඩක් හිටියා. ඊළාම් ත්‍රිවිධ හමුදාවේ මාධ්‍ය ඒකකවල ගොඩක් කාන්තාවෝ කැමරා ශිල්පීන් විදියට වැඩ කළා. ඒ වගේම එල්.ටී.ටී.ඊ. රාජ්‍ය මාධ්‍ය ආයතන ඇතුළේ ප්‍රවෘත්ති නිවේදිකාවන්, සංස්කරණ ශිල්පීන්, කාර්යාල රාජකාරි වගේ දේවල් කරන්න කාන්තාවෝ හිටියා. හැබැයි ගම් ගානේ වගේම විවිධ ප්‍රදේශවල ඇවිදලා ප්‍රවෘත්ති, තොරතුරු වාර්තාකරණ කරපු එකම කාන්තා වාර්තාකාරිනිය මමයි. අනිත් අය සේරම ආයතන ඇතුළේ වැඩ කළේ.” ශකිලා පැහැදිලි කළාය.

 

*එතකොට ශකිලගේ පෞද්ගලික තොරතුරු?

“මම ඉපදුණේ 1970. දැන් වයස 54ක් වෙනවා. තාත්තා ජීවතුන් අතර නැහැ. අම්මා එක්ක ජීවත්වෙන්නේ. සහෝදර සහෝදරියෝ විවාහ වෙලා වෙනම ජීවත්වෙනවා.

 

*එතකොට පාසල් කාලයේ තොරතුරු?

මුලින්ම පාසල් ගියේ ගමේ තියෙන හින්දු විදුහලට. එතැනදී ශිෂ්‍යත්ව විභාගය හොඳට සමත් වුණා. ඒත් ඒ වෙද්දි තාත්තා මාර්ග සංවර්ධන අධිකාරියේ ට්‍රැක්ටර රියැදුරෙක් විදියට වැඩ කළා. ඒ නිසා ශිෂ්‍යාධාර හම්බවුණේ නැහැ.  ඒත් මගේ දක්ෂතා බලලා 05 ශ්‍රේණියෙන් පස්සේ 06ට දාන්නෙ නැතිව කෙළින්ම 07 ශ්‍රේණියට දැම්මා. හින්දු විද්‍යාලයෙන් අස්වෙලා ගියේ මුලතිව් මහ විදුහලට. ඒක ළමයි දහස් ගාණක් ඉඳපු ලොකු පාසලක්.

‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියමනක් ඇත. ශකිලා යනු එම කියමනට අභියෝග කළ තැනැත්තියකි. සංගීතයට, නැටුම්වලට දක්ෂ ඇය විද්‍යාලයීය සාහිත්‍ය උත්සවයන්හිදී කැපී පෙනෙන සිසුවියක් වූවාය. ක්‍රීඩාවට නිවේදන කටයුතු ආදී සියලු අවස්ථාවලදී ඇය දක්ෂතා පෙන්වූවාය.

“ඉස්කෝලෙදී මගේ දක්ෂතා දැකලා ශිෂ්‍ය නායිකාවක් විදියට පත්කළා. ක්‍රීඩාවත් කළා. මීටර් 100, 200 සමස්ත ලංකා නියෝජනය කළා.මට මතකයි ඒ කාලේ විවෘත මැරතන් තරඟයකට බදුල්ලේදී සහභාගී වුණා. එහේදි පාරවල් දන්නෙ නැතිව වාහනයක් පිටිපස්සේ තමයි ගියේ.”

මුලතිව් මහවිදුහලේ ඉගෙනුම ලැබූ ශකිලා ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව අධ්‍යාපනයේ ඊළඟ කඩඉම වූ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නේ 1985 වර්ෂයේදීය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 15කි.

“එක පංතියක් ඉස්සරහට දාපු නිසා අවුරුදු 15දී විභාගය ලියන්න අවස්ථාව ලැබුණා. ප්‍රතිඵල අනුව ඉංග්‍රීසි විෂයට විතරක් සාමාන්‍ය සාමාර්ථයක් තිබුණා. ඉතුරු විෂයන් සියල්ලටම සම්මාන සහ අති විශිෂ්ට සම්මාන තිබුණා.  ඒ කාලයේ හැටියට ඒක හොඳ ප්‍රතිඵලයක්. හැමෝම කිව්වේ උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලැබෙනවම තමයි කියලා.” 

නමුත් ශකිලාට උසස් පෙළ පංතිවල ඉගෙනීමට ලැබෙන්නේ වසරක පමණ කාලයකි. ඇගේ ඉරණම තීන්දු කරන කණගාටුදායක සිදුවීමකට ඇය මුහුණ දෙන්නීය.

ලබන සතියට…

සනත් ප්‍රියන්ත