නවතම ප්‍රවෘත්ති

ගොඩක් අය එදා හිතලා තිබුණේ මම ආයෙත් පාරක් විවාහ වෙන්න යනවා කියලයි – චතූ රාජපක්ෂ

“සමහර කාලවලදි අපේ ජීවිතේට එක එක අවස්ථා එනවා. ඒ එන්නෙත් ඔබ
කීයටවත්ම බලාපොරොත්තු නොවුණු මොහොතක වෙන්න පුළුවන්. ඒ අවස්ථා
අපිට ගන්න පුළුවන් වගේම නොගෙන ඉන්නත් පුළුවන්. මං නම් කියන්නේ
ඔබ ඒ අවස්ථා නොගෙන ඉන්න එපා. මම අවුරුදු 22දි ‘අජ්නාබී’ චිත්‍රපටයේ
රඟපෑවේ සහ අද වෙද්දි ඉන්දියාව තුළ ජනප්‍රිය නිළියක් වෙලා ඉන්නේ අන්න
ඒ වගේ අවස්ථාවක් ගත්තු නිසා. එදා මට එහෙම ලැබුණු අවස්ථාව මං
මගඇරගත්තා නම් අද ඔබ බිපාෂා බාසු කියලා නම තියෙන කෙනෙක්
අඳුනන්නේ නෑ.”

වරක් ඔය කතාව කිව්වේ සුපිරි බොලිවුඩ් නිළි බිපාෂා බාසු. මේ වෙද්දි ඇය
ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් වුණත් පාසල් කාලේ ඇය හීන දැකලා තිබුණේ
වෛද්‍යවරියක් වෙන්නලු. හැබැයි වෛද්‍ය වෘත්තියට පිවිසෙන්න තියෙන පුහුණු
කාලයෙදි මළසිරුරු විච්ඡේදන කරන්න තියෙන බව දැනගෙන බිපාෂා එතැනින්
ගිණුම්කරණ අංශයට යොමුවෙලා. ඔය අතර කාලය තුළයි (1996) අහම්බෙන්
ඇයට ප්‍රසිද්ධ නිරූපිකාවක් වන මෙහෙර් ජෙසියා මුණගැහිලා තියෙන්නේ. බිපාෂා
දැකපු ඇයට හිතුණලු බිපාෂාට හරියටම ගැළපෙන්නේ නිරූපණය කියලා. පස්සේ
ඇය බිපාෂාගේ කැමැත්ත ඇතුව බිපාෂා ඉන්දියාවේ ප්‍රසිද්ධ නිරූපණ තරඟෙකට
යොමු කරලා. ඒක ජයග්‍රහණය කරන්න සමත්වෙලා තියෙන්නෙත් බිපාෂා. ඉතින්
ඒත් එක්ක ඇයට බොලිවුඩ් චිත්‍රපටවල රඟපාන්න ආරාධනා ඇවිත්. ඒ අනුව ඇය

රඟපෑ ප‍ළමු චිත්‍රපටය තමයි 2001 වසර තුළ ප්‍රදර්ශනය කළ ‘අජ්නාබී’ (Ajnabee)
චිත්‍රපටය. ඒ වෙනකොට බිපාෂාගේ වයස අවුරුදු 22ලු. එහෙම පටන්ගත්ත ගමන
බිපාෂා අවසන් කළේ ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් වෙලා.
මට බිපාෂා බාසුගෙන් මේ සැරේ කවරයේ කතාව පටන්ගන්න හිතුණේ ඇයගේ
කතාවට සමීප කතාවක් තියෙන අපේ රටේ නි‍ළියක් නිසා. ඇයත් නිළියක් වෙලා
තියෙන්නේ අහම්බෙන්. හැබැයි නිළියක් විතරක්මත් නෙවෙයි ඇය රූපවාහිනී
නිවේදිකාවක් වගේම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියටත් කටයුතු කරනවා. ඇය චතූ
රාජපක්ෂ. නැවත මුල් පිටුව පෙරලලා බැලුවොත් මේ සතියේ ‘ධරණී’ කවරය
සරසන රුවැත්තියත් චතූ බව ඔබට පෙනේවි.

“පුංචි කාලේ හීන දැක්කේ නැටුම් ටීචර් කෙනෙක් වෙන්න. මොකද
ඉස්කෝලෙදි මං වැඩිපුරම දක්ෂ නර්තනයට. මට අපේ ඉස්කෝලේ හැමෝම
කිව්වෙත් ‘නැටුම් කරන චතූ’ කියලා. ඒ හීනය වෙනස් වුණේ 2016 අවුරුද්දේ.
ඒ අවුරුද්දේ මං අවුරුදු උත්සවයක් බලන්න ගියා. ඒකට ඇවිත් හිටියා එදා
ස්වාධීන රූපවාහිනියේ අනුර ජයසේකර අයියා. එයාගේ කැමරා ශොට්
කීපයකට එදා මාව අහුවෙලා. පස්සේ මං ළඟට ඇවිත් ඇහුවා රඟපාන්න
එහෙම ආස නැද්ද කියලා. මං උත්තරයක් දෙන්න දවස් කීපයක් ඉල්ලගෙන
ඒකට කැමති වුණා. නැටුම් ටීචර් කෙනෙක් වෙන්න හීන දැකපු මං නිළියක්
වුණේ එහෙමයි.”
ඒ විදියට අහම්බයෙන් රංගන ක්ෂේත්‍රයට ආපු චතූගේ පළමු චිත්‍රපටය වුණේ
වී.ශිවදාශන් අධ්‍යක්ෂණය කරපු ‘පාටක් නැති ආදරයක්’ චිත්‍රපටය. එහි ප්‍රධාන
නිළියගේ මිතුරියගේ චරිතයයි චතූට ලැබිලා තියෙන්නේ. චතූත් ඇයට ලැබුණු
අවස්ථාවට උපරිම සාධාරණයක් කරපු නිසා එතැනින් පස්සේ දිගින් දිගට
රඟපාන්න ආරාධනා ඇවිත්.

“එතැනින් පස්සේ මට ගොඩාක් අවස්ථා ලැබුණේ ටෙලිනාට්‍යවලට. ඒ අතරින්
මං ප්‍රධාන චරිතය කරපු බුද්ධිනී ජයවර්ධන අක්කා අධ්‍යක්ෂණය කරපු
‘බන්ධනා’ ටෙලිනාට්‍යය මගේ රංගන ජීවිතයේ එක හැරවුම් ලක්ෂයක්. ඒ
ටෙලිනාට්‍යය නිසා පසුගිය වසරේ තිබුණු ප්‍රසිද්ධ සම්මාන උළෙලවල වසරේ
ජනප්‍රියම නිළිය සහ නැගී එන නිළිය වගේ සම්මාන සඳහාත් මට නිර්දේශ
වෙන්න අවස්ථාව ලැබුණා.”

මේ දිනවල චතූ අපිට දකින්න ලැබෙන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන
හසුන් සමීර අධ්‍යක්ෂණය කරන ‘පාරාදීසේ’ ටෙලිනාට්‍යයෙන්. ඒත් එක්කම

ඉදිරියේදි විකාශනය වෙන්න නියමිත හර්ෂ තෙන්නකෝන් විසින් අධ්‍යක්ෂණය
කරන ‘නේත්‍රා දේවි’ කියන ටෙලිනාට්‍යයෙත් ඇය දකින්න පුළුවන්ලු.
“රංගන ක්ෂේත්‍රයට පිවිසිලා ඉතා කෙටි කාලයක් ඇතුළත නොහිතපු තැනකට
මට එන්න ලැබුණා. සිරස නාලිකාවෙන් කරපු සිරස ෆිල්ම් ස්ටාර් රියැලිටි
තරඟේ හොඳම නිළිය වු‍ණේ මම. ඒ වගේම ගිය අවුරුද්දේ තිබුණු රයිගම්
ටෙලි සම්මාන උළෙලේ වසරේ නැගී එන නිළියට සහ Popular Award සම්මාන
උළෙලේ වසරේ ජනප්‍රියම නිළියට මාව නිර්දේශ වුණා. ඒ දේවල් මේ
ක්ෂේත්‍රයේ ලොකු ජයග්‍රහණ කියලයි මට හිතෙන්නේ.”

චතූගේ පෙනුමත් එක්ක ඇයට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ අහිංසක
චරිතවලටලු. එහෙම නැත්නම් ටිකක් බටහිර පන්නයේ චරිතවලටලු. ඉතින්
දිගටම එවැනි චරිතවලම හිටපු හින්දම රෙද්දයි හැට්ටෙයි ඇඳපු ගැමි චරිතයක්
කරන්න කැමැතියි කියලයි චතූ ‘ධරණී’ට කිව්වේ.

“බන්ධනා ටෙලිනාට්‍යයේ අවසන් රූගත කිරීමක් තිබුණා බීච් එකේ. ඒක
වෙඩින් එකක්. මමයි විශ්ව කොඩිකාර අයියයි තමයි හිටියේ. එදා බීච් ඇවිත්
හිටපු අය හිතුවේ ඇත්තටම මම ආයෙමත් විවාහ වෙනවා කියලා. සමහරු
ළඟටම ඇවිදින් සුබ පැතුවා. ඒත් ඒ වෙලාවේ මං එයාලට කිව්වා මේ
ටෙලිනාට්‍යයක රූගතකිරීමක් මිසක් මම ආයෙත් විවාහ වෙනවා නෙවෙයි
කියලා.”

චතූ එහෙම කිව්වේ ඇගේ රංගන ජීවිතේ අමතක නැති මතකයන් ගැන ඇහුවම.
ඒ අතරෙයි ඇය කිව්වේ අමතක නැති ප්‍රේක්ෂක ප්‍රතිචාර එහෙමත් හිටපු ගමන්
ඇයට ලැබෙනවා කියලා.
“සමහරු මට ෆේස්බුක් එකෙන් මැසේජ් දානවා. මමත් පුළුවන් වෙලාවට ඒවාට
රිප්ලයි කරනවා. එහෙම චැට් කරපු එක අක්කෙක් මගේ බර්ත්ඩේ එකක්
දවසක ලොකු ගිෆ්ට් එකක් අපේ ගෙදරට එවලා තිබුණා. ඒකෙන් මට
තේරුනා අනේ අපිට මිනිස්සු කොච්චර නම් ආදරෙයිද කියන එක. ඒ
සිද්ධියෙන් ප්‍රේක්ෂකයින්ගේ ගැන තිබුණු ආදරය, ගෞරවය තව වැඩිවුණා.”
මෑත කාලයේදි කලා ක්ෂේත්‍රයට නවක මුහුණු බොහෝමයක් එකතුවෙලා
තියෙනවා. ඒක අභියෝගයක් නෙවෙයිද කියලා චතූගෙන් ඇහුවම ඇය ඊට හරිම
අපූරු උත්තරයක් දුන්නා.

“මං හිතන්නේ මොන ක්ෂේත්‍රයට වුණත් අලුත් මුහුණු එකතුවෙන්න ඕන.
රංගන ක්ෂේත්‍රයටත් ඒක පොදුයි. මං කවදාවත්ම හිතලා නෑ නිළියක් විදියට
ඉක්මණින්ම ගමනක් යන්න. ඒ වගේම ජනප්‍රියත්වය පස්සේ හඹාගෙන යන්න
හිතලා නෑ. අපි අපේ වැඩේ හරියටම කළොත් ඒ දේවල් ඉබේම වෙනවා. යම්
නිර්මාණයකට අපි කොයිතරම් සාධාරණයක් කරනවද, ඒ එක්ක තමයි අපේ
ගමන අනිවාර්යයෙන්ම තීරණය වෙන්නේ.”
චතූ කියන්නේ නිළියක් විතරක් නෙවෙයි අතිදක්ෂ රූපවාහිනී ප්‍රවෘත්ති
නිවේදිකාවක්. රංගනයේ යෙදෙන ගමන් ප්‍රවෘත්ති කියන එක චතූට මොන විදියේ
අත්දැකීමක්ද කියලයි අපි ඊළඟට අහලා බැලුවේ.

“2018 දි තමයි මම මුලින්ම රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති කිව්වේ. ඒ සිරස
නාලිකාවේ. ඒත් රංගනයත් එක්ක ඒක දිගටම කරගෙන යන්න බැරිවුණා.
ඉතින් නිළි වෘත්තිය තෝරගත්තා. ඒත් ආයෙත් දැන් ස්වර්ණවාහිනී නාලිකාවේ
ප්‍රවෘත්ති කියනවා.”

වැඩිපුර ලේසි රඟපෑම ද එහෙම නැත්නම් ප්‍රවෘත්ති කියන එකද කියලා චතූගෙන්
ඇහුවම ඇය දුන්නු උත්තරේ තමයි මේ.
“ඇත්තටම දෙකම ලේසි නෑ. හැබැයි මං හිතනවා රඟපාන එක ලේසියි
කියලා. ඒ මොකද රඟපාද්දි අපට ඕනෑම විදියකට චරිතය හදාගන්න පුළුවන්.
එක සැරයක් වැරදුනොත් ආයෙම කරන්න පුළුවන්. ඒ වුණාට සජීවී ප්‍රවෘත්ති
කියද්දි ඒ දේවල් කරන්න බෑනේ. අකුරක්, වචනයක් වගේ වැරදුනත් ඉවරයි.
ඒක අභියෝගයක් සහ ලොකු අවදානමක්.”
එහෙම කියද්දි නම් අපට හිතුනා චතූ කියන්නේ ඕනෑම අභියෝගයකට ඔට්ටු
තරුණියක් කියලා. අන්න ඒ නිසාම තමයි ජීවිතේට යම් අභියෝගයක් ආවම ඇය
ඒකට මුහුණදෙන්නේ කොහොමද කියන දේ අපි චතූගෙන් අහලා බැලුවේ.

“ඇත්තෙන්ම ජීවත්වෙනවා කියන්නෙම අභියෝගයක් තමයි. ඒක ආයේ අලුතින්
කියන්න දෙයක් නෙවෙයි. හැබැයි මොන විදියේ අභියෝගයක් ආවත් මං ඒක
හරි සැහැල්ලුවට ඔලුවට බරක් කරගන්නේ නැතුව බාරගන්න පුරුදුවෙලා
තියනවා.”

ඒ වගේම හැමදේටම සැමියා ළඟින් ඉන්න එක පහසුවක් කියලයි චතූ අපිට
කිව්වේ. ජීවිතේට හොඳ මිතුර මිතුරියන් කීපදෙනෙකුත් ඇය තෝරගෙන ඉන්න

නිසා මොන ප්‍රශ්නේ ආවත් ඒකට විසඳුමක් හොයාගන්න අමාරු නෑ කියන
කාරණයත් චතූ කිව්වා.
“ප්‍රශ්නයක් ආවම මම මුලින්ම තනියම ඒකට උත්තර හොයනවා. ඒ බැරි
වුණොත් හස්බන්ඩ්ගේ නැත්නම් අම්මගේ උදව් අරගන්නවා. ගොඩක් වෙලාවට
එයාලා ළඟ උත්තර තියෙනවා. ඒත් බැරි වුණොත් මගේ හොඳ යාළුවෝ
ටිකක් ඉන්නවා. ඒ අයගෙන් උදව් ගන්නවා. කවදාවත්ම මම ප්‍රශ්නවල
එල්ලීගෙන මගේ සතුට මගේ නිදහස නැති කරගන්නේ නෑ.”
චතූ උපන් ගම බදුල්ලේ වුණත් ඇය හැදිලා වැඩුනේ බිබිලෙලු. අම්මයි, තාත්තයි,
අක්කයි, මල්ලියි, නංගියි තමයි පවුලේ ඉන්නේ. ප්‍රේක්ෂක ආදරේ එක්ක නිළියක්
විදියට පුළුවන් කාලයක් රංගන ක්ෂේත්‍රයේ රැඳෙන එකලු චතූගේ එකම
බලාපොරොත්තුව. එහෙම කියපු චතූ කතාබහ අවසානයේ ‘ධරණී’ කියවන
පාඨක ඔබ වෙනුවෙන් යමක් කියන්නත් අමතක කළේ නෑ.

“අපේ ජීවිතේට අපි නොහිතපු අවස්ථා ලැබෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක්
නිසා තමයි අද චතූ රාජපක්ෂ ගොඩක් දෙනෙක් දන්න චරිතයක් වෙලා
තියෙන්නේ. ඉතින් මං ‘ධරණී’ කියවන අයටත් කියන්නේ ඔබටත් ඔබේ ජීවිතේ
එහෙම අවස්ථා ලැබෙන්න පුළුවන්. එහෙම ලැබුණොත් ඒ වගේ අවස්ථා
කීයටවත් මගඇරගන්න එපා. හැබැයි මොන දේ කළත් කරන දේ
සිහිකල්පනාවෙන් හොඳට හිතලා බලලා කරන්න. එහෙම වුණොත් ඔබව
ඉහළට යන එක නවත්තන්න කාටවත්ම බැහැ.”

රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – චමත් ඒකනායක
මේකප් – මලිත් හෙට්ටිහේවා
පසුතලය – සෝලිස් හොටෙල්, පිටකෝට්ටේ