කළු ජූලියෙන් පස්සෙ හැමදේම වෙනස් වුණා
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. මර්මස්ථානයක් වූ මුලතිව් උපන් සදාෂිවම් ශකිලා කුඩා කල සිටම අධ්‍යාපනයට, ක්‍රීඩාවට දක්ෂ මෙන්ම කලා හැකියාවන්වලින් පරිපූර්ණ වූවාය. ඇය 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත්ව නගරයේ පාසලකට ගොස් එහිදී අ.පො.ස. සා.පෙළ විභාගය ඉහළින්ම සමත්ව උසස් පෙළ පංතිවල ඉගෙනීමට ලැබෙනුයේ වසරක කාලයක් පමණි. මේ අතර ඇය අනපේක්ෂිත අකරතැබ්බයකට මුහුණ දෙන්නීය. අද එතැන් සිට.
“මගේ මතකයේ හැටියට 1986 වගේ කාලයේදී තාත්තා සැරින් සැරේ අසනීප වෙන්න ගත්තා. දැන් කාලේ වගේ ඒ කාලයේ චැනලින් පහසුකම් නැහැ. ඒ නැතත් අදට වුණත් උතුරේ දෙමළ අයට පොදු දෙයක් තමයි අසනීපයක් වුණාම ලොකුවට වෛද්‍ය පරීක්ෂණ කරනවා අඩුයි. එවෙලෙට අත්බෙහෙතක් හරි වේදනානාශකයක් හරි අරගෙන ඉන්නවා. තාත්තටත් ඒක තමයි වුණේ. හොඳටම අමාරුවෙලා පරීක්ෂා කරද්දි පිළිකාවක් හැදිලා. සමහරවිට තාත්තා කරපු රස්සාව රෝගෙට හේතුවක් වෙන්න ඇති. මම කලින් කිව්වා වගේ මාර්ග සංවර්ධන අධිකාරියේ ට්‍රැක්ටර් රියැදුරු රැකියාව කළේ. ට්‍රැක්ටරය කියන්නේ ආවරණයක් නැති විවෘත වාහනයක්. අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා. පාරවල් හදද්දි දූවිලි, තාර උණු කරද්දි එන දුම් එක්ක තමයි හුස්ම ගන්නෙ. මගේ මතකයේ හැටියට පෙනහළු පිළිකාවක් හැදිලා තිබුණෙ. මට හිතාගන්න බැරි වුණා මොකක්ද කරන්නෙ කියලා. ”
ශකිලාගෙ එකම බලාපොරොත්තුව වූයේ හොඳින් ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ඇතුල් වී පිළිගත් රැකියාවක් කර සිය මවට පියාට සහෝදර සහෝදරයන්ට සැලකීමයි. පැවති තත්ත්වය අනුව ඒ සියල්ල සිහිනයක් බවට පත්වෙමින් තිබිණ. ශකිලාගේ පවුලේ එකම ආදායම් මාර්ගය වූයේ පියාගේ රැකියාවෙන් ලද සොච්චම් වැටුපයි. මව කිසිඳු රැකියාවක් නොකළ අතර ඇගේ සහෝදර සහෝදරියන් පාසල් යන වයසේ පසුවූහ. පියා රජයේ රැකියාවක් කළ නිසා දීමනාවක් ලැබුණද එය ඔහුගේ බෙහෙත් ගැනීමටවත් ප්‍රමාණවත් වූයේ නැත. අවසානයේදී ඇය තීරණයක් ගත්තාය.
“වෙන කරන්න දෙයක් නැහැ. මම තීරණය කළා පවුලේ වගකීම භාරගන්න. අවුරුදු 16දී හයියක් ආවේ කොහොමද කියලා මට හිතාගන්නවත් බැහැ. සමහරවිට ක්‍රීඩා වගේ බාහිර ක්‍රියාකාරකම් වගේම පාසලේ ශිෂ්‍ය නායිකාවක් විදියට කටයුතු කරපු නිසා එහෙම හැකියාවක් ලැබෙන්න ඇති.”
*ඔයාට වැඩිමල් සහෝදරියක් ඉද්දි ඇයි ඔයා පවුලේ බර කරට ගත්තේ? අතුරු ප්‍රශ්නයක් ඉදිරිපත් කළෙමි.
“ඔය කාලය වෙද්දි මම උසස් පෙළ පංතියට ඇවිත් වැඩි කාලයක් නැහැ. එත් පවුලේ වැඩිමලා ඒ කියන්නේ මගේ අක්කාත් පාසල් යනවා. එයා උසස් පෙළ ලියන්න කිට්ටුව හිටියේ. ඒ නිසා එයාගේ අධ්‍යාපනය නතර කරන එක අපරාධයක් කියලා හිතුණා. අනිත් අතට මගේ අක්කා වුණාට එයාට මට තරම් පෞරුෂයක් තිබුණෙත් නැහැ. පස්සේ රස්සාවක් හොයනකොට දැනගත්තා මුලතිව් නගරයේ මුද්‍රණාලයේ පුරප්පාඩුවක් තියෙනවා කියලා. ඒකෙ නම ‘වාරදි පාදික්කවෙයි’. එතැනට ගිහින් මුද්‍රණාලයේ හිමිකාරයා හමුවුණා. පුහුණුවක් නැති නිසා මුලින්ම වැඩට ගන්න අකමැති වුණා. අන්තිමට පුහුණුවෙන සේවිකාවක් විදියට රස්සාවට ගත්තා. වැටුප මාසයට රුපියල් 500යි. හැබැයි ආධුනිකත්ව පුහුණු අධිකාරියේ පුහුණුවන්නියක් විදියට ලියාපදිංචි වුණා. එතැනින් රුපියල් 500ක් ලැබුණා. වැඩ වැඩි වුණාම රෑ වෙනකම් වගේම නිවාඩු දවස්වලත් වැඩ කරනවා. එතකොට අමතර මුදලක් ලැබෙනවා. ඒ ලැබෙන සොච්චම් මුදලෙන් තමයි පවුලත් නඩත්තු කරගෙන ජීවත් වුණේ. ඒ කාලේ දැන් වගේ මුද්‍රණාල තාක්ෂණය දියුණු නැහැ. පරිගණක මොනවත් නැහැ. ඊයම් අකුරු එකින් එක අමුණලා තමයි පිටුව හදන්නේ. මට පැවරිලා තිබුණ රාජකාරිය තමයි අකුරු අමුණන එක. වැඩි දවසක් යන්න කලින් ඒ වැඩේ හොඳට හුරුවුණා.”
මුලතිව් යනු යුද සමයේදී එල්.ටී.ටී.ඊ. මර්මස්ථානයක් බවට පත්ව තිබිණ. එමෙන්ම කොටි නායක ප්‍රභාකරන් රැඳී සිටි වන් ෂෝ බේස් වැනි එල්.ටී.ටී.ඊ. කඳවුරු සංකීර්ණය පිහිටා තිබුණේ ද මුලතිව් කැලෑව තුළයි. ශකිලා යුද්ධයේ තීරණාත්මක කඩඉම් කිහිපයක්ම අත්විඳ පසුකළ තැනැත්තියකි. ඒ පිළිබඳව ඇගෙන් විමසීමි.
“රටේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මම දැනගත්තෙ 1983 ජූලි කලබලවලදි. මට එතකොට වයස අවුරුදු 13යි. මට ඇහුණා අම්මලා තාත්තලා කතා වෙනවා යාපනයේදි හමුදාවේ කට්ටියක් මැරිලා. ඒකෙ තරහට කොළඹ පැත්තේ ඉන්න දෙමළ අයට සිංහල අය පහර දෙනවා කියලා. හැබැයි ඒ වෙනකම් මුලතිව්වල එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. නගරයේ යුද හමුදා කඳවුරක් වගේම පොලිසියකුත් තිබුණා. හමුදාවේ පොලිසියේ අය නිදහසේ පාරේ ඇවිද්දා. අපටත් ප්‍රශ්නයක් නැහැ. මුලතිව්වල සිංහල වෙළෙන්දෝ වගේම ධීවරයොත් ගොඩක් හිටියා. මීගමුව පැත්තේ වාරකන් කාලයට මුලතිව් මුහුද වලාලය (ධීවර රැකියායට සුදුසු කාලය). ඒ නිසා දකුණු වාරකන් කාලයට බෝට්ටුවත් පටවගෙන සංචාරක ධීවරයෝ මුලතිව්වලට ඇවිත් වාඩි හදාගෙන ධීවර රක්ෂාව කරනවා. මුලිතිව් වාරකන් කාලයට ඒ අය ආපහු යනවා. ඉස්සර නිදහස් දිනයෙදි වගේම වෙසක් පෝය දවස්වල යුද හමුදාවෙන් අපට දන්සැල් දුන්නා මට මතකයි. මේ සේරම වෙනස් වුණේ 1983 කළු ජූලියෙන් පස්සේ. එතැනින් පස්සේ නගරයේ හිටපු සමහර සිංහල අය වෙන පළාත්වලට ගියා. ඒ වගේම සිංහල පළාත්වල පදිංචිවෙලා ඉඳපු දෙමළ අය මුලිතිව්වල පදිංචියට ආවා. 1985 වෙද්දි අපට ආරංචි වුණා යාපනයේ පාලනය සම්පූර්ණයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය අතට පත්වුණා කියලා. යුද හමුදාව පොලිසිය කඳවුරුවලට සීමා වුණා කියලා. 1985-86 වෙද්දි මුලතිව්වල එහෙම තත්ත්වයක් නැති වුණත් යුද හමුදාව එළියට එද්දි හැංගිලා ඉන්න එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ ප්‍රහාර එල්ල කරලා පලා යනවා. 1987 වෙද්දි මේ තත්ත්වය හොඳටම දරුණු වුණා. හමුදාව භාර සිංහල කියන කවුරුවත් හිටියේ නැහැ. ඒ අයගේ සැපයුම්වලට විතරයි එයාලා එළියට එන්නේ.”
රජය හා දෙමළ සංවිධාන අතර සාම සාකච්ඡා භූතානයේ තිම්පු නුවර පැවැති අතර සාකච්ඡා ආරම්භ කිරීමට පෙර මැදිහත් පර්ශ්වයේ ඉල්ලීම මත යුද හමුදාව බැරැක්ක තුළට (කඳවුරුවලට) සීමා කෙරින. එම කාලය තුළදී එල්.ටී.ටී.ඊ.ය විසින් යුද හමුදා කඳවුරු වටා ආරක්ෂක අගල් කපා බිම්බෝම්බ සවිකර යුද හමුදාවට පිටතට පැමිණීමට නොහැකි වන ලෙස බාධක යොදා තිබුණි. එහි ප්‍රතිඵලය වූයේ සාම සාකච්ඡා අසාර්ථක වුවද යුද හමුදාවට පිටතට පැමිණීමට නොහැකි වීම මත යාපනය අර්ධද්වීපයේ පාලනය මුළුමනින්ම එල්.ටී.ටී.ඊ.යට නතුවීමයි. අනතුරුව එල්.ටී.ටී.ඊ.ය විසින් යාපනයේ ස්ථිර එල්.ටී.ටී.ඊ. කඳවුරු මෙන්ම පුහුණු කඳවුරු ඇතිකර රිසි සේ පාලනය පවත්වාගෙන ගියෝය.
එවකට ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි, හමුදා ප්‍රධානින් වන බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව, එවකට කර්නල් විජය විමලරත්න ආදී පිරිසකගේ මූලිකත්වයෙන් මේ තත්ත්වය වෙනස් කිරීමට මෙහෙයුමක් සැලසුම් කෙරිනි. ‘විමුක්ති මෙහෙයුම’ ලෙස නම් කළ මෙම මෙහෙයුම වඩාත් ප්‍රසිද්ධ වූයේ ‘වඩමාරච්චි මෙහෙයුම’ ලෙසයි. යාපනය අර්ධද්වීපය මුළුමනින්ම එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මුදවාගෙන රජයේ පාලනය ස්ථාපිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙහෙයුම 1985 මැයි මාසයේදී ආරම්භ කරන ලද අතර එල්.ටී.ටී.ඊ. බලය විනාශ කරමින් සාර්ථකව ඉදිරියට ගියෝය. සති කීපයක් ගතවනවිට ප්‍රභාකරන්ගේ උපන්ගම වන වැල්වැටිතුරේ ඇතුළු ප්‍රදේශ රැසක බලය තහවුරු කරගත්තෝය.
නමුත් එකල එල්.ටී.ටී.ඊ. හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඉන්දියාව යුද හමුදාවේ ජයග්‍රහණයට බාධා කළේය. ශ්‍රී ලංකා ගුවන්තලය අනවසරයෙන් ආක්‍රමණය කරමින් පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය ගුවනින් හෙලා මෙහෙයුම නවතා දමන ලෙස බලපෑම් ද එල්ල කළේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව ඉන්දියාව හා එල්.ටී.ටී.ඊ. අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීමයි. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ගිවිසුමට අනුව ඉන්දීය සාම සාධක හමුදාව ලංකා භූමියට ඇතුළු විය. විශාල පිරිසක් මුලතිව් වෙත ද පැමිණයෝය. එහිදී ශකිලා ලද අත්දැකීම් ලබන සතියට.
සනත් ප්‍රියන්ත