සම්මුඛ පරීක්ෂණයට ගියාම එයාලා මට හිනාවුණා
එදා දර්ශනීගේ ජීවිතේ තවත් එක සතුටු දවසක්. ඒ ඇයට ජීවිතේ පළමු වතාවට රැකියාවක් වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණයකට පෙනී ඉඳපු දවස හින්දා. ඒ නිසා ජැන්ඩි පහට ඇඳ පැළඳගත්තු දර්ශනී කියපු වෙලාවටත් කලින්ම සම්මුඛ පරීක්ෂණය පැවැත්වුණු ස්ථානයට ගියේ දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ පොදිබැඳගෙන. ඒ ගිහින් තමන්ගේ වාරේ එනකල් ඇය හරිම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා. ටික වෙලාවකට පස්සේ දර්ශනීගේ වාරය පැමිණියා. ඇය හුරුපුරුදු සුන්දර සිනහව මුව රඳවගෙන අදාළ කාමරයේ දොරත් ඇරගෙන ඇතුළට ගියා. හැබැයි සිද්ධ වුණේ දර්ශනී බලාපොරොත්තු වෙච්ච විදියේ දෙයක්නම් නෙවෙයි. ඇය දැකපු නිලධාරීන් තිදෙනා මුහුණෙන් මුහුණ බලාගෙන විතරක් නතර වුණේ නෑ. ඔවුන් ඇයට සමච්චලේට වගේ හිනාවුණා.
ඒකට හේතුව වුණේ ඇගේ අසාමාන්‍ය පෙනුම. මොකද පුංචි සන්ධියේ ඉඳන්ම දර්ශනීට තිබුණේ මිනිස්සු දාහක් මැද්දේ වුණත් කැපිලා පෙනෙන පෙනුමක්. ඒ ඇගේ මිටි බව නිසා. මේ සිදුවීම වෙද්දිත් දර්ශනී කියන්නේ අවුරුදු 19ක යෞවනියක් වුණාට ඇගේ උස අඩි තුනකට වඩා වැඩි වුණේ නෑ. ඒ නිසා කොතැනදි වුණත් ඇයව කැපිලා පෙනුණා. කොහොමින් හරි එදා මුහුණදෙන්න වුණු සිදුවීමෙන් පස්සේ දර්ශනී හිතුවලු ආයෙනම් කිසිම දවසක රැකියාවකට යන්නේ නෑ කියලා. මොකද ඒ තරමටම සම්මුඛ පරීක්ෂණයේ හිටපු නිලධාරීන්ගේ සමච්චල්සහගත හිනාව දර්ශනීව හොඳටෝම රිදවලා තිබුණා. ඒ දර්ශනී ඇයගේ ජීවිතේ මුහුණදුන් එක සංවේදී සිදුවීමක් විතරයි. එවැනි සිදුවීම් බොහෝ ප්‍රමාණයකට මුහුණදුන් ඇය අද බොහෝදෙනෙකුට පරමාදර්ශයක් වෙමින් සතුටින් ජීවිතය දරන්නියක් බවට පත්වෙලා. ඉතින් ජීවිතයේ කිසිම අඩුපාඩුවක් නැතුවත් තවමත් ‘සතුට’ හොයාගන්න බැරිවුණු මිනිස්සු ගැන හිතලම දහසකුත් ප්‍රශ්න, බාධක මැදින් ජීවිතය ජයගත් ‘දර්ශනී නානායක්කාර’ කියන පුංචි වුණත් යෝධ හයියක් ඇති මේ කාන්තාව වෙනුවෙන් මේ ඉඩ වෙන්කරන්න අපි තීරණය කළා.
“මගේ පවුලේ හිටියේ අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි. මං පවුලේ බාලයා. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. එයා සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ වැඩ කළේ. ඒක නිසා පොඩි කාලේ ඉඳන් මගෙත් හීනය වුණේ කවදා හරි තාත්තා වගේ ව්‍යාපාරිකයෙක් වෙන්න. ඒත් මගේ පෙනුමත් එක්ක මට පුංචි කාලේ ඉඳන්ම හුඟාක් ප්‍රශ්නවලට මුහුණදෙන්න සිද්ධ වුණා.”
එදා දර්ශනීගේ අම්මයි තාත්තයි දර්ශනීව පාසලකට බාරදෙන්න ගියාම මුලින්ම බාරගන්න අකමැති වෙලා. ඒ ඇගේ පෙනුම නිසා. එදා ඒ පාසලේ හිටපු විදුහල්පතිතුමා කිව්වලු ඇයගේ වයසේ අනෙක් ළමයින් එක්ක එකම පන්තියක අධ්‍යාපනය ලබන්න දර්ශනීට බැරිවෙයි කියලා.
“එදා තාත්තා විදුහල්පතිවරයාට කිව්වා මගේ දුවට මාස හයක් පාසලේ ඉන්න දීලා බලන්න, ප්‍රශ්නයක් වුණොත් මම දුවව අස්කරගන්නම් කියලා. ඒ වචනෙට විදුහල්පතිතුමා මාව පාසලට බාරඅරගෙන. ඒ පාසලේ තමයි උසස්පෙළ වෙනකල් මං ඉගෙනගත්තේ. පන්තියේ කිසිම ළමයෙක් මට කිසිම වෙනස්කමක් කළේ නෑ. ඒ අය හුඟාක් ආදරෙන් මාව බලාගත්තා.”
හැබැයි යාළුවෝ වෙනස්කම් නොකළට මොකද සමහර ගුරුවරු නම් ඇයට වෙනස්කම් කෙරුවලු. ඒක නිසා පාසල් කාලය පුරාවටම දර්ශනීට පොත්පත්වල වැඩ ඇරුනම බාහිර ක්‍රියාකාරකම්වලට යොමුවෙන්න බැරිවෙලා.
“පන්තියේ අනික් ළමයි පිට්ටනියේ ක්‍රීඩා කරද්දි මට වුනේ බලාගෙන ඉන්න. කොයිතරම් ආස වුණත් පාසලේ ක්‍රීඩා උත්සවේ අවසානෙට තියෙන ආචාර පෙළපාලියේ යන්න මට බැරිවුණා. කවදාවත් පාසලේ කලා උළෙලක මං ඉඳලා නෑ. මට මතකයි සැරයක් පාසලේ භක්ති ගීත උළෙලක් තිබුණා. මමත් හුඟාක් ආසාවෙන් හිටියා අනෙක් ළමයි වගේම ස්ටේජ් එක උඩට නැගලා භක්ති ගීත කියන්න. ඒත් මට ඒ අවස්ථාව ලැබුණේ නෑ. මට වුණේ ස්ටේජ් එක පහළ ඉඳලා තාලම්පොට ගහන්න.”
පාසල් අධ්‍යාපනයෙන් පස්සේ දර්ශනී ව්‍යාපාරිකාවක් වෙන තමන්ගේ හීනය වෙනුවෙන් ගණකාධිකරණයත්, ව්‍යාපාර කළමනාකරණයත් පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලබලා. ඔය අතර කාලේ තමයි හෘදයාබාධයක් හේතුවෙන් ඇගේ පියා මියගිහින් තියෙන්නේ. ඉතින් පියාගේ අහිමිවීමත් එක්ක ඇයට හිතුණලු මොකක් හරි රැකියාවක් කරන්න.
“මං රැකියා කීපයකටම ඉල්ලුම් කළා. ඒ අතරින් එකකට ඉන්ටර්වීව් යන්න ආවා. ඒ ඉන්ටර්වීවි එකට ගියාම තමයි අර සිදුවීම වුණේ.”
දර්ශනී අර සිදුවීම කියලා කිව්වේ අපි මේ ලිපියට ආරම්භය ගත් සිදුවීම ගැන. එදා ඒ අමිහිරි සිදුවීමට මුහුණදීපු දර්ශනී ඊටපස්සේ ඇගේම ව්‍යාපාරයක් පටන් අරන්. ඒ ප්ලාස්ටික් වතුර බෝතල් ව්‍යාපාරයක්. ඒත් විවිධ ප්‍රශ්න නිසා ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අවුරුදු 5යි.
“ඊටපස්සේ මං තාත්තාගේ බිස්නස්වලට සම්බන්ධ වුණා. ඒ කියන්නේ සංචාරක හෝටල් ව්‍යාපාරයට. අද වෙනකොට මම මොරටුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් කරගෙන යනවා. මගේ යටතේ 50ක් 60ක් විතර සේවකයෝ ප්‍රමාණයකුත් වැඩ කරනවා.”
මේ වෙනකොට ව්‍යාපාරිකාවක් වන දර්ශනීගේ වයස 55ක්. ඒත් අදටත් ඇගේ උස අඩි 3යි අඟල් 11යිලු. උසින් අඩුවක් තිබුණත් ඇය ජීවිතේට ඒක ගැටලුවක් කරගෙන නෑ. එළැඹෙන නොවැම්බරයට 25 අවුරුද්දක් ගෙවෙන ඇයගේ විවාහ ජීවිතේ තමයි ඒකට හොඳම සාක්ෂිය.
“මම විවාහවුණේ 1999 නොවැම්බර් 18 වැනිදාවක. එයාගෙ නම අතුල රත්නවීර. එයත් මං වගේම සංචාරක හෝටල් ව්‍යාපාරය කරපු කෙනෙක්. සැරයක් මමයි යාළුවෝ කට්ටියකුයි බෙන්තොට තිබුණු එයාගේ හෝටලේට ගියා. ඒ ඉන්නැද්දි තමයි මට එයාව මුණගැහුනේ. ඒ සම්බන්ධය දුර දිග ගිහින් අපි විවාහවුණා. ලබන මාසෙට අපි විවාහවෙලා අවුරුදු 25ක්. කවදාවත් අපේ විවාහ ජීවිතේට මගේ උස ප්‍රමාණය ප්‍රශ්නයක් වුණේ නෑ.”
*සැමියාගේ පවුලේ අයටවත් ඒ ප්‍රශ්නය ආවේ නැද්ද?
“එයාලට ආවා. මුලින් සැමියගේ පවුලේ අය කිව්වලු මාව විවාහ කරගන්න එපා කියලත්. ඒත් ඒ වෙලාවේ එයා කියලා ‘හරි මං දර්ශනීව නොබැඳ ඉන්නම්, ඒත් මං කවදාවත් වෙන කෙනෙක් බඳින්නෙත් නෑ’ කියලා. ඊටපස්සේ තමයි ඒ අයත් මට කැමති වුණේ. අපි ලොකු වෙඩින් එකකුත් අරගෙනයි බැන්දේ.”
විවාහයේදි අනෙකාගේ පෙනුමට මුල්තැනක් දෙන සමාජයක දර්ශනීගේ උස විවාහ ජීවිතේට කිසිඳු ප්‍රශ්නයක් කර නොගත් සැමියෙක්ව මුණගැහුනු එක ගැන දර්ශනීට කියන්න දෙයක් ඇති කියලත් අපිට හිතුණා.
“ඔව් ඔහු ගැන නොකියා බෑ. සමහර අය හිතනවා උසින් අඩු කෙනෙක්ව බැන්දම එයා එක්ක ඉන්න අමාරුයි, එයා එක්ක එළියට පහළියකට යද්දි ලැජ්ජා හිතෙයි වගේ දේවල්. ඒත් මගේ සැමියා කවදාවත් එහෙම දෙයක් අඟවලාවත් නෑ. එයා මම නැතුව කොහෙවත් යන්නෙත් නෑ. ඉතින් ඒ වගේ සැමියෙක් ලැබුණු එක ගැන මට හරිම ආඩම්බරයි.”
දර්ශනී කියන්නේ මේ වෙනකොට දෙදරු මවක්. ඇගේ ලොකු පුතාට වයස අවුරුදු 21ක්. පොඩි පුතාට 13ක්. ඔවුන්ගෙන් ලොකු පුතා දර්ශනී වගේම කියලයි ඇය ‘ධරණී’ට කිව්වේ.
“ලොකු පුතා මම වගේ නිසා මං හිතුවා ආයෙත් දරුවෙක් හදන්නේ නෑ කියලා. ඒ වුණත් ලොකු පුතාට මල්ලියෙක් ඕන වුණා. ඒක හින්දම ආයෙත් මම දරුවෙක් ගැන හිතුවා. වාසනාවකට ඒ පුතා මම වගේ වුණේ නෑ. එයා සාමාන්‍ය දරුවෙක්.”
කාලයත් එක්ක දර්ශනීට ලංකාවේ ජීවත්වෙන මිහිමිත් ප්‍රජාව වෙනුවෙන් යමක් කරන්න අදහසක් ඇවිත්. ඒ අනුව තමයි ‘මිහිමිත් සංගමය’ (Little People Association) කියලා සංගමයක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ 2019 මාර්තු 02. ඇය තමයි එහි සභාපතිනිය විදියට කටයුතු කරන්නෙත්.
“අපි වගේ අයට සමාජයෙන් විවිධාකාර අසාධාරණකම්වලට වෙනස්කම්වලට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඒක මගේ අත්දැකීමෙන්ම මම දන්නවා. මිහිමිත් සංගමය වගේ එකක් පටන් අරගෙන මට ඕනවුණේ ඒ දේවල් නවත්තන්න. අපි උස විතරයි අඩු. සාමාන්‍ය පුද්ගලයෙන් කරන කියන හැමදෙයක්ම වගේ අපිට කරන්න පුළුවන්. ඉතින් සමාජයට ඒ පණිවිඩය අරගෙන යමින් රටේ සමස්ත මිහිමිත් ප්‍රජාවටම සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත්වෙන්න සුදුසු පරිසරයක් ගොඩනැගීමයි මගේ මූලික අරමුණ වුණේ.”
මේ වෙනකොට ‘මිහිමිත් සංගමය’ තුළ සාමාජිකයින් 200කට අධික පිරිසක් ඉන්නවලු. ඒ අතර සිටින බොහෝමයක් විවිධ දක්ෂතාවලින් සපිරුනු පුද්ගලයින් බවයි දර්ශනී පැවසුවේ.
“ඒ කාලේ අපි වගේ අයට කිව්වේ කුරු අය, කුරුමිටි අය කියලා. ඒත් මිහිමිත් ප්‍රජාව කියලයි දැන් කියන්නේ. ඒ නමට අපි කැමතියි. අපේ රටේ හිටපු ප්‍රසිද්ධ ගායකයෙක්නේ ජිප්සිස් සුනිල් පෙරේරා මහත්තයා. එතුමාගේ ජනප්‍රිය ගීතයක් තියෙනවනේ ‘කුරුමිට්ටෝ’ කියලා. ඔහු ජීවත්වෙලා ඉන්නැද්දි අපේ සංගමයේ ලේකම් ඔහු මුණගැහෙන්න ගියා. ඒ ඔහු ගායනා කරපු ඒ ගීතයට අපි විරුද්ධයි කියන්න. අපි කියපු දේ තේරුම්ගත්ත එතුමා කිව්වලු ආයෙත් කිසි ප්‍රසංගයක ඒ ‘කුරුමිට්ටෝ’ ගීතය ගායනා කරන්නේ නෑ කියලා.”
දර්ශනී ඒ අතීත කතාව මතක් කළේ දර්ශනී වගේ පුංචි මිනිසුන්ව හඳුන්වන ‘මිහිමිත් ප්‍රජාව’ කියන නම ගැන ඇහුවම. ‘පොළොවට සමීප’ කියන අර්ථය එන ඒ නමින් ඔවුන් හඳුන්වන ලෙසයි ‘ධරණී’ පාඨකයින්ගෙන් දර්ශනී ඉල්ලීමක් කළේ. ඒ විතරක් නෙවෙයි පසුගිය දිනෙක ඇයට මුහුණදෙන්න සිදුවුණු සිදුවීමක් ගැනත් මතක් කරමින් දර්ශනී තවත් පුංචි ඉල්ලීමක් කළා.
“මේ ළඟදි දවසක මමයි ලොකු පුතයි කලුතර බෝධිය වඳින්න ගියා. ඒ ගිය වෙලාවේ එක තාත්තෙක් පුතා එක්ක ඇවිත් ඇහුවා ඔයාලා කොහොමද ඔය විදියට වුණේ කියලා. ඉතින් අපි එයාලට දෙන උත්තරේ මොකක්ද? මායි පුතයි ඒ වෙලාවේ හොඳටම අසරණ වුණා. තාමත් අපිව ගොඩක් අයට පේන්නේ මැජික් එකක් වගේ. අපිට එහෙම සළකන්න එපා කියලා මම අපේ ප්‍රජාව වෙනුවෙන් හැම කෙනෙක්ගෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි.”
*මේ වෙනකොට මිහිමිත් ප්‍රජාවට තියෙන පොදු ප්‍රශ්න මොනවද?
“අපේ අයට රැකියා ප්‍රශ්න තියෙනවා. ඒ වගේමයි පොදු ප්‍රවාහනයේ යන එකත් අපිට ප්‍රශ්නයක්. උදාහරණයක් විදියට බස් එකකට කෝච්චියකට නැගගන්න බෑ. බෙල් එකක් ගහන්න උස නෑ. රෝහල් වගේ, බැංකු වගේ ආයතනවලට ගියාම කවුන්ටර්වලට උස නෑ. ඉතින් ඒ වගේ තැන්වලදි අපි මුහුණදෙන ගැටලු ගැන හිතලා අදාළ බලධාරීන්ට යමක් කරන්න පුළුවන් නම් වටිනවා.”
දර්ශනී කියන්නේ අද වෙනකොට සතුටින් ජීවිතය දරන්නියක්. බිරිඳක්, මවක්, ගෘහිණියක් විදියට වගේම ව්‍යවසායිකාවක් සහ ව්‍යාපාරිකාවක් විදියටත් ඇය සාර්ථකයි. ඒත් ඇයට තනියම සතුටුවෙන්න අදහසක් නෑ. ඇයට ඕන රටේ සමස්ත මිහිමිත් ප්‍රජාවත් එක්කම සතුටුවෙන්න. ඒ වෙනුවෙන් ඇය ඔබෙන් ඉල්ලන්නේ මෙච්චරයි.
“අපිට අනුකම්පාව එපා, ආදරය දෙන්න.”
රුවන් එස්.සෙනවිරත්න