මගේ කුරුලු පැටව් මට කතා කරන්නෙ ‘අම්මේ’ කියලා දිල්හානි වෙඩික්කාරගේ
මීට අවුරුදු පහ හයකට උඩදි බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වෙන ශිල්පා ශෙට්ටි ගිරවෙක් එක්ක ඉන්න
වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සෑහෙන්න ජනප්‍රිය වුණා. ඒ ගිරවා ඇයට මුණගැහිලා තිබුණේ නිවස
සමීපයේ ගසකින් වැටිලා ඉන්නැද්දිලු. ඊටපස්සේ ශිල්පා ඌව ගෙනැල්ලා නිවසේ හුරතලේට හදලා. ඒ විතරක්
නෙවෙයි තමන්ගේ නමේ කොටසක් එකතු කරලා ගිරවට ‘පොපි ශෙට්ටි’ (Poppy Shetty) කියලා ලස්සන
නමකුත් දාලා. ඔය විදියට කාලයක් ඉන්නැද්දි මේ ගිරවා ශිල්පා එක්ක කතා කරන්න පටන් අරගෙන. ඒ නිසා
ඇයට කතාබහ කර කර ඉන්න අපූරු මිතුරෙක් හමුවුණු බව කියන්න තමයි ඇය සිය ඉන්ටග්‍රෑම් ගිණුමේ ඒ
ගිරවත් එක්ක ඉන්න වීඩියෝව පළකරලා තිබුණේ. කොහොම හරි ලක්ෂ ගණනක පිරිසක් ශිල්පගෙයි
පොපිගෙයි ඒ වීඩියෝව නරඹලා තිබුණා.
මේක අවුරුදු කිහිපයක් පරණ කතාවක් වුණත් මට ඒක මතක් කරන්න හිතුණේ පහුගිය ටිකේ ශිල්පා
තරම්ම හැඩකාර, අපේ රටේ තරුණියක් ගිරවෙක් එක්ක කතා දොඩමලු වෙන වීඩියෝ කිහිපයක්
ටික්ටොක්වල සෑහෙන්න ප්‍රසිද්ධ වෙලා තියෙන හැටි දැක්කට පස්සෙයි. ඒවා දැකපු දවසේ ඉඳන් මට ඒ
ජෝඩුවගේ කෝලම් ටික ඇස් දෙකෙන්ම බලාගන්න යන්න ඕන වුණා. පහුගිය ටිකේ කොළඹ හේදිලාම යන්න
වැහැපු වැස්ස එක්ක ඒ ආසාව දවසින් දවස ප්‍රමාද කරන්න සිද්ධ වුණත් ගෙවුණු බදාදාව ඒ වෙනුවෙන්
වෙන්කරගන්න මට පුළුවන් වුණා. අපේ ගමනාන්තය වුණේ දියගම. ඒ ගමනට මං අපේ ඡායාරූප
ශිල්පියාවත් එකතු කරගත්තේ හැකියාවක් තිබුණොත් ඔවුන් දෙදෙනාගෙන් ‘ධරණී’ කවරය සරසන්න
පින්තූරයක් ගන්නත් හිතේ පොඩි නෙවෙයි ලොකු ආසාවකුත් තිබුණු හින්දා.
එදා හරියටම හවස 3.00 වෙනකොට අපි ඔවුන්ගේ නිවසට ගියත් අපි දෙන්නා පිළිගන්න ආවේ හැපුවොත්
කෑල්ලක්වත් ඉතුරු නොවෙන සයිස් එකේ Rottweiler වර්ගයේ බලු කොල්ලෝ තුන්දෙනෙක්. ඒත් එක්ක ඇඟේ
ලේ වතුර වුණත් වාසනාවට ගේට්ටුව වහලා තිබුණු නිසා යාන්තමින් පණ බේරුනා. ඒ අතරෙයි බලු
කොල්ලෝ චණ්ඩි පාට් දැම්මේ කාටද බලන්න ගෙදර උදවිය එළිබැස්සේ. ඒ අතරේ අපි හොයපු ජෝඩුවත්
හිටියා. අපි එන බවක් කලින්ම කියලා තිබුණු නිසා ජෝඩුවම අපිට ඕනෙ විදියට පේවෙලයි හිටියේ. ඒත් අර
බලු කොල්ලෝ තුන්දෙනා එක්ක නම් අපි ආපු වැඩේ කරන්න ලේසිවුණේ නෑ. ඉතින් උන් ටිකක් සන්සුන්
වෙනකල් මං අර තරුණියත් එක්ක කතා කරන්න හිතුවා. ඇය එක්ක කතා කරන එකට අමනාප හිතිලද
මන්දා එච්චර වෙලා ඇගේ උරහිසේ ඉඳන් කුටු කුටු ගගා රහස් කියපු ගිරා කෙල්ල අපිට පස්ස හැරෙව්වා.
“මම පුංචි කාලේ ඉඳන්ම සත්‍තුන්ට හරි ආදරෙයි. දැනට අවුරුදු තුනකට
විතර උඩදි අසනීප වෙලා පාරේ වැටිලා ඉඳලා Alexandrine ගිරවෙක් හම්බුණා.
මං එයාව ගෙදර ගෙනාවා. ඒ ගෙනැත් එයාට බේත් කරලා කන්න බොන්න
දීලා කොහොමින් හරි සනීප කරගත්තා. ඇල්ෆ් (Alf) කියලා නමකුත් දැම්මා.
ටික කාලයක් යද්දි එයා මගෙත් එක්ක කතා කරන්න ගත්තා. මං උදේට එයා
ළඟට ගිහිල්ලා ගුඩ් මෝර්නිං කියද්දි එයත් කියනවා. ඉතින් මට හරිම ආස
හිතුණා. එයාව මගේ ළඟින් දිගටම තියාගන්න හිතුණා. ඒත් එයා අපේ රටට
ආවේණික කුරුල්ලෙක් හින්දා මම එයාව ලොකුවෙනකල් ඉඳලා නිදහස් කළා.
ඒත් ඇල්ෆ් ඇතිකරපු ආසාව හින්දා මට ගිරා යාළුවෝ ටිකක් ගෙදර ගේන්න
හිතුණා.”
දිල්හානි වෙඩික්කාරගේ. ඒ තමයි ඇයගේ නම. ‘ඇල්ෆ්’ ඇතිකරපු ආසාව නිසා ටික දවසකින් ඇය ගිරා යාළුවෝ
කීපදෙනෙක්ම ගෙදර ගෙනැත්. ඒ දේශීය කුරුල්ලෝ නෙවෙයි ප්‍රමාණයෙන් විශාල විදේශීය කුරුල්ලෝ.
විදේශීය කුරුල්ලෝ ආනයනය කරන තැනකින් තමයි ඇය ඔවුන්ව මිල දී ගෙන තියෙන්නේ. මේ වෙද්දි ඇයගේ
නිවසේ එහෙම යාළුවො 7 දෙනෙක් ඉන්නවා.
“ඒ හත්දෙනාගේ අතරින් එක් කෙනෙක් Umbrella Cockatoo කෙනෙක්. එයාගේ
නම Coco. දෙවැනියා Ducorp Cockatoo කෙනෙක්. එයාගේ නම Shark. තුන්වැනි
කෙනා Coconut Lorikeet කෙනෙක්. එයා Croozo. හතරවැනියා වෙන්නේ Dusky
Lory කෙනෙක්. එයාගේ නම Fuji. පස්වැනි කෙනා Chattering Lory කෙනෙක්.
එයාගේ නම Roco. හයවැනියා Yellow Streaked Lory කෙනෙක්. Rooby
කියන්නේ එයාගේ නම. අන්තිමයා Sunconure කෙනෙක්. ඒ යාළුවගේ නම
Peeg. දැන් මගේ ජීවිතේම වෙලා ඉන්නේ ඒ අය තමයි.”
ඒ අතරින් තනි සුදු පාට Umbrella Cockatoo වර්ගයේ කුරුල්ලා නැත්නම් නමින්ම කිව්වොත් ‘කොකෝ’
(Coco) තමයි ටික්ටොක්වල දිල්හානිත් එක්ක වීඩියෝවලට පෙනී ඉඳලා ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ඉතින්
එයාගේ ගැන වෙනමම දිල්හානිගෙන් අහලා බලන්න හිතුණේ අපි ඔවුන්ව හොයාගෙන යන්නත් විශේෂම
හේතුව වුණේ ‘කොකෝ’ හින්දා.
“මං කොකෝ මැණිකව ගෙනාවේ එයා පුංචි කාලෙදිමයි. එයා කෙල්ලක්. දැන්
එයාගේ වයස අවුරුද්දකට කිට්ටුවෙන්න එනවා. එයා හරිම පොඩි කාලෙකින්
මං එක්ක කතා කරන්න ගත්තා. ඊටපස්සේ තමයි එයා මගෙත් එක්ක කතා
කරන ටික්ටොක් වීඩියෝ කීපයක් කළේ. ඒවා සෑහෙන්න වෛරල් වුණා. දැන්
මටත් වඩා එයා ප්‍රසිද්ධයි. ටික්ටොක් තරුවක් වගේ තමයි. හැබැයි ටිකක්
ආඩම්බරයි. එයාට අපි කවන්න ඕන. නැත්නම් එයා කන්න හොරයි. ඒ
වගේමයි එයාගේ කට ගැනත් නොකියා බෑ. හරි ආදරෙන් කතා කරනවා
වගේම තමයි තරහා ගියොත් බණිනවා.”
දිල්හානි කොකෝව හුරතල් කරන ගමන් එහෙම කියද්දි මට ඉබේම අහස දිහා බැලුනා. ඒ අතරෙයි දැක්කේ
ඈතින් කළු වළාවක් ඉරට සමච්චල් පාගෙන ඒ පැත්තට ළංවෙන හැටි. ඉතින් කතාබහේ ඉතිරිය පස්සට
තියාගෙන මං ඡායාරූප ශිල්පියාට දිල්හානිගෙයි කොකෝගෙයි ෆොටෝස් ටිකක් ගහන්න කියලා කිව්වේ
වැස්ස වළාහක දෙවියෝ අපට වැඩේ කරගන්න දීලා තිබුණු වෙලාව හමාර කරන්න යන බව තේරුණු නිසා.
ඒත් ෆොටෝ ගහන වැඩේට දිල්හානි කැමති වුණාට මොකද කොකෝ නම් වැඩිය කැමැත්තක් තිබුණේ නෑ.
එහි ප්‍රතිඵලයක් විදියටයි කොකෝ ඡායාරූප ශිල්පියාට දෙහි කපන්න පටන්ගත්තේ.
“ඉක්මණට ගහන්න. මට කරදරයි.”
සැරයක් නෙවෙයි දෙතුන් විඩක්ම කොකෝ එහෙම කියලා අපේ ඡායාරූප ශිල්පියාට බැන්නා. ඒ අතරෙයි
ඔහුට මේ කතාව කියැවුණේ.
“යකෝ ගහන්න පුළුවන් නම් මෙලහකට අපිට ගහලා.”
ඒ කතාවට කොකෝත් නිකන් නම් හිටියේ නෑ. මේ ඡායාරූප ශිල්පියාට එයා කියපු කතාව.
“ගහනවා තමයි, මම කාටවත් බය නෑ.”
ඔය අතරෙයි අපි ආපු එක දැවෙන ප්‍රශ්නයක් කරගෙන හිටපු බලු කොල්ලෝ තුන්දෙනා ඒ අස්සට කඩන්
පාත්වුණේ. ඒ මිසී, ක්ලාරා සහ මෝර්ගන්. ඉතින් ඔවුන් අතින් කොකෝ ඇතුළු කුරුල්ලන්ට කිසි තර්ජනයක්
නැද්ද කියලත් අපි දිල්හානිගෙන් අහලා බැලුවා.
“නෑ නෑ අපි කිසිම ඇටෑක් එකක් නෑ.”
දිල්හානිට කලින් අපිට ඒ උත්තරේ දුන්නේ අතිපණ්ඩිත කොකෝ. “මේ නම් මහා පණ්ඩිත අම්මණ්ඩි
කෙනෙක්” මම කාටවත් එහෙම කිව්වේ නෑ. ඒත් එහෙම හිතුවා. ඒ අතරෙම බලු කොල්ලන්ගෙන් මෝර්ගන්ටත්
ෆොටෝ කෑල්ලකට ඉන්න හිතිලද මන්දා දිල්හානි ළඟ කැරකෙන්න පටන්ගත්තා. වැඩේ තේරුම්ගත්ත අපේ
ඡායාරූප ශිල්පියත් මෝර්ගන්ගේ ආසාව ඉෂ්ට කළේ “කාගේ වුණත් ආසාවක්නේ” කියලා මගේ කණටත්
කොඳුරන ගමන්.
ඔය අතරෙදි වැස්ස ආපහු හැරිලා තිබුණා. මං ආයෙමත් දිල්හානිත් එක්ක කතාවට වැටුණා. මං දෙවැනි
වතාවට ඇය එක්ක කතාවට මුලපිරුවේ විදේශීය කුරුල්ලෝ අපේ රටේ හදන එක පහසුද කියන
ප්‍රශ්නයෙන්.
“ඇත්තටම ලේසි නෑ. හැමවෙලාවකදිම එයාලා ගැන සෑහෙන අවධානෙන්
ඉන්න ඕන. පුංචි කාලේ ඉඳන්ම කෑමබීම ගැන වගේම ශරීර සෞඛ්‍ය ගැන
සැළකිලිමත් වෙන්න ඕන. ඒ වගේමයි සාමාන්‍යයෙන් කුරුල්ලෝ කියන්නේ
ගොඩාක් වෙලාවට අඩු උෂ්ණත්වයේ ඉන්න ආස පිරිසක්. ඒ දේවල් ගැන
සැළකිලිමත් නොවුණොත් ඒ සත්තු රෝගීවෙලා මියයන්නත් පුළුවන්.”
මොන තරම් හොඳට බලාගත්තත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දිල්හානි කරන්නේ නිදහසේ පියාඹලා ඉන්න
ඕන කුරුල්ලෝ හිරකරලා තියාගෙන ඉන්න එකනේ කියලා. ඔබට වගේම ඒ ප්‍රශ්නය මටත් ආවා. ඒත් ඒ
ප්‍රශ්නයට දිල්හානිගේ උත්තරේ වුණේ මේක.
“මේ හැමෝවම මං ගත්තේ කූඩුකරලා ඉන්නැද්දි. මගේ ගාව එයාලා
කූඩුකරලා හිරකරලා තියාගෙන නෑ. අපේ ගෙදර කාමරයක් එයාලගේ. ඒකෙ
එයාලා හරි සතුටින් නිදැල්ලේ ඉන්නවා. එයාලා මගේ දරුවෝ වගේ හදන්නේ.
අනික එයාලා විදේශීය කුරුල්ලෝ හින්දා අපේ රටේදි නිදහස් කරන්න බෑ.
එයාලා මේ දේශගුණ තත්ත්වයන්ට හුරු අය නෙවෙයි. ඒක නිසා උපරිම
නිදහස දීලා කුරුල්ලෝ රැකබලා ගන්නවා. මං හිතනවා මං ගනිද්දි එයාලා
හිටපු තැනට වඩා නිදහසක් අපේ ගෙදර එයාලට තියෙනවා කියලා.”
දිල්හානි ළඟ ඉන්න කුරුල්ලන්ට ඇය අම්මා වගේලු. ඒ වග මටත් තේරුම් ගියේ එක කුරුලු යාළුවෙක් දිල්හානිට
“අම්මා” කියලා ආමන්ත්‍රණය කරන හැටි ඇහිලා. ඒ බැඳීම නිසා කිසිම කුරුල්ලෙක් ඇයව දාලා යන්නේ නෑ
කියලයි දිල්හානි සෑහෙන විශ්වාසයකින් ‘ධරණී’ට කිව්වේ.
“දවසක් කෙනෙක් මාව දාලා ගියා. හැබැයි ටික වෙලාවකින් ආයෙත් ආවා.
එයාලට මං නැතුව බෑ. ගොඩක්ම කොකෝට. එයා කොහේ එක්ක ගියත්
මගේ ළඟින් නම් හෙළවෙන්නෙවත් නෑ. ඒ තරම් එයාට මං ඕනේ.”
කුරුල්ලෝ හදන්න ගත්තත් හරි ඔවුන්ව දාලා දිල්හානි එකම දවසක්වත් ගෙදරින් පිට ඉඳලා නැතිලු.
ගෙදරින් පිට ගියත් පැය පහක් හයකට වඩා ඉන්නේ නැතිලු. ඒ විදියට ජීවිතේම කුරුල්ලොත් එක්ක
අවිවේකීව ගෙවන දිල්හානිට ඒ ජීවිතේ ගැන විශේෂ යමක් කියන්න ඇති කියලා අපිට හිතුණා.
“මේ වෙද්දි මං විවාහකයි. මගේ සැමියා ඉසුරු රංගන. ඒ වගේම මගේ නංගිත්
මා එක්ක ඉන්නවා. ඒ දෙන්නා තමයි මට මගේ සත්තු ටික රැකබලාගන්න
උදව් කරන්නේ. මට තාම වයස 28යි. ඒත් එක්ක සමහරු අහනවා මගේ
තරුණ ජීවිතේ කුරුල්ලන්ටම දියවෙලා යනවා නේද කියලා. ඇත්තටම නෑ. මේ
ජීවිතේට මං පුදුම ආසයි. අපේ හුඟාක් ගෙවල්වල සුරතලේට හදන්නේ
බල්ලෝ පූසෝ. ඒත් කුරුල්ලෝ කියන්නෙත් අපිට හරි ආදරේ කරන ලෙන්ගතු
පිරිසක්. මගේ අය මට කතා කරන්නේ අම්මේ කියලා. මං ටිකක් පේන්න
නැත්නම් එයාලා අම්මේ කියලා මට කතා කරනවා. ඒ වෙලාවට හිතට එන
හැඟීම වචනවලට හරවන්න මට තේරුමක් නෑ. ඒ තරමට ඒක දැනෙනවා.”
කුරුල්ලෝ එක්ක ගෙවන ජීවිතේ අමතක නොවෙන දවස් නොතිබෙන්න විදියක් නෑනේ. එහෙම දවසක්
ගැනත් අපි දිල්හානිගෙන් අහලා බැලුවා. අන්න එතකොටයි ඇය පහළින් තියන සංවේදී සිදුවීම ‘ධරණී’ත්
එක්ක බෙදාහදා ගත්තේ.
“මගේ ළඟ හිටියා Sunconure වර්ගයේ කුරුල්ලෙක්. එයාගේ නම Benzo.
දවසක් එයා අසනීප වුණා. ඒත් එයා සුවකරන්න ඕන කරන බෙහෙත් අපේ
රටේ තිබුණේ නෑ. එහෙම තිබුණා නම් එයා බේරගන්න තිබුණා. ඒක අමතක
වෙන්නේ නෑ. අපේ රටේ බල්ලන්ට පූසන්ට බෙහෙත් කරන පශු වෛද්‍යවරු
හිටියට, තැන් තිබුණට කුරුල්ලන්ට එහෙම නෑ. ඒක රටේ ලොකු අඩුවක්.”
ටිකක් සංවේදි වෙලා කුරුලු ගෙදර අමතක නොවෙන දවසක් ගැන මතක් කරපු දිල්හානි ඇගේ හිතේ ටික
කාලෙක ඉඳන් දළුලන අහිංසක ආසාවක් ගැනත් මේ විදියට කිව්වා.
“මට පුළුවන් දවසක මං මේ කුරුල්ලෝ හැම කෙනාගෙම නිජබිම්වලට
ගිහිල්ලා මෙයාලව නිදහස් කරනවා. ඒක කරන්න හිත ඉඩදෙන්නේ නැතිවෙයි.
ඒත් එහෙම දවසක් ආවොත් දුකෙන් වුණත් මම ඒක කරනවා.”
දිල්හානි කියන්නේ වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක්. හැබැයි කලින් ඇය රංගන ශිල්පිනියක්. පුංචි
තිරයේ ජනප්‍රිය වූ තූර්යා, දූවිලි බෝනික්කි, ඔබ නිසා, ඇසිඩ්, දියණියෝ වගේ ටෙලිනාට්‍ය ගණනාවකම
ඇය ඉඳලා තියෙනවලු. ඒ වුණත් කුරුලු යාළුවෝ එක්ක හදාගත්තු මිත්‍ර සමාගම නිසා මෑත කාලයේදි කිසිම
නිර්මාණයකට ඇය සම්බන්ධ වෙලා නෑ.
“මම අවුරුදු 16 – 17 වගේ ඉඳන් රංගන කටයුතුවල නියැලුනා. මුල්ම
ටෙලිනාට්‍ය වුණේ තරංග දිසානායක පිටපත් රචනය කරපු, රවීන්ද්‍ර විජේරත්න
අධ්‍යක්ෂණය කරපු ‘තූර්යා’ ටෙලිනාට්‍යය. ඒක සිරස නාලිකාවේ විකාශනය
වුණේ. ඊටපස්සේ මට ගොඩාක් ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණා. ඒ අතරින්
‘ඇසිඩ්’ ටෙලිනාට්‍යයේ ශානු කියන චරිතය මට විශේෂයි. ශානු හරහා තමයි
මාව රටේ බොහෝ පිරිසක් දැනගත්තේ. ඒ හැමදේම මම කුරුල්ලෝ
වෙනුවෙන් සතුටින් කැපකළා. දැන් ඉතින් එයාලගේ රාජකාරි කරගෙන
ඉන්නවා. ඒ කරපු කැපකිරීම් වෙනුවෙන් එයාලා මාව උපරිම සතුටින් තියනවා.
විශේෂයෙන්ම මගේ කොකෝ මැණික. එයා තමයි මගේ ජීවිතේ.”
දිල්හානිගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තායි, නංගියිලු. උපන් ගම රත්නපුර, බලංගොඩ වුණත්
විවාහයෙන් පස්සේ ඇය ඉන්නේ හෝමාගම. කුරුලු යාළුවෝ එක්ක කොතරම් අවිවේකී ජීවිතයක් ගත කළත්
ඇය හරිම සතුටින් ඉන්නවා කියලයි කතාබහ අවසන් කළේ. දිල්හානි එහෙම කියලා කටගන්න වුණේ නෑ ගේ
අස්සෙන් “අපිත් සතුටින්” කියලා කවුදෝ කෙනෙක් යටිගිරියෙන් බෙරිහන් දෙනවා ඇහුනා. ඒ කවුද කියලා
අඳුනගන්න මටයි ඡායාරූප ශිල්පියාටයි නම් අමාරු වුණේ නෑ. ඔහොමම මෙදා සැරේ ‘ධරණී’ කවරේ
පෙරළලා බලන්නකෝ. ඒ හොරගෙඩියා තමයි මෙදා සැරේ කුරුලු ගෙදර දිල්හානි එක්ක ‘ධරණී’ කවරය
හැඩකළේ.
රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – චමත් ඒකනායක
හැඩගැන්වීම – හර්ෂණී පතිරණගේ