මට ආදර යෝජනා එවපු මල්ලිලා පරක්කු වැඩියි – මංජුලා සෙව්වන්දි
ඒ ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ තරඟාවලියේ 05 වැනි අදියර. එවරත් කලින් තරඟවල
වගේම ‘දෙරණ සිහින තරුව’ විදියට කිරුළු පළදින්න බලාගෙන ලක්ෂයකට
කිට්ටු තරඟකරුවන් ප්‍රමාණයක් තරඟ වැදුනා. කැබිතිගොල්ලෑවේ ඉඳන්
ඇවිදින් හිටපු මංජුලා සෙව්වන්දි කියන්නෙත් ඒ අතරින් කෙනෙක්. ඇගේ
ගායන විලාශය නිසාම ඇයත් එවර ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ ජනප්‍රිය
තරඟකාරියක් බවට පත්වෙලා හිටියා. ඒත් අවසන් නවදෙනා අතරට පැමිණි
මංජුලාට ඩ්‍රීම් ස්ටාර් ගමන එතැනින් හමාර කරගන්න වුණේ තරඟයෙන්
ඉවත්වන්නට සිදුවුණු නිසා. නමුත් එතැනින් ඇයගේ ගායන දිවිය නම්
හමාරවුණේ නෑ. ඒ නිසාමදෝ මංජුලාගේ ගීතයක් පහුගිය සමයේ ලංකාවේ
අතිශයින් ජනප්‍රිය ගීතයක් බවටත් පත්වුනා. ඒ තමයි ‘අක්කලාගේ වෙන්න’
කියන ගීතය. මේ වෙනකොට යූටියුබ් අවකාශයේ ඒ ගීතයේ නැරඹුම් වාර
ප්‍රමාණය මිලියන 14ක් බවට පත්වෙලා. ඒ හැමදේම ගැන කතාබහ කරන්නයි
මෙවර මංජුලා සෙව්වන්දිට අපි කතා කළේ.
*මේ දවස්වල මංජුලා වෙනදට වඩා කාර්යබහුලයි වගේ?
ඇත්තටම ඔව්. ලංකාව වටෙන්ම සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා.
ඒවාට සහභාගි වෙනවා. ඒ වගේම මගේ මීළඟ ගීතයටත් මේ ටිකේ සූදානම්
වෙනවා. මේ මාසයේ රෙකෝඩින් කරන්න ඉන්නේ. ඒ වැඩත් එක්ක මේ දිනවල
කාර්යබහුලයි.
*පසුගිය ටිකේ ඔබේ ගීතයක් තමයි ලංකාවේ ජනප්‍රියම ගීතය වුණේ?
ඔව්. මං ගායනා කරපු ‘අක්කලාගේ වෙන්න’ ගීතය. ඒක ලිව්වේ හර්ෂණ
කේ.පෙරේරා. සංගීතය Evo Beats. වීඩියෝව කළේ කසුන් මදුසංක. ගීතය
වෙනුවෙන් මට අනුග්‍රහය දැක්වුවේ විශ්‍රාමික හමුදා නිලධාරී කේ.රංජිත්
කරුණාරත්න කියන මහත්මයා. මේ වෙද්දි ගීතය යූටියුබ්වල මිලියන 14ක්
නරඹලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි.
*ඒ ගීතයේ එක්තරා පද පෙළක් රටේ සෑහෙන්න ජනප්‍රිය වුණා නේද?
ඒක ඇත්ත. ‘හිතට දැනුණු තැනක රැඳිලා ආදරේ කරන්න – මොකද බයද
සැකද මල්ලි අක්කලාගේ වෙන්න’ කියන පේළි දෙක සෑහෙන්න ජනප්‍රිය වුණා.
*ඒ ගීතයෙන් පස්සේ මල්ලිලාගෙන් ඔබට ආදර යෝජනා කීයක් විතර
ආවද?
(සිනාසෙමින්) අම්මෝ සෑහෙන්න ආවා. ඒ වුණාට එයාලා පරක්කු වැඩියි.
මොකද මං විවාහවෙලා ඉන්නේ. පුතෙකුත් ඉන්නවා.
*ගීතයේ අදහසේ තියෙන්නේ වැරදි ආදර්ශයක් කියලා මංජුලාට කවුරුත්ම
චෝදනා කළේ එහෙම නැද්ද?
(සිනාසෙමින්) තාම නම් එහෙම දෙයක් වුණේ නෑ. වෙන්නත් එපා.
*ජනප්‍රියත්වය කියන එක මංජුලාට දැනෙන්නේ කොහොමද?
ජනප්‍රියත්වය ලබාගන්න කාටවත් ලේසි නෑ. ඒත් මොකක්දෝ මන්දා
වාසනාවකට මට ඒක ලැබිලා තියෙනවා. මිනිස්සුන්ගේ ආදරේ මැද
ජීවත්වෙනවා කියන්නේ හරි වෙනස්, අපූරු හැඟීමක්.
*ඔබ ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ තරුවක්. ඒ අතීතය මතක් කළොත්?
ඒක හරි ලස්සන අතීතයක්. ‘ඩ්‍රීම් ස්ටාර්’ සීසන් පහ තරඟ කරලා
තරඟකරුවන් 99000ක් අතරින් අවසන් 9ට වෙනකල් ආවා. එතැනින්
ඉවත්වුණා. මට ගොඩාක් දේවල් ලැබුණු වේදිකාවක් තමයි දෙරණ ඩ්‍රීම් ස්ටාර්
කියන්නේ. පුංචි කාලේ ඉඳන්ම මම ගායිකාවක් වෙන්න හීන දැකපු කෙනෙක්.
ඒ හීනයට පාරක් හැදුනු තැන තමයි ඩ්‍රීම් ස්ටාර් වේදිකාව.
*මංජුලා නිතරම ප්‍රසංග වේදිකාවත් එක්ක ඉන්න කෙනෙක්. අමතක
නොවන සිදුවීම්වලට එහෙම මුහුණදීලා නැද්ද?
එක ප්‍රසංගයක් වෙලාවක රසික ඉල්ලීම උඩ ‘අක්කලාගේ වෙන්න’ ගීතය පිට
පිට දෙසැරයක් ගායනා කරන්න වුණා.
*ඒ ගීතය හැරුනම ඔබේ වෙන ගීත නැද්ද?
තව ගීත දෙකක් තියෙනවා. එකක් ‘සුදෝ ඇයි තරහින් වගේ’ කියලා. අනිත්
ගීතය ‘රාගිනී’ කියලා එකක්. ඒත් ඒවා ගොඩක් ප්‍රසිද්ධ වුණේ නෑ.
*මංජුලා වෘත්තිමය ගායිකාවක්ද?
ඔව් මං වෙන රැකියාවක් කරන්නේ නෑ.
*ඔබේ ඔය පෙනුම එක්ක රඟපාන්න ආරාධනා ලැබුණොත් බාරගන්නවද?
(සිනාසෙමින්) ආරාධනා නම් ලැබුණා. ඒත් මං ආස ගායිකාවක් විදියට ඉන්න.
*අවසානෙට අලුත් ගීතය ගැන පුංචි ඉඟියක් දෙන්න පුළුවන්ද?
එන ජනවාරිවල ඒක බලන්න පුළුවන්. ඒ ගීතයත් ලොකු පෙරළියක් කරාවි
කියලා මං විශ්වාස කරනවා. ඒක මගෙන් අලුත් අවුරුද්ද වෙනුවෙන්
රසිකයන්ට ලැබෙන ලස්සන තෑග්ගක්.
රුවන් එස්.සෙනවිරත්න