සෑහෙන කාලයක් මම බඩගිනි නිවාගත්තේ බල්ලාගේ බත් එක හොරෙන් කාලා
නයිජීරියානු ජාතික නීතීඥවරියක් වන අවෙලේ අයිඩීල් (Awele Ideal) වරක් තමන්ගේ ජීවිත කතාවේ ඇති
සංවේදී පරිච්ඡේදයක් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි පලකළාය. එහි වූයේ ඇයට කුඩා කලදී මුහුණදීමට සිදුවූ
ඉතාම කණගාටුදායක සිදුවීම් පෙළක් සහ ඒවායෙන් නොසැලී ඇය නීතිඥවරියක් වූ ආකාරයයි. ලෝක
අවධානයට පත්වූ අවෙලේ අයිඩීල්ගේ ඒ කතාවයි මේ.
අවෙලේ අයිඩීල්ගේ මව ඔවුන්ව අතහැර යනවිට අයිඩීල්ට වයස අවුරුදු හත ලැබුවා පමණි. ඒ වයසේ
පසුවෙන දරුවකුට ඒ ගැන අවබෝධයක් නොතිබූ නමුත් දින කිහිපයක්ම නිවස තුළ මව නැති අඩුව පුංචි
අයිඩීල්ට හොඳටෝම දැනෙමින් තිබුණි. ඒ බව තේරුනු ඇගේ පියා කුඩම්මා කෙනෙකු නිවසට රැගෙන ආවද
මවගේ සෙනෙහස කුඩම්මාගෙන් ඇයට ලැබුණේ නැත.
“කුඩම්මා පළවැනි දවස් ටිකේ මට හරි ආදරෙන් හිටියා. ඒ වුණත් ටික දවසක්
යද්දි ඒ ආදරේ නැතිව ගියා. එයා නපුරු කෙනෙක් වුණා. ඒත් ඒ නපුරුකම්
බල බල කුඩම්මයි තාත්තයි එක්ක තමයි දිගටම මට ජීවත්වෙන්න
සිද්ධවුණේ.”
කුඩම්මා පුංචි අයිඩීල්ට කොතරම් නපුරු වූවාද කිව්වොත් ඇතැම් දිනවලට ඇය පුංචි එකී බඩගින්නේම
තැබුවාය. ඒ වේලක් දෙකක් නොව එකදිගටම වේල් කිහිපයකි. අයිඩීල් තමන්ට බඩගිනි බව කියා
හඬාවැටුනද ඒ කඳුළුවලට නපුරු කුඩම්මාගේ හිත උණුවූයේ නැත. ඇය ඒ කිසිවක් නොඇසුනා සේ සිටියාය.
“කුඩම්මා එන්න එන්නම නපුරු වෙන්න ගත්තා. එයා මාව දවස් ගණන්
එකදිගට බඩගින්නේ තිබ්බා. මං බඩගිනියි කියලා කිව්වත් කුඩම්මට ඒක
කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ.”
බොහෝ දිනවලට අයිඩීල් බඩගිනි ඉවසා සිටියත් දිනක් ඇයට බඩගින්න ඉවසා සිටිය නොහැකිම වූවාය. ඈ
නිවස පෙරළා කෑමට යමක් සෙව්වද කිසිවක්ම සොයාගත නොහැකි විය. දෙතුන් විඩක්ම වතුර බිව්වද
එයින්ද බඩගින්න නිවුනේ නැත. ඔය අතරවාරයේ ඇය නිවසේ උන් බල්ලාට දමා තිබූ බත් පිඟාන දුටුවාය. ඒ
සැනින් ඇය කළේ බඩගින්න වැඩිකමට එය ගෙන එක හුස්මටම ගිල දැමූ එකය.
“මං දිගටම ඒ වැඩේ කළා. ඒ කියන්නේ අපේ බල්ලට දාල තිබ්බ කෑමවල
ඉතුරු ටික කන්න පුරුදු වුණා. බඩගින්න හින්දා බල්ලගේ කෑම කියලා කිසිම
පිළිකුලක් දැනුණේ නෑ.”
දිනක් අයිඩීල් බල්ලාට දැමූ කෑම කන අයුරු අසළ නිවසක ජීවත් වූ කුඩා දරුවෙක් දුටුවේය. ඔහු දිව ගොස් ඒ
වග ඇගේ මවට පැවසුවේය.
“ඒ ළමයගේ අම්මා එදා හවස එයාලගේ ගෙදරට ඇවිත් යන්න එන්න කිව්වා.
මං ගියා. ගිය ගමන් ඇහුවා මං බල්ලට දාපු කෑම කාපු කතාව ඇත්තක්ද
කියලා. මං ඔව් කිව්වා. ඊටපස්සේ එහෙම කළේ ඇයි ඇහුවම මං කුඩම්මගේ
ගැන කිව්වා. ඒ කියලා මම එයාට ඒක කියපු කතාවක් කුඩම්මට කියන්න
එපා කියලා බැගෑපත් වුණා. ඒත් ඇය වෙනස් කෙනෙක්. මොකද මගේ කතාව
අහලා එයා මාව බදාගෙන ඇඬුවා. ඊටපස්සේ මට කිව්වා බඩගිනි වෙලාවට
කුඩම්මට හොරෙන් එහෙට එන්න එයා මට කන්න දෙන්නම් කියලා.”
එතැන් පටන් අසළ නිවසක උන් කාන්තාව අයිඩීන්ගේ බඩගින්න ගැන නිරන්තරයෙන් සොයා බැලුවාය.
නමුත් ඒ කුඩම්මාට හොරෙනි.
“ඔය අතරේ කුඩම්මා මට ගහන්නත් පටන්ගත්තා. සමහර දවස්වලට එයා මට
කලන්තේ දාලා වැටෙනකල්ම කිසි අනුකම්පාවක් නැතුව ගැහුවා. එයා ඒ
කරලා නිකන් හිටියෙත් නෑ මගේ අත් කකුල්වල, බෙල්ලේ, යෝනි මාර්ගයේ
ගම්මිරිස් කුඩු ගාලා වැසිකිළිය අස්සට දාලා දොර ලොක් කරලත් තිබ්බා. මගේ
වයසේ ළමයෙකුට නොකළ යුතු දේවල් තමයි එයා මට කළේ.”
අයිඩීන්ට කුඩම්මාගෙන් ගැළවී යන්නට සිතුණාය. එහෙත් අවුරුදු හතක පොඩි එකියකට එසේ ගොස්
තනිවම ජීවත්විය නොහැකිය. ඇරත් අයිඩීන් යනු කෙල්ලකි. ඒ නිසාම ඇය කුඩම්මාගෙන් ලැබුණු මදිපුංචිකම්
ඉවසාගෙන සිටියාය.
“මට කුඩම්මා කරපු දේවල් ඉවසන්නම බැරිවුණා. බැරිම තැන මං
දෙවියන්ගෙන් මරණය ඉල්ලුවා. ඒත් දෙවියන් වහන්සේ මට ඒක ලබාදුන්නේ
නෑ. අන්තිමේදි මම කුඩම්මාගෙන් ගැළවිලා යන්න ක්‍රමයක් හොයාගත්තා. ඒ
තමයි අධ්‍යාපනය. ඒත් එක්ක මං හැමදේම අමතක කරලා මට පුළුවන්
උපරිමයෙන් මහන්සි වෙලා එදා ඉගෙනගත්තා.”
අවසානයේදී ඇය නීතිය පිළිබඳ විශේෂ උපාධියක් ලබා නයිජීරියාවේ නීතිඥවරියක් බවට පත්වූවාය.
එහෙත් කුඩා සන්ධියේදි තම ජීවිතය අපායක් කළ කුඩම්මාට ඇය කිසිම විටෙකවත් වෛර කළේ නැත. ඇයව
නීතිය ඉදිරියට ගෙනඒමට තරම් බලයක් ඒ වනවිට අයිඩීන් සතුව තිබුණ ද ඇය එවන් දෙයක් නොකිරීම ගැන
අයිඩීන්ගේ ඉන්ස්ටග්‍රෑම් පෝස්ටුව කියවූ උදවිය ඇයගෙන් විමසා සිටියාය. එහිදී ඇය පවසා සිටියේ මෙවන්
කතාවකි.
“කෙනෙක්ට දුෂ්ටකම් කරන්න, වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න මේ සමාජයේ
ඕන කෙනෙක්ට පුළුවන්. ඒත් මං එතැන නෑ. ඒ වෙනුවට මං අනෙක්
මිනිස්සුන්ට ආදරේ කරන කරුණාව දක්වන සුන්දර පුද්ගලයෙක් වෙලා ඉන්න
පුරුදු පුහුණු වුණා. දැන් මං සතුටින් ඉන්නවා. එදා මගේ ජීවිතේ අපායක්
වුණාට දැන් ඒ ජීවිතේම හරිම සුන්දරයි. මං මේ කතාව කියන්න හිතුවේ එක
දෙයක් නිසා. මේ ලෝකයේ ඕනෑම කෙනෙක්ට අධ්‍යාපනය තුළින් තමන්ගේ
ජීවිතේ මුළුමනින්ම වෙනස් කරගන්න පුළුවන්. ඒකට ඕන වෙන්නේ ටිකක්
මහන්සිවෙලා ඉගෙනගන්න එක විතරයි.”
ඩී.පී.වේවැල්පනාව