නවතම ප්‍රවෘත්ති

මගේ කකුල් දෙක කපලා දාන්න ගත්තු තීරණය ගැන මම එයාලට ස්තූති කළා

තෙවරක්ම හදවත ඇණහිට එයිනුත් නොනැවතී දෙපා පවා අහිමි වී ගිය පසු තමා
මිහිපිට සිටින වාසනාවන්තම පුද්ගලයා බව සිතීමට තරම් කෙනෙකුගේ ජීවිතය
කොයිතරම් සුභවාදීබවකින් පිරි යන්න ඕනෑද? ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවා විස්මයට
පත්කළ අසහාය ධෛර්යයක් වගේම ධනාත්මක පෞරුෂයක් තිබුණු එවැනි යුවතියක්
ගැනයි මේ කතාව. ඇය තමයි ක්ලෙයාර් බ්‍රිජස්.
2022 ජනවාරි මාසය වෙද්දී ක්ලෙයාර්ට හරියටම වයස අවුරුදු විස්සයි. ඇය ඒ වනවිට
නිරූපිකාවක් වශයෙන් සහ අවන්හලක සේවිකාවක් වශයෙන් ඉතා ස්වාධීන ජීවිතයක්
ගත කරමිනුයි හිටියේ. නමුත් නොසිතූ මොහොතක කොවිඩ් රෝගය ආසාදනය වීමත්
සමඟ ඇගේ ජීවිතයේ සියලු දේ කණපිට පෙරළුනා. මුළුමනින්ම නිර්මාංශ ජීවිතයකට
හුරුව අතිශයින්ම නීරෝගි තරුණියක ලෙස දිවි ගෙව්වත් ඇයට ජානමය වශයෙන්
පැවත එන හදවත් රෝගයක් තිබුණා.
මහා ධමනියේ කපාටයක හටගත් ජානමය විකෘතියක් නිසා කපාට තුනක් වෙනුවට
ඇයට තිබුණේ කපාට දෙකක් පමණයි. මෙවැනි තත්ත්වයක් යටතේ සාමාන්‍යයෙන් වැඩ
කරනවාට වඩා වැඩි ආතතියකින් යුතුව වැඩ කිරීමට හදවතට සිද්ධවෙනවා. ඒ නිසා
සුළු වැඩකින් වුණත් පහසුවෙන්ම රෝගියා වෙහෙසට පත්වෙන්න පුළුවන්.

“මට සාමාන්‍යයෙන් කරන වැඩ කරන්න පුළුවන්කම තිබුණා. ඒත් මට කවදාවත් ක්‍රීඩා
කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. කාලයත් එක්ක මං මගේ සීමා ගැන
ඉගෙනගත්තා. හති වැටුණම ටිකක් නැවතිලා විවේක ගන්න මං පුරුදු වුණා.”
ක්ලෙයාර් තම අසනීපය සමඟ ජීවිතය භාරගත්තේ එහෙමයි. නමුත් ඇගේ හදවත්
රෝගය හෝ වෙනයම් පැහැදිලි කළ නොහැකි හේතුවක් නිසා කොවිඩ් රෝගය ඉතා
දරුණු ලෙස ඇයට බලපෑම් ඇති කළා. ඒ නිසා රෝගය අසාදනය වී වැඩි කාලයක්
ගතවෙන්නට මත්තෙන් ඇගේ සමස්ත ජීවිතයේම පාලනය ඇගෙන් ගිලිහී ගියා.
ඇගේ තත්ත්වය එන්න එන්නම අවදානම් සහගත වූ නිසා ක්ලෙයාර් රුධිර කාන්දුකරණ
යන්ත්‍රයකටත්, කෘත්‍රිමව හදවත ස්පන්දනය කරවන යන්ත්‍රයකටත් සම්බන්ධ කිරීමට
වෛද්‍යවරුන් පියවර ගත්තා. ක්ලෙයාර් කියන්නේ ඒ කාලසීමාව තුළ තමා මනෝ
විකෘතියකට ලක්ව සිටියා කියලයි.
“මට හිතුණා හැමෝම උත්සාහ කරන්නේ මාව මරා දාන්න කියලා. මං දැක්කා හරිම
දීප්තිමත් ආලෝකයක්. ඒ වගේම මගේ මියගිය සීයාවත් මං දැක්කා. මගේ මව්පියන්
දිහා ඈත තිබුණු කවුළුවකින් බලාගෙන ඉන්නවා කියලයි මට හිතුණේ. ඒක
හීනයක්ද, හැබෑවක්ද කියන්න මං දන්නේ නැහැ. නමුත් මට තේරුණා මට ජීවිතය
දාලා යන්න බැහැ කියලා. මගේ සිරුර පවා ජීවිතය රැකගන්න ලොකු සටනක යෙදිලයි
හිටියේ…”
ක්ලෙයාර් ඒ විදියට ජීවිතය රැක ගන්න දැවැන්ත සටනක නියැළෙද්දී, දිනෙන් දින අඩපණ
වෙන ඇගේ සිරුර යථා තත්ත්වයට ගෙන එන්න වෛද්‍යවරුත් දැවැන්ත අරගලයක
නියැලිලා හිටියා. ඒත් එක්කම ඉතාම අවාසනාවන්ත විදියට ස්වභාවයෙන්ම දුර්වල ඇගේ
හදවත මත අමතර පීඩනයක් ඇති කරමින් ඇගේ අවයව එකින් එක ක්‍රියා විරහිත
වෙන්නත් පටන් අරගෙන තිබුණා. පාදවල රුධිර ගමනාගමනය මුළුමනින් ම ඇණහිට
තිබුණු නිසා පටක මිය යෑමටත් පටන්ගෙන තිබුණා. ඒ මොහොතේ ක්ලෙයාර්ගේ පාද
දෙකම කපා ඉවත්කිරීම හැර අන් විකල්පයක් වෛද්‍යවරුන්ට තිබුණේ නෑ. සැත්කමකින්
පාද කපා ඉවත් කිරීමට සිදුවන බව කියන අසුබ ආරංචිය ක්ලෙයාර්ට දන්වන්න ඇගේ
සයනය වටා වෛද්‍යවරුන් රොක්වුණේ තරමක් අපහසුවෙන්. නමුත් ඇගෙන් ලැබුණු
ප්‍රතිචාරය නිසා ඒ සියලුදෙනාම පුදුමයට පත්වුණා.
“මගේ ජීවිතය බේරාගන්න මගේ පාද ඉවත් කරන්නට ගත්තු තීරණය ගැන මම
එයාලාට ස්තූති කළා. මට කෘත්‍රිම පාද ලබාගන්න පුළුවන් නේද කියලත් මම ඒ
වෙලාවේ මගේ වෛද්‍යවරුන්ගෙන් ඇහුවා.”
ක්ලෙයාර්ගේ අම්මා කිම්බර්ලි ස්මිත් කියන්නේ දියණියගේ මේ ප්‍රතිචාරයෙන් වෛද්‍යවරුන්
ඇතුළු සියල්ලන්ම විස්මයටත් කම්පනයටත් පත්වුණා කියලයි.
දෙපා අහිමිවීම කියන්නේ ජිවිතයත් මරණයත් අතර ක්ලෙයාර් නියැළී සිටි අරගලයේ එක්
අදියරක් විතරයි. ඊට අමතරව රෝහල්ගත ව සිටි කාලයේදී ඇය මිය යා හැකි තවත්

හේතු බොහොමයක් තිබුණා. රෝගී අවධියේදී නිසි ලෙස ආහාරපාන නොලැබීම නිසා දැඩි
ලෙස මන්දපෝෂණයට ලක්ව සිටි ක්ලෙයාර්ට ආහාර ලබාදීම සිදුකෙරුණේ නාසය හරහා
යෙදු බටයක ආධාරයෙන්. ඒ නොයෙක්වර ඇය වමනය කළේ ඇගේ කුඩා අන්‍ත්‍රයට
විශාල වශයෙන් හානි සිදුකරමින්. ඒ වගේම මන්දපෝෂණයට ලක්වූ සිරුරකට ආහාර
හඳුන්වා දීමට පටන් ගත් කල සිරුරේ තරල, විද්‍යුත් විච්ඡේද්‍ය හා ඛනිජ වර්ගවල
සමබරතාව ගිලිහී ගිහින් හදිසි කම්පන, සිහිසුන්වීම වැනි තත්ත්ව හටගැනීමත් මෙම
රෝගයේ ලක්ෂණයක්. කඩිනමින් ප්‍රතිකාර නොලැබුණහොත් අවයව අඩපණ වී, රෝගියා
මරණයට පත්වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ක්ලෙයාර් මුහුණ දීලා හිටියේ ඒ වගේ
අවදානම් සහගත තත්ත්වයකට.
ඒ හැරුනම අධික රුධිර වහනය නිසා ඇයට කිහිපවරක් රුධිර පාරවිලයනය කිරීමටත්
සිද්ධවුණා. ක්ලෙයාර් වැනි රෝගී කපාට සහිත හදවතක් තිබූ අයකුට එය අතිශයින්ම
අවදානම් සහගත අවස්ථාවක්. ඒ අධික පීඩනයකින් සිදුකෙරෙන පාරවිලයනය රෝගී
හදවතකට දරා ගැනීම අසීරු නිසයි. මීට අමතරව ඇය Refeeding Syndrome නමැති
සංකූලතාවයෙනුත් පෙලෙන්නියක් වුණා.
මේ සියලු ජීවිත අවදානම් මැද්දෙ ක්ලෙයාර්ට තවත් දරාගැනීමට අමාරු සිද්ධියක් වුණා.
ඒ තමයි ඇගේ හිසකෙස් පොකුරු පිටින් ගැලවී යාමට පටන්ගැනීම. ඇය මුහුණ දී සිටි
මන්දපෝෂණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙසයි එහෙම දෙයක් සිද්ධ වුණේ.
“මගේ කොණ්ඩේ පොකුරු පිටින් ගැලවිලා අතට එන්න පටන්ගත්තා. එහෙම
ගැලවිලා එනකොට මට අඬන්නේ නැතිව ඉන්න බැරි වුණා. ඒක වළක්වන්න තියෙන
එකම ක්‍රමය කොණ්ඩේ සම්පූර්ණයෙන් බූ ගාලා දාන එක කියලා මං දැනගෙන හිටියා.
මං එහෙම කරනවා කියලා මගේ මල්ලිට කිව්වාම, දෙපාරක් හිතන්නේ නැතිව එයාත්
කිව්වා එයාගේ කොණ්ඩෙත් බූ ගාලා දානවා කියලා. අන්තිමේදි මගේ ළඟින් හිටපු
හැමෝම එයාලගේ කොණ්ඩ බූ ගෑවා. ඇත්තටම ඒක අපිට හරිම විනෝදාත්මක
අත්දැකීමක් වුණා. අනික මට හැමදාමත් ඕනේ වෙලා තිබුණා ජීවිතේ එක පාරක් හරි
කොණ්ඩේ බූ ගාන්න. ඉතිං ඒක මට හොඳ අවස්ථාවක් වුණා.”
ක්ලෙයාර්ට විඳීමට සිදුවූ දුක්ගැහැට එතැනින් කෙළවර වුණේ නෑ. ඇගේ රෝගී හදවත ඒ
වනවිට දීර්ඝකාලීන රෝගී තත්ත්වය හේතුවෙන් බෙහෙවින්ම අඩපණ වෙලයි තිබුණේ.
ඉතාම ඉක්මනින් ඇයට අලුතින් සංස්ථානික ධමනි කපාටයක් බද්ධ කළ යුතුව තිබුණා.
ක්ලෙයාර්ගේ සැත්කම සඳහා ඇගේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වුණේ මවුන්ට් සීනායි
රෝහලේ හදවත් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරක් වුණු එල් හැමම්සි. ඔහු ‘රොස්
ක්‍රමවේදය’ ලෙස හැඳින්වුණු විශේෂිත සංස්ථානික ධමනි කපාට ප්‍රතිස්ථාපන සැත්කම්
සම්බන්ධයෙන් නම් දැරූවෙක්.

රොස් සැත්කමකදී බද්ධ කෙරෙන්නේ රෝගියාගෙන්ම ලබාගත් කපාටයක් නිසා ජීවිත
කාලය පුරාම රුධිර තුනීකාරක භාවිත කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නෑ. ඒ
වගේම හදිසි රුධිර වහන, රුධිර කැටිගැසීම් හා ආඝාත හටගැනීමේ අවදානමත් අඩුයි.
වෛද්‍ය හැමම්සිට ක්ලෙයාර් මුණගැසෙන විට ඇය සිටියේ ඉතාම දුර්වල තත්ත්වයක. ඒ
වනවිට ඇගේ බර රාත්තල් පනස්හතක් පමණයි. මාස හයක් වැනි කෙටි කාලයකදී ඇය
පූර්ණ නීරෝගි තත්ත්වයට පත්වේවි කියලා වෛද්‍ය හැමම්සි කිසිවිටෙකත්
බලාපොරොත්තු වුණේ නෑ. නමුත් කිසිවක් ඉදිරියේ බිඳ නොවැටෙන ඇගේ ධනාත්මක
චින්තනය හා සුබවාදීත්වය ගැන වෛද්‍යවරුන් පවා පුදුම වුණා. ඇය ඉතාම සාර්ථක
අයුරින් හදවත් කපාට සැත්කමට මුහුණ දුන්නා.
ඒ විතරක් නෙවෙයි මාස කිහිපයක පුනරුත්ථාපනයකින් පස්සේ කෘත්‍රිම පාදවලින්
ඇවිදීමටත්, ඒවා ආධාරයෙන් යළිත් වරක් පෙර පරිදි ඇගේ ප්‍රියතම විනෝදංශය වූ
ගල්පර නැඟීමටත් ක්ලෙයාර් පුහුණු වුණා. ඇයගේ මීළඟ බලාපොරොත්තුව වෙන්නේ
කාබන් තන්තුවලින් තැනූ J හැඩයේ කෘත්‍රිම පාද යුවළක් ආධාරයෙන් ධාවන පථයක
දුවන්නයි. ඒ වගේම සිය කෘත්‍රිම දෙපා ඇතිව යළිත් වරක් ඇය නිරූපණ වේදිකාවටද
පියමැන අවසන්.
“මං හැමදාමත් ක්ලෙයාර්ට කිව්වා එයාට ප්‍රතිකාර කරන්න ලැබීම මට ලැබුණු
වරප්‍රසාදයක් කියලා. ක්ලෙයාර් තරම් ජීවිතය දිහා සුබවාදීව බලන කෙනෙක් මට
තාමත් මුණගැහිලා නැහැ. අදටත් මං මගේ ජීවිතයේ දුෂ්කර අවස්ථාවක් ආවම මතක්
කරන්නේ ක්ලෙයාර්. සතුට හා ධනාත්මකවීම කියන්නේ එක්තරා ආකාරයක
තෝරාගැනීමක්. ක්ලෙයාර් ඒ තෝරාගැනීම කළා.” වෛද්‍ය හැමම්සි ක්ලෙයාර් ගැන
කියන්නේ එහෙමයි.
ඩී.පී.වේවැල්පනාව