සරසවියට යන පාරේ කහ විකුණන ඒ හේමා’වී
කොළඹ ජීවත්වන කෙනෙකුට ගම මෙන් සිතා ඇවිද යා හැකි නගරයක් වේ නම්
ඒ මහරගම යැයි මට සිතේ. ගමේ ආරෙට පිහිටි කඩමණ්ඩියත්, පළින් පළ වූ
කුඩා රෙදිකඩත්, ඒ අතරතුර පිහිටි සරුවත් කඩත් නිසා මහරගමදී කෙනෙකුට ඒ
ගැමි පුසුඹ දැනීම අරුමයක් නොවේ. ගමේ නොයනා නිවාඩු දිනවලට හේතුවක්
ඇතුව හෝ නැතුව මා ද මහරගමට යන්නේ ඒ හැඟීම විඳගන්නටය. මහරගම
නගරයේ ඇති අවන්හල්, කඩසාප්පු, වඩේ කරත්ත සේම ලංකා බැංකුව අසළ
පිහිටි සරසවි පොත්හළ ද මට හුරුපුරුදු තැන්ය. පොතක් දෙකක් මිල දී ගත්තත්
නැතත් සරසවි පොත්හළට ගොඩ වී එහි ඇති පොත් අතපත ගා නැවුම්
පොත්වල සුවඳ බලා ඒම ද වෙනමම ආනන්දයක් බව දන්නේ පොත් කියැවීමෙහි
රුසියන් පමණි. නමුත් පසුගිය සතිඅන්තයේ එහි ගොස් පොත්වල සුවඳ බලන්නට
මත්තෙන් සරසවි පොත් සාප්පුව අසලින් හමා ආ ඉඟුරු කොත්තමල්ලි සුවඳට
අවනතව මඳක් මා එහි නතර වුණෙමි.
එසේ සුවඳ හමන අමුකහ, ඉඟුරු, ගොරකා හා කුරුඳු වැනි කුළුබඩු තේක්ක
ලෑල්ලක් මත තබාගෙන උන්නේ වියපත් අම්මා කෙනෙකි. අතරින් පතර සුදුව ගිය
හිසකෙස් මැදින් බෙදා පීරා හුන් ඇය මා හා සිනාසී “හා එන්න හාමිනා මොනවද
ඕනෑ” යැයි ඇසුවාය. යමක් මිල දී ගැනීමට මෙන්ම ඊටත් වඩා මට අවැසි වුණේ
වයසින් වියපත් වුණත්, වියපත් නොවුණු ඇගේ හිතේ හයිය ගැන ඔබට
කියන්නටය. ඒ නිසා ඈ සමඟ කළ සංවාදයේ සටහන මෙසේ ගොනුකර තබමි.
“මගේ නම හේමා. වයස අවුරුදු 71යි. හැබැයි මැණිකේ මම මේ මහරගම
එන්න පටන්ගන්නේ අවුරුදු 30දී. උදේ පාන්දර පාදුක්කේ ඉඳන් බස් එකේ මේ
බඩු අරගෙන ඇවිත් මහරගම පොලිසිය ගාවින් බැහැලා ඉතුරු ටික පයින්
එනවා. දැන් මම තනියම ඔය ගමන ආවට ඉස්සර මහත්තයත් මාත් එක්ක
ආවා.”
නමුත් දෙදෙනා එකට පැමිණි ගමන අද හේමාට තනිව එන්නට සිදුව ඇත්තේ
බස් ගාස්තු අහස උසට නගිද්දී එය දැරිය නොහැකි වූ නිසාය. ඔහු නාවත් හේමා
බඩු විකුණා එනතෙක් හැකි පමණින් කුළුබඩු, එළවළු හා පලතුරු වර්ග සොයා
ඒවා ලකලෑස්ති කර තැබීම ඔහුගේ කාර්යය වී තිබුණි.
“අවුරුදු කිහිපයක් යද්දී මහත්තයා ටික ටික අසනීප වෙන්න පටන්ගත්ත
නිසා ඒ හැමදෙයක්ම මටම තනියම කරගන්න සිද්ධ වුණා. ඒත් මම ගමන
අතහැරියේ නැහැ. මොකද දරුවෝ හතරදෙනාගෙ බඩගිනි නිවන්න, මගේ
අම්මා වගේම මහත්තයා බලාගන්නත් මට පුළුවන් වුණේ මේ රස්සාව නිසයි.
හැබැයි පහුවෙද්දී ගමේ කිහිපදෙනෙක්ම බඩු එකතු කරලා දීලා මට උදව්
කළා. මහත්තයා ලෙඩ වෙන්න කලින් මට මතකයි මමයි, මහත්තයයි
පාදුක්කේ ඉඳන් දුර ගෙවාගෙන කළුතරට යනවා පලතුරු හොයන්න. ඒ මට
මතක එක දවසක් විතරයි. වෙළඳාම් කරපු අවුරුදු 41ටම ඒ වගේ දවස්
ඕනෑතරම් තියෙන්න ඇති.”
අනන්තවත් බාධක කම්කටොලු ආවත් ලද දෙයින් සැනසී ජීවිතය සතුටින්
දරන්නට ඇයට වුවමනා වී තිබිණි. යානවාහන, මිලමුදල් යහමින් නොතිබුණත්
ජීවිතයට දොස් නොනගා කාටත් අත නොපා දරුවන්ගේ ද ඇස් පාන්නට ඇයට
හැකි වී ඇත්තේ ඒ නිසාය.
“දරුවෝ ටික ටික ලොකු වුණාට පස්සේ මුලින්ම දුවලා තුන්දෙනා විවාහ
වුණා. හැබැයි පුතා හොඳට ඉගෙනගත්තා. ඉතිං ඒ ගැන මට තියෙන්නේ වචන
කරන්න බැරි තරම් සතුටක්. දැන් මං මේ කීයක් හරි හම්බ කරගන්න එන්නේ
මගේ මුනුබුරෝ මිනිබිරියන් වෙනුවෙන්. මට පුළුවන් හැටියට පොතක්පතක්
අරගෙන දීලා ඒ අයගේ ඉගෙනීමේ වැඩවලට උදව්වක් වෙන එක තමයි දැන්
මගේ සතුට .”
හේමා නැන්දාගේ සතුට දරුවන් හොඳින් සිටිනු දැකීමය. ඒ වෙනුවෙන් ගව් ගණන්
දුර ගෙවා ගොස් දහඩිය පෙරාගෙන ඈ බඩු විකුණන්නීය. යමෙකුට එය දුකක්
ලෙස පෙනුණ ද හේමා නැන්දාගේ එකම සතුට එයය. ඇය ඇගේ සතුට වෙනුවෙන්
මහන්සි වන්නීය.
“අද වෙනකන් ගේ දොර හදාගත්තේ, දරුවන්ට ඉගැන්නුවේ වගේම පිංදහම්
කරගත්තේත් මේ රස්සාවට පිංසිද්ධ වෙන්නයි. මේ රස්සාවට හුරුවුණාට
පස්සේ ඒක අතහරින්න හිතුණෙම නැහැ. ලෙඩක් දුකක් හැදුණොත් නතර
වුණොත් මිසක් කවදාවත් නෑවිත් ඉඳලත් නැහැ. ඉස්සරහටත් ඒක වෙනසක්
වෙන එකක් නෑ.”
ක්‍රම ක්‍රමයෙන් තම අතේ සල්ලි ගැවසෙද්දී ඕනෑම අයෙක්ට සිතෙන්නේ ඒවා
වියපැහැදම් කරන්නටය. නමුත් හේමා නැන්දා එකී ප්‍රතිපත්තියේ නොසිටියාය.
අවශ්‍ය දේට පමණක් වියදම් කරන්නට තරයේ අදිටන් කරගෙන තිබුණි.
“අනවශ්‍ය වියදම් නොකරන නිසා කඩෙන් කෑමබීම වැඩිය ගැනෙන්නේ නැහැ.
ඒ නිසාම ද මන්දා වයසට ගියා වුණත් මම අද වෙද්දී නීරෝගීව ඉන්නවා. මීට
අවුරුදු කිහිපයකට කලින් මහත්තයා නැතිවුණා. ඔහු වෙනුවෙන් පිනක්දහමක්
කරගෙන දරු මිනිබිරියොත් මට පුළුවන් හැටියට රැකබලාගෙන ඉන්න එක
තමයි දැන් මගේ එකම බලාපොරොත්තුව. තව කෙනෙක්ට වුණත් මට
කියන්න තියෙන්නේ තමන්ගේ අතේ සල්ලි නැහැ කියලා කාටවත් අතපාන්නේ
නැතුව මෙහෙම දෙයක් හරි විකුණලා අතට කීයක් හරි ගන්න බලන්න.
තමන්ම මහන්සිවෙලා උපයන දේ තරම් වටින දෙයක් තවත් නැහැ.”
නෙත්මි තෂාරා