අවුරුදු 82ක් වුණාට මෙහෙමත් නැටිල්ලක්
ඒක මුළු සරුවාංගයම සලිත වෙලා යන විදියේ හරි අපූරු ගැටබෙර පදයක්. මම
දන්න තරමින් කොහොඹා කංකාරියට ගහන්නෙත් ඒ පදේ. දෙතුන් විඩක්ම
කොහොඹා කංකාරියක් දැකලා තිබුණු හින්දා ඒක මට නිච්චියටම කියන්න
පුළුවන්. හැබැයි මේ කියන මොහොතේ කැමරාව එල්ලවෙලා තියෙන්නේ ඒ
ගැටබෙර හඬ එන දිශාවට නෙත් යොමා ඉන්න වැඩිහිටි කාන්තාවක් දිහාවට.
සාරියකින් සැරසිලා ඉන්න ඇයට බැලූ බැල්මට වයස 80ට වැඩි මිසක් අඩු නම්
නෑ. හැබැයි වයස පැත්තකින් තියලා ඇය ගැටබෙර පදේට ඉඳගෙන ඉන්න පුටුව
උඩම ඉඳගෙන කස්තිරමක් අල්ලනවා. මුලින්ම ඇය පටන්ගන්නේ තාලෙට ගහන
අත්පුඩියෙන්. බෙර පදේ සද්දේ වැඩිවෙන්න වැඩිවෙන්න ඇයට අත්පුඩි ගහලා
නිකන් ඉන්න බෑ. හරියට ආවේශවෙලා වගේ ඇය හරි ගැම්මෙන් අත්පුඩි ගහන්න
ගන්නවා. ඒ අත්පුඩිය අස්සෙනුත් බෙර පදේට සමවැදුනු ඇගේ මුළු ඇඟම ඇයට
හොරා හරි අපූරුවට නැටවෙනවා. ඒත් මදි. ඒ අස්සේ ඇයට පුටුවෙනුත්
නැගිට්ටෙනවා. ඊළඟට නට නටත් සද්දෙට අත්පුඩි ගහනවා. අත්පුඩි මැද්දෙන්ම
සද්දෙට කෑ ගැහෙනවා. ඒක බලාගෙන ඉන්න හරි අපූරු දර්ශනයක්. මට
හිතුණෙම ඊළඟ මොහොතේ ඇය සාරිය පිටින්ම එතැන පිනුමකුත් ගහයි කියලා.
හැබැයි එච්චර හරියක් බලන්න වෙන්නේ නෑ. ඒ වීඩියෝව එතැනින් අවසන් වෙන
හින්දා.
මම ඔය කිව්වේ මේ දිනවල සමාජ මාධ්‍යයේ ඉතාම ප්‍රසිද්ධ වීඩියෝවක් ගැන. මේ
වෙද්දිත් ඔබ ඒක දෙතුන් විඩක්ම බලලා ඇති. දන්න තරමින් ඒක බලලා “ඒ
තමයි නර්තනය ඇඟේ තියෙන මිනිස්සු” කියලා බොහෝමයක් උදවිය කිව්වට
මොකද ඒ අතරේ “වයසට නෙවෙයිනේ එවුන්දැගේ වැඩ” වගේ කතා කියපු
උදවියත් නැතුව නෙවෙයි. කොහොමින්හරි මොකක්හරි උත්සවයක් අතරතුරේ
තිබුණු නැටුමක් වෙලාවකදි ගනිපු ඔය වීඩියෝව සමාජ මාධ්‍ය තුළ අතිශය
ප්‍රසිද්ධවීමත් එක්ක ‘ඇය කවුද’ කියන වග අපේ රටේ බොහෝදෙනෙක් හොයන්න
ගත්තා. ඒත් ඔවුන්ට ලැබුණේ විවිධ උත්තර. ඒක නිසා අපි ඇයව හොයාගෙන
පසුගියදා ඇයගේ ගම්පළාතට ගියා. ඒ දළඳා වහන්සේ වැඩ ඉන්න ඓතිහාසික
කන්ද උඩරටට. ඇගේ නම අමුණුගම වෛද්‍යවතී රාජපක්ෂ. ගම මහනුවර
අමුණුගම. හැබැයි අපිට ඇයව මුණගැහුනේ පල්ලේකැලේ 'SIBA' විශ්වවිද්යලයේදි.
ඒ නිසා ඇය එක්ක කතාබහට මුලපිරුවෙම එතැනින්.
“මේ වෙනකොට මම මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංග දෑල
නිලමේතුමන්ගේ මගපෙන්වීම යටතේ එතුමා ආරම්භ කළ පල්ලෙකැලේ SIBA විශ්වවිද්‍යලයේ උඩරට
නර්තන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් විදියට ශිෂ්‍යයින්ට උඩරට නර්තනය
උගන්වනවා.”
SIBA විශ්වවිද්‍යලයේ සේවයට පෙර ඇය දශක පහකට ආසන්න කාලයක් සේවය
කළේ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්යාලයෙලු. ඒ විතරක් නෙවෙයි ඒ අතර
කාලෙදි ඇය අනෙක් ප්‍රධාන විශ්වවිද්‍යාලවලත් බාහිර කථිකාචාර්යවරියක් විදියට
සේවය කරලා.
“මං කථිකාචාර්යවරියක් විදියට වසර 45ක් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගැන්වුවා. ඒ
අතර කාලේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා සංස්කෘතික අධ්‍යයන අංශයේ, කොළඹ
විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ
වසර ගණනක් බාහිර කථිකාචාර්යවරියක් විදියට හිටියා. ඊටපස්සේ ස්ථීර සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා
තමයි දැන් SIBA විශ්වවිද්‍යලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් විදියට වැඩ කරමින් ඉන්නේ.”
මේ වෛද්‍යවතී රාජපක්ෂ මහත්මිය කියන්නේ නර්තනය පිළිබඳ අපේ රටේ පළමු
මහාචාර්යවරියලු. ඒකත් විශේෂ කාරණයක් නිසා ඒ ගැනත් ඇයගෙන් අපි අහලා
බැලුවා.
“ඔව් මම පශ්චාත් උපාධි කළේ කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල. ඒ එක්ක තමයි මට මේ
තැනට එන්න ඉඩ ලැබුණේ. ඒ වගේමයි මගේ තාත්තලගේ පරම්පරාව ගැනත් මෙතැනදි නොකියාම බෑ.
ඔවුන් උපතින්ම නර්තනය සහ බෙර වාදනය අරගෙන ආපු අය. ඒ පරම්පරාව එන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ
රජතුමාගේ කාලේ ඉඳන්. මගේ තාත්තා තමයි සුරඹා රාජපක්ෂ කියන්නේ.”
උඩරට නර්තන සම්ප්‍රදායට ප්‍රචලිත මහනුවර රාජධානියේ අමුණුගම ග්‍රාමය
ප්‍රසිද්ධවෙන්න බලපෑ ලොකුම හේතුවක් තමයි සුරඹා රාජපක්ෂ කියන්නේ. කීර්ති
ශ්‍රී රාජසිංහ රජුගේ නම්බුනාම පවා ලැබූ කලා පරපුරකින් පැවතගෙන එන සුරඹා
රාජපක්ෂ වන වෛද්‍යවතී මහත්මියගේ පියා ගැනත් අපි ඇගෙන් අහලා බැලුවේ
ඔහුත් ලංකාවේ හිටපු ප්‍රසිද්ධ චරිතයක් හින්දා.
“තාත්තා තමයි නිල වශයෙන් ලංකාවේ පළමු කලායතනය ආරම්භ කළේ. නම මධ්‍යම ලංකා නෘත්‍ය
මණ්ඩලය. අදටත් එහි ඉගැන්වීම් සිදුකරනවා. මූලිකව එහි උගන්වන්නේ උඩරට නර්තනයත් බෙර
වාදනයත්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වගේම දෙස් විදෙස් දරුවන් බොහෝ ප්‍රමාණයක් එහි අධ්‍යාපන
ලබනවා.”
පල්ලෙකැලේ SIBA විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් විදියටත් සේවය කරන
අතරවාරේ වෛද්‍යවතී මහත්මිය තම පියා ආරම්භ කළ අමුණුගම මධ්‍යම ලංකා
නෘත්‍ය මණ්ඩලයෙත් ඉගැන්වීම් කටයුතු සිදුකරනවලු. ඒ එක්ක කොයිතරම්
කාර්යබහුල වුණත් නර්තනයත් එක්ක කටයුතු කරන්න ලැබීම සතුටක් කියලයි
82 හැවිරිදි ඇය ‘ධරණී’ට කිව්වේ.
“කාලෙත් එක්ක සම්ප්‍රදායික නර්තනාංග වගේ දේවල් වෙනස් වෙලා තියෙනවා. ඒ වුණත් ඒ දේවල්
අභාවයට ගිහිල්ලා නැති එකට සතුටුයි. ඔය කංකාරි වගේ දේවල් නම් දකින්න නැතිවුණාට පෙරහර වගේ
උත්සව එක්ක නර්තනාංග වෙනස් වෙවී හරි අභාවයට නොගිහින් අදටත් තියෙන එක සතුටට කාරණයක්.”
වෛද්‍යවතී මහත්මිය ඒ උත්තරය දුන්නේ අද වෙද්දි උඩරට නර්තනයට ගිහින්
තියෙන කලදසාව ගැන අහපු ප්‍රශ්නයට පිළිතුරක් විදියට. ඒ අතරෙයි මේ දිනවල
ෆේස්බුක් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍යවල ජනප්‍රිය වෙලා තියෙන ඇගේ අර
වීඩියෝව පිටුපස කතන්දරය මොකක්ද කියලත් අපට අහලා බලන්න හිතුණේ.
“පසුගිය නොවැම්බර් 01 වැනිදා රෑ SIBA කැම්පස් එකේ ඉගෙනගන්න ශිෂ්‍යයින් කොහොඹා
කංකාරියක් කළා. ඒක යන අතරවාරයේ කවුරු හරි ශිෂ්‍යයෙක් මාව වීඩියෝ කරලා ෆේස්බුක් එකට දාලා.
ඒක ඔය ජනප්‍රිය වෙලා තියෙන්නේ. සමහරු නම් ඒක විවේචනය කරලත් තිබුණනේ.”
*ඔබ වගේ කෙනෙක් විවේචනයට ලක්වූ එක ගැන මොකද හිතෙන්නේ?
“අපි කලාකරුවොනේ. අපිට අගයකිරීම් වගේම විවේචනත් ඉවසන්න පුළුවන්. ඒ වුණාට ඒකෙ විවේචනය
කරන්න දෙයක් තිබුණේ නෑ. මං එතැනදි කෙරුවේ නටන අයව ධෛර්යමත් කරපු එක. ඒ අය එක දිගටම
නටලා සෑහෙන්න මහන්සිවෙලා හිටියේ. මං කළේ හයියෙන් අත්පුඩියක් එහෙම ගහලා එයාලට නටන්න
යම්කිසි උත්තේජනයක් දීපු එක. නරඹන අයගේ ප්‍රතිචාර උඩයි එයාලටත් කම්මැලි නොවී නටන්න
හිතෙන්නේ. එයාලට නටන්න දීලා අපි ඇස් කන් පියන්, අත් බැඳගෙන හිටියා නම් ඔවුන්ටත් එපා වෙනවා. ඒත්
මං එදා අර විදියට කරපු එකෙන් එතැන හිටපු හැමෝම ඔවුන්ට ලෝබ නැතුවම අත්පුඩි ගැහුවා. ඒක
නර්තනයේ යෙදුනු අයට නර්තනයේ යෙදෙන්න ඉතා ලොකු උත්තේජනයක් වුණා.”
*ඔබත් ඔබේ ඒ වීඩියෝව දකින්න ඇති?
“ඔව් ඔව් මමත් කීපසැරයක්ම බැලුවා.”
අපි මුලින් කියපු විදියට වෛද්‍යවතී මහත්මියට දැන් අවුරුදු 82ක්. ඒත් තාම ඇයට
මේ නර්තන කලාවට සමුදෙන්න හිතක් නෑ. ඇයගේ ආසාව ජීවිතේ ඉතිරි ටික
කාලයත් මේ නර්තනය වෙනුවෙන්ම යොදවන්න. කතාබහට සමුදීමේ අදහස
ඇතුව අපි ඇගෙන් අහපු අවසන් ප්‍රශ්නේ වුණෙත් ඒක.
“82 කියන්නේ මගේ අයිඩින්ටි කාඩ් එකේ වයස. ඒත් මට තාම 82ක් කියලා දැනිලා නෑ. මට තාමත් හොඳට
උඩපැනලා නටන්න පුළුවන්. ඒ වගේමයි මට බෙරේ ගහන්නත් පුළුවන්. මට වයස කියන්නේ ඉලක්කමක්
විතරයි. ඒක මම එච්චරටම ගණන් ගන්නේ නෑ.”
වෛද්‍යවතී මහත්මිය අපට එහෙම කිව්වේ හිනාවෙන ගමන්. ඒ වෙලාවෙයි මට
හිතුණේ කලාවකට මිනිස්සු කොයිතරම් දුරකට තරුණ කරන්න පුළුවන්ද කියලා.
රුවන් එස්.සෙනවිරත්න