පුංචි කාලේ නම් කවුරු ඇහුවත් කිව්වේ හින්දි නිළියක් වෙනවා කියලා – නයෝමි තක්ෂිලා
පුංචි කාලේ හින්දි චිත්‍රපට නරඹපු පුංචි කෙල්ලකට හිතුණලු ලොකුවෙලා
නිළියක් වෙන්න. ලොකුවෙලා කවුද වෙන්නේ කියලා ඉස්කෝලෙ ටීචර්ලා
ඇහුවමත් මේ කෙලි පොඩ්ඩ කියාපි “ටීචර් මං හින්දි නිළියක් වෙනවා” කියලා!
එදා පුංචිකමට එහෙම කියපු ඒ දැරිවි දැන් රටම දන්න නිළියක්. නිකන්ම
නිකන් නිළියක් නෙවෙයි, සම්මානලාභී නිළියක්. බොහෝමයක් නිළියන් රංගන
ක්ෂේත්රයට පිවිසිලා කවදාහරි ගන්න බලාගෙන ඉන්න ‘හොඳම නිළිය’ කියන
සම්මානය පවා රංගනයට පිවිසී අවුරුදු 4ක් ඇතුළත ඇය ලබාගත්තා. වරක්
නොවෙයි දෙවරක්ම. ඉතින් මේ සම්මානලාභී නිළිය වෙන කවුරුත් නෙවෙයි,
නයෝමි තක්ෂිලා. අද අපේ මේ කතාබහ ඇය එක්ක.
*ඉතින් මේ දවස්වල රංගන කටයුතු එහෙම කොහොමද?
මගේ අලුත්ම ටෙලිනාට්‍ය තමයි ‘R.A.T’ කියන්නේ. නොවැම්බර් 30 වැනිදා ඉඳන්
ස්වාධීන රූපවාහිනියේ ඒක විකාශනය වෙනවා.
*ඒ ටෙලිනාට්‍යයේ නයෝමි රඟපාන චරිතය ගැන කිව්වොත්?
මගේ චරිතය එරන්දි. තාම ටෙලිනාට්‍යය පටන් අරන් වැඩි දවසක් නැති නිසා
ඊට වැඩිය දෙයක් මම නොකියා ඉන්නම්. ඒත් මේක වෙන ටෙලිනාට්‍යවලට
වැඩිය සෑහෙන්න වෙනස් කියලා කියන්න පුළුවන්.
*නයෝමි රංගන ක්ෂේත්රයට ඇවිදින් දැන් ලොකු කාලයක් නේද?
ඔව්. මගේ පළවැනි ටෙලිනාට්‍යය 2015 අවුරුද්දේ ස්වර්ණවාහිනියේ විකාශනය
වුණු ‘මීදුම් අම්මා’ ටෙලිනාට්‍යය. එහෙම බැලුවම මේ ගෙවෙන්නේ නිළියක්
වෙලා නවවැනි අවුරුද්ද.
*ඒ කාලේ ඇතුළත අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද?
එක සැරයක් ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ රූගතකිරීමක් තිබුණා කැලේක. එදා
මගේ කකුලේ උලක් ඇනුණා. ඒ වෙලාවේ ඒක ලොකුවට ගණන් ගත්තේ නෑ.
ටික දුරක් ගිහින් බලද්දි හොඳටම තුවාලවෙලා. එදා ඒකට මැහුම් පහක්
දැම්මා. ඒක අමතක වෙන්නේ නෑ.
*නයෝමිට නිළියක් වෙන්න හිතුණේ මොකද?
මං පොඩි කාලේ අපේ ගෙදර ඩෙක් පීස් බලන ප්ලේයර් එකක් තිබුණා. ගෙදර
අය ඒකෙන් චිත්‍රපට බලද්දි මාත් බලනවා. එහෙම බලලා තමයි මටත් නිළියක්
වෙන්න හිතුණේ. මං හිතන්නේ එතකොට මම ඉස්කෝලේ එකේ දෙකේ
පන්තිවල වගේ හිටියේ.
*ඒ කියන්නේ පුංචි කාලේ ඉඳන් හීන දැක්කේ නිළියක් වෙන්න. එහෙමද?
ඔව්. ඉස්කෝලෙදි ටීචර්ලා ලොකුවෙලා කවුද වෙන්නේ අහද්දි මම කිව්වේ
හින්දි නිළියක් වෙනවා කියලලු.
*එහෙම කියපු නිසා යාළුවෝ එහෙම විහිලු කරන්නත් ඇති නේද?
(සිනාසෙමින්) පොඩි පන්තිවලදි එහෙම කියපු නිසා එයාලට නම් එච්චර
ගාණක් නෑ. ඒත් ටීචර්ස්ලා නම් මට ‘හින්දි නිළිය’ කියපු අවස්ථා තිබුණා.
*පාසල් යන කාලේ වැඩිපුරම හිටියේ නැටුම් කාමරේ කියන්නේ ඇත්තද?
(සිනාසෙමින්) ඔව් ඔව්. ඒ කාලේ නටන්න තිබුණොත් ඊට වඩා දෙයක් නෑ. ඒ
කාලේ ඉස්කෝලේ තිබුණු කොන්සර්ට්වල එහෙම මං නැති නැටුමක් තිබිලා
නෑ. ඒ තරම්ම නර්තනයට කැමැත්තක් තිබුණා. කාලයත් එක්ක ඒක
මගඇරුනා.
*කොහොම හරි අන්තිමේදි නයෝමි සම්මානලාභී නිළියක් වුණා?
ඔව් 2015දි යෞවන සම්මාන උළෙලේ හොඳම නිළිය, 2019දි සුමති සම්මාන
උළෙලේ හොඳම නිළිය, 2022දි රයිගම් සම්මාන උළෙලේ හොඳම සහය නිළිය
සහ ඒ වසරේම සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය කියන සම්මාන
හිමිවුණා.
*මේ වසරේ සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය
යන සම්මාන දෙකටම නිර්දේශවෙලා තිබුණා නේද?
ඔව්. ඒ සම්මාන දෙකට එකවර නිර්දේශ වෙන්න ලැබීම භාග්‍යයක්. මට
සම්මාන දෙකම එකවර ලබාගන්න බැරිවුණත් ඒ විදියට නිර්දේශ වීම ගැන
සතුටු වෙන්න පුළුවන්.
*රඟපාන අතරේ ව්‍යාපාර කීපයකුත් කරනවා කියලා ආරංචියි. ඇත්තද?
ඔව්. මේ වෙනකොට ඇඳුම් ව්‍යාපාරයක් සහ නිල්මානෙල් ව්‍යාපාරයක් කරගෙන
යනවා.
*‘නිල්මානෙල්’ ව්‍යාපාරයක් කිව්වේ?
අපි අක්කර දහයක වගේ නිල්මානෙල් වගාකරලා තියෙනවා. ඒවා අපි ඔයිල්
කරලා හරි වේළලා හරි පිටරට යවනවා.
*නයෝමි ළඟකදි ලොරියක් එහෙම පැද්දේ නැද්ද?
(සිනාසෙමින්) ඉස්සර අපේ තාත්තා ගාව ලොරියක් තිබුණා. මටත් ඒක
එළවන්න පුළුවන්. මට මතකයි මං එළවද්දි ලොරිය පිටිපස්ස එහෙ මෙහෙ
වැදිලා ඒක රවුම් වෙලා තිබුණේ. හැබැයි ළඟකදි මම ලොරි පැදලා නෑ.
*පවුලේ විස්තර ටිකක් කිව්වොත්?
මගේ ගම අනුරාධපුර නෙල්ලිකුලම. මට ඉන්නේ අම්මා, තාත්තා ඇරුනම
අයියයි අක්කලා දෙන්නයි.
*දැන් ඉතින් කලවයසත් හරි නේද?
(සිනාසෙමින්) ඔව්. දැන් මං පෙම්වතියක්.
රුවන් එස්.සෙනවිරත්න