මියැදෙන්න මොහොතකට පෙර ලොව වටා පියාසර කළ කිරිල්ලී
යෝධ කුරුල්ලන් පවා අත්ලාන්තික් සාගරයට ඉහළින් පිහිටි අහසේ පියාසර
කිරීම අභියෝගයක් විදියට දැකපු යුගයක ඊට ඉහළින් පියාසර කළ මුල්ම
කිරිල්ලිය ගැනයි මේ කතාව. මේ කිරිල්ලිය තමයි ලෝකප්‍රකට ගුවන් නියමුවරියක්
වන ඇමීලියා එයාහාට්. ගුවන්යානයක් සියතට ගැනීමේ ‘උණ’ වැළඳුනු දා පටන්
ඇය කළ කී බොහෝ දේ අරමුණු ජයගැනීමේ වීර්යය ඌණ වූ අයට ඉතාම හොඳ
ඌණපූරණයක් වෙයි කියලා හිතලයි අපි මේ කතාව කියන්නේ.
ඒ 1920 අවුරුද්දේ දවසක්. ත්‍රාසය, භීතිය කැටිවුණු දේවල් දකින්න කවදත් ආශා
කරපු ඇමීලියා එදා සිය මිතුරියක් එක්ක ගුවන්යාන ප්‍රදර්ශනයක් බලන්න ගියා.
ඉතින් මේ පැමිණ සිටින යුවතියන් දෙදෙනා දැකපු එක් ගුවන්යානයක නියමුවෙක්
ඔවුන් බිය ගන්වන්න හිතලා ඔහුගේ යානය ඔවුන් අසලින්ම පියාසර කෙරෙව්වා.
හැබැයි කෙල්ලන් භීතියට පත්වීම වෙනුවට එදා සිද්ධ වුණේ වෙන දෙයක්. ඒ
විදියට ගුවන්යානයක් පදවන්න ඇත්නම් කියලා ඇමීලියාට ජීවිතේ පළවැනි
වතාවට හිතෙන්න පටන්ගත්තේ එදා. මේ ආශාව නිසාම ඇය තවත් දවසක
තාත්තාත් එක්ක ප්‍රසිද්ධ ගුවන් කරණම් ශිල්පියෙකු වූ ෆ්‍රෑන්ක් හෝක්ස්ගේ ගුවන්
සංදර්ශනයක් බලන්න ගියා. මොකක්දෝ හේතුවකට ඒ නියමුවා එක්ක
පියාසැරියක නිරත වෙන්නත් ඇයට අවස්ථාව ලැබුණා. ගුවන්යානා හැසිරවීම
තමන්ගේ ආත්මයටම බද්ධවෙච්ච දෙයක් කියලා ඇමීලියාට හිතෙන්න
පටන්ගත්තේ ඔන්න ඔය සිදුවීමෙනුත් පස්සෙයි.
හැබැයි ගුවන්යානා පැදවීම ඉගෙනගන්න එක අද වගේම ඒ කාලෙත් ලේසි නෑ. ඒ
කාලෙත් ඒක විශාල මුදලක් වැය කරන්න සිද්ධ වුණු මහා භාරදූර කාරියක්.
ඉතින් ඇමීලියාට ඒ මුදල හොයාගන්න එකත් වෙනමම අභියෝගයක් වුණා.
හැබැයි එහෙමයි කියලා ඇය තමන්ගේ සිහිනය අතහරින්න කිසිම සූදානමක්
තිබුණේ නෑ. ඇය වරෙක ඡායාරූප ශිල්පිනියක් විදියට වැඩ කළා. තවත්
අවස්ථාවක ට්‍රක් රථ රියැදුරුවරියක් විදියටත් වැඩ කළා. එයිනුත් නොනැවතී ඇය
කෙටිසටහන් තබන්නියක් විදියටත් වැඩ කළේ ගුවන්යානා පැදවීමට ඉගෙනගැනීම
සඳහා අවශ්‍ය මුදල් උපයාගන්නයි. ඉතින් ඒ විදියට මහන්සි වෙලා මුදල්
උපයාගෙන ගුවන්යානා පැදවීම පිළිබඳ පළමු පාඩම ඉගෙනගත් ඇමීලියා හය
මාසයක් යන්නත් කලින් කාටවත් හිතාගන්න බැරි දේකුත් කළා. ඒ තමයි උපයා
ඉතිරි කරගත් මුදලින් සිය ප්‍රථම ගුවන්යානය මිලදී ගැනීම. ඉතාම කෙටි කාලයක්
තුළ තම අරමුණ ජයගැනීම වෙනුවෙන් ඒ සා විශාල ධෛර්යයක් තරුණ ගැහැනු
දරුවෙකුට තියනවා කියන එකම කොච්චර වාසනාවක් ද!
ඇමීලියා මුලින්ම ඒ විදියට මිලදී ගත්තේ එක වරක් පාවිච්චි කර තිබුණු
දෙදෙනෙකුට යා හැකි කහ පැහැති ගුවන්යානයක්. ඊටපස්සේ ඒ ගුවන්යානයෙන්
විකුම් පෑමට ගත් ඇමීලියා අඩි 14000ක උසකට ළඟා වී එවකට කාන්තාවක්
විසින් අත්කරගත් ඉහළම පියාසැරි උසේ වාර්තාවත් තමන් සතු කරගන්න සමත්
වුණා.
කොහොමින් කොහොමහරි 1928 වසර වනවිට ඇමීලියා එයාහාට් තරමක්
පළපුරුදු ගුවන් නියමුවරියක් බවට පත්වෙලයි හිටියේ. ඒ කාලය වෙද්දී තරමක්
අවදානම් සහගත ක්ෂේත්‍රයක් වූ ගුවන්යානා පැදවීම සඳහා කාන්තා
සහභාගීත්වය තිබුණේ ඉතාම අවම මට්ටමක. මේ නිසාම ඇමීලියාගේ නමත්
සෑහෙන්න ප්‍රසිද්ධ වුණා. ඒ ප්‍රසිද්ධියත් එක්ක එක්තරා සමාගමක් විසින් ඇයට
හරි අපූරු, ඒත් තරමක් අවදානම්සහගත යෝජනාවක් ගෙනාවා. ඒ තමයි
අත්ලාන්තික් සාගරය හරහා පියාසර කරලා ඒ හරහා පියාසර කරන ලද ලද
ප්‍රථම කාන්තාව ලෙසින් වාර්තාවක් පිහිටුවීමට. ඉතින් කවදත් අභියෝගවලට
ආදරය කරපු ඇමීලියා මේ යෝජනාවට කැමති වුණා. ඒ අනුව මේ ගමනට
තෝරාගන්නා ලද ත්‍රි පුද්ගල ගුවන් නියමු කණ්ඩායමේ එකම කාන්තාව හැටියට
ඇයව තෝරාගැනුණා. හරි හැටි දිශා නිර්ණය කරන උපකරණවත් නොතිබුණු
ගුවන්යානයක නැගිලා, දැඩි සුළං හා වැසි සහිත අත්ලාන්තික් සාගර කලාපය
තරණය කිරීම කියන්නේ කෙනෙකුට හිතන්නවත් අපහසු අභියෝගාත්මක
ක්‍රියාවක්.
ඒත් ඒ අභියෝගය සාර්ථකව ජයගනිපු ඇමීලියා, සිය සගයින් දෙදෙනා එක්ක
1928 ජූනි 17 වෙනිදා නිව්ෆවුන්ඩ්ලන්තයෙන් ගුවන්ගත වෙලා පැය 21ක ගුවන්
ගමනකින් අනතුරුව සාර්ථකව වේල්සයේ බරී වරායට ළඟාවුණා. මේ ආරංචිය
ඉක්මනින්ම ලෝකය පුරා පැතිරී ගියා විතරක් නෙවෙයි ඒ කාලේ අමෙරිකාවේ
ජනපති වෙච්චි කැල්වින් කුලිජ්ගේ ගරු බුහුමනටත් ඇය පාත්‍ර වුණා.
මේ විදියට අවුරුදු ගණනාවක් ගුවන් වාර්තා පිළිබඳ හීන දකිමින් ඒවා සැබෑ කර
ගනිමින් සිටි ඇමීලියාට අවසානයේ ලෝකයේ ගුවන් නියමුවකුට කරන්නට හැකි
විශාලම වික්‍රමය කිරීමට අදහසක් පහළ වුණා. ඒ තමයි ‘ලොව වටා’ පියාසර
කරපු පළමු කාන්තාව බවට පත්වීමට. ඉතින් මේ සිහිනය සැබෑවක් කරගන්න
ඇය සිය මඟ පෙන්වන්නා වන ෆ්‍රෙඩ් නූනන් එක්ක 1937 ජූනි පළමුවැනිදා මියාමි
නුවරින් ගුවන්ගත වුණා. ඇයගේ උත්සාහය මල්ඵල ගැන්වෙන බව පෙන්වමින්
කිලෝමීටර 29,000ක් වූ සම්පූර්ණ සංචාරයෙන් කි.මී. 22,000ක දුරක් ආවරණය
කර ගැනීමට දින 29ක් තුළ ඔවුන්ට හැකියාව ලැබුණා.
ජූනි 29 වැනිදා නිව්ගිනියාවේ ලායි නුවරට ළඟාවෙන ඔවුන් ඊළඟට ගමනේ
අභියෝගාත්මකම කොටසට සූදානම් වුණා. ලායි නුවර සිට කි.මී. 2556ක් ඈතින්
පැසිෆික් සාගරයේ මධ්‍යයට වන්නට පිහිටි කුඩා දූපතක් වන හොව්ලන්ඩ් දූපතට
ළඟාවන්නටයි ඔවුන් සැලැසුම් කරලා තිබුණේ. හැබැයි වර්තමානයේ වගේ
පහසුකම් නැති ඒ කාලේ ඒක සැබවින්ම අවදානම්සහගත වැඩක් වුණා.
අතරමඟදී ඉන්ධන ලබාගැනීමටවත් කිසිඳු ස්ථානයක් හමු නොවන නිසාත්, දූපත
ඉතා කුඩා එකක් නිසා උඩුගුවනේ සිට දර්ශනය වීමේ අපහසුතා ඇති නිසාත්
ඇමීලියා හා සහායකයා ඒවාට හොඳින් සූදානම් වුණා. ඒ ප්‍රදේශයේ ගමන් කරමින්
තිබුණු නැව්වල විදුලි ආලෝකය පවා නිවාදමන ලෙස අමෙරිකානු ජනපති
උපදෙස් දීලා තිබුණේ ඇමීලියාට දූපතේ පහන් සංඥා එළි හොඳින් පෙනෙන්නට
ඉඩ සළස්වන්න ඕනෑ නිසයි.
ඒ තරම් පෙර සූදානමක් සහිතව ජූලි මස දෙවැනිදා උදාවෙද්දී නිව්ගිනියාවෙන්
පිටත් වූ ඇමීලියා රැගත් යානය මඳ දුරක් ගෙවා ගියත් ඒ හැමදේම වෙනස්
වෙන්න ගතවුණේ බොහොම ටික වෙලාවයි. අවදානම් වැහි වලාකුළු ගොන්නක්
තුළට යානය ඇදී ගියේ කාටවත් හිතාගන්න බැරි විදියටයි. රේඩියෝ සංඥා
ඉක්මනින්ම ඇනහිටලා ගුවන්යානය අතුරුදන් වෙද්දී අමෙරිකානු රජය
ඉක්මනින්ම බේරගැනීමේ මෙහෙයුම් දියත් කළත් අඩුම තරමේ යානය පිළිබඳ
ලකුණක්වත් හොයාගන්න ලැබුණේ නෑ. 1938 වනතුරු සෝදිසි මෙහෙයුම් දියත්
කරත් සාර්ථක ප්‍රතිඵල නොලද තැන අමෙරිකාව, ඇමීලියා එයාහාට් කියන
නිර්භීත, ධෛර්යවන්ත කාන්තාව සදාකාලික අතුරුදන් වූවන්ගේ ගොඩට දමමින්
ඒ සියලු මෙහෙයුම් අත්හැර දමන්න තීරණය කළා.
ජීවිතේ අවසානය කවදා කොහේ කොයි විදියක සිද්ධ වේවිද කියලා කියන්න අපි
දන්නේ නෑ තමයි. ඒත් ඒ අවසානයට පෙර තමන්ගේ හීන හැබෑ කරගන්න
ඇමීලියාට තිබුණු තරම් ධෛර්යයක් නම් අපි හැමෝටම තියෙන්න ඕනෑමයි.
ඩී.පී.වේවැල්පනාව