රූපලවන්‍ය

දේවතාවියක් භික්ෂුවකට හොඳටම බැනලා!

ඔන්න දවසක් අපේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ තියෙන අළගල සෑයේ වැඩ
වාසය කරපු දවසක උන්වහන්සේව බැහැදකින්න දේවතාවියක් ආවා. ඊටපස්සේ
බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳගත්තු මේ දේවතාවිය
එක්තරා භික්ෂුවකට දිගට හරහට දෙහි කපන්න පටන්ගත්තා. බැලින්නම්
දෝෂාරෝපණයට ලක්වුණු භික්ෂුව කුටියක් හදන්න කියලා දේවතාවියගේ
වාසභවන වෙලා තිබුණු ගහ කපලා දාලා. ඔය හේතුව නිසා ඉන්න හිටින්න
තැනක් නැතුව අවතැන් වුණ දේවතාවිය බුදුහාමුදුරුවෝ මුණගැහෙන්න ඇවිත්
තිබුණේ උන්වහන්සේගෙන් පිහිටක් බලාපොරොත්තුවෙන්. ඒ වෙලාවෙ
බුදුරජාණන් වහන්සේ දේවතාවියට වාසභාවන හැටියට අලුත් ගසක් පවරලා දීලා
ඈට පිහිට වුණා විතරක් නෙවෙයි අදාළ භික්ෂුව ගෙන්වලා අවවාද කරලා
භික්ෂූන් වහන්සේලාට ගස් කැපීම තහනම් කියලා විනය නීතියකුත් පැනෙව්වා. ඒ
විදියට කපන්න තහනම් කරපු ගස් අතරේ තිබුණු එක පැළෑටියක් තමයි කළදුරු
කියලා කියන්නේ.
ඔය පැළෙන් ලබාගත්ත කළදුරු ඇට බුද්ධකාලයේ පවා එක එක රෝග සුව
කරන්න භාවිතා කරලා තියෙනවා. ඒ නිසාම පස්සෙ කාලෙක ඖෂධීය
වටිනාකමින් ඉතා ඉහළ කළදුරු ඇට ආයුර්වේදයේ අභ්‍යන්තර ප්‍රතිකාර සඳහාත්
බහුලව භාවිතා වුණා. ඒ විතරක් නෙවෙයි අද වෙද්දී ආයුර්වේද රූපලාවණ්‍ය
සත්කාරයක් විදියටත් කළදුරු ඇට ඉතාම ප්‍රසිද්ධයි. ඉතින් ඕනෑම ආයුර්වේද
වෛද්‍යසැළකින් පහසුවෙන්ම ලබාගන්න පුළුවන් අන්න ඒ කළදුරු ඇටවලින්
ලස්සන වෙන විදිය ගැනයි මේ කියන්න යන්නේ.
මුලින්ම කළදුරු ඇට ස්වල්පයක් අරගෙන ඒක හොඳට අඹරාගන්න ඕනෑ. ඒකටම
එළකිරි ස්වල්පයක් එක් කරලා හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ මුහුණේ ආලේප
කරගැනීමයි කළ යුත්තේ. ඊටපස්සේ මිනිත්තු පහළොවක් විතර ඉඳලා

සෝදාගන්න. මෙය දිගු කලක් සිදු කීරීමෙන් සුමුදු නිකැළැල් සමක් උරුම කරගන්න
පුළුවන්.
සමේ තෙතමනය රඳවාගන්න වගේම නැවුම් බව රඳවාගන්නත් කළදුරු තේ හැඳි
01කට මී පැණි තේ හැඳි 1/2ක්, එළකිරි තේ හැඳි 01ක් වගේම රෝස වතුර තේ
හැඳි 01ක් දමා සියල්ල තලපයක් සේ අඹරාගන්න. ඒ විදියට අඹරාගත් තලපය
සමේ ආලේප කර විනාඩි 20ක් ඇතුළත සෝදාහරින්න.
තෙල් සහිත සමක් තිබෙන අයෙක් නම් කෝපි කුඩු තේ හැඳි එකකට කුරුඳු කුඩු
තේ හැඳි 01ක්, දෙහි යුෂ තේ හැඳි 01ක්, රෝස වතුර තේ හැඳි එකක් වගේම
කළදුරු ඇට තේ හැඳි 02ක් එක් කරලා මිශ්‍රණයක් සකසා ගන්න. ඒ මිශ්‍රණය
මුහුණේ ආලේප කරගත්තට පස්සේ මිනිත්තු පහක් විතර හොඳින් සම්බාහනය
කරගන්න. ඊටපස්සේ විනාඩි දහයක් විතර ඉඳලා ආලේපනය සෝදා ඉවත්
කරගන්න. මෙම සත්කාරය මගින් මුහුණේ අඳුරු පැහැය, ලප කැළැල් වගේම
කුරුලෑ නැත්තටම නැති වී පිරිසිදු නැවුම් සමක් ලබාදෙනවා. එපමණක් නොව
මැරුණු සෛල ඉවත්කොට මුහුණේ ලේ ගමනාගමනය හොඳින් සිදුකර පැහැපත්
සමක් ලබාගැනීමටත් මෙම සත්කාරය භාවිත කළ හැකියි.
හිස්කබලේ හිස්සොරි, උඳුගොව්වන් කෑම වගේම කැසීම් අවම කරගැනීමටත්
කළදුරු ඇට තෙල් යොදාගන්න පුළුවන්. ඒ සඳහා කළදුරු ඇට තෙල් හිසකෙස්වල
හොඳින් ආලේප කරගැනීමයි සිදුකළ යුත්තේ.
තව ඕනෑනම් හිසකෙස් වර්ධනය කරගැනීමට කළදුරු ඇට තෙල්වලටම
පොල්තෙල්, ඔලිව් තෙල් හෝ ආමන්ඩ් තෙල් එක්කර හොඳින් මිශ්‍ර කර ඒ
මිශ්‍රණය හිස්කබල සහ හිසකෙස්වල හොඳින් ආලේප කර, සම්බාහනය කරලා
විනාඩි 30කින් සබන් යොදා සෝදාහරින්න.
ඊට අමතරව හොඳින් කුඩු කරගත් කළදුරු ඇට තේ හැඳි දෙකකට පොල්තෙල්
තේ හැඳි එකක්, එඬරු තෙල් තේ හැඳි එකක් වගේම වතුර තේ හැඳි එකක් එක්
කරලා හොඳින් මිශ්‍ර කරගන්න. ඊටපස්සේ හිසකෙස්වල ආලේප කරලා විනාඩි
20ක් පමණ තබා සෝදාහරින්න ඕනෑ. හිසකෙස් හොඳින් පෝෂණය වී දිගු නිරෝගී
කෙස් කළඹක් ලබාගන්න මෙම සත්කාරයත් හොඳටම ප්‍රමාණවත්.
නෙත්මි තෂාරා
උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
(ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී )

ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල