අම්මා නැති අඩුව මේ සිංහ පැටව්න්ට දැනෙන්න අපි ඉඩ දෙන්නේ නෑ
දන්න කාලෙ ඉඳලම ලංකාව ‘සිංහ දේශය’ කියලා හැඳින්වුවට මොකද සිංහරාජ වනන්තරේවත් ආසාවට
සිංහයෙක් නැති බව අපි හැමෝම දන්නවා. ඒ නිසා සිංහයෙක් දකින්න උවමනා කෙනෙක් ඉන්නවනම්
එක්කෝ හම්බන්තොට රිදීයගම සෆාරි උද්‍යානයට නැත්නම් දෙහිවල සත්තුවත්‍තට යන්න ඕන.
සිංහයන් ගැන කතාකරද්දී මෑත කාලයේ ලොකු කතාබහකට ලක්වුණු තැනක් තමයි මුලින් කියපු රිදීයගම
සෆාරි උද්‍යානය. ඒකට හේතුව තමයි ‘ඩෝරා’. ඔබට මතකනම් 2022 අවුරුද්දේ ශර්මිලා රාජපක්ෂ
මහත්මිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විදියට කටයුතු කරපු කාලේ
ඇයත් එක්ක ‘ධරණී’ කවරය සරසන්නත් ඩෝරා කියන සිංහ පැටික්කි එකතුවුණා. ඒ සිංහ කෙල්ල දැන්
ලොකුයි. හැබැයි ඩෝරාගෙන් පස්සේ පසුගිය මැයිවල ආයෙමත් සිංහයෙක් හින්දම රිදීයගම සෆාරි
උද්‍යානය ගැන ගොඩක් දෙනෙකුගේ අවදානය යොමුවුණා. ඒ එහි ජීවත් වූ ‘මීරා’ කියන සිංහ ධේනුව
පැටවුන් තිදෙනෙකු බිහිකිරීම නිසා.
“එයා පැටව් ටිකව ප්‍රතික්ෂේප කරනවා.”
මීරා පැටව් බිහිකරපු දවසේ රිදීයගම සෆාරි උද්‍යානයෙන් ඇහුනේ එහෙම කතාවක්. ඒ නිසා අවසානෙදි
මීරා අම්මගේ මව් සෙනෙහස අහිමි වුණු පුංචි දරු පැටව් තුන්දෙනාගේ අලුත් නිවහන වුණේ පින්නවල
එළිමහන් ජාතික සත්වෝද්‍යානය.
මේ තුන්දෙනාගේ හුරතල් වැඩ එක්ක කාලය ගෙවිලා යද්දී පසුගිය ඔක්තෝබර් 01 වැනිදා උදාවුණු ලෝක
ළමා දිනය දවස පින්නවල සත්වෝද්‍යානයට විශේෂ දවසක් වුණා. මමත් ඇතුළු සත්වෝද්‍යානය නරඹන්න
ආපු දෙස් විදෙස් සංචාරකයන් ටික ටික ඒ පැත්තට ළංවුණේ මොකක්ද මේ උත්සවය කියලා බලන්නත් එක්ක.
බැලින්නම් එදා තමයි මාස පහක් පුරාවට පින්නවල සත්වෝද්‍යානයේ හැදී වැඩුනු සිංහ පැටව් තුන්දෙනා
පළවැනි වතාවට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරලා තිබුණේ. ඒ විතරක් නෙවෙයි එදාම මේ අයට නම්
තැබීමත් සිද්ධ කළා. තුන්දෙනාම කොලු පැටව් නිසා ඩූමා, සියෝන් සහ ෆාරෝ කියන නම් තමයි එයාලට
ලැබුණේ.
“අන්න අර තුන්දෙනා තමයි මෙයාලව බලාගන්නේ.”
එදා සිංහ කූඩුව ළඟ කොළ පැහැති ටීෂර්ට් ඇඳගෙන හිටපු තුන්දෙනෙක්ව පෙන්නලා මට එහෙම කිව්වේ
පින්නවල සත්වෝද්‍යානයේම සේවය කරන මහත්මයෙක්. ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම කාන්තාවෝ නිසා
ඔවුන්ව මුණගැහිලා කතා කරන්න දැඩි ඕනෑකමක් තිබුණත් ඒකට දවස එදා නෙවෙයි කියලා මට තේරුනා. ඒ
නිසා ඔවුන් නිදහසේ ඉන්න වෙලාවක් බලලා මම පසුගිය සිකුරාදා පින්නවල සත්වෝද්‍යානයේ සිංහ පැටව්
බලන්න ගියා. ඒ යද්දිත් කොල්ලෝ ටික හරි හරියට සෙල්ලම. ‘පව් අම්මත් නැති දරුවොනේ’ මට හිතුණේ
එහෙම.
“මෙයාලට දැන් මාස 6ක්. කොල්ලෝ නිසා හරිම දඟයි. චුට්‍ටක්වත් නිකන්
ඉන්නේ නෑ. නැටිල්ලම තමයි. කාපු වෙලාවට නම් ටිකක් විතර නිදියනවා.
හැබැයි ටිකකින් ආයෙත් නැටිල්ල පටන්ගන්නවා. පුළුවන් වෙලාවට අපිත්
මෙයාලා එක්ක එක එක සෙල්ලම් කරනවා. ඒ වෙලාවට මෙයාලට ඊට වැඩිය
දෙයක් නෑ.”
ඒ විදියට මගෙත් එක්ක මුලින්ම කතාබහට මුලපිරුවේ චමිලා දීපානි. 41 හැවිරිදි චමිලාගේ ගම පොතුහැර.
අනෙක් දෙදෙනාත් එක්ක එකතුවෙලා සිංහ පැටවුන් තිදෙනා හය මාසයක් පුරාවට ආදරෙන් රැකබලාගත්ත
හැටි ඇය මේ විදියට විස්තර කළා.
“මෙයාලගේ අම්මා කිරි දෙන එක ප්‍රතික්ෂේප කරනවා කියලා රිදීයගම ඉඳන්
මේ පැටව් පින්නවලට ගෙනාවේ ඉපදුණු දවසෙමයි. ඒ වෙනකොට අපේ
නියෝජ්‍ය අධ්‍යක්ෂක ඩිලානි අමරසිංහ මිස් නිවාඩු ගිහින් හිටියේ. ඒක නිසා
එවකට හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක මිහිරාන් මැදවල සහ පශුවෛද්‍ය මලිත්
ලියනගේ සර්ලගේ උපදෙස් එක්ක සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය දිවා රෑ
නොබලා කැපවීමෙන්, හරියට දරුවෝ තුන්දෙනෙක් වගේ සිංහ පැටව්
තුන්දෙනා හදාවඩාගත්තා. දැන් මේ අය ලොකුයි. වෙනදා වගේ වඩාගන්නත්
අමාරුයි.”
චමිලා එහෙම කියද්දි මට නිකමට සිංහ කූඩුව දිහා බැලුනා. ඒ වෙලාවෙයි මං දැක්කේ තුන්දෙනා අල්ලන
සෙල්ලම් කරන විත්තිය. ඒ අතරවාරයේ ඩූමා නම් මගේ දිහා දෙතුන් විඩක්ම රවලත් බැලුවා. ඒ නිසා
තුන්දෙනා ගැන වෙන වෙනම මට අහන්න හිතුණා.
“ඩූමා තමයි හොඳම කෙනා. එයා කියන දේ අහනවා. හැබැයි සැරයි.
පොඩ්ඩක් ඇත්නම් කේන්ති ගන්නවා. සියෝන් තමා තුන්දෙනාගෙන් දඟයා.
නැටිල්ලම තමයි වැඩේ. ෆාරෝ කියන්නේ තුන්දෙනා අතරේ ඉන්න කඩවසම්ම
කොල්ලා. සෑහෙන්න ආඩම්බරයි. එයා ගොඩාක් පාඩුවේ ඉන්න කැමති
කෙනෙක්. කන්න දුන්නම වුණත් වටපිට බලබලා පැයක්වත් කනවා.”
ඉතින් අපි කතා කර කර ඉන්න අතරෙම එයාලට කෑම ලැබුණා. ඒ හරක් මස්. කිව්වත් වගේ ඩූමා කොල්ලයි
සියෝන් කොල්ලයි කෑම පිඟාන තරඟෙට ඉවර කරගෙන යද්දි ෆාරෝ කොල්ලා වගේ වගක් නැතුව පාඩුවේ
හෙමිහිට කෑවා. අනෙක් ඩබල කාලා ඉවරවෙලා නින්දක් දාන්න යද්දිත් ෆාරෝ කන හැටි දැකලා මට වගේම
චමිලටත් හිනා…
“තාමත් මෙයාලට කිරිවේලක් දෙනවා. ඒ ඇරුනම කුකුල් මසුයි හරක් මසුයි
තමා දෙන්නේ. වැඩිපුරම දෙන්නේ හරක් මස්. මොකද ඒවට හරි කැමතියි.
කාලා ඉවරවෙලා තුන්දෙනාම සූප්පුවෙන් වතුර බොන්න තමයි කැමති.”
කොහොම වුණත් මේ තුන්දෙනාව මේච්චල් කරන එක ලේසිපහසු වැඩක් නෙවෙයි කියලා මට හිතුණේ
කතාබහ අතරතුරේම මං තුන්දෙනාගේ දැඟලිල්ලේ තරමත් දැකපු නිසා. ඒ ගැන චමිලගෙන් ඇහුවම ඇය දුන්නු
උත්තරේ තමයි මේ.
“මේක භාරදූර වගකීමක්. අපිත් දරුවෝ හදපු අම්මලා විදියට දරුවෝ හදාවඩා
ගන්නවා වගේම හරිම ආදරෙන් තමයි මෙයාලා බලාගන්නේ. සත්වෝද්‍යානයේ
සේවයට ඇවිත් දැන් අවුරුදු 10ක්. මුලින් හිටියේ දෙහිවල. එහෙදිත් විවිධ
සත්ව පැටවුන් බලාගත්තා. ඒ අත්දැකීම් එක්ක මට සිංහ පැටව් බලාගන්න
පහසු වුණා.”
*මේ අය ලොකු වුණාමත් මේ දෙන ආදරේ වෙනසක් නැතුව දෙයිද?
“දෙහිවලදි බලාගත්ත අය නම් ලොකු වුණාමත් ඒ ආදරේ දුන්නා. පොඩි
කාලේ ඉඳන් බලාගත්ත නිසා එයාලට හොඳට අපිව මතකයි. කූඩු ළඟට
ගියාම එයාලා අපිව අඳුනගන්නවා. මං හිතනවා සිංහ පැටව් තුන්දෙනාත්
එහෙම වෙයි කියලා.”
සිංහ පැටව් එක්ක ගෙවන කාලය සුන්දරයි වගේම කාන්තාවක් විදියට සත්වෝද්‍යානයේ රැකියාව
කරන්නෙත් සතුටින් බව ඇය අවසානේ මට කිව්වා. එහෙම නොකිව්වත් ඇය මේ පුංචි පැටව් එක්ක ඉන්නේ
බොහොම සතුටුන් වග ඕනෑ කෙනෙකුට ඇගේ මුහුණෙන් හොඳටම පේනවා.
ඊටපස්සේ මගෙත් එක්ක කතාබහට එකතුවුණේ චමිලාත් එක්ක සිංහ පැටව් තුන්දෙනාව බලාගන්න 42
හැවිරිදි මේනකා ගුණසේකර. ඇගේ ගම් පළාත පොල්ගහවෙල.
“මමත් හරිම ආසාවෙන් මේ සිංහ පැටව් බලාගන්නේ. මෙයාලා එක්ක
ඉන්නැද්දි වෙලාව යනවා තේරෙන්නේ නෑ. එච්චරම සුන්දරයි. සමහර වෙලාවට
මෙයාලා අපිව හපනවා. ඒ නැත්නම් සූරනවා. ඒත් මගේ රැකියා ජීවිතේ
සතුටින්ම ඉන්න ලැබුණු කාලේ තමා ඩූමා, සියෝන්, ෆාරෝ කියන සිංහ පැටව්
එක්ක ඉන්න ලැබුණු කාලය.”
මේනකා සත්වෝද්‍යානයේ රැකියාවට ඇවිත් දැන් අවුරුදු 10ක්ලු. ඇයත් මුලින් ඉඳලා තියෙන්නේ දෙහිවල. එහි
අවුරුදු 4ක් පමණ සේවය කළාට පස්සෙයි ඇයට පින්නවලට එන්න අවස්ථාවක් උදාවෙලා තියෙන්නේ.
“මම දෙහිවලදිත් පැටව් තමයි රැකබලා ගත්තේ. එහෙදි මං ව්‍යාඝ්‍ර පැටව්,
කොටි පැටව්, බැබුන් පැටව්, පැස්බරා පැටව් වගේ නොයෙකුත් පැටව්
බලාගත්තා. ඒ නිසා පින්නවලදි සිංහ පැටව් බලාගන්න කියද්දි මට අමුතුවෙන්
හිතන්න දෙයක් තිබුණේ නෑ.”
ඔය අතරෙයි ඩූමා ඇවිත් කූඩුවෙන් පිට සිදුකරන අපේ කතාබහට කණ දැම්මේ. ඒ වෙලාවේ “ඔයා අරෙහෙට
වෙලා ඉන්න මං එන්නම් සුදූ” කියලා මේනකා කිව්වා. ඒක තේරිලාද මන්දා ඩූමා එතැනින් යන්න ගියා.
“සමහරු කියනවා සත්තුවත්තේ ඉන්න සත්තුන්ට සේවකයෝ සළකන්නේ නෑ
කන්න බොන්න දෙන්නේ නෑ වගේ කතා. ඒවා බොරු. මෙයාලට වෛද්‍ය
අධීක්ෂණය යටතේ නියමිත වෙලාවට කෑමබීම දෙනවා. වැඩිපුරත් අපි
කෑමබීම දෙනවා. අවශ්‍ය කරන බේත්හේත් සහ විටමින් වගේ දේවලුත්
දෙනවා. ආදරය තමයි ඔවුන්ට ගොඩක් ඕන. ඒක අපෙන් කොහොමත්
ලැබෙනවා. මොකද අපේ පවුල් පිටින් ජීවත්වෙන්නේ මේ සත්තු නිසා. ඒ නිසා
ඔවුන් ආදරෙන් බලාගන්න එක අපේ යුතුකමක්.”
*ඒත් සත්වෝද්‍යානය වගේ තැනක සේවය කරන්නේ සතුටින්ද?
“අවංකවම සතුටින් වැඩ කරන්නේ. සත්තු එක්ක ගෙවන ජීවිතේ සුන්දර
එකක්. ඒ සතුට සිංහ පැටව් තුන්දෙනා නිසා තවත් වැඩිවුණා. දැන් මට ගෙදර
ගියාම මතක් වෙන්නෙත් මෙයාල ගැන. ඒක හරිම පුදුම බැඳීමක්.”
කාන්තාවක් විදියට සත්වෝද්‍යානය වගේ තැනක සිංහ පැටවුන් බලාගැනීම ලොකු අභියෝගයක් වුණත්
මේනකාලා ඒ අභියෝගය හරි ආසාවෙන් බාරඅරගෙන කරන බව පේන්න තියනවා. මං එහෙම හිතාගෙනකූඩුව දිහා බලද්දි ඩූමා ආයෙමත් මේනකාව හොයාගෙන ඇවිත්. ඉතින් තවදුරටත් ඒ අහිංසකයාගේ හිත
රිද්දන්න බැරි හින්දා මං මේනකාගෙන් සමුගත්තා. ඒත් ඇය ඩූමා ළඟට යන අතරවාරයේ තවත් එක
ප්‍රශ්නයක් ඇහුවා. ඒ සත්වෝද්‍යානය බලන්න එන සංචාරකයෝ සිංහ පැටවුන් ගැන දක්වන ප්‍රතිචාර
ගැන.
“සමහර අය සත්වෝද්‍යානයට එන්නෙම සිංහ පැටව් බලන්න. දුර පළාත්වලින්
එහෙමත් එනවා. ඒ නිසා මේ දවස්වල මෙහෙට එන දෙස් විදෙස් සංචාරකයෝ
ප්‍රමාණය වෙන කාලවලට වැඩිය වැඩියි.”
මගේ කතාබහේ ඊළඟ පුද්ගලයා, ඒත් නැත්නම් කාන්තාවෝ දෙන්නෙක් එක්ක සිංහ පැටවුන්ව බලාගන්නඑකම පිරිමි නියෝජනය ඉඳුමින දිල්ශාන්. 27 හැවිරිදි ඔහු රඹුක්කන ප්‍රදේශයේ සිට පින්නවල
සත්වෝද්‍යානයේ සේවයට ආපු තරුණයෙක්. වැඩේ කියන්නේ ඒ වෙද්දි ඔහු හිටියේ සිංහ පැටව් එක්ක
සෙල්ලම් කරන ගමන්. ඒ නිසා ඔවුන් මගඇරලා ඉඳුමිනව එළියට ගන්න එක මට එච්චර ලේසිවුණේ නෑ.
“ඔයාට කූඩුව ඇතුළට එන්න පුළුවන්ද?”
මට ඒ යෝජනාව ආවේ ඉඳුමිනගෙන්. ඒක ඔහු විහිලුවට කියපු කතාවක් කියලා මුලින් හිතුවත් චමිලයි
මේනකයි එකතු වෙලා සිංහ කුඩුවේ දොර අරිද්දි මට හීන්දාඩිය දැම්මා. ඇයි ඉතින් මේ රිංගන්න යන්නේ සිංහ
කූඩුවක් අස්සටනේ. ඒත් කාටවත් බයක් නොපෙන්වා මං චණ්ඩියා වගේ ඇතුළට ගියා. “කවුද අඩෝ අපේ
ඒරියා එකට ආවේ” කියන්නා වගේ සිංහ පැටව් තුන්දෙනා මාව වටකරගත්තත් ඒ සෙල්ලමට කියලයි ඉඳුමින
කිව්වේ. අන්තිමේ ඉතින් ජීවිතේ පළමුවතාවට සිංහයොත් එක්ක මරබයේ සෙල්ලම් කරපු මම හති පිටින්
ඉඳුමින එක්ක කතාවට වැටුණා.
“මං පින්නවල සත්වෝද්‍යානයේ සේවයට ඇවිත් දැන් අවුරුදු 3ක්. ඒ අවුරුදු
තුනේ සුන්දරම කාලේ තමයි මේ යන්නේ. ඒකට හේතුව මේ සිංහ පැටව්.”
ඉඳුමිනට මුලින්ම සිංහ පැටවුන්ව බලාගන්න කියද්දි ඒ ගැන අත්දැකීමක් තිබිලා නෑ. ඒත් සතියෙන් දෙකෙන්
ඔහු වැඩේ අල්ලගෙන. දැන් කාටත් වැඩියෙන් සිංහ පැටව් ලෙන්ගතු ඉඳුමින එක්කලු.
“මේ අය මං කියන දේ අහනවා. හැබැයි අංක එක නැටිල්ල. මම කූඩුව
අස්සට ගියොත් ඔන්න තුන්දෙනා එනවා ඇඟේ නගින්න.”
ඒ කියනකොටත් ඩූමාගේ අත්දෙක තිබුණේ ඉඳුමිනගේ කරේ. සියෝන්ගේ අත් දෙක ඔඩොක්කුවේ. එතකොට
කෝ ෆාරෝ? එයා රිදෙන නොරිදෙන ගාණට මගේ කකුලක් හපාගෙන. ඉඳුමිනගේ පිහිටෙන් කකුල
බේරගත්තු මට ඊළඟට ආපු ප්‍රශ්නය වුණේ පෙනුමෙන් එක සමාන මේ කොල්ලෝ වෙන වෙනම අඳුනගන්නේ
කොහොමද කියන එක.
“මුල ඉඳන්ම දැකපු නිසා යම් යම් ශරීර ලක්ෂණවලින් අඳුනගන්න පුළුවන්.
ඒත් පළවැනි සැරේට දකින අයට නම් වෙන වෙනම අඳුනගන්න ලේසි නෑ.”
*මෙයාලා වැඩිපුර කේන්ති ගන්නේ මොන වගේ වෙලාවටද?
“අනෙක් සත්තු එක්ක ගත්තම සිංහයා ටිකක් වැඩිපුර කේන්ති යන සතෙක්. ඒ
අයගේ දෙයක් අපි ගත්තොත් සෑහෙන්න කේන්ති ගන්නවා.”
*ඉඳුමිනට අමතක නොවන දවස් එහෙම තිබිලා නැද්ද?
“එක සැරයක් ඩූමා අසනීප වුණා. එදා නම් මට ගොඩාක් බය හිතුණා.”
මේ සිංහ පැටව් අප්‍රිකානු වර්ගයට අයිති අයලු. ඒත් එක්ක ඔවුන් නරඹන්න දෙස් විදෙස් සංචාරකයෝ
බොහෝමයක් පින්නවල සත්වෝද්‍යානයට එනවා කියලා තමයි ඉඳුමින කිව්වේ. ඉතින් ඔහුගෙනුත්
සමුඅරගෙන හීන්සීරුවේ සිංහ කූඩුවෙන් එළිබැහැපු මම ‘ධරණී’ වෙනුවෙන් මේ අපූරු අවස්ථාව ලබාදුන්
සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඩිලානි අමරසිංහ මහත්මිය මුණගැහිලත් වචනයක් කතා කළා.
“මේ පින්නවල එළිමහන් සත්වෝද්‍යානය කියන්නේ අපේ රට ඉදිකරපු පළවැනි
එළිමහන් සත්වෝද්‍යානය. 2015 අප්‍රේල් 17 විවෘත කළේ. ස්වාභාවික පරිසරයට
මුල් තැනක් දීලා සත්තුන්ට නිදහසේ ඉන්න පුළුවන් විදියට තමයි
සත්වෝද්‍යානය අපි නිර්මාණය කරලා තියෙන්නේ. සමහරක් අය කියනවා
සත්වෝද්‍යාන නැති කරන්න ඕන කියලා. ඒත් මෙතැනදි මූලිකව අපි කරන්නේ
සතුන් සංරක්ෂණය කිරීම. ඊට හොඳම උදාහරණය සිංහයෝ. සිංහයෝ අපේ
රටේ නෑ. මේ ඉන්න කීපදෙනාව අපි කැලේට දැම්මොත් ඔවුන්ගේ ජීවිත දැඩි
තර්ජනයට ලක්වෙනවා. ඔවුන් ඉතාමත් ආරක්ෂිතව සංරක්ෂණය කිරීමක්
තමයි මෙහිදී සිදුවන්නේ.”
ඒ වගේමයි සිංහ පැටවුන් තිදෙනා හේතුවෙන් පින්නවලට එන දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය මේ
දිනවලදි ඉහළ ගිහින් කියලයි ඇය කිව්වේ. ඔය අතරම සිංහ පැටව් ගැන කියද්දි අමතක නොකර මතක් කළ
යුතු විශේෂ පිරිසක් ඉන්නවා. ඒ මෙරට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්
ආර්.ටී.මාරසිංහ මහතා, දෙහිවල ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් රන්ජන් මාරසිංහ මහතා,
මෙහෙයුම් අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය සහ එහි පශු වෛද්‍ය අංශයත් පින්නවල ජාතික
සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඩිලානි අමරසිංහ මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරාන්
මැදවල මහතා, පශු වෛද්‍ය මලිත් ලියනගේ මහතා ප්‍රමුඛ එහි පශු වෛද්‍ය අංශයත් සත්ව පාලන අංශයේ
ලසන්ත දිලිප් කුමාර, විමලා හේරත් හා ශාන්ත බන්නක යන මහත්ම මහත්මීන්. ඔවුන් නිසා තමයි සිංහ
පැටව් තිදෙනා පින්නවල සත්වෝද්‍යානයේ හරිම සතුටින් ජීවත්වෙන්නේ. ඉතින් සත්වෝද්‍යානය වටේ
රවුමක් ගිහින් එන අතරවාරයේ අන්තිම පාරටත් මං සිංහ කූඩුව පැත්තට එබුණා. මව්පිය සෙනෙහස
අහිමිව ගිය ඩූමා, සියෝන් සහ ෆාරෝ ඒ වෙලාවෙත් සෙල්ලම. අම්මා නැති මේ අහිංසක දරු පැටව්න්ට මේ
ආදරේ දෙගුණ තෙගුණ වෙලා ලැබෙන්න ඕනෑ කියන ප්‍රාර්ථනය හිතේ දරාගෙන මම ඔවුන්ට සමුදුන්නා.
රුවන් එස්.සෙනවිරත්න