අපි ඉන්නෙම මහපොළොව යට නිසා මේ රස්සාව හරි අවදානම් රුවන්පුරේ මැණික් අක්කා කියන කතාව චමිලා මධුශානි
‘ප්‍රමාණයෙන් තරමක් කුඩා වුවත් ඉතා අනර්ඝ දිවයිනක් වූ ශ්‍රී ලංකාවේ ඇළ දොළ ගංඟාවලින් පවා මුතු
මැණික් හමු වේ.’
ඔය කතාව තියෙන්නේ වැනීසියානු ගවේෂකයෙක් වුණු මාර්කෝ පෝලෝගේ සටහනක. ඔහු අපේ රට ගැන
ඒ වගේ සටහනක් ලියන්න හේතුව තමයි එදා ඉඳන් අපේ රට මුතුමැණික්වලට ප්‍රසිද්ධ වීම. ඒ නිසා තමයි
අතීතයේ අපේ රටට සෙරන්ඩිබ් දිවයින, රත්නදීප, රත්නභූමි එහෙමත් කිව්වා කියන්නේ. ඒ කාලයේ කෙසේ
වෙතත් මේ කාලේ මැණික් කියපු හැටියේ අපට මතක් වෙන ප්‍රදේශය තමා රුවන්පුරේ නැත්නම්
රත්නපුරේ. මැණික් වෙනුවෙන් ප්‍රසිද්ධ රත්නපුරේට පසුගියදා අපි ගියේ හරි දුර්ලභ විදියේ මැණිකක්
හොයාගෙන. තැන කිව්වොත් රත්නපුරේ හංගමුවේ මගුරුගොඩ ගමේ පතලකට.
පතල් කර්මාන්තය කියන්නේ තරමක වෙනස් හැඩයක් ගත් කර්මාන්තයක්. ඒ එම කර්මාන්තය විවිධ ඇදහිලි
විශ්වාස ආදියත් එක්ක බැඳිලා තියෙන නිසා. ඒ නිසා එදා ඉඳන්ම පතල් කර්මාන්තයේ යෙදුනේ පිරිමි උදවිය
විතරයි. කොටින්ම පතලක් ළඟකට යන්නත් ගැහැනු උදවියට තහංචි වැටුණා. ඒ නිසා මෑතක් වෙනකල්ම
පතල් කර්මාන්තේ යෙදුනු කාන්තාවක් අපිට මුලිච්චි වුණේ නෑ. ඒත් දැන් අවුරුදු කීපයක ඉඳන් ඒ රස්සාව
කරන දෙතුන් දෙනෙක් අපේ රටේ ඉන්නවා. ඒ අතරින් මුලින්ම පතල් කර්මාන්තෙට පැමිණිය කෙනා තමයි
චමිලා මධුශානි. අපි මුලින් කියපු විදියට ඒ මැණික හොයාගෙනයි පසුගියදා අපි රත්නපුරේට ගියේ.
මොකද ගැහැනුන්ට තහංචි වැටුණු කර්මාන්තයක දංවැල් ලිහා දමපු ඇය ගැන නොලියා කොහොමද?
“මම හස්බන්ඩ් එක්ක මුලින්ම ටවුමේ කෑම කඩයක් කළා. ඒත් කොවිඩ් හින්දා ඒක අපට වහන්න වුණා.
ඊටපස්සේ අපි දෙන්නා එකතුවෙලා ගෙදර උයලා කෑම ඩිලිවරි කළා. ඒකත් එච්චරටම සාර්ථක වුණේ නෑ.
ඊටපස්සේ තමයි මම පතලක් කරන්න ගත්තේ.”
කාන්තා උදවියට කරන්න බොහෝ රැකියා තියෙද්දි චමිලා ඒ වගේ බැරෑරුම් රැකියාවක් තෝරගත්තේ ඇයි?
චමිලගේ උත්තරෙන් අපිට ආපු ලොකුම ප්‍රශ්නය වුණේ ඒක.
“ඉස්සර තාත්තා පතල් කීපයක් කළා. ඒ කාලේ මමත් හුඟාක් ආසාවෙන් හිටියා පතල් වැඩවලට. ඒත් ගෙදර
අයගෙන් ඉඩක් ලැබුණේ නෑ. එක සැරයක් ගෙදරට හොරෙන් මං තාත්තගේ පතලකට බැස්සා. අදටත් ඒක
ගෙදර අය දන්නේ නෑ. ඒ වෙද්දි මට අවුරුදු 8ක් වගේ ඇති. ඒ බැස්සට පස්සේ හිතේ තිබුණු ආසාව තව වැඩි
වුණා. ඒත් එක්ක මං හිතාගත්තා කවදා හරි මගේම පතලක් පටන්ගන්නවා කියලා. ඒ ආසාව නිසා තමයි
කොරෝනා හින්දා වැටුණු මම පතලක් පටන්ගන්න හිතුවේ.”
කොහොමහරි චමිලා ගමේ හිටපු පතල් කර්මාන්තේ ගැන දන්න කියන කීපදෙනෙකුත් අඬගහගෙන ඒ හිතේ
තිබුණු පතල පටන් අරගෙන. ඒ 2019 අවුරුද්දේ. ගැහැනු උදවියට වැටිලා තිබුණු තහංචියත් එක්ක එදා
හිතට බයක් දැනුණේ නැද්ද කියලත් චමිලාගෙන් නොඅහා බැරිවුණා.
“මේක දෙයියෝ බුදුන් පෙරටුව තියාගෙන කරන අවදානම් රස්සාවක් නිසා ගෑනු කෙනෙක්ට පතලක්
අහළකටවත් එන්න දුන්නේ නෑ කිළි කියලා. ඒත් හිතේ තිබුණු ආසාවට ඒවා අමතක කරලා මම පතල
පටන්ගත්තා. සමන් දෙවියන්ගේ පිහිටෙන් අද වෙනකල් කිසිම කරදරයක් නම් වෙලා නෑ.”
මේ වෙද්දි චමිලා පතල් දෙකක්ම කරගෙන යනවලු. එයින් මේ දවස්වල වැඩ කරන පතලේ ගැඹුර අඩි
50ක්ලු. ඒ වගේම එහි දෝනාවේ දිග අඩි 275ක්ලු.
“මගෙත් එක්ක පතලේ තව පිරිමි අය 8ක් වැඩ. අපි හරිම සහයෝගයෙන් වැඩ කරනවා. පතල මගේ කියලා
මං නිකන් ඉන්නේ නෑ. මමත් වැඩ. ලේසි නෑ. ඉන්නේ මහපොළොව යට නිසා මේ රස්සාව හරි අවදානම්. ඒත්
අපි සතුටින් වැඩ කරගෙන යනවා.”
සාමාන්‍යයෙන් පතලේ වැඩකටයුතු සිදුවෙන්නේ කොහොමද කියලත් චමිලාගෙන් අහන්න හිතුණේ පතල්
හාරන්නේ මැණික් හොයන්න වුණාට ඒ වෙනකල් පතලක් අස්සේ සිදුවෙන කිසිවක් ඔවුන් හැරුනම අපි
100% ක් නොදන්න හින්දා.
“පතල හාරගෙන යද්දි පාරු ගල කියලා එකක් අහුවෙනවා. ඒක උඩ තියෙනවා මාලාව කියලා. ඒක දිගේ
තමයි දෝනා හරහා අපි ඉල්ලම හොයාගෙන යන්න ඕනේ. ඉල්ලම හම්බුණාම ඔන්න මැණික් තියෙනවා.
සාමාන්‍යයෙන් ඉල්ලම කියන එක කඩන්න වෙනමම බාස් කෙනෙක් ඉන්නවා. එයා කඩන ඒවා අනෙක් උදවිය
පෝරකවරවල දාලා දෝනාව දිගේ අතින් අතට වළෙන් උඩට ගන්න ඕන. ඒ කරලා ගරද්දි මැණික්
හම්බෙනවා. අමාරුම දේ තමයි දෝනාවේ ඉන්න එක. දෝනාවේ අපි පැය ගණන් ඉන්නේ කොන්දවල් දෙකට
තුනට නමාගෙන. ඒක හරි වෙහෙසකාරී අත්දැකීමක්.”
*පතලක් අස්සෙදි හුස්ම ගන්නේ එහෙම කොහොමද?
“හුලං මැෂින් කියලා තියෙනවා. ඒ හරහා වළට හුලං දෙනවා. හැබැයි ඉතින් පතල් රස්සාව නුපුරුදු
කෙනෙක්ට පතලකට බහින්න බෑ. මොකද පතල්වල හුමාලය කියලා එකක් තියෙනවා. ඒක සැරයි. අපි
වුණත් දවස් 3 – 4ක් වැඩ නොකර ඉඳලා එකපාරට වළට බහිද්දි අමාරුයි. එහෙම බහිද්දි හුමාලේ වැදිලා
කලන්තෙ වගේ එනවා.”
චමිලා කියාගෙන ගිය දේවල් එක්ක මට ඇයගෙන් අමතක නොවන දවසක් ගැනත් අහලා බලන්න හිතුණේ
එහෙම දවස් මේ පතල් රස්සාවේ නොසෑහෙන්න ඇති කියලා හිතුණු නිසාමයි.
“සැරයක් මට දෝනාවෙදි කලන්තයකට වගේ ආවා. ළඟපාත කවුරුත් හිටියෙත් නෑ. හැමෝම හිටියේ අඩි 70ක්
විතර දුරින්. ඉතින් මට කරන්න දෙයක් තිබුණේ නෑ. එදා මං කොහොම හරි කරලා හිතේ හයියෙන්
තනියෙන් පතලෙන් ගොඩට ආවා. තවත් දවසක වළේ ඉන්නැද්දි එක සැරේටම කරන්ට් ගියා. හිතන්නකෝ
අඩි 200ක් විතර පොළොව යට ඉන්නකොට කරන්ට් ගියාම වෙන දේ. එදත් ළඟපාත කවුරුත් හිටියේ නෑ.
ටිකකින් කෙනෙක් ටෝර්ච් එකක් අරගෙන ආවා. අදටත් ඒ සිදුවීම මතක් වෙනකොට හිත ගැස්සිලා යනවා.”
රත්නපුරේ පතල් බහින කවුරුත් චමිලාට කියන්නේ චමී කියලලු. ඇයගේ වයස දැන් අවුරුදු 38ක්. දරු
දෙන්නෙක් ඉන්න මවක් වන චමිලාට තම පවුලෙන් ලැබෙන සහයෝගය ගැනයි ඊළඟට අපි අහලා බැලුවේ.
“සැමියා පතල් වැඩ නොකළට එයාගේ සහයෝගය නිතරම ලැබෙනවා. කිසිම බලපෑමක් කරන්නේ නෑ. මට
ඉන්නේ දුවලා දෙන්නෙක්. ලොකු දුවට අවුරුදු 18ක්. පොඩි දුවට 10යි. ලොක්කිත් හරිම ආසයි පතල්
වැඩවලට. ඒත් තාම එයාට පතලට බහින්න දුන්නේ නෑ.”
*චමිලාට මැණික් හම්බෙලා තියෙනවද?
“ඔව් ඔව් මැණික් හම්බෙලා තියෙනවා.”
*ටික්ටොක් එකෙත් හරිම ප්‍රසිද්ධයි නේද?
“ඔව් ඔව් පතල් වැඩ කරන වීඩියෝස් මං ටික්ටොක් දානවනේ. ඒවා සෑහෙන පිරිස් බලනවා. ඒත් එක්ක
ප්‍රසිද්ධයි. ටික්ටොක් එකේ අය මට රත්නපුරේ මැණික් අක්කා කියලා කියන්නේ.”
චමිලා පතල් රැකියාවේ යෙදෙන්නේ හරිම සතුටින්ලු. ඒ නිසා ඉදිරියේදි තවත් පතල් තුන හතරක්
පටන්ගන්නයි ඇගේ බලාපොරොත්තුව. ඉතින් ඒ වෙනුවෙන් රුවන්පුරේට අධිපතිව වැඩවසන සුමන් සමන්
දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරපු අපි චමිලාට සමුදුන්නා. එහෙම සමුගනිද්දී චමිලා හරි ලස්සන
කතාවකුත් මේ විදියට කිව්වා.
“ගොඩාක් කාන්තාවෝ ගෑනුකම කියන දේ ඉස්සරහට දාලා තමන්ට තියන හීන හංගගෙන ඉන්නවා.
එහෙම නොහිතපු නිසයි මං මෙතන ඉන්නේ. දන්න තරමින් මං තමයි ලංකාවේ පළමු වතාවට දෝන පතලක්
පටන්ගත්තේ. සතුට කියන්නේ දැන් තරුණියෝ කීපදෙනෙක් කරනවා. ඒ නිසා මං කියන්නේ ආසාවයි
උනන්දුවයි තියෙනවා නම් ගැහැනු අපිටත් කරන්න බැරිදෙයක් නෑ.”
විශේෂ ස්තූතිය – ගයානි චම්පිකා
රුවන් එස්.සෙනවිරත්න