නවතම ප්‍රවෘත්ති

වෛද්‍යවරු පිරිසක් 13 හැවිරිදි දැරියකට මැරෙන්න ඉඩදීලා

මිනිස් ජීවිත දහස් ගණනක් එකම මොහොතක අවසන් ගමන් යවමින් 1985
වසරේදී කොලොම්බියාවේ 'Nevado Del Ruiz' ගිනිකන්ද පුපුරාගියා. මේ
නොවැම්බරයට එම සිදුවීම සිදුවී වසර 39ක් ගතවී තිබුණත් එයින් මියගිය
එක් කුඩා දැරියක් පිළිබඳව අදටත් කතාබහට ලක්වෙනවා. ඒ දැරිය තමයි 13
හැවිරිදි ඔමයිරා සැන්චෙස්. 25000කට ආසන්න මිනිස් ජීවිත ගණනක් බිලිගත්
එකී ගිනිකන්ද පුපුරායාමේ සිදුවීමෙන් එම දැරිය විතරක් කාගේත් මතකයේ
රැඳුනේ ඇයි? මේ කතාව ඒ ගැනයි.

‘ටොලීමා’ මෙන්ම ‘කල්ඩාස්’ නම් කොලොම්බියානු නගරවලට මායිම්ව පිහිටා
තිබෙන ‘Nevado Del Ruiz’ ගිනිකන්දේ ඉතිහාසය ඒ තරම් සුන්දර එකක්
නොවේ. එය 1595 දී සහ 1845 වසරවලදී පුපුරාගොස් දැවැන්ත විනාශයක්
සිදුකර තිබිණි. මේ කියන 1985 වසරේ නොවැම්බර් 16 වැනිදාත් එය
පුපුරාගියේ කලින් වසරවලටත් වඩා විශාල විනාශයක් සිදුකරමිනි.
එවර ගිනිකන්ද පුපුරායාම නිසා දරුණුතම බලපෑම එල්ලවූයේ ටොලීමා
නගරයට ආසන්නව පැවති ‘ආර්මෙරෝ’ නගරයටයි. ගිනිකන්ද පිපිරීමත් සමඟ
ගිනියම් ලාවා මඩ සහ ගල් සමඟ මිශ්‍රව නගරය මුළුමනින්ම යටකර දැමූ
අතර 25000ට ආසන්න මිනිස් ජීවිත ගණනක් ඊට බිලිවිය. ඊට අමතරව ලක්ෂ
පහකට පමණ ඉන් දැඩි බලපෑමක් ඇතිවිය.
13 හැවිරිදි වියේ පසුවූ ‘ඔමයිරා සැන්චෙස්’ (Omayra Sanchez) නම් කුඩා දැරිය
ජීවත්වූයේ ද ආර්මෙරෝ නගරයේය. ගිනිකන්ද පුපුරායාම නිසා ඇගේ නිවස ද
මුළුමනින් විනාශ විය. වාසනාවකට ඇයගේ මවත් සහෝදරයාත් එයින් දිවි

ගලවා ගත්තද ඇයත් පියාත් ඊට කොටුවිය. එතැන් සිට දෙදෙනාටම සිදුවූයේ
නිවසේ සුන්බුන් අතරේ සිරවී ජීවිතයත් මරණයත් අතර සටනක් කරන්නටය.
ඒ සටනින් දැරියගේ පියාට මරණය උරුම වූ අතර ඔමයිරාට සුන්බුන් ගොඩේ
තනිවෙන්නට සිදුවිය.
ක්‍රමයෙන් ඔමයිරා සිර වී සිටි ස්ථානය වටා ලාවා මිශ්‍ර ජලය පිරෙන්නට විය.
පැය කීපයක් ගතවෙද්දී නිවසේ සුන්බුන් අතර සිරව සිටි ඔමයිරාගේ බෙල්ල
අසළටම ලාවා මිශ්‍ර ජලය පිරුණු අතර ඇයට හුස්මගැනීම ද අපහසු විය. ඒ
වනවිටත් කොලොම්බියානු රජයෙන් ගිනිකන්ද පුපුරායාම නිසා පීඩාවට පත්
ජනතාව මුදාගන්නට සහන කණ්ඩායම් එවා තිබුණ ද මොකක්දෝ
අවාසනාවකට ඔවුන්ට ඔමයිරා බේරාගැනීමට පුළුවන් වූයේ නැත. ඒ ඔවුන්
සතුව දැරියව බේරාගැනීමට දැනුමක් නොතිබීම නිසයි.
කෙසේ හෝ දින තුනකට ආසන්න කාලයක් දැරියට කරවටක් ලාවා මිශ්‍ර
ජලයේ ගිලී ඉන්නට සිදුවිය. එතරම් කාලයක් සිර වී සිටීම නිසා ඇගේ කකුල්
දෙක සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබුණි. ඇය සිටියේ ජීවිතය ගැන බියෙනි. ඒ
නිසා සියල්ලටම කලින් ඇයව සනසාලන්නට සහන සේවකයින්ට අවශ්‍ය විය.
ඒ නිසාම ඔවුන් දැරිය ඉදිරිපිට සිට ගීත ගයනා කළහ. ඒ අතරවාරයේදී සහන
කණ්ඩායමේ සිටි ප්‍රධානීන් දැරිය බේරාගන්නට විවිධාකාර උපක්‍රම කල්පනා
කළහ. එහෙත් ඔවුන් කිසිවකුට කිසිවක්ම කල්පනා වූයේ නැත.
“අපට ඇයව බේරගන්න බෑ. බේරගන්න වෙන්නේ කකුල් කැපුවොත්
විතරයි.”
නමුත් සහන කණ්ඩායම සතුව සිටි වෛද්‍යවරුන් පැවසුවේ එසේ කකුල් කපා
ඉවත් කරනවාට වඩා ඇයට මියයාමට ඉඩහැරීම ඇයගේ වයසත් සමඟ යම්
සහනයක් වෙනු ඇති බවයි. ඒ අනුව අවසන් තීරණය එය වූ අතර ඉන්
තුන්වැනි දිනය උදාවෙනවිට ඇගේ සිහිය සම්පූර්ණයෙන් විකල් වී තිබිණි.
“මට ඉස්කෝලේ යන්න ඕන. දැනටමත් පරක්කු වෙලා තියෙන්නේ.
ගණිතයත් මට අමාරුයි. ඉස්කෝලේ යන්න දෙන්න.”
සිහිවිකලෙන් කුඩා ඔමයිරා දිගින් දිගටම එසේ පැවසුවාය. එහෙත් ඒ
වචනවලට සංවේදී වෙනවා හැරෙන්නට කිසිවෙකුටත් කළහැකි දෙයක් තිබුණේ
නැත. අවසානයේ ඇය අවාසනාවන්ත ලෙස මියගිය අතර ඒ වනවිටත් දැරිය
දින තුනකට ආසන්න කලක් කරවටක් ලාවා මිශ්‍ර ජලයේ ගිලී සිට තිබුණි.
දැරිය මියගියේ 1985 නොවැම්බර් 19 වැනිදාය.
“මම ඇගේ ඡායාරූප කීපයක්ම ගත්තා.”

ඒ පුංචි ඔමයිරාගේ සිදුවීම වාර්තා කිරීමට පැමිණි ඡායාරූප ශිල්පියෙකු වූ
ෆ්‍රෑන්ක් ෆෝනියර් ය. ඔහු දැරිය සුන්බුන් අතර සිරවී ලාවා මිශ්‍ර ජලයේ ගිලී
සිටි අයුරු ඡායාරූපගත කරන්නට කටයුතු කර තිබුණි. එයින් නොනැවතී ඒ
සියල්ල ඔහු තම රටේ ප්‍රසිද්ධ පුවත්පතක් වූ ‘Paris Match’ ඇතු‍ළු පුවත්පත්
කීපයකට ලබාදීමට කටයුතු කර තිබුණි. කෙසේ හෝ එයින් එක් ඡායාරූපයක්
කෙරෙහි ලෝකයේම අවධානය යොමුවූ අතර ඒ වෙනුවෙන් ඔහු 1986 දී
සම්මානයටද පාත්‍ර විය. එහිදී ෆ්‍රෑන්ක්ට හිමිවූයේ ලෝක පුවත්පත් ඡායාරූපට
හිමි සම්මානයයි. ඒ නමුත් එවන් ඡායාරූපයක් ගැනීම ගැන ඔහුට බොහෝ
පිරිසකගෙන් අවලාද ඇසීමටත් සිදුවූ අතර ඇතැමුන් ඡායාරූප ශිල්පියාව
හැඳින්වූයේ මියයන්නවුන් ආහාරයට ගන්නට බලා සිටින උකුස්සකු ලෙසිනි.
ඩී.පී.වේවැල්පනාව