දවසක් එහෙම කෙනෙක් මාව හොයාගෙන අපේ ගෙදරටම ආවා – සචින්තනී කෞෂල්‍යා
ඒ 2015 අවුරුද්දේ කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ කලා දින
උළෙල තිබුණු දවස. ඒ වෙනුවෙන් එදා නැටුම් ගැයුම් ආදී අංග බොහෝමයක්
එක්ක පාසල් සිසු සිසුවියන්ගේ හැකියා ඔප්නැංවීමේ අරමුණින් කලා උළෙලක්
පැවැත්වුණා. ඒ කලා උළෙල වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට ඇවිත්
හිටියේ රන්වල බලකායේ නියමුවා වෙන සහන් රන්වල මහත්තයා. සචින්තනී
කියන්නේ ඒ වෙනකොට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. ඇයත් නැටුමට ගැයුමට
හරි හපනි. ඒ නිසාම සචින්තනිත් පාසල් කලා උළෙලේ නර්තනාංගයක් ඉදිරිපත්
කළා. එදා ඇගේ නර්තන හැකියාව දැකලා සතුටු හිතුණු සහන් රන්වල
මහත්තයාට හිතුණලු සචින්තනීව තමන්ගේ රන්වල බලකායට බඳවගන්න. ඉතින්
සචින්තනී පාසල් අධ්‍යාපන කටයුතුත් කරන ගමන් රන්වල බලකායේ කලා
කටයුතුවලටත් සහභාගි වෙලා. ඒ විදියට කලාවට අඩිය තියපු ඇය අද රටේ
ජනප්‍රිය නිළියක්. ඒත් එක්කම කලාව නිසා අධ්‍යාපන කටයුතු මගනොහැරගත්තු
ඇය මේ වෙනකොට නීතිඥවරියක්. ඒ විතරක් නෙවෙයි ඇය ගුරුවරියක් වගේම
මනෝ උපදේශනය සම්බන්ධ සහාය කථිකාචාර්යවරියක් විදියටත් කටයුතු
කරනවා. මේ කියන සචින්තනී වෙන කවුරුවත් නෙවෙයි ඔබ දන්න සචින්තනී
කෞෂල්‍යාම තමයි. ඇය තමයි මෙවර ‘ධරණී’ කවරය හැඩකළේ.
“හුඟාක් අය සචින්තනී දන්නේ නිළියක් විදියට නිසා මං එතැනින් කතාව
පටන්ගන්නම්. ඇත්තටම මං පුංචි කාලෙදිවත් කවදාවත් නිළියක් වෙන්න හීන
දැක්කේ නෑ. ඒ හැමදේම වුණේ රන්වල බලකායට බැඳුනට පස්සේ. එහෙම
ඉන්නකොට මට හිතුණා 2017 රූපවාහිනී අවුරුදු කුමරිය තරඟයකට
ඉදිරිපත්වෙලා බලන්න. ඒකෙන් මට අවසන් 10ට එන්න ලැබුණා. එච්චර දුර
ආපු නිසා මට හිතුණා ආයේ සැරයක් අවුරුදු කුමරි තරඟයකට
ඉදිරිපත්වෙලා බලන්න. ඒ 2019 දි. ඒ තරඟයෙත් අවසන් 12ට වෙනකල් ආවා.
ඊටපස්සේ තමා මට රංගනයට ආරාධනා ලැබුණේ.”
එදා සචින්තනීට රඟපාන්න ලැබුණු පළවැනි ටෙලිනාට්‍යය වුණේ ටීවී දෙරණ
නාලිකාවේ විකාශය වුණු ‘මුතුලෙන් දොර’ කියන ටෙලිනාට්‍යයලු.
“ඒ ටෙලිනාට්‍යයෙන් පස්සේ මට දිගටම රඟපාන්න ආරාධනා ආවා. මගේ
හැරවුම් ලක්ෂය වුණේ සිරස නාලිකාවේ ගිය ‘කියාදෙන්න ආදරේ තරම්’
ටෙලිනාට්‍යය. එහි ‘දිගැසි’ කියන චරිතයට වයස් භේදයක් නැතුව හැමෝම
ආදරේ කරන්න ගත්තා. මාව නිළියක් විදියට නොදන්න අයත් දිගැසි හින්දම
මාව දැනගත්තා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.”
පසුගිය කාලයේ සචින්තනී මේන් ක්රැක්ටර්, කියාදෙන්න ආදරේ තරම් හා
සංසාරිණී වගේ ටෙලිනාට්‍ය කිහිපයකම රංගනයෙන් දායක වෙන හැටි අපි දැක්කා.
ඒත් එකම කාලපරාසයක් තුළදි ඒ ටෙලිනාට්‍යය අවසන් වීම නිසා ඇයව ටික
කාලයක් යනකල්ම පුංචිතිරයේ දකින්න ලැබුණේ නෑ. ඒත් මේ දිනවල අතිශය
ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ස්වර්ණවාහිනී නාලිකාවේ හිරිපොද වැස්ස
ටෙලිනාට්‍යයෙන් සචින්තනී යළිත් දැකගන්න පුළුවන්.
“නිළියක් විදියට මට ලැබුණු තවත් එක සුවිශේෂී නිර්මාණයක් තමයි ඉන්දික
ධර්මතිලක අධ්‍යක්ෂණය කරන ප්‍රභාත් රෝෂන් නිෂ්පාදනය කරන සහ තිමිර
උඩලමත්ත තිර රචනය කරන හිරිපොද වැස්ස ටෙලිනාට්‍යය. එහි ආකාෂි
කියන චරිතයයි මං කරන්නේ. ඒ ටෙලිනාට්‍යය මේ වෙනකොට සෑහෙන්න
ජනප්‍රියවෙලා තියෙනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඉහළයි.”
දැන් සචින්තනී රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 5ක්ලු. ඉතින් දවසින් දවස නවක
නළු නිළියෝ බිහිවන ක්ෂේත්‍රයක අවුරුදු 5ක් පුරාවට පැවැත්ම තහවුරු
කරගත්තේ කොහොමද කියලත් ඇගෙන් අපි අහලා බැලුවා.
“අපිට ලැබෙන්නේ සුළු චරිතක්ද ප්‍රධාන චරිතයක්ද කියලා නොහිතා අපි
ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න ඕනේ. ඒ වගේම අපේ
දක්ෂතාවය සහ කැපවීම, පෙනුම, හැසීරීම, අනෙක් අය එක්ක ගනුදෙනු කරන
විදිය, අත්දැකීම්, නිහතමානීකම කියන මේ හැමදේමත් ඒකට බලපානවා.”
ඒ අතරින් නිළියකගේ පැවැත්මට පෙනුම කොයි තරම් දුරකට බලපානවද කියලා
සචින්තනීගෙන් අහන්න හිතුණේ ඇයත් තම පෙනුම ගැන සෑහෙන හිතන බව
හැඟුනු නිසා.
“ඔව් මමත් මගේ පෙනුම ගැන ගොඩාක් හිතන කෙනෙක්. මං මුලින් කියපු
විදියට පෙනුම අපේ පැවැත්මට බලපානවා. ඒක හින්දා නිතරම මම ව්‍යායාම්,
ආහාර රටා සහ විවිධාකාර සත්කාර කරමින් පෙනුම හොඳින් තියාගන්න
උත්සාහ කරනවා.”
රංගන ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ නළු නිළියන්ට රඟපාන්න ගිහින් සිදුවුණු හරි
අපූරු මතක තියෙනවනේ. ඒ නිසාම තමයි සචින්තනීගෙනුත් ඒ වගේ මතක
තියෙනවද කියලා අහලා බැලුවේ.
“රඟපාන්න ගිහිල්ලා සිද්ධවුණු අමතක නොවන සිදුවීම් නම් ඕනතරම්.
කොවිඩ් කාලේ කියාදෙන්න ආදරේ තරම් කියන ටෙලිනාට්‍යයේ එක්තරා
රූගතකිරීමක් තිබුණා මහපාරක් ළඟ. ඒ වගේ වෙලාවට මාස්ක් දාන්න බෑනේ.
කොහොම හරි එදා පොලිසියේ මහත්තයෙක් ඇවිත් හොඳට බැන්නා. ඒක නම්
අමතක වෙන්නේ නෑ.”
එහෙම කියපු සචින්තනීගෙන් අපි ඊළඟට අහලා බැලුවේ රංගන ජීවිතයේ
අමතක නොවෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එහෙම ලැබිලා තියෙනවාද කියලා. ඒකට
සචින්තනීගෙන් අපට ලැබුණු උත්තරයයි මේ.
“එක දවසක් වැඩිහිටි කාන්තාවක් මාව හොයාගෙන අපේ ගෙදරටම ආවා.
එයා දවස් ගාණක් මහපාරේ රස්තියාදු වෙලා තමයි ගෙවල් හොයාගෙන
තිබුණේ. මාව දැක්කම එයාට පුදුම සතුටුයි. අනේ අපට කොයිතරම් නම්
ආදරේ කරන මිනිස්සු ඉන්නවද කියලා ඒකෙන් මට පැහැදිලි වුණා. අදටත් ඇය
මගේ නිර්මාණ බලන ප්‍රේක්ෂිකාවක්.”
අපි මුලදි කියපු විදියට සචින්තනී කියන්නේ මේ වෙනකොට නීතිඥවරියක්. ඉතින්
ඒ ගැනත් ටිකක් කතා කරන්න ඕන කියලා හිතුවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න
අතරවාරයේදි නීතිඥ වෘත්තියේ යෙදෙන උදවිය බොහෝදුරට අඩු හින්දා.
“මං පොඩි කාලේ නැටුම් ටීචර් කෙනෙක් වෙන්න තමයි ආස කළේ. ඒත් හය
හත පන්තිවලදි ක්‍රීඩාවට හිත ගියා. ඒක නිසා ඒ පැත්තෙන් ඉදිරියට යන්න
හිතුවා. අට නවය පන්තිවලදි මම පාසල් ශිෂ්‍යභට කණ්ඩායමට බැඳුනා.
ඊටපස්සේ ආසාව වුණේ කවදා හරි හමුදාවට යන්න. නීතිඥ වෘත්තියට හිත
ගියේ උසස්පෙළ කරන කාලේ. ඒ වෙද්දි මම තමයි අපේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය
නායිකාව. මට කලින් හිටපු හැමෝම වගේ ඒ පැත්තෙනුයි ඉදිරියට ගිහින්
තිබුණේ. ඒත් එක්ක මමත් හිතුවා උසස්පෙළ විභාගය ඉහළින් සමත්වෙලා
නීති පීඨයට යන්න. ඒ කවදා හරි දවසක නීතිඥවරියක් වෙන්න හිතලා.”
කලා අංශයෙන් උසස්පෙළ කරපු සචින්තනී ඒ විභාගය ඉහළින්ම සමත් වෙලා. ඒ
දිස්ත්‍රික් 38 වැනියා සහ මුළු ලංකාවෙන්ම 289 වැනියා විදියට. ඒත් එක්ක ඇයට
ලේසියෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට යන්න අවස්ථාවක් උදාවුණු බවයි
ඇය ‘ධරණී’ට පැවසුවේ.
“ඇත්තටම මං පාසල් කාලේ පොතපතේ වැඩවලට එච්චර දක්ෂ ළමයෙක්
වුණේ නෑ. මොකද මට ඊට වඩා පාසලේ බාහිර වැඩවලටයි උනන්දුව තිබුණේ.
ඒ කිව්වේ ක්‍රීඩා, කැඩෙට්, නර්තනය වගේ දේවල්. ඒ වුණත් නීතිඥවරියක්
වෙනවාමයි කියන අරමුණට ආවම මං මගේ උත්සාහයෙන් දක්ෂ ළමයෙක්
වුණා. එතැනදි මං තේරුම්ගත්ත දෙයක් තමයි කැපවීම තියෙනවා නම් අපට
කරන්න බැරි කිසිම දෙයක් නෑ කියලා.”
නීතිඥවරියක්, නිළියක් විතරක් නෙවෙයි සචින්තනී සන්නිවේදනය හා මාධ්‍ය
අධ්‍යයනය (Media) ගුරුවරියක්. ඒ වගේම මනෝ උපදේශනය සම්බන්ධව සහාය
කථිකාචාර්යවරියක් විදියටත් මේ වෙනකොට කටයුතු කරනවලු.
“මම උසස්පෙළ කරලා ප්‍රතිඵල එනකල් පන්ති කළා. ඒත් කැම්පස් වැඩත්
එක්ක ඒක මග නැවතුනා. දැන් ආයෙත් තවත් ප්‍රසිද්ධ ගුරුවරු දෙන්නෙක්
එක්ක ‘මුළු ලංකාවටම සනීපෙට මීඩියා’ කියලා මම ඔන්ලයින් පන්ති
කරනවා. ඒ වගේම මං පසුගිය කොවිඩ් කාලෙදි ලැබුණු නිවාඩුව එක්ක මනෝ
විද්‍යාව, මනෝ චිකිත්සනය වගේම මානව සම්පත් කළමනාකරණය පිළිබඳ
හැදෑරුවා. දැන් මනෝ උපදේශන සම්බන්ධව සහාය කථිකාචාර්යවරියක්
විදියටත් කටයුතු කරනවා.”
*මේ වෙනකොට සචින්තනී නර්තනයෙන් ඉන්නේ කොයි වගේ තැනකද?
“දැන් මං රන්වල බලකාය එක්ක අවුරුදු 9ක්. එහි නර්තනය, ගායනය හා
රංගනය පිළිබඳ ප්‍රාසංගික ශිල්පිනියක් විදියට මං වැඩ කරගෙන යනවා. ගිය
මාසෙත් අපිට විදෙස් ප්‍රසංගයක් තිබුණා. ඉදිරි මාසවලදි තවත් ප්‍රසංග
ගණනාවක් තියෙනවා.”
මේ විදියට එකකට එකක් වෙනස් වෘත්තීන් කිහිපයක නියැලීම කාට වුණත්
ලොකු අභියෝගයක්. අපෙන් සචින්තනීට ලැබුණු ඊළඟ ප්‍රශ්නය වුණේ ඒක.
“මේ ආපු ගමනේ මට සෑහෙන අභියෝග ගණනකට මුහුණදෙන්න වුණා. ඒ
හින්දා අභියෝග කියන්නේ මට අලුත් දෙයකුත් නෙවෙයි. මම උපරිමයෙන් මාව
විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා මට එන ඕනෑම අභියෝගයකට සාර්ථකව
මුහුණදෙන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා.”
විශ්වාසය කොච්චර දුරට තිබුණත් අභියෝග හමුවේ හැමවෙලේම සාර්ථක
වෙන්න අපි කාටවත් බෑ. ජීවිතේ දිනන්න වගේම පරදින්නත් අපට සිදුවෙනවා.
ඒත් එක්ක පැරදුණු, වැටුනු වෙලාවට දුකක් දැනුණු වෙලාවට ඒ දේවල්
දරාගන්නේ කොහොමද කියලත් අපි සචින්තනීගෙන් අහලා බැලුවා.
“ඒ වගේ වෙලාවට මං මුලින් බලන්නේ මගේ ඔලුව වෙනස් කරගන්න. මොකද
එහෙම නොකරගත්තොත් එතැනින් කිසි ගැලවීමක් නැතිවෙනවා. ඉතින් මං
මුලින් මගේ කාමරේ වෙනස් කරනවා. ඊළඟට හිත නිදහස් කරගන්න පුළුවන්
තැනක් බලලා යනවා. මං නම් හුඟාක් වෙලාවට යන්නේ අපේ කැලණිය
පන්සලටයි මුහුදු වෙරළටයි තමයි.”
ජීවිතේට ප්‍රශ්නයක් ආපු හැටියේ ඒක ගැනම හිත හිතා විඳවන එකෙන් වෙන්නේ
ඒ ප්‍රශ්නය තවත් දුරදිග යන එකලු. ඒක නිසා මුලින්ම ඔලුව නිදහස් කරගෙන
අදාළ ප්‍රශ්නවලට ශක්තිමත්ව මුහුණදෙන්න කියලයි මේ වෙද්දිත් යම් යම් ප්‍රශ්න
එක්ක ජීවත්වෙන උදවියට සචින්තනීගෙන් ලැබුණු පණිවිඩය වුණේ.
*ආදරේ ගැන එහෙම මොකද හිතන්නේ?
“ආදරේ ගැන පොදු නිර්වචන නෑනේ. අපි ආදරේ දකින විදිය, විඳින විදිය,
කියවන විදිය සහ ආදරේ නිසා ලැබුණු අත්දැකීම් එක්ක කෙනාගෙන් කෙනාට
නිර්වචනය වෙනස් වෙනවා. මගේ නිර්වචනය නම් වෙන්නේ ආදරේ කියන්නේ
හරි සුන්දර දෙයක්. හැබැයි එහෙම වෙන්නේ ආදරේ ළඟ අපේ තෝරාගැනීම්
එක්ක. අපි හරිම කෙනා තෝරගත්තොත් ආදරේ විතරක් නෙවෙයි ඒකත්
එක්ක ජීවිතෙත් සුන්දර එකක් වෙනවා.”
*සචින්තනීගේ ජීවිතේ එහෙම හමුවීමක් තියෙනවද?
“(සිනාසෙමින්) දැනට නම් ඉතින් එහෙම කෙනෙක් මුණගැහිලා නෑ. අනික
තාමත් වයස තියෙන නිසා හදිස්සියක් මට නෑ. ඒවා හදිස්සිවෙලා කරන්න
ඕනේ දේවල් නෙවෙයි කියලයි මම හිතන්නේ.”
මේ වෙනකොට සචින්තනී ඉන්නේ කිරිබත්ගොඩ. අම්මා තාත්තා ඇරුනම ඇයටඉන්නේ බාල සහෝදරියක්ලු. අපේ කතාබහ අවසන් කරමින් ඒ සියලුදෙනා වගේම
ආදරණීය ප්‍රේක්ෂකයිනුත් මතක් කරපු සචින්තනී කියවන ඔබ වෙනුවෙන් යමක්
කියන්නත් අමතක කළේ නෑ.
“මං හරි ආසයි අපේ රටේ හැමකෙනාම සතුටින් ඉන්නවා දකින්න. ඒත්
ගොඩක් අයට විවිධාකාර ප්‍රශ්න හේතුවෙන් ඒක මගඇරිලා තියෙනවා. ඒ අයට
මං මෙහෙම දෙයක් කියන්නම්. අපි හැමෝටම සතුට කියන දේ නිකන් ඉඳලා
ලබාගන්න බෑ. ඒකට අපි වැඩ කරන්න ඕනේ. ඒ වැඩ කරද්දි වැටෙන
අවස්ථාවන් එන්න පුළුවන්. එතැනදි උත්තරේ අඬන, වැළපෙන, පසුතැවෙන
එක නෙවෙයි. අපි ඒ වෙලාවටත් දරාගන්නම පුරුදුවෙන්න ඕනේ. දන්නවද
කොයිතරම් ප්‍රශ්න ආවත් ජීවිතයේ අමාරු කාලවලදිත් අල්ලගෙන ඉන්න
මිනිස්සු තමයි කවදාම හරි දවසක සාර්ථක වෙලා සතුට හොයාගන්නේ.”
රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – චමත් ඒකනායක
හැඩගැන්වීම – Lush Bridal by Lakshika Bandula
පසුතලය – Clover Banquets & Resorts