නවතම ප්‍රවෘත්ති

කැලේ කොළේ අරන් ඇවිත් කැලෑ පොළේ විකුණන දයාවතී

පරණ පත්තර එකතු කරන්නට මා පුරුදු වී සිටින්නේ අදක ඊයෙක සිට නොවේ. දැන් අවුරුදු දහයක දොළහක සිට පුරුද්දක් වශයෙන් මා පත්තර එකතු කරයි. මගේ හිත කියන්නේම ඒ පත්තර තුළ ජීවත්වන අකුරු කොයිම හෝ මොහොතක කුමක් හෝ දෙයක් වෙනුවෙන් මට උපකාර වනු ඇත කියාය. එවැනි බලාපොරොත්තුවකින් මේස කොණක අදටත් නිවීහැනහිල්ලේ හුස්මගන්නා පත්තර එකතුවේ මතුපිට වසාසිටි දුහුවිලි තට්ටුව පන්නා හරින්නට පසුගිය සතිඅන්තයේ මා වෙලාව වෙන්කර ගත්තෙමි. දුහුවිලි බිඳෙන් බිඳ ඉවත්ව ගිය කණපැහැ පත්තර පිටුවක් අතර තිබුණු ‘ජන හද දිනූ කොළඹ කැලෑ පොළ’යන කළු පැහැ බෝල්ඩ් අකුරු කිහිපය මාගේ අවධානය පැහැරගත්තේ ඒ මොහොතේය. කොතෙක් කොළඹ කරක් ගසා තිබුණත් එතෙක් මා නොදැක තිබූ කොළඹ ඇති කැලෑ පොළ කුමක්දැයි දැනගැනීමේ කුහුලකින් එතැන් සිට මා පෙළෙන්නට විය.

ඒ පත්තර පිටුවේ සඳහන් වූ පරිදි කොළඹ කැලෑ පොළ පිහිටා තිබුණේ කොළඹ කොටුව පාවෙන වෙළඳසැළ ආසන්නයේය. බොරැල්ලේ සිට කොළඹ දෙසට යන අයෙකුට නම් ටෙක්නිකල් හන්දිය පසු වී මීටර තුන්සියයක් ගිය තැන වම්පසින් හමුවන්නේ කැලෑ පොළය. පොහොය දිනට හැර සෑම දිනකම සවස 4.00 සිට පසුදා උදෑසන 10.00 වනතෙක්ම පැවැත්වෙන කැලෑ පොළෙහි වැඩි ඉඩක් වෙන්වන්නේ ආණමඩුව, හම්බන්තොට, මාතර, පිළියන්දල ආදී දුරබැහැර පෙදෙස්වලින් පැමිණෙන වෙළෙන්දන්ටය.

කොළඹ නැති, නමුත් ගමේ ගොඩේ සෑදෙන එළවළු පලතුරු දුරබැහැර සිට ගෙනැවිත් අඩු මුදලට අලෙවි කිරීමට එකී වෙළෙන්දන් පුරුදුව සිටින්නේ දශක තුනකටත් ඉහත සිටය. ජනාධිපති ප්‍රේමදාස මහතාගේ අදහසකට අනුව බිහි වූ මේ කැලෑ පොළට එතුමා එකල ගොඩවදින්නේ දහවල් බතින් සරි වී අතුරුපසට වෙරළු කන්නට බව එහි ලියා තිබිණි. දැන් එහි වෙරළු කෑමට ප්‍රේමදාස මහතා ජීවතුන් අතර නැතත් මේ කොළඹ ජීවත්වන හයිකාර නෝනාවරුන් මහත්වරුන් අදටත් කැලෑ පොළට ගොස් එහි ඇති තිබ්බටු, කොස්, පොළොස්වලින් ඔවුන්ගේ මලු පුරාවාගනිති. එකී අරුමය බලන්නට සිතා පසුගිය දිනෙක එහි ගිය මට ආණමඩුවේ සිට පැමිණි දයාවතී නම් මහත්මියක් මුණගැසුණි. ආර්.එම්. දයාවතී වන ඇය ආණමඩුවේ සිට අඹ සහ තවත් බොහෝ දේ රැගෙන මේ පොළට එන්නේ දැන් අවුරුදු එකොළහක පමණ සිටය. 

“මීට අවුරුදු එකොළහකට විතර කලින් මගේ මහත්තයා බේකරියක වැඩ කළා. ඒත් ඔහු අසනීපවීමත් එක්ක බේකරි රස්සාව දිගටම කරගෙන යන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒකනිසා ගෙදර ඉඳන් මගෙත් උදව් ඇතුව කුඹුරු වැඩ කරන්න පටන්ගත්තා.”

පුතුන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බඩවියත රැකගන්නට පමණක් කුඹුරු වැඩවලින් ලත් ආදායම ප්‍රමාණවත් වුවත් එතැනින් එහා දෙයක් කරන්නට එය ප්‍රමාණවත් නොවුණි.

“ඒ දවස්වල ඉඳන්ම මගේ අක්කා කොළඹ කැලෑ පොළට බඩු විකුණන්න ආවා. ඔය අතරේ අක්කාට හොඳටම අසනීප වුණා. ඒ අසනීපවීමත් එක්ක අක්කගේ තනියට මටත් පොළට එන්න සිද්ධ වුණා. එදා එහෙම ආපු ගමන තමයි මම අදටත් මේ එන්නේ.”

දයාවතීගේ අක්කාගේ අසනීප තත්ත්වය උත්සන්න වීමත් සමඟ ඇයට කැලෑ පොළ තහනම් කලාපයක් විය. එදා සිට අක්කාගේ අඩුව පුරවමින් ආණමඩුවේ සිට පලතුරු ගෙනැවිත් කැලෑ පොළෙහි විකුණුවේ දයාවතී ය. නමුත් ඒ හැමදාටම නොවේ. කැලෑ පොළ සංගමය විසින් ඇයට නියමකොට තිබූ බ්‍රහස්පතින්දා, අඟහරුවාදා සහ ඉරිදා යන දිනයන්වලට පමණි. 

“මම හීනයක් දැක්කා දරුවොන්ට හොඳට උගන්නන්න වගේම ගෙවල් දොරවල් හොඳට හදාගන්න. ඉතිං ඒ හීනයට යන්න දෙවියෝ මට පාරක් පෙන්නුවා. ඒ පාර එළිපෙහෙළි කරගෙන ගල්බොරළු නොතකා ඉස්සරහට යන්න ධෛර්යය ගන්න එක මගේ යුතුකම වුණා. ඒකනිසා බ්‍රහස්පතින්දා, අඟහරුවාදා වගේම ඉරිදා තුනම මම හැමදාම කැලෑ පොළට ආවා. ඒ දවස් තුන හැරුණම අනිත් දවස් ටික මම වෙන් කරලා තියෙන්නේ පලතුරු එකතු කරන වැඩවලට. උදේ පාන්දර ඇහැරිලා උයලා පිහලා වැඩ ටික ඉවර කරාට පස්සේ මෝටර් බයිසිකලෙත් අරන් මම පලතුරු එකතු කරන්න යනවා.”

එසේ එක්රැස් කරගන්නා පලතුරු කුලී පදනම මත අඬගසා ගත් වෑන් රියකින් කැලෑ පොළට ගෙන එන්නේ ද ඇයමය.

“ඊටපස්සේ ඉටිකොළ එළලා හවස 04 වෙද්දී බඩු අඩුක් කරනවා. ඇත්තටම ඉටිකොළේ එළන තැන ඉඳලා බඩු අඩුක් කරනකන් මම ඒ හැමදෙයක්ම කරන්නේ පුදුම භක්තියකින්. මොකද අපි ජීවත්වෙන්නේ මේ රස්සාව නිසා. ඒ රස්සාව කරගෙන යන්න උදව් කරන කුරාකුහුඹුවෙක්ට පවා අපි ණයගැතියි.”

නමුත් අව්වට වැස්සට ඔරොත්තු දෙන්නට වෙන අවස්ථා ද ඔවුන්ට නැතුවාම නොවේ. ඒ මොහොතෙහි ද වැටුණු හීන්පොදයට දයාවතී  ඇගේ මල් මල් කුඩය ඉහලා ගත්තත් ඒ හීනි පොදය මල් වරුසාවක් මෙන් සුන්දර නොවුණේ එය මහා වැස්සකට පෙරලුණු නිසාය. වැස්ස හමුවේ මා කැලෑ පොළෙන් බලාපොරොත්තු වූයේ සෙවණක් සොයා තම එළවළු පලතුරු හකුළාගෙන කඩි ගුලක් ඇවිස්සුණාක් මෙන් දිවයන වෙළඳ පිරිසක් වුණත් එය එසේ නොවුණි. ඒ වෙනුවට රේන්කොට්, ඉටිකොළ දරා ඔවුන් වැස්ස අඩහෝරාවක් පමණ දරා සිටියහ.

“මෙහෙම නෙවෙයි සමහර දවස්වලට එළිවෙනකන් වහිනවා. සමහර වෙලාවට වැහි වතුරට කකුල දියමැටියෝ කනවා. ලෙඩ වෙනවා විතරක් නෙවෙයි සමහර වෙලාවට පාඩුත් ලබන්න වෙනවා. බිස්නස් එකක් කරනවා නම් කොහොමත්ම අනිවාර්යයෙන්ම ලාබ අලාබ දෙකම විඳදරාගන්න සිද්ධ වෙනවා. ඒ හැමදේටම මුහුණදෙන ගමන් තමයි දැන් අවුරුදු එකොළහක් තිස්සෙ මේක කරගෙන යන්නේ.”

නමුත් විශේෂත්වය වන්නේ ඔවුන් මේ ලද ජීවිතයට කෘතඥපූර්වක වෙනු මිස චෝදනා නොනැගීමයි. ඒ නිසාම දයාවතී වැනි අයට අව්වෙන් වැස්සෙන්වත් කිසිඳු බාධාවක් නොවී සතුටින්ම ජීවිතය දරන්නට ලැබේවා යන්නයි අපේ ප්‍රාර්ථනය!!

නෙත්මි තෂාරා